Menu Close

හරෝහරා! – දාහතරවෙනි කොටස


මෙවර පාද යාත්‍රාවේ ගිහින් … කොච්චිපතාන ගණදෙවි කෝවිලේදී……..

කාන්තාවන් බඩ-ගැබ්බර වෙන්නට පුළුවන් තරමේ  “#@$5#%$$!” හරුප කියන්නට වගේම අත් උදව් දෙන්නටත් අපේ පිරිවර හපනුන්ය.

එහෙම කියන්නේ ගැබ්බර කෙරිල්ල ගැන නොවෙයි, හොඳේ; උයන්නට අත් උදව් දීම ගැනය. 
එයාලා දඩි-බිඩියේ උදව් දුන්නේ හොඳටම බඩගින්නේ හිටි හින්දාම වෙන්නට ඇත. උයා ඉවර වෙන පමාවෙන්ම ‘කමු’ යැයි යෝජනා කරන්නට ඇත්තෙත් ඒ නිසාමය. 

බත් කාලා සේදූ අත් වේලෙන්නටත් කලින් සේරමලා ආයෙමත් වතුරේය. 

වතුරේ වැතිරීගෙනම ඉඳිද්දීය ආයෙමත් අර හමුදා සොහොයුරන් දෙන්නා ඉවුරේ ඉන්නවා මං දැක්කේ.
“නිශාන්ත, ඔයාගේ යාළු අර මල්ලිලා දෙන්නා අන්න ගඟට ඇවිත්. බත් ටිකක් කන්න කතා කරමුද?”
“නිමල් අයියම අඬගහන්නකෝ!” 

නිශාන්ත ඒ රාජකාරිය මටම පැවරුවේ ඇඟ බේරාගන්නට බව මට වැටහුණේ පසුවය. “මල්ලී, දෙන්නත් එක්කම එන්න බත් ටිකක් කන්න!”

මල්ලී…. එන්න බත් ටිකක් කන්න!
“එපාාාාාා. ඕනේ නැහැ අයියේ…. තව ටිකකින් කෑම ගෙනෙයි….”
උත්තරය negative වුණාට තිබුණේ positive ටෝන් එකකි. 
“නිශාන්ත, ඇහුණා නේද කියපු හැටි…. ඔයා ගිහින් එක්ක එන්න…එතකොට එයි.” නිශාන්ත ගිහිං, ආපහු ආවේ හිනාවේගෙනය. “හරි, දෙන්නලු!”
“අම්මප ඔහෙට දිවැස් තියෙනවය නිමල් අයියේ? වෙනදටත් කෑම එන්නේ ගොඩක් පරක්කු වෙලාලු. බඩගින්නට තමයි තේ හදාගෙන බීල තියෙන්නත්. 
තව කීප දෙනෙක් ඉන්න හින්දා ෂොපින් බෑග්වලට හරි දාලා දෙන්නලු. බෙදාගෙන කයිනේ.”

පිඟන් දෙකකට කෑම බෙදන්නට හදද්දී නිශාන්ත කිව්වේය.
ඒ යස්සයාට මෙලෝ දෙයක් ගැන ගනිච්චියක්  නැතිවා වගෙය. ඉව්වේ රෑටත් එක්කම බව එහෙම පිටින්ම අමතක වෙලාය. දැන් ඉතින් මොනවා කරන්නද? මට මා එක්කත් තරහය; 

“තව මදිවෙයි වගේ නිමල් අයියේ.” කියන නිශාන්ත එක්කත් තරහය. තරහෙන්ම, සාස්පාන්වල තිබුණු කෑම සේරම ෂොපින් බෑග්වලට දැම්මෙමි. 
සිලි මලුවලට දැමූ කෑම අඩුක්කුවත් උස්සාගෙන ගිය ………..
“දැන් නම් මදිවෙන එකක් නෑ හත්-අට දෙනෙකුට වුණත්!” 
නිශාන්ත කිව්වෙත්; අඩුක්කුව උස්සාගෙන ගියෙත් ආඩම්බරයෙනි.
පාද යාත්‍රාවේ යෙදෙන අතරතුරදී ඔබ කැමති ඕනෑම දමිළ නඩයක් ළඟට යන්න, ඔවුන් හා හිතවත්වී කතාබහක යෙදෙන්න. 
ඔවුන් කොතරම් දුප්පතුන් වුවත් කම් නැත; පොහොසතුන් වුවත් කම් නැත. නොවරදවාම ඔවුන් ඔබට අන්න-පානයෙන්, ආහාරවලින් සංග්‍රහ කරන්නට පසුබට නොවෙන බව අපේ දැනීමයි. 
එහෙම කෙරෙන්නේ කදිර දේවයාණන් වෙනුවෙනි.
දෙවියන් වෙනුවෙන් නොවේ, අද නම් ඔබ වෙනුවෙනුත් – මව්බිම වෙනුවෙනුත් දිවි පරදුවට තියන්නට; දිවි හිමියෙන් කැප වෙන්නට වීරයෝ වේදිකාවල රඟති. 
මොන උප්පරවැට්ටියක් යොදමින් හෝ, මොකාගෙ පිහිටෙන් හෝ, මොනවා පුදලා හෝ පාලකයන් වෙන්නට කවුරුනුත් කැමතිය. එදා ……
මහා යුද්ධයකට මැදිවී සිටියදී එතුමෝ; මානවම්ම කුමරුවෝ කඳ සුරිඳුන්ගේ පිහිට පැතූහ.
මහ යුද්ධයකට පැටලී සිටියදී එතුමෝ……
“දෙවන කාශ්‍යප නරෝත්තමයාණන්ගේ පුතණු උත්තම කුමාරයාණෙනි.
යුදයට අධිපති ශ්‍රී ස්කන්ධ දේවයාණන්ගේ ආශීර්වාදය ලැබෙන්නේ නම් ඔබවහන්සේට මේ යුද්ධයෙන් ජය ගත හැකිවෙනු ඒකාන්තය. අපගේ ශාස්ත්‍ර ඥානයට අනුව එය නිසැකය. 
යනු මැනවි…. 

-ගෝකණ්ණ තීර්ථයේ වෙරළබඩට. ජය භූමියක් වන එතැන සුවිසල් ශෛල තලාවක් ඇත. ඒ මත හිඳ, මන්ත්‍ර පුරමින් – භාවනා කරමින් ස්කන්ධ කුමාර දර්ශනය පතනු මැනවි.” පුරෝහිතයෝ උපදෙස් දුන්හ. 
නොපමාවම කටයුතු සංවිධානය කෙරිණි. සෙබල මුළුවක් සහිතව මානවම්ම කුමරුවෝ ගෝකර්ණයට පිටත් වූහ.
සුවිසල් කළුගල් පව්ව මත හිඳ කුමරුවෝ දැන් මන්ත්‍ර සජ්ජායනා කරති; නොසැලී හිඳිමින් දේව දර්ශනය පතති.
අකාල විදුලියක් කෙටීය. 
ඇඟ කිළිපොලවන ශීතලක් දනවමින් තද සුළඟක් හමා ගියේය. 

කුමරුවාණන්ගේ ආරක්ෂාවට තැනින්-තැන සිටුවා සිටි සෙබළු වෙවුලා ගියහ. හාත්පසම අවුළුවා තිබුණු ගිනි මැලවලින් නික්මුණු ආලෝකය පරදවමින් දීප්තිමත් ආලෝක කදම්බයක් අහසෙන් එල්ල විණි.

එළියක් පහළ වුණොත්; විදුලි කොටන්න ගත්තොත් නේත්‍රා දෙක ඇරගෙන ඉන්න එපා!
“එළියක් පහළ වුණොත්, ඒ සමඟම තොපි සැවොම තරව නෙත් පියාගත යුතුයි. මොනවද වෙන්නේ කියා බලන්නට නෙත් හැරගෙන හිටියොත් තොපගේ නෙත් අඳ වෙනවා සිකුරුයි!” කලින්ම උපදෙස් ලැබී තිබුණු නිසා සෙබළුන්ගෙන් කිසිවෙක් නෙත් හැරගෙන නොසිටියේය.
මයුර වාහනාරූඪව කඳ කුමරුවෝ මානවම්ම කුමරු ඉදිරිපිට ප්‍රාදුර්භූත වූහ. 

කුමරු ප්‍රීතියෙන් පිනා යද්දී, මයුරයෝ ගෙල දිගු කරමින් යමක් සොයන්නට ගත්හ….. යමක් වැරැදී ඇති බව කුමරුට පසක් වුණේ එවිටය. 

‘මයුරයෝ අහරක් පතති. හා, මේ නම් තදබල අතපසුවීමකි. මොනරාට දෙන්නට සුදුසු අහරක්…. බිල්ලට දෙන්නට….’ සිතත්ම කුමරුගේ නැණැස පෑදිණි.
දෙවරක් නොසිතූ මානවම්ම කුමරුවෝ සිය නේත්‍ර යුග්මයෙන් එකක් මොනරාට පෑවෝහ. මොනරාගේ තියුණු හොට ඒ නෙතට එල්ල විණි.
මානවම්ම කුමරුට ඇසක් අහිමි විණි, 
යුදයෙන් ජය හිමි විණි – ඉතිහාසය කියන්නේ එහෙමය. 

එහෙම එකේ, කඳ සුරිඳුන් වන්දනය පිණිස පා ගමනින් යන කෙනෙකුට හෝ එසේ යන්නන්ගේ ආරක්ෂාව සලසන කෙනෙකුට හෝ ආහාර වේලක් පිදීම කොතරම් දෙයක්ද? 
ඒ පරිත්‍යාග ගැන නොදත් අපේ අප්පුහාමිලා නොපමාවම කැරැල්ලක්……..
කඳ සුරිඳුන් වෙනුවෙන් කෙරුණු එවන් පරිත්‍යාග ගැන හාන්කවිසියක් නොදන්නා මගේ ගමන් සගයන් කැරැල්ල පටන්ගත්තේ නිශාන්ත ආපහු එනවාත් එක්කමය. 

“ඈ බං paකෝරිස්, දැන් අපි රෑට කන්නේ තමුසෙගෙ ඇට දෙකද?”
  
“ඔව්, ඔව්. ආයේ නං තව සැරයක් උයන්න උදව් වෙන්න අඬගහන්න එපා…. මට නං බැහැ. නිශාන්ත, තොටත් puකේ අමාරුවනේ තව මදි කිය-කිය සේරම අරන් ගියේ. තොටයි මූටයි තමා රෑට උයන්න වෙන්නේ….”
“ඔහෙලා මට බනින්නේ මක්කටෙයි? මං මක්කවත් කළේ නැහැනේ…. නිමල් අයිය කියපු ටික විතරනේ…. ඉස්සෙල්ල පාරත් මායි සුනිල් අයියයි කළේ දර හොයන එකනේ. දර මදි නම් හොයල දෙන්නං….. ඒ නිමල් අයියේ, දර මදියෙයි රෑටත් උයන්න?” 

ඒකාත් ගල් ආඳෙකු වුණේ එහෙමය; උදව් දෙන එක මඟ හැරියේ එහෙමය. 
“ඔන්න සුනිල් අයියේ, ඔයාගේ ලොකු අයියා වුණාට කමක් නැහැ… ඔයාත් උදව්වට හෙම යනවා නෙවෙයි. දන් දුන්නු පින පළ දෙන්න එයාටම උයාගන්න අරින්න තනියෙන්…” දැන්මම තහංචියකුත්….
තරහව ඕනෑම කෙනෙකුට ලබා දෙන්නේ දැඩි ශක්තියකි………
තරහව ඕනෑම කෙනෙකුට ලබා දෙන්නේ අතිමහත් ශක්තියකි. 

එවෙලෙම දියෙන් ගොඩවුණු මම වැඩ පටන් ගත්තෙමි. පුරසාරමකට හෝ මදි පුංචිකමක් කරන්නට හෝ හිතාගෙන කියනවා නොවේ. 
අපේ නඩයේ අනෙක් පස් දෙනාගෙන් එකෙකුවත් ළූණු ගෙඩියක් සුද්ද කරලා දෙන තරමේ අත් උදව්වක්වත් දුන්නේ නැත. 

වැඩියත්ම එහෙම වුණේ මගේ රකුසු මුහුණ හින්දාය. එහෙම වෙලාවට ඒ කිසිවෙක් මගේ කිට්ටුවකට නොඑයි.
මට වැඩියත්ම කේන්ති ගියේ වතුරෙන් ගොඩවෙන්නට කලින් කියවුණු තවත් පැහැදිලි කිරීම් වගයක් නිසාය. 
“තමුසේ දන්නවද, තමුසෙගෙ ආදරේ පෙන්නන්න ගිහින් අහක හිටපු හමුදාවේ කට්ටියකට කෑම යවලා ඒ එකෙක්ගෙවත් බඩ නරක් වුණොත් එහෙම වෙන දේ? 
වස දෙන්න හැදුවයි කියලා තමුසෙව තමයි කුදලාගෙන යන්නේ…”
“හැබෑමයි නිමල් අයියේ, මාත් එහෙම කතාවක් නං අහල තියෙනවා…. අර ඔහෙ කිව්ව වචනෙට කීකරු වුණාට.”
මගේ රතු කටුව පැන්නාට පස්සේ මං කරන්නේ කතා නොකර…..
ඒවා එකකටවත් කිසිවක් කිව්වේ මේ නිමල් දිසානායක නොවේ. 
මගේ රතු කටුව පැන්නාම මං කතා කරන්නේ නැති බව මීට කලින් කියලා තියෙනවනේ, නේද? 

ඒ තියා පූ වළෙන් වතුර පුරවාගන්නා වෙලාවේදීවත් ඒ යක්කුන්ගෙන් එකෙකුවත් මගේ දිහා බැලුවේ නැතිය. ‘දැන්වත් මේකලා එයිනේ’ කියලාය මං හිතාගෙන හිටියේ. මොන?
කොච්චර තරහෙන් ඉව්වත්, අඩුවෙන් උයන්නට මගේ හිත ඉඩ දුන්නේ නැත. 

(කලිනුත් කිව්වා වගේ තියෙන තොග අවසන් කරගන්නත් ඕනිනේ!). රෑටත් ඉව්වේ දහ දෙනෙකුට විතරම ඇති වෙන්නය. ‘උදේට හීල් බත් ටිකක් කාලම පිටත් වෙන්න පුළුවන්නෙ.’ කියන අදහසත් හිතේ කෙළවරක තිබුණේය.
රෑ තිස්සේ හරි පාද යාත්‍රාවේ ගිහින්, දවසෙන්- දෙකෙන් ගමන නිමා කරන්නට හැදූ ඩිල්හාන්ලා වරහනට ආවේ අපටත් පස්සෙය. ලැගුම් ගන්නට තෝරාගත්තේ අපේ කිට්ටුවෙන්මය.

එයාලාගේ සාමාජිකයෙකු මං උයන අතරේ කිට්ටුවට ආවේය.
ඔයාලා උයාගෙන ඉවර වුණාම අපිටත් මේ ළිපේම නූඩ්ල්ස් ටිකක්….
“නිමල් අයියා තනියම උයනවා වගෙයි…. support එකක් දෙන්නද?”
“නැහැ මහත්තයෝ, තව ඩිංගයි…. ඉතින්….?”
“එහෙනං නිමල් අයියේ, උයලා ඉවර වුණාම අපිටත් ඔය ළිපේම උයාගත්තෑකි නේද? අපි නූඩ්ල්ස් ටිකක් හදාගන්න යන්නේ.”
පාද යාත්‍රාවේ යන සිංහල නඩවලින්; තරුණ නඩවලින් වැඩි හරියක බඩගින්න නිවන්නට උදව් වෙන්නේ නූඩ්ල්ස්ය. 
හදන්නට ලෙහෙසිය. කන්නට මනාපය. 
එහෙත් ඉක්මනින්ම යළි බඩගිනි වෙයි. ඒ කාරණාව ගැන ඉස්සෙල්ලාම මතක් කළේ අපේ සුනිල්ය. අපේ ලැයිස්තු හදද්දීය.
“අනේ අයියේ, පොල් සම්බෝලයි බතුයි විතරක් වුණත් ඇති. ඔය බඩකඩුත්තුව නං එපා. කාලා පැයෙන් ආයි බඩගිනි වෙනවනේ.”
“ඇත්තමයි, සුනිල් අයියේ. මටත් අල්ලන්නේ නැහැ.”
“හරි. ඔන්න ඒක ලැයිස්තුවෙන් කැපුවා. 
හැබැයි එක වේලකට හරි ගෙනියන එක තමයි, නුවණක්කාර වැඩේ. වතුර ටිකක් උණු කරගන්න එක විතරනේ.” මගේ අනාවැකිය ඒ; පළමු ගමනේදීම හැබෑ වුණේය. 

ළිං තුන මඟ හැරිලා ගිහින් අප නැවතුණු තැන ටැංකියට වතුර පිරෙව්වේ රෑ අටට විතරය. එදාය මගේ යට ඇඳුම හොරෙකු ඉස්සුවේ! එච්චර වෙලා බඩගින්නේ නොසිට, දෙමළ ගැටවුන් දෙන්නාටත් අපටත් නූඩ්ල්ස් හදා ගත්තේ ළඟ තිබුණු වතුර බෝතලවලිනි.

එක විඩේම මගේ සිහියට ආවේ එයාලා මඩමෙතොටදී…….. (foto- කසුන් ප්‍රියලාල්)
ඩිල්හාන්ලාට එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැත. 

“මචං, Very first thing…. ඉන්ස්ට්‍රුක්ෂන්ස් ටික කියවලා ඉඳිමු!” නූඩ්ල්ස් පැකට් එළියට අදිද්දීම කියවෙනවා මගේ කණට වැටිණි. 
එක විඩේම මගේ මතකයට ආවේ එයාලා මඩමේතොටදී අපටත් එක්කම තේ හදන්නට ගිහින් කළ මාර යුද්ධයයි. 
ඊට දෙවෙනි නොවෙන වැඩක් වෙන්නට යනවාවත්ද……….

“Boil the water …. රයිට්, මචං උඹ වතුර ළිපේ තියපන්… then…හරි මචං…. අපි නූඩ්ල්ස්වලට දාන්න ගෙනාව චීස් එක කපන්න ඕනේ….. තව …..” 

පැකට්ටුවේ මුද්‍රිත උපදෙස්වලට අනුව කරන්නට තිබුණු වැඩ ටික එක-එක්කෙනාට පැවරුණේය.  
“නිමල් අයියේ, ඔයාලා උයාගෙන ඉවර නිසා මේ ලොකු සාස්පාන් දෙක අපි use කරලා හෝදලා දෙන්නද?”
“ගන්න ඩිල්හාන්, තව මොනවා හරි ඕනේ නම් කියන්න…”
“Thanks නිමල් අයියේ….”
එයාලා ළිපේ තිබ්බේ ලොකුම සාස්පානයි. 
ඒකට පුරවා තිබුණු වතුර හොඳටම වැඩිය.

“දරුවෝ, නූඩ්ල්ස් පැකට් හතකට විතර නං වතුර ගොඩාක් වැඩියිනේ.” මට කියවුණේ අනුකම්පාවෙනි. එහෙම කිව්වෙත්, මං ඉගෙනගෙන තියෙන ‘සහයෝගිතා අභ්‍යාසයේ’ නීතිවලට පිටින් යමිනි. 
අභ්‍යාසය ඔබටත් ඉදිරිපත් කරන බව මා කිව්වේ ‘යාල රිලවුන් පැන්නූ පූරි -4’ පෝස්ටුවේදීය. නොදුරු – ඉදිරි පෝස්ටුවකදීම ඒ රාජකාරිය කරන්නට ඕනෑය. 
පළපුරුදු කිචන් හෙල්පර් කෙනෙකු වගේ එයා කිව්වේ මට කියපු විදිහට…..

“මට කිව්වේ වතුර උතුරවලා දෙන්නනේ, තරමක් කිව්වේ නැහැනේ අයියේ. වැඩියි නං හදනකොට අහකට හලයිනෙ.”

ඊට පස්සේ මම කට පියාගෙනම හිටියෙමි. 

වතුර නැටුවේය. නූඩ්ල්ස් ටික ඒකට දමලා තැම්බුණාටත් පස්සෙය, වැඩි වතුර පෙරන්නට ලැහැස්ති වුණේ. වළං අල්ලන්නට රෙදි කෑලි, පෙරන්නට කිරි ගොට්ටක් වගේ සේරම මගෙන් ඉල්ලා ගන්නට ආවේ. අන්තිමට වතුර පෙරද්දී නූඩ්ල්ස් ටික පදමට බෙරි වෙලාය.
උපදෙස් විදිහටම, ඒකට චීස් ටිකත්, රසකාරක වගේ තව මොන-මොනවදෝත් දමලා කවලම් කෙරිණි.
සිදු වෙන සන්තෑසිය දන්නා හින්දා, කෑම කන්නට කලින්ම මම ඩිල්හාන්ලාටත් ආරාධනය කළෙමි. “ඩිල්හාන්, බතුත් තියෙනවා…. නූඩ්ල්ස් එක්කම කන්න, මදි වෙයි කියලා බය වෙන්න එපා. මං වැඩියෙන් උයලා තියෙන්නේ.” 
පහුවදා උදේ නූඩ්ල්ස් ටික ගඟට දැම්මාම මාළු රොත්තක්ම අමාරුවේ වැටුණේය………
“තෑන්ක්ස් අයියා. එහෙනම් ඔයාලත් නූඩ්ල්ස් share කරගන්න.” 

එක්කෙනෙක් නූඩ්ල්ස් සාස්පානත් අපේ කෑම ළඟින්ම ගෙනවුත් තිබ්බේය. මොන ෂෙයාර් කිරීමක්ද? එහෙම කරන්නට නම් නූඩ්ල්ස් කුට්ටිය කෑලි කපන්නට වෙයි. 
දන්නවනේ…. රස්නෙට චීස් උණු වෙයි – නිවෙද්දී ඝන වෙයි! 
ඒ මදිවාට බෙරි වුණු නූඩ්ල්ස් නිවෙද්දී….
පහුවදා උදේ නූඩ්ල්ස් කුට්ටි පිටින් ගඟට දැම්මාම මාලුන්ටත් සෑහෙන සටනක් දෙන්නට වුණේය. පව්! කොච්චර කෙටුවත් ‘කටක්’ කඩා ගන්නට නම් බැරිය. 

පෙඟෙනවිට නම් ඒවා ලෙහෙන්නට ඇත!
මෙහෙම දේවල් කියන්නේ අතොරක් නැතිව ගමන්-බිමන් ගිහින් තියෙන අත්දැකීම් හින්දාය. කාන්තාවන් සමඟ ගිය සමහර ගමන්වලදී පවා ‘වළං අල්ලන රෙදි කෑලි’ අරන් ගිහින් නොතිබුණු අවස්ථා තිබිණි. තේ හදන්නට හැන්දක් නැතිව ගිය හැටි මතකයි නේද? හුඟක් අය අවශ්‍ය කරන දේවල් හොයන්නේ අන්තිම මොහොතේය. කල් ඇතිව ඒවා ළඟට කරගෙන හිඳින්නේ නැත.
  
පාද යාත්‍රාවේ යනවා නම් ඉතාම කුඩා දේවල් ගැන පවා අවධානය යොමු කරන්න. මේ ගමන දවසක- දෙකක එකක් නොවේ. දින තුනක්-හතරක් අල්ලන එකකි.

ඉටි රෙද්ද එලන පමාවෙන්ම අන්දරේ මළා වගේ, ඒකේ ‘දපන’ නෙවිල්  කෙඳිරි ගායි….
ඒ දවස් හතරේදීම අපේ සුනිල්ට විශේෂ රාජකාරියක් තිබිණි. ඒක පස්සේ ලෙඩක් වුණා වගේත්ය. 
“අම්මෝ සුනිල් අයියේ…. හෙණ අමාරුයි” කියාගෙනය පළමුවෙනි දවසේ මඩමේතොටට ගිය ගමන්ම නෙවිලා දැපුවේ. 

ඉටි රෙද්ද එලන පමාවෙන්ම ‘අන්දරේ මළා වගේ’ අතපය හතරම දිග ඇරගෙන දපා තියාගත් නෙවිල්ව දැකලා අපේ නාම්බාගේ පපුව කඩා වැටුණේය.
“මගේ ළඟ හොඳ බාම් එකක් තියෙනවා. ටිකක් ගාලා එළ මසාජ් එකක් දෙන්නං!”
දුන්නා තමයි, 
ඊට පස්සේ කොතැන නැවතුණත් අපේ ගොනාට තුන්-හතර දෙනෙකුවත් මසාජ් කරන්නට සිද්ධ වුණේය. 
ඒකෙ කූඨප්‍රාප්තිය සිදුවුණේ වරහනදීය. පුදුමෙකුත් නැත. දවස් හතරක්ම ඇවිදින් කාට-කාටත් අමාරුය. ඇඟපතේ නොරිදෙන තැනක් නැති තරම්ය.
“සුනිල් අයියේ…. අද නං මසාජ් clinic එක වැඩි වෙලාවක් කරන්න වෙයි. මටත් හොඳ මාසාජ් පාරක් ඕනේ. 
තනියම ඔයාට විතරක් බැරි හින්දා මාත් උදව් වෙන්නං. දෙන්නාම කරමු. නිමල් අයියේ…. බැරිද අපට උණුවතුර ටිකක් ගන්න?” අයස්මන්ත මහත්තයා ඇහුවේය.

නිකම් හම්බවෙන අශ්වයාගේ දත් බලන්නට යන්නේ කවුද?
හිස්ව තිබුණේ එක සාස්පානක් විතරය. ඒකත් ඒ වෙලාවේ තිබුණේ තැම්බූ නූඩ්ල්ස්වලින් පෙරූ වතුර එක්කය. 

“සොරි මහත්තයෝ. මේ සාස්පානේ දැන්ම වතුර රත් කරන්න බැහැ. නූඩ්ල්ස්වලින් පෙරාපු වතුර තවම උණුයි. ඒවා විසි කළොත් සත්තු තොගයක් පිච්චිලා මැරෙයිනෙ.”

“ආාාාාාාා ඒවා නියමයිනේ. ඉක්මනට නිවෙන්නෙත් නැහැනේ… නෙවිලා මොකද කියන්නේ? ඒ වතුරෙන්….”
නිකං හම්බවෙන අශ්වයාගේ දත් බලන්නට යන්නේ මොකාද? නෙවිල් නොහිතාම ‘හා’ කිව්වේය. ‘කමක් නැහැ මචං, ඉවර වෙලා ගඟේ වතුරට බැස්සාම හරිනේ.’ මර්විනුත් කිව්වේය. ‘අයියටත් එන්නේ මාර අයිඩියාස්නේ’ නිශාන්ත නම් එහෙම කියන්නට ඇත්තේ වතුර උණු කිරීමේ රාජකාරිය ඇඟට එතියි කියලා හිතුණු නිසා වෙන්නට ඇත. ‘ඌරු වැඩ’ මට කියවුණේ එහෙමය.
නමුත් මසාජ් කෙරුවාව අල්ලලා ගියේය. කොච්චරද කියනවා නම්, සාස්පාන ගිනිගොඩ ළඟින් තියෙන්නට ඇරියාත් එක්කය. “දැන් ටෙම්පරෙචර් එක ගානට තියෙනවා. මාර ආතල් එක.” 
“අයියේ එනවා. ඔයාටත් සනීපයක් දැනෙයි මසාජ් පාරක් දාගත්තම… වැඩියෙන්ම අමාරු ඔයාටනෙ.” අපේ සුනිල් කියන පරක්කුවෙන්ම මාත් ඉස්සරහට යැවිණි. අනෙක් හැමෝම වර්ණනා කළ නිසා මාත් හිටියේ එහෙම ආරාධනාවක් ලැබෙන තුරුමය. ‘ඌරු වැඩේ’ වුණාට ඒක නං ‘ආතල්ම’ තමාය!
  
ඒ ආතල් එකේම ඊළඟ පෝස්ටුවට යමු, නේද? 

%d bloggers like this: