Menu Close

වධකාගාර නොහොත් මස් කඩ

රණසිංහ ප්‍රේමදාස පියාණෝගේ යුගයෙන්…..5
වධකාගාර නොහොත් මස් කඩ

ධවල භීෂණයේ අවසාන කාලයේ එනම් 1989/90 දී කොළඹ අවට වධකාගාර නොහොත් මස් කඩ කිහිපයක්ම තිබිණි. පරණ තුරඟ තරඟ පිටිය, මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩා මණ්ඩපය, ජයවර්ධනපුර සරසවි නේවාසිකාගාරය, විලියම් ප්‍රේදිරිස් ක්‍රීඩාංගණය, කැලණිය බටලන්ද, කැලණි සරසවියේ කොටසක් ඒ අතර විය. ඉන් ප්‍රමුඛත්වයක් ගත් කොළඹ සරසවියේ නීති පීඨ රැඳවුම් කඳවුරේ නිල නොවන පරිපාලකයා වූයේද ස්වාධීන ශිෂ්‍ය සංගමයයි. එම සංගමයේ සාමාජිකයෝ බොහෝ අවස්ථාවන්හි සැගවී සිටි බංකර පිහිටා තිබුණේ කොළඹ කොටුවේ රීගල් සිනමා ශාලාව අසල ගුණසේන මහානාමගේ ලිපිකරු සේවා සංගම් ගොඩනැගිල්ල, නොරිස් කැනල් පාරේ සහ කාසල් වීදියේ නිවස, කොම්පඤ්ඤවීදියේ කොවිල අසළ සහ  කොටුවේ තරුණ මධ්‍යස්ථානයයි. චම්පික රණවක සහ නිහාල් රංජිත් පැහැරගත්තේද කාසල් වීදියේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු වූ කුසුම් දිසානායකගේ නිවස අසලදීය.

කොළඹ සරසවියේ වාණිජ පීඨයේ උපුල් සද්ධාසේන, ශ්‍රස්ත්‍ර පීඨයේ රොඩිගූ, අනිල් හෙට්ටිආරච්චි, නාවල චන්ද්‍රකිරිති හිමි, වාණිජ පීඨයේ දයාරත්න, පමණක් නොව මිනුවන්ගොඩදී සිය නිවසින් පැහැරගත් විද්‍යාපීඨයේ හේමන්ත චන්ද්‍රසිරිගේ හිස වෙන්කර මරණය සිදුවූයේද  නීතිපීඨ කඳවුර තුළ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ මැදිහත් වීමෙනි. අන්තරේ කැඳවුම්කරු වශයෙන්1985 දෙසැම්බර් සිට 1986 සැප්තැම්බර් දක්වා කටයුතු කල කොළඹ නීති පීඨයේ සරත් එදිරිසිංහ 1989දී ගංගාරාමය ඉදිරිපිටදී පැහැර ගෙන අත්පා කඩා මරා දැම්මේද ඔහු ඉගෙන ගත් නීති පීඨය තුළදීමය. වධකාගාරය තුළ ස්වාධීන සිසුන් සිය ආධිපත්‍යය පතුරා ගෙන තිබිණි. නන්දා මාලනීගේ කැසට්පටියක හඬ නිරතුරුව වාදනය විය.

කෑගල්ලේ උපන් සරත්  එදිරිසූරිය බ්ලොම් නේවාසිකාගාරයේ නැවතී සිටි අතර ඔහුගේ කුඩා කාලයේදීම මව මිය යෑමෙන් අනතුරුව පියා ඔවුන් හැරගොස් තිබිණි. සරසවි නීති පීඨයට ඇතුලත් වන විට ඔහු ජවිපෙ ක්‍රියාකාරිකයෙකු විය. ඒ ඔහු හදා වඩා ගත් පවුලේ අය පක්ෂයේ අය වූ හෙයිනි. සරත් ඝාතනය කල අවස්ථාවේදී ඔහු කියා සිටියේ දයා පතිරණගේ ඝාතනයට ඔහු නායකත්වය දුන් බවකි.

කොලඹ නීති පීඨයේ වධකාගාර කඳවුරට ගෙන ආ අය අතර ඉහළම ජවිපෙ නායකයන් වූයේ තෙවැනියා වූ ඩී. එම්. ආනන්ද සහ මුදල් ලේකම් වූ ගුණරත්න වනසිංහය. ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙකු වූ සමරප්පුලිගේ සෝමසිරි නොහොත් රාගම සෝමේද ඇසක් අහිමිව එහි කලක් සිටියේය. එම ස්ථානයේ එක් අවස්ථාවකදී සිටි රැදවුම්කරුවන් සංඛ්‍යාව 850ක් පමණ විය. රැදවුම්කරුවන් කිහිපදෙනෙකු එකම දන්වැලක යොදා දෑස් බැද වධ දෙන ලදී. දෑස් විවර කළේ දිනකට එක්වරක් පමණක් සිදු කල වැසිකිළි යාමේදීය. එක දම්වැලක චම්පික රණවක, නිහාල් රංජිත්, පිටිපන ගුණසිරි හිමි, අට හැවිරිදි ලේනා නමින් හැදින්වූ සාමණේර හිමිනමක් ඇතුළු අට දෙනෙකු විය. මාස දෙකහමාරකට පසුව දෙහිවල විලියම් මිල්ස් අසලදී දමා ගොස් තිබිණි. ලංගම සේවයෙන් විශ්‍රාම ගිය යකා අන්කල් වධකයින්ගේ ආවතේව කරුවෙක් බවට පත්වී තිබිණි.

ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක කේ. එල්. ධර්මසිරි 1989දී ඔක්තෝබර් 20 වැනිදා කොළඹ වයි. එම්.සී. ඒ ගොඩනැගිල්ලට ගොස් යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී කොටහේන කොච්චිකඩේදී ජවිපෙ විසින් ඝාතනය කරන ලදී. එම අවස්ථාවේදී යතුරු පැදිය පැදවූයේ පරාක්‍රම විසිනි. ඔහු නොනවත්වා නොරිස් කැනල් දක්වා යතුරු පැදිය ගෙන ඒමට සමත් විය. එමෙන්ම ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයින් වූ නිහාල් හපුආරච්චි මෝදර පන්සලක ටියුෂන් පන්ති පවත්වමින් සිටියදී 1989 සැප්තැම්බර් 15වැනිදා ඝාතනයට ලක්විය. ස්වාධීන ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු ආරූඪ නමක් වූ ජයකාන්ති විජේවික්‍රම නමින් 1989 දෙසැම්බර් 28වැනිදා නිවේදනයක් නිකුත් කරමින් 1989 දෙසැම්බර් 15 එය විසුරුවා හැරි බව ප්‍රකාශ කළේය. ඒ වන විට දයා පතිරණ ඝාතනයට ලක්වී වසර දෙකක් මෙන්ම ධර්මසිරි ඝාතනය වී මාස දෙකක් ගතවී තිබිණි.



අසූව දශකයේ මුල් භාගයේ සහ මැද භාගයේ ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය තුළ සුවිශේෂිත කාර්යභාරයක් සිදු කල ස්වාධීන ශිෂ්‍ය සංගමය අසූව දශකය අවසානයේදී(1988/89) මෙම සියවසේ ආසියාවේ සරසවියක ක්‍රියාත්මක වූ ම්ලේච්ඡ සහ කෘරතම ශිෂ්‍ය සංවිධානය බවට පත්වූ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ උපත සහ විපත සිදුවූයේ එසේය.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙනි)

%d bloggers like this: