Menu Close

නීත්‍යානුකූල පිටස්තරයා – රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ 2019 සාහිත්‍ය පරිවර්තන තරඟයේ දෙවෙනි ස්ථානය


ලංකාවේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් පසුගියදාක තිබුණු ජාත්‍යන්තර භාෂා පරිවර්තන දිනය වෙනුවෙන් පරිවර්තන තරඟයක් සංවිධානය කරනු ලැබුවා . ඒ තරඟයේ ඉංග්‍රීසි-සිංහල භාෂා ප්‍රවර්ගය යටතේ තරඟයට ඉදිරිපත් වීමට නම් පරිවර්තනය සඳහා කෙටිකතා තුනක් අතරින් එකක් තෝරාගැනීමට නියමිතව තිබුණා. ඒ තරඟයට ඉදිරිපත් වී මා කළ පරිවර්තනයට තරඟයේ දෙවෙනි තැන ලැබුණා. ඒ දිනුමට අදාළ මගේ පරිවර්තනයත්, මුල් කෙටිකතාවත් පහතින් –


Literary Translation Competition – 2019- (English- Sinhala Category) Second Place
Translation of the short story Legal Alien by Rutangye Crystal Butungi

නීත්‍යානුකූල පිටස්තරයා

ඒ පිළිගැනීමේ නිලධාරිනිය මගෙන් වෛද්‍ය උපදේශන ගාස්තුවක් අය නොකරන්නේ මම ඇගේ පෙළපතේ කෙනෙක් නිසා බව මට අදහාගන්නත් බැරිවුණා. ඒ වගේ වංචනික වැඩ කළේ දේශපාලනඥයෝ සහ ලොකු ව්‍යාපාරිකයෝ කියලයි මම හිතාගෙන හිටියේ. ඒත් මේ වගේ පුංචි නගරයක තියෙන වෛද්‍ය සායනයක පිළිගැනීමේ නිලධාරිනියක් කරන වංචාවක් නිසා මට වාසියක් වෙමින් තිබුණා. මේක හොඳ වැඩක් ද නරක වැඩක්ද කියලා මට නොතේරුණත් ඒ ගැන වද නොවෙන්න මම හිතා ගත්තා. ඒ වෙද්දී මම එක එක කාර්යාල වලට දුවමින්, ලියකියවිලි සහතික කරගනිමින් දවසම ගත කරලා තිබුණා. දැන් මට ඕන වෙලා තිබුණේ දොස්තරවරයෙක් ලවා මගේ වෛද්‍ය පරීක්ෂාව කරගෙන, ඒ වාර්තාව සහතික කරලා මුද්‍රා තියාගන්න. ඒත් මෙතැන වෛද්‍ය පරීක්ෂණයේ ගාස්තුවට අමතරව ලොකු උපදේශන ගාස්තුවකුත් අය කරන බව තේරුණාම නම් මම ලැස්ති වුණේ මෙතැනින් පිට වෙලා යන්න. ඒත් පෝරමයේ තිබුණු මගේ නම දැකලා පිළිගැනීමේ නිලධාරිනිය “ඒ කියන්නේ ඔයා අපේ ගමේ නේ! ඇයි ඔයාගේ වාසගම මට මුලින් නොකිව්වේ, කිව්වා නම් මම විශේෂයක් කරනවානේ” කියලා අපේ භාෂාවෙන් මා එක්ක කතාකරන්න පටන් ගත්තා.

“ඔයාගේ ගම කොහේද කියලා මට කිව්වා නම් මම ඔය ලොකු උපදේශන ගාස්තුව ගෙවන්න කියලා කියන්නේ නැහැ. කොහොමත් මට අදට ඇති තරමට ලැබිලා තියෙන්නේ, ඒ නිසා ඒ ගාන ගෙවන්න කරදර වෙන්න ඕන නැහැ. ඊළඟ ලෙඩා එළියට ආවාම ඔයාගේ පරීක්ෂණයට ඇතුළට යන්න පුළුවන්.” වාසනාවකට වගේ ඈ මේ අන්තිම වාක්‍ය ටික කීවේ ඉංග්‍රීසියෙන්. ඊටපස්සේ ආයෙත් අපේ භාෂාවෙන් දොඩවාගෙන යන්න පටන් ගත්තා. ඈ කීව එක වචනයක් වත් මට නොතේරුණු බව ඈට කියන්න මට හයියක් තිබුණේ නැහැ. ඒ, මට මගේ මව් භාෂාවෙන් කතාකරන්න බැරි බව ගැන හේතු දක්වන්න සුදුසු දවසක් නෙමෙයි.

මගේ මව් භාෂාවේ අඩුපාඩුව මට මුලින්ම තේරුණේ 93 දී මම පුංචි කෙල්ලෙක් ව හිටිය කාලේදී බව මම ඈට එළිදරව් කරන්න යන්නේ නැහැ. එදා තාත්තා මාව පන්ති කාමරය ළඟට එක්කගෙන ගිහින් මාව එතැන තියලා ගියා. ඊටපස්සේ මම අඬන එක නතර කළේ ගුරුවරයා මාව පන්තිය ඇතුළට එක්කගෙන ගියාම. ඒ පන්ති කාමරය බොහොම ලොකු එකක්! එතැන බංකු පහළොවක විතර, එක බංකුවක ළමයි හත් දෙනා බැගින් ළමයි සීයකට වැඩිය වාඩිවෙලා හිටියා. කිලුටු බිත්තිවල ගාලා තිබුණු නිල් පාට තීන්ත දඟ ළමයි තැනින් තැන පලුදු කරලා තිබුණා. ඒ පන්තියේ අල්මාරි, ගුරු මේස, බුමුතුරුණු, නිදාගන්න වෙන් කළ තැන්, පිඟන් ගඩොල් වගේ කිසි දෙයක් තිබුණේ නැහැ. ළමයි රංචුවක්, බංකු කීපයක්, සිමෙන්ති පොළොවක්, පන්තිය ඉස්සරහ හිටවලා තිබුණු පරණ කළු ලෑල්ලක් වගේ දේවල් විතරයි තිබුණේ. ඒ හැම දෙයකම මහා පරණ පාටක් තිබුණා. කාමරය හැඩ කරන්න අදහස් අරගෙන තිබුණේ ‘ඇඩම්ස් ෆැමිලි’ කියන රූපවාහිනී වැඩසටහනේ කතාවකින්ද කියලා හිතන්න තරම් කාරණා තිබුණා. පන්තියේ පිටිපස්සේ කොටසේ බිම හැමතැනම ළමයින්ගේ මලු විසිරිලා තිබුණේ ඒ හැම එකක් ම එල්ලලා තියන්න ඇතිවෙන්න කොකු නොතිබුණු නිසා. මුහන්ගසිමා මහතා කියලා තාත්තා කතා කළ කෙනා පන්තියේ ගුරුවරයා වෙන්න ඕන කියලා හිතලා මම එයාගේ දිහා බලලා “ශීතකරණය කෝ?” කියලා ඇහුවා.

මුලින්ම ඇහුණේ පන්තියේ ළමයි පුදුමයෙන් හුස්ම ඉහළට අදින හඬ, ඊළඟට ඇහුණේ හැමෝම හිනාවෙන හඬ. මම ආයෙත් අඬන්න පටන් ගත්තා. මුහන්ගසිමා මහතා මගේ ළඟට පහත් වෙලා “මේක පන්ති කාමරයක්. අපි පන්ති කාමර වල ශීතකරණ තියාගන්නේ නැහැ. කැන්ටිමේ ඇර මේ මුළු ඉස්කෝලෙටම ශීතකරණයක් නැහැ. ආ නැහැ… කුස්සියේ අලුත් එකක් තියෙනවා-” කියලා හෙමින් කිව්වා.

“එතකොට මම විවේක වෙලාවට කන්න ගෙනාව කෑම ටික කොහෙද තියන්නේ?”

“ඒවා ඔයාගේ මල්ලේ තියෙන්න අරින්න, මල්ල පන්තිය පිටිපස්සෙන් තියන්න”

එයා පන්තියේ පිටිපස්සට මාව එක්කගෙන ගිහින් එතැන හයිය කොක්කක එල්ලලා තිබුණු මල්ලක් කලබලයෙන් බිමට අතඇරලා මගේ මල්ල එතැන එල්ලුවා.

මට මේ අලුත් වටපිටාව තේරුම් ගන්න අමාරු වුණා. ඕස්ට්‍රේලියාවේ නම් ළමයි තිස් දෙකක් හිටිය මගේ දෙක වසර පන්තිය තමයි ඉස්කෝලේ තිබුණු ලොකුම පන්තිය. එහේ හැම පන්තියකම විවේකය කාලෙ එනකම් ළමයින්ගේ කෑම තියන්න ශීතකරණයක් වගේම ඕන නම් කෑම ආයෙත් රත් කරගන්න මයික්‍රෝවේව් උදුනකුත් තිබුණා. මගේ ඕස්ට්‍රේලියාවේ පන්තියේ කතන්දර වේලාවට අපට වාඩිවෙන්න බුමුතුරුණු තිබුණා, ගණිත ගැටලු විසඳන්න රතු, නිල් ඝනක තිබුණා. චිත්‍ර අඳින්න, අලුත් දේවල් ගැන හිතන්න, හවසට නිදා ගන්න එහෙම වෙන වෙනම වෙන් කළ තැන් ඒ පන්තියේ තිබුණා. මෙහේ වගේ නෙමෙයි, එහෙදි නම් අපිට කැමති ඇඳුමක් අඳින්න නිදහස තිබුණා. ඒත් මේ ඉස්කෝලේ නම් මට දණහිස ට ම දිග සුදු මේස් දාන්නත්, අම්මාට මල්ලි හම්බවෙන්න ඉන්දැද්දී ඇන්දා වගේ කොළ-සුදු කොටු ගවුමක් අඳින්නත් සිද්ධ වුණා. එකම වෙනස මේ ගවුමේ ඉනට පටියක් තියෙන එක. ඒක මහා අමුතු නිල ඇඳුමක්!

මුහන්ගසිමා මහතා පන්තියේ පිටිපස්ස හරියේ තිබුණු බංකුවකට මාව එක්කගෙන ගියා. එතැන ළමයි පස් දෙනෙක් වාඩිවෙලා හිටියා.

හීනි තොල් තියෙන ගැහැණු ළමයෙක් ළඟින් මට වාඩි වෙන්න පෙන්නලා “ඩේසි හොඳ ළමයෙක්, එයා ඔයා එක්ක යාළු වෙයි” කියලා එයා හෙමින් හිනා වෙවී යන්න ගියේ ලොකු හිනාවක් අමාරුවෙන් නවත්ත ගත්ත විදිහට. මම එතැනින් වාඩිවෙලා ‘හෙලෝ’ කීව ගමන්ම ඩේසි මගෙන් ඈත් වුණු විදිහට බංකුවේ හිටිය අනිත් ළමයි තල්ලු වෙලා බිම වැටෙන්නත් ගියා. එයා පොතටම ඔළුව ඔබාගෙන මුහන්ගසිමා මහතත්යා කලු ලෑල්ලේ සටහන් කරලා තිබුණු ගණිත ගැටලු විසඳමින් හිටියා. ඝනක පාවිච්චි නොකර මට ඊට කලින් කිසි දවසක දොළහට පහලවක් එකතු කරන්න සිද්ධ වෙලා තිබුණේ නැති නිසා මට කිසිම දෙයක් තේරුණේ නැහැ. ආයෙත් වතාවක් පන්තියේ ළමයි මට හිනාවෙයි කියලා බය හිතුණු නිසා මම ඒවා ඉල්ලුවේ නැහැ. පාඩම පැහැදිලි කරන්න කියලා මම ඩේසිගෙන් ඉල්ලන්න උත්සාහ කළ හැම සැරයකම එයා මගෙන් ටික ටික ඈත් වුණා. එයා මාව ප්‍රතික්ෂේප කරන බවත් එතැන මට බිඳින්න බැරි බාධකයක් තිබුණු බවත් මට තේරුණා.

බාධක. මගේ අවධානය ආයෙත් වතාවක් පිළිගැනීමේ නිලධාරිනියගේ නොනවතින දෙඩවිල්ලට යොමු වුණා. ඈ කීවේ සායනයේ අමුත්තන්ට වෙන් කළ කොටසේ ඇගේ ඉස්සරහින් වාඩිවෙන්න කියලා බව මට යන්තම් තේරුණා. මේ වෙද්දී 2011 අවුරුද්දත් ලබලා තිබුණත් තවමත් මට බිඳින්න බැරි මේ වගේ බාධක තියෙන බව මට තේරුම් ගියා. ඈ මට කියනවා ඇත්තේ මොනවා වෙන්න ඇති ද? මේ වෙද්දී අවුරුදු දහඅටක් ගත වෙලා තිබුණත් මම තවම පන්තියේ අනිත් ළමයි හෙමින් සැරේ මඟඇරලා ගිය ඒ කෙල්ලම බව මට හිතුණා. මේ බාධකය නිසා මට නිතරම පිටස්තර සමාජ කණ්ඩායම් එක්ක එකතුවෙන්න අමාරුවක් දැනුණා. එක්කෝ මම අනිත් මිනිස්සුන්ගේ ජීවිතවලට ලං වෙන්න උත්සාහ කරද්දී, මං කියන දේ නොතේරෙන නිසා ඒ අය මාව මඟඇරලා යනවා. නැත්නම් මට ඒ අය කියන දේ නොතේරෙන බව කියන්න ලැජ්ජාවෙන් මම ම ඒ අයව මඟඇරලා යනවා. මේ මොහොතේදී මේ පිළිගැනීමේ නිලධාරිනියගෙන් මිදිලා ගිහින් හැංගෙන්න ඇත්නම් කියලා මට හිතුණා. මට අපේ භාෂාවෙන් ව කතාකරන්න බැරි බව ඈ දැනගත්තොත් මොනවා වෙයිද? ඈ තවදුරටත් මාව ඇගේ ගමේ කෙනෙක් විදිහට දකී ද, නැත්නම් මම ඇගෙන් ප්‍රයෝජන ගත්ත බව හිතලා උපදේශන ගාස්තුව නොගෙවා ඉන්න මට දුන්නු අවස්ථාව නැති කරයි ද? මේ වෙද්දී මම වයස නිසා ඇතිවෙන බාධක, අධ්‍යාපන මට්ටම නිසා ඇතිවෙන බාධක, ගැහැණු බව නිසා ඇතිවෙන බාධක වගේ හැම දෙයකටම මුහුණ දීලා තිබුණත් මේ භාෂාවේ බාධකය තරම් ඒ කිසිම එකක් මං පිටස්තරයෙක් බව මට ඒත්තු ගන්වලා තිබුණේ නැහැ. ගෑනියෙක් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන එක ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් උනත්, කෙනෙකුට තමන්ගේම භාෂාව ඉගෙනගන්න බැරි වුණු එක තේරුම් ගන්න පුළුවන් බොහොම කීප දෙනෙකුටයි. වාසනාවකට ඒවෙලාවේ එතැනට තවත් ලෙඩ්ඩු කීප දෙනෙක් ආවා! පිළිගැනීමේ නිලධාරිනියගේ අවධානය යොමු වෙලා තිබුණේ ඒ අයට එතැන අයකරන ලොකු උපදේශන ගාස්තුව ගැන විස්තර කරන්නයි. එක ලෙඩෙකුට තිබුණේ කෙන්යානු උච්චාරණයක්. මේ හින්දා එයාට උගන්ඩාවේ භාෂා එකක්වත් කතා කරන්න බැරි ඇයි කියලා අනෙත් අයට ඉබේම තේරෙන එක එයාගේ වාසනාවක් කියලා මට හිතුණා. ඊළඟ වතාවේදී මාත් කොහේ හරි ගියාම පිටරටක විදියට කතා කළොත් හැම කෙනෙක්ම මා එක්ක ඉබේම ඉංග්‍රීසියෙන් කතා කරයි. ආහ්! මේ හැම දෙයක්ම නිසා මම ඉස්කෝලේ ගිය මුල් දවස ගැන මට ආයෙත් ආයෙත් මතක් වෙනවා.

පන්තියේ ඩේසි එක්ක සිද්ධ වුණු ජවනිකාවෙන් පස්සේ සමාජ විද්‍යාව පාඩමට වෙලාව ආවා. ඒ ගුරුවරිය කෙට්ටු, උස කෙනෙක්. එයා පන්තිය ඉස්සරහට ඇවිත් “සුබ උදෑසනක් P.3 K” කිව්වේ කෙඳිරිලි සද්දෙකින්.

“සුබ උදෑසනක් නකාන්වගි මෙනවිය!” ළමයි හැමදෙනාම පුටු වලින් නැගිටලා එයාට ආචාර කළා.

“හොඳයි, වාඩිවෙන්න. කෝ අලුත් ගෑනු ළමයා?”

හැමදෙනාම පිටිපස්ස හැරිලා මගේ දිහා බලන්න පටන් ගත්තා.

“ආ, තාම ඔයාගේ කොණ්ඩේ කැපුවේ නැතිද? විදුහල්පතිතුමා ඔයාට කොණ්ඩය දිගට තියාගන්න අවසර දුන්නාද?

අනිත් කෙල්ලන් කාටවත් කොණ්ඩේ නොතිබුණු බව ඒ වෙද්දී මට පෙනිලා තිබුණේ නැහැ. මට ඒ ගැන හිතන්නවත් ඉඩ නොතියා ගුරුතුමිය පන්තියේ ඉස්සරහ පේළියක වාඩිවෙලා උන්නු පිරිමි ළමයෙක් පිටිපස්සට යවලා මට එයාගේ පුටුවේ ඉඳගන්න කිව්වා. ඒ විදිහට පන්තියේ ඉස්සරහ පුටුවක ඉන්දැද්දී අනිත් ළමයින්ගේ බැල්ම මගේ පිට පසාරු කරගෙන යනවා වගේ මට දැනුණා. පාඩමෙන් භාගයක් ගෙවෙද්දී ඇහුව කිසිම ප්‍රශ්නයකට මට උත්තර දීගන්න බැරිවුණු එක ගැන මට මහා මෝඩ බවක් දැනෙන්න පටන්ගෙන තිබුණා. ලෝකයේ මුලින්ම පහල වුණු මිනිස්සු දෙන්නා, මුන්ටු සහ සේරා ගැනයි ගුරුතුමිය ප්‍රශ්න අහමින් හිටියේ. ඊටපස්සේ ඈ ගිපිර්, ලාබෝන්ග් ගැන මොකක්දෝ කතන්දරයක් කියන්න ගත්තා. ඊළඟට ලෝකයේ හැඩය ගැන ඇහුවා. ඇති යන්තම්! ඒකට උත්තරේ නම් හරියටම දැනගෙන හිටිය නිසා මම ඉක්මනටම අත ඉස්සුවා.

“ඔව් අලුත් ගෑනු ළමයා, නැගිටලා අපිට උත්තරය කියන්න”

“ඒක රවුම්” මම සතුටින් කෑ ගැහුවා.

ඒක අහලා මුළු පන්තියම මහා හයියෙන් හිනාවුණා

“ආයෙත් කියන්න!”

මගේ අලුත් යාළුවොත් මගේ උච්චාරණය අනුකරණය කර කර ඔච්චම් කරනකම්ම මගේ උත්තරය ආයෙත් ආයෙත් කියන්න කියලා ගුරුවරිය මට කීවා. මම වාඩිවුණේ ඔළුව අවුල් වෙලා. හැම කෙනෙක්ම මට හිනාවෙමින් හිටියා.

විවේක කාලය ආවාම මට ලොකු සහනයක් දැනුණා. ආයෙත් කිසිම පාඩමකට නොයන්න කොහේ හරි හැංගිලා ඉන්න ඇත්නම් කියලා මට හිතුණා! කෑම කන්න යන්න කලින් ගුරුවරුන්ට ඒ අය ඉගැන්නුව පාඩම් වලට ස්තූති කරන්න මම ගියා. ඒගොල්ලෝ පන්තිකාමරයේ බරාඳයේ ඒ අයගේ මේසේ වටේට වාඩිවෙලා හිටියා. මම ස්තූති කළ එකෙන් ඒගොල්ලෝ අතරේ එක්තරා විදිහක විවාදයක් ඇතිවුණා.

“ආ.. බලන්නකෝ පිටරට ඉඳන් ආවාට මේ කෙල්ලට හොඳ ගති සිරිත් තියෙනවා!” එක ගුරුවරයෙක් කීවා

“ඒ කියන්නේ ඔය පිටදේසක්කාරයන්ට හොඳ සිරිත් නැහැ කියන එක ද?” මුහන්ගසිමා මහත්තයා කතා කරද්දී නිතරම කරුණාවන්ත බවක්, දිරි ගන්වන ගතියක් පෙන්නුවා.

“එහෙම නෙමෙයි, ඒ අය ආපහු ආවහම මහා නැහැදිච්ච ආඩම්බර ගති පෙන්නන්නවානේ. ඒත් මේ කෙල්ල අපිට ඉගැන්නුව එකටත් ස්තූති කරනවා”

“ළමයා..හරි දැන් සීනුව ගහන්න කලින් ගිහින් විවේක කාලය ගන්න”

ආයෙත් ඇවිත් වැඩිවෙන්න තැනක් හොයද්දී තව ටික වෙලාවක් මුහන්ගසිමා මහත්තයා ළඟටම වෙලා හිටියා නම් වැඩිය හොඳයි කියලා මට හිතුණේ ළමයි ටික ඔක්කොම මාව මඟ හරිමින් හිටිය නිසා යි. ඒ ඉස්කෝලේ බොහොම ලොකු එකක්. ප්‍රධාන ගේට්ටුවෙන් විහිදුණු පාර අවසන් වුණේ වටරවුමකින්. පාරේ වම් පැත්තේ ප්‍රාථමික 1, ප්‍රාථමික 2 නමින් ප්‍රාථමික පන්ති තිබුණා. (මේවාට කීවේ P.1, P.2 කියලා.) ඉස්කෝලේ ඉතිරි කොටස තිබුණේ පාරෙන් දකුණු පැත්තේ. මේ පැත්තේ ඉස්කෝලේ කුස්සිය, කාර්යාලය, ප්‍රධාන ශාලාව, ගුරු කාමරය තිබුණා. හැම ශ්‍රේණියකම පන්ති පහක් තිබුණා. ඒවාට N, P, S, K සහ U අකුරු දීලා තිබුණේ නකසෙරෝ ප්‍රාථමික විද්‍යාලය, කම්පාලා, උගන්ඩාව කියන ඉංග්‍රීසි වචනවල මුල් අකුරු පාවිච්චි කරලා. එදා උදේ තාත්තායි මායි විදුහල්පතිවරයාගේ කාර්යාලයට වාර්තා කළ වෙලාවේ කහ, නිල්, රතු, කොළ සහ සුදු පාට අතරින් මම කැමතිම පාට මොකක්ද කියලා එයා ඇහුවා. මම “කොළ” කියලා කීවේ ඕස්ට්‍රේලියාවේ ඉස්කෝලෙදි මම කොළ පාට නිවාසයේ හිටිය නිසා. ඒ නිසා මාව P.3 K පන්තියට ඇතුළත් කළේ හැම K පන්තියක්ම එලාන්ඩ් නිවාසයේ කොළ පාට ගොඩනැගිල්ලේ තිබුණු නිසා යි. හැම ගොඩනැගිල්ලකම ශ්‍රේණි පහට අයිති පන්ති පහට නියමිත පන්ති කාමර තිබුණු නිසා කවුරු නමුත් මේ ඉස්කෝලේ හොඳට සැලසුම් කරලා කියලා මට හිතුණා. එක පන්තියක ළමයි සීයකට වැඩිය හිටිය නිසා ඊට ඉඩකඩ ඇතිව පන්ති කාමර බොහොම ලොකුවට හදලා තිබුණා. P.3, P.4 ගොඩනැගිලි අතර වැටකින් වෙන්කළ තණකොළ පිට්ටනියක් තිබුණා. මම මගේ P.3 ගොඩනැඟිල්ලේ ඉස්තෝප්පුවේ ගුරුවරුන්ගේ මේසයට කිට්ටුවෙන් පඩියක් උඩ වාඩිවෙලා අම්මා මගේ කෑම පෙට්ටියට දාලා තිබුණු පාන් සහ කේක් කන්න පටන් ගත්තා. එතකොටම ඩේසි තවත් පිරිමි ළමයෙක් එක්ක මගේ ළඟට ඇවිත්

“ළමයා ඔයා එඩී මර්ෆි එක්ක කතා කරලා තියෙනවාද?” කියලා ඇහුවා.

“කවුද එඩී මර්ෆි?” මම ඇහුවා.

“අර ‘කමින්ග් ටු ඇමෙරිකා’ චිත්‍රපටියේ රඟපෑවේ”

“මම එඩී මර්ෆි අඳුනන්නේ නැහැ. මම ආවේ ඕස්ට්‍රේලියාවේ ඉඳන්, ඇමෙරිකාවේ ඉඳන් නෙමෙයි”

“මේ කොල්ලා කියනවා ඔයාගේ තාත්තා කළු ඇමෙරිකානුවෙක් කියලා! තාත්තා ඔයාව එක්කගෙන එනවා එයා දැක්කා ලු, තාත්තා ඇමෙරිකන්කාරයෙක් වගේ කතා කරනවාත් ඇහුණා ලු.”

“නෑ මගේ තාත්තා උගන්ඩාවේ කෙනෙක්, ඒත් අපි කලින් හිටියේ ඕස්ට්‍රේලියාවේ.”

“දැක්කනේ.. මම කිව්වේ!” ඩේසි පිරිමි ළමයාට කියලා ඒ දෙන්නා රණ්ඩු වෙවී ම යන්න ගියා. ඊටපස්සේ විවේක කාලේ ඉවර වුණා.

ඉංග්‍රීසි ගුරුවරිය නම් හරිම අප්‍රසන්න කෙනෙක්. ඈ පන්තියේ ඉස්සරහින්ම තිබුණු මගේ බංකුවෙන් වැඩ පටන් ගත්තා. ඒ උගන්ඩාවේ ඉස්කෝලෙක මම ගත කළ පළවෙනි දවස නිසා මට කරන්න ගෙදර වැඩ තිබුණේ නැහැ. ඒ නිසා මට ඈ ඉල්ලුව ගෙදර වැඩ පෙන්නන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ඒ ගුරුවරිය අනිත් ළමයින්ගේ වැඩ ගැන කියලා අපහාස කර කර කෑ ගහනවා ඇහුණාම ඈ මා ළඟට නොඑනවා නම් හොඳයි කියලා මට හිතුණා. ඒත් මම හිටියේ ඒ පේළියේ හතරවැනියාට නිසා මට දැනුණු බය ගැන වැඩි දුර හිතන්නවත් අවස්ථාවක් ලැබුණේ නැහැ.

“කෝ ගෙදර වැඩ?” ඇය මගෙන් ඇහුවා.

“මම..”

“මට අනම් මනම් කියන්න නම් ලෑස්ති වෙන්න එපා!! කෝ ඔයාගේ ගෙදර වැඩ?”

මම ඊට පිළිතුරු දෙන්නත් කලින් ඈ මගේ මූණ හරහා හයියෙන් කම්මුල් පාරක් ගැහුවා.

“ඇහුණේ නැද්ද මම හැමෝටම කියනවා ගෙදර වැඩ පොත් බංකුව උඩින් ඇරලා තියන්න කියලා- “

මම අලුත් ළමයෙක් බව කියලා පන්තියේ හැම පැත්තෙන්ම ඇහුණු කෑ ගැහිලි සද්ද වලට ඈව නිස්සද්ද කරන්න පුළුවන් වුණා.

“ආ, සමාවෙන්න” කියලා ගාණක් වත් නැතිව කියලා ඊළඟ ළමයාටත් වැරදි ඉංග්‍රීසියෙන් කෑගහ ගහා ඈ ඉස්සරහට ගියා.

මගේ අම්මාගෙන් ඇරෙන්න මම ඊට කලින් කවදාවත් කාගෙන්වත් කම්මුල් පාරක් කාලා තිබුණේ නැහැ. දවසක් මම සුපර්මෑන් වෙන්න හිතාගෙන අල්මාරියක් උඩ ඉඳන් පහතට ඉගිලිලා, දණහිස උලුක්කු වෙලා, මැරුණා වගේ බිම හාන්සි වෙලා හිටියා. මට සිහිය ආවාම අම්මාට දැනුණු බයත්, සතුටත්, කේන්තියත් නිසා ඈව බය කළ එකට මට කම්මුල් පාරක් දෙන එක විතරයි කරන්න පුළුවන්කම තිබුණේ. ඒත් ගුරුවරයෙක් ළමයෙකුට ගහන්නේ ඇයි? ඕස්ට්‍රේලියාවේ දී නම් එක සැරයක් ළදරු පාසැලේ ළමයෙකුට පාරක් ගැහුව ගුරුවරයෙක්ව අත්අඩංගුවට ගත්තා. එහේදී නම් ළමයින්ගේ අයිතිකාරයින්ටයි භාරකාරයින්ටයි ඇරෙන්න වෙන කිසි කෙනෙකුට ළමයින්ට ගහන්න අවසර නැහැ. ඒවගේම ඒවගේ වෙලාවල් වලට දෙමව්පියන්ට උනත් තමන්ගේ දරුවන්ට දඬුවම් කරන්න පුළුවන් ප්‍රමාණය සීමා කරලා නීති දාලා තිබුණා.

පහර දීම්. මම පහුගිය කාලය තිස්සේ ඊට කොයි තරම් හුරුවෙලාද කියලා හිතද්දීත් හරි අමුතුයි. මේ ගොඩනැගිල්ලේම පිටත බෝම්බෝ පාරේ නිකරුණේ හැසිරෙන අයට පොලීසියේ නිලධාරීන් පහර දෙන සද්දෙටවත් මම දැන් කැලඹෙන්නේ නැහැ. මේ සායනය තිබුණේ හතරවන තට්ටුවේ නිසා ඊට කඳුළු වායුවෙන් නම් ලොකු බලපෑමක් වුණේ නැහැ. පිළිගැනීමේ නිලධාරිනිය අනෙත් රෝගීන් ගේ වැඩකටයුතු ඉවර කරලා ආයෙත් මගේ පැත්තට හැරුණා. ඇගේ කතා විලාසෙන් ඇය ඒ කියන්නේ නිතරම සිද්ධ වෙන කැරලි කෝලාහල ගැන බව මට තේරුණා. මුඅම්මාර් ගඩාෆි මැරුණ දවසේ ඉඳන් අපේ ජනාධිපතිත් තනතුරෙන් අයින් කරන්න පුළුවන් බව විපක්ෂය විශ්වාස කරන්නේ. මේ නිසා ඒ අය හැම සඳුදාවකම ‘රැකියාවට පා ගමනින්’ කියලා විරෝධතා ව්‍යාපාරයක් කළා. මේකට අනුව විපක්ෂයේ සාමාජිකයෝ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වගේ අය තමන්ගේ කාර්යාල වලට ගියේ පයින්. නිකම්ම අතන මෙතැන කාලේ ගතකළ අයයි, නගරයේ රස්සාවල් කළ අයයි පාරවල් අද්දර ඉඳන් උද්ඝෝෂකයන්ට දිරි දෙන්න ප්‍රීති ඝෝෂා කළා, නැත්නම් ඒ අය එක්ක එකතු වුණා. මේ නිසා හැම සඳුදාවක ම පොලිස් නිලධාරීන් ඒ සෙනගට කඳුළු වායුවත්, රෝස පාට කලවම් කළ වතුරත් එල්ල කරමින් තමන්ගේ විශේෂ වාහනවල නැඟලා පාරවල් දිගට සංචාරය කළා. උද්ඝෝෂකයින්ව අල්ලලා ඇප පිට නිදහස් කරනකම් හොරකම් වෙන එක නවත්තන්න කියලා කඩ සාප්පු පැය කීපයකට වහලා දැම්මා. ඊටපස්සේ ‘රැකියාවට පා ගමනින්’ ව්‍යාපාරය නිසා තමන් ලාභ ලබන එකට බාධාවුණු බව කියලා ව්‍යාපාරිකයෝ උද්ඝෝෂණය කළා. මේ විරෝධතා ව්‍යාපාරය පාවිච්චි කරලා ආචාර්යවරු තමන්ගේ සති අන්තය දික්කරගන්න බව කියලා සරසවි ශිෂ්‍යයෝත් මේකට එකතුවුණා. මාස ගාණක් තිස්සේ මේක චක්‍රයක් වගේ කොයිතරම් සිද්ධ වුණාද කියනවානම් සැරෙන් සැරේ සෞඛ්‍යය සේවකයෝ, ගුරුවරු, නීතිඥයෝ එහෙම වැඩ වර්ජනය කරමින් මීට එකතු වුණා. මේ දිනචර්යාව නිසා පරෙස්සමට ගෙදරටම වෙලා ඉන්න මගේ නම් කැමැත්තක් තිබුණත් මගේ ලියකියවිලි යවන්න නියමිතව තිබුණේ මේ සතියේ.

අද උදේම ඉර නගින්නත් කලින් (උද්ඝෝෂකයෝ ‘රැකියාවට පා ගමනින්’ යන්නත් කලින්) මම කුලී රථයක් අරගෙන නුවණක්කාරව කල්පනා කරලා නගරයේ මැද හරියෙන් ඈත, කලබල අඩු පැතිවල කාර්යාල වලට ගියා. ඊටපස්සේ හවස් වරුවේ හිත හයිය කරගෙන තැන් තැන්වල ඉතිරිවෙලා තිබුණු කෝලාහල මැද්දෙන් නගරයේ කාර්යාල වලට ආවා. මගේ ඇස්වලින් කඳුළු වායුව හෝදාගත්තේ වෙළඳ ගොඩනැඟිලිවල සෙනග පිරුණු වැසිකිළි ඇතුළේ හැංගිලා ඒවායේ ජල කරාම වලින්. පිටත දුම් පිරුණු පාරවල්වලට යන්න බැරි නිසා හැම සේවකයෙක්ම තමන්ගේ කාර්යාල ඇතුළේම හිටිය එකෙන් මගේ වෛද්‍ය සහතිකය ඇර අනිත් හැම ලියවිල්ලකටම අත්සන් සහ මුද්‍රා ලබාගන්න මට පුළුවන් වුණා. අඩුම තරමේ කෝලාහලකාරයෝ උද්ඝෝෂණ නවත්තලා තමන්ගේ ගෙවල්වලට යනකම් මගේ පවුලේ වෛද්‍ය මධ්‍යස්ථානයට යන්න කුලී රථයක් ගන්න කුලී රථ ගාලට යන්න මගේ කිසිම අදහසක් තිබුණේ නැහැ. මේ නිසා වෛද්‍ය සායනයක නාම පුවරුවක් දැක්ක ගමන් වැඩිම ආරක්ෂාකාරී බව පෙනුණු ඒ ගොඩනැගිල්ලට මම ඇතුල් වුණා. ඉතින් දැන් මම මෙතැන ඉඳන් මේ පිළිගැනීමේ නිලධාරිනියගේ නොනවතින දෙඩවිල්ල දිහා බලාගෙන ඉන්නේ එහෙමයි. එවෙලේම ලේ ගලන දරුවෙක් උස්සාගෙන කට්ටියක් සායනයට දුවගෙන ආව නිසා අපේ බොරු කතාබහට බාධාවුණා. ඒ ලේ ගැලුවේ දරුවාගේ නළලෙන් ද ඇහෙන් ද කියලා මට හරියටම පැහැදිලි වුණේ නැහැ. කොහොම වුණත් ළමයාගේ නහයෙන් ගැලුව හොටු දියර එක්ක ලේ මුහු වෙලා මූණේ වම් පැත්ත පුරාම ගෑවිලා තිබුණා. ඒ අම්මා විලාප දෙමින් හිටියා. හෙමින් අඬමින් හිටිය තුවාල ලැබුණු ගැහැණු ළමයාට වැඩිය අම්මා බයවෙලා හිටිය බවක් පෙනුණා. ඒ ගැහැණු ළමයාට වයස අවුරුදු අටක් තරම් වෙන්නැති. ඇය ට ඉක්මණින් ප්‍රතිකාර කරන්න හදිසි ප්‍රතිකාර ඒකකයට අරගෙන යද්දී ඒ බියකරු සිද්ධිය නිසා වත් පිළිගැනීමේ නිලධාරිනිය නිශ්ශබ්ද වේවි කියලා මම හිතුවා. ඒත් මට වැරදිලා තිබුණා. ඒ සිදුවීම ඈට තවත් දොඩවන්නට කරුණු පාදා දීලා තිබුණා. ගෑනු උදවියයි කෙල්ලොයි අඬන්නේ කොයිවගේ දේවල් ගැනද වගේ දෙයක් ඈ කියන්න පටන් ගත්ත බව මට තේරුණා. ගෑනු ළමයි අඬනවා බලන එක මට හරි අමාරු වැඩක්. එයාලා මට අර අමතක කරන්න බැරි මුල් දවස ආයෙත් මතක් කරවනවා.

එදා ඉංග්‍රීසි පාඩම පුරාවටම මම හිටියේ හෙමින් ඉකිබිඳිමින්. ඒ ගුරුවරිය නිසා මං අහලා තිබුණු අමීන් ගේ කතා මට ආයෙත් මතක් වුණා. අපි ආයෙත් උගන්ඩාවට ආවේ අමීන් ජනාධිපතිවරයා තවදුරටත් උගන්ඩාව පාලනය නොකරන නිසා බව තාත්තා කිව්වා. අතිගරු මුසවේනි ජනාධිපතිවරයා ආයෙත් වතාවක් රටේ සාමය ඇති කළ නිසා අපිට තවදුරටත් රටෙන් පිටුවහල්වෙලා ඉන්න වුවමනාවක් තිබුණේ නැහැ. අමීන් නොහිටියා නම් සමහරවිට මට මගේම රටේ, අලුත් ඉස්කෝලෙක පිටස්තරයෙක් බව නොදැනෙන්න ඉඩ තිබුණා. අක්කලාට නම් තව අවුරුදු කීපයක් සිඩ්නි නගරයේ ඉන්න වුවමනා වුණත් තාත්තා කිව්වේ තාත්තාට මැරෙන්න වෙලාව ආවාම ඉන්න ඕන තමන්ගේම රටේ බවයි. පහුගිය අවුරුදු දෙකක කාලයක් තිස්සේ අපිට අලුතින් ගෙයක් හදන්න තාත්තා උගන්ඩාවට සල්ලි එව්වා. ඒවගේම තාත්තා ඕස්ට්‍රේලියාවේ ගුරු විද්‍යාලෙක උප විදුහල්පතිවරයෙක් හැටියට රස්සාව කළ නිසා මැකරේරේ විශ්ව විද්‍යාලෙන් බැහැ කියන්න බැරි තරමේ ලොකු රස්සාවක් දෙන්න සූදානම් වෙලා තිබුණා. තාත්තා කීව විදිහටම මටත් උගන්ඩාවේදී සාමය අත්විඳින්න පුළුවන් වේවි කියලා මම හිතාගෙන හිටියත් මට ඒ වෙනුවට ලැබුණේ ඉංග්‍රීසි ගුරුවරියගෙන් කම්මුල් පාරක්. ඒ බය හිතෙන සිද්ධිය නිසා මම මගේ කලිසම තෙමා නොගෙන ඉන්න උත්සාහ කරමින් හිටියේ. ආයෙත් කවදාවත් ඉස්කෝලෙට එන්නේ නැහැ කියලා මම හිතා ගත්තා. ඒත් ගුරුවරිය පාඩම ඉවර කළ ගමන්ම මගේ ළඟ හිටිය ළමයි ටික මගෙන් සමාව ඉල්ලමින්, මට රස කැවිලි දෙමින්, ටික කලකින් මට මේ වගේ ගුටි කන එක හුරුවේවි කියමින් මගේ වටේට එකතු වුණා. හිටිහැටියේම මම යාලුකම් ඇතිකරගනිමින් හිටියා. අනෙත් ළමයින්ට මං ගැන තිබුණු බය නැති වෙලා තිබුණා. මගේ රට වුණු උගන්ඩාව මම හරියට අඳුනාගන්න පටන්ගත්තේ එහෙමයි.

මුලදී නම් උගන්ඩාව හරිම අප්‍රසන්න වුණා! මම උගන්ඩාවේ ඉස්කෝලෙට ඇතුළත් කරන්න සති තුනකට කලින්, අපි ඒ රටට ආව මුල් දවස් වලදී, එක දිගට දවස් දෙකක්ම එහේ විදුලිය විසන්ධි වුණා. ඊටපස්සේ දවසක් ඇර දවසක් රෑට විදුලිය විසන්ධි වුණා. එහේ තිබුණේ UTV, CTV නමින් රුපවාහිනී නාලිකා දෙකක් විතරයි. මේ නාලිකා දෙකේ තිබුණේ කාටූන් වැඩසටහන් පහක් විතරයි. ඒවා පින්ගු, සුපර්බුක්, කිසිෆර්, ඩක් ටේල්ස් සහ ඩිඩි කියන ඒවා. ඩිඩි කාටූන් වැඩසටහනක් නොවුණත් ඒකෙ හිටියේ විකටයෙක් නිසා එයා ව බලන එක හරි විනෝදයක් වුණා. ඕස්ට්‍රේලියාවේදී නම් විදුලි විසන්ධි වීමක් වුණේ අවුරුද්දකට සැරයක් හරි දෙසැරයක් හරි විතරයි. එහෙම වුණෙත් මාස හයකට විතර කලින් දැනුම් දීලා. එහේ දවල් රෑ තිස්සේ කාටූන් විතරක්ම පෙන්නන්න වෙන්වුණු නාලිකා දෙකක්ම තිබුණා. මෙහේ නම් කාටූන් පෙන්නුවේ සතියේ දවස්වල හවස් වරුවේ විතරක් නිසා මම සතිඅන්ත ගත කළේ මගේ අහල පහළ අය එක්ක ක්වෙප්නා බෝල සෙල්ලමයි ඩූල් ජිල්බෝල සෙල්ලමයි ඉගෙනගනිමින්. ඊටපස්සේ ගතවුණු කාලය පුරාවටම මම ගොඩාක් දේවල් ඉගෙනගත්තා. වැඩිහිටියන්ට ආචාර කරද්දී දණ නවන්නත්, මටෝකේ කෙසෙල්, ලෙලි ගහලා ඒවායේම කොළ වල ඔතලා වාෂ්පයෙන් තම්බාගන්නත් මම ඉගෙන ගත්තා. විදුලිය විසන්ධි වුණු වෙලාවට අඟුරු ඉස්තිරික්ක පාවිච්චි කරලා රෙදි මැද ගන්නත්, දර පාවිච්චි කරලා ඉවුම් පිහුම් කරන්නත් මම ඉගෙන ගත්තා. ගුරුවරුන්ගෙන් වේවැල් පාර වදිද්දී නොරිදෙන්න ඉස්කෝලේ නිල ඇඳුමට යටින් කොට කලිසම් තුනක් අඳින්නත් මම හුරු වුණා. ඔවිනෝ වෙළඳපොලෙන් බඩු ගනිද්දී හෙට්ටු කරන්න පුළුවන් තරමට ලුගන්ඩා භාෂාව ඉගෙන ගන්නත් වත්තේ තිබුණු කුණු අතරින් හොයාගත්ත සැහැල්ලු දේවල් වලින් ක්වෙප්නා බෝල හදන්නත් මට පුළුවන් වුණා. මට තවදුරටත් ඕස්ට්‍රේලියානු උච්චාරණයක් තිබුණේ නැහැ. මගේ යාළුවෝත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඕස්ට්‍රේලියාවත් ඇමෙරිකාවත් අතර වෙනස ඒ අය දැනගත්තා. පිටරටවල ඉන්න හැම උගන්ඩා වැසියෙක්ම රස්සාවට කරන්නේ වැසිකිළි පිරිසිදු කරන එකත් ඉස්පිරිතාල වල මුත්‍රා පෝච්චි පිරිසිදු කරන එකත් නෙමෙයි කියලා ඒ අය ඉගෙන ගත්තා. පිටරට ඉඳන් ආව හැම ළමයෙක්ම ගහකට වත් නැග ගන්න බැරි අහංකාර නැහැදුණු අය නොවන බවත් සමහර වේලාවට තමන්ගේ විසිතුරු සෙල්ලම් බඩු අනිත් අයත් එක්ක බොහොම ත්‍යාගශීලීව බෙදාගන්න ඒ පිටස්තරයෝ ලෑස්ති බවත් ඒගොල්ලෝ තේරුම් ගත්තා. තමන්ගේ ජීවිතයේ පළවෙනි අවුරුදු නමය වෙන මහාද්වීපයක ඉංග්‍රීසි කතා කරමින් ගත කළ කෙනෙක් එක්ක ගමේ ගොඩේ භාෂාවෙන් කතා කරන එක තේරුමක් නැති වැඩක් බවත් ඒ අය ඉගෙනගත්තා. අපි ආයෙත් ඒ රටට ගියාට පස්සේ අපේ ගෙදර ඉඩකඩ තිබුණු නිසා අවුරුදු ගාණක් යනකම් එක එක නෑයෝ නිතර නවාතැන් ගන්න නොආවා නම් මට දැන් තේරෙන ලුගන්ඩා භාෂා ප්‍රමාණෙ වත් කතා කරන්න බැරි වෙන්න ඉඩ තිබුණා. අපි ලුගන්ඩා භාෂාවෙන් කතාබහ කරන්නේ ඒක අපේ භාෂාව නිසා නෙමෙයි, රටේ අගනගරය වන බුගන්ඩාලන්තයේ තාත්තාට රස්සාවක් ලැබුණු නිසා යි. එහේ ජීවත්වෙන අනිත් හැම ගෝත්‍රයකම අයත් තමන්ගේ භාෂාවට අමතරව ලුගන්ඩා භාෂාවත් කතා කරන්න පුරුදු වුණා. ඒත් අවුරුද්දකට සැරයක් දෙසැරයක් විතරක් තමන්ගේ ගමට යන මං වගේ කීපදෙනෙකුට නම් තමන්ගේ අනන්‍යතාවය ගැන පොඩි පොඩි ප්‍රශ්න මතුවෙන එකත් ‘ඔයාට තමන්ගේම භාෂාව කතාකරන්න බැහැ!’ කියලා කවුරුහරි කීවාම අනිත් මිනිස්සු උපහාසෙන් බලන එකත් සදහටම සිද්ධ වුණා.

ඒත් අද නම් මම ඒ බැල්ම ලබන්න බලාපොරොත්තුවක් නැහැ. මේ පිළිගැනීමේ නිලධාරිනියට අපේ මවු භාෂාවෙන් ඔහේ දොඩවන්න ඉඩ ඇරලා, නියමිත වෙලාවට ඔළුව වනමින් හිනාවෙමින්, පුදුමය පෙන්නමින් මම ඉන්නේ, ලොකු උපදේශන ගාස්තුව නොගෙවා දොස්තරගේ කාමරයට යන්න තියෙන එකම විදිහ ඒක නිසායි. දොස්තර මගේ වෛද්‍ය පෝරමය පුරවලා මුද්‍රා තිබ්බාට පස්සේ මම එතැනින් පිටවෙලා ලුගන්ඩා භාෂාවෙන් හරි ඉංග්‍රීසියෙන් හරි පිළිගැනීමේ නිලධාරිනියගෙන් සමුගන්නවා. ඈත් මට ඒ භාෂා දෙකෙන් කොයි එකෙන් සමු දුන්නත් ඈට ඒකෙ අමුත්තක් දැනෙන එකක් නැත්තේ කම්පාලා නගරයේ හැම කෙනෙක්ම ලුගන්ඩා භාෂාව හරි ඉංග්‍රීසි හරි කතා කරන නිසා යි. මම මෙතැනින් පිටවුණාට පස්සේ වෛද්‍ය සහතිකය අනෙත් ලියකියවිලි ටිකට එකතු කරලා තානාපති කාර්යාලයට යොමු කරනවා. ටික දවසකින් ඒ අය මට කතා කරලා මගේ රටින් පිටවෙලා ඕස්ට්‍රේලියාවේ පශ්චාත් උපාධිය සම්පූර්ණ කරන්න යන්න වීසා අනුමත වුණාද කියලා දැනුම් දෙයි.

-හෙල්මලී ගුණතිලක

 Link to the original short story- Legal Alien by Rutangye Crystal Butungi

Copyright free photo bybill wegener from Unsplash

%d bloggers like this: