Menu Close

ඡන්ද කෙරුවාව ගැන මගේ අදහස් කෙටියෙන්.


ගේ ජීවිත කාලයේ මේ දක්වා පළාත් පාලන, පළාත් සභා, ජනමත විචාරණ, මහ මැතිවරණ හා ජනාධිපතිවරණ ඡන්ද ගණනාවක් පැවැත්වෙනවා දැක තියෙනවා. මැතිවරණ දේශපාලනය ගැන ඒ තරම් විශ්වාසයක් නොතබන මාව ඡන්ද පොළට ගොස් ඇත්තේ තුන්වතාවක් පමණයි. සමහර කාලයන්හිදී මගේ නම ඡන්ද හිමි නාම ලේඛනයන්හි තිබුණෙත් නැහැ. ඉන් අදහස් වන්නේ මා ඒ පිළිබඳ එතරම් උනන්දුවක් නොදැක්වූ බවයි. මෙහි දී ප්‍රධාන වශයෙන් කිව යුත්තක් වන්නේ කිසිදු පළාත් පාලන, පළාත් සභා හා පාර්ලිමේන්තු නියෝජිතයෙකු වෙනුවෙන් හෝ පක්ෂයක් බලයට ගෙන ඒම සඳහා මා ඡන්දය පාවිච්චි කොට නොමැති බවයි.

මා ඡන්දපොලට ගිය වාර තුනෙන් ද ජනාධිපතිවරයෙකු පත් කිරීම සඳහා මා ඡන්දය පාවිච්චි කොට ඇත්තේ දෙවතාවයි. අනෙක් වතාව වන 88 ජනාධිපතිවරණයේ දී මා කළේ තැපැල් ඡන්දය කටු ගා දැමීමයි. ඊට හේතුව වූයේ එවකට මා කළ රැකියාව අනුව අඩුම ගානේ තැපැල් ඡන්දය හෝ නොදැමීම සුදුසු නොවන බව තේරුම් ගැනීමයි. තැපැල් ඡන්දය දෙන ස්ථානයට නොයාමෙන්, ඡන්දය වර්ජනය කරන්නෙකු යැයි මා පිළිබඳ අනෙකුන් අතර අවිනිශ්චිතතාවක් ඇති කළ යුතු නැතැයි මා සිතුවා.

මගේ පළමු ඡන්දය 1982 වසරේ දී ලබා දුන්නේ රෝහණ විජේවීරටයි. ඒ වන විට ජනතා විමුක්ති පෙරමුණේ හිතවාදියෙකු හෝ ආධාරකරුවකු නොවූ මා ඒ තීන්දුව ගත්තේ එවකට රට පාලනය කළ අන්තනෝමතික පාලකයා වූ ජේ ආර් ජයවර්ධන තමන්ගේ ප්‍රතිවාදියා වූ සිරිමා බණ්ඩාරනායක ගේ ප්‍රජා අයිතිය අහෝසි කොට තනි රේස් එකක් යන අවස්ථාවක විකල්ප බලවේගයකට සහාය දිය යුතු යැයි සිතූ නිසයි. ඒ අවස්ථාවේ කිසිසේත්ම ජයග්‍රහණය කිරීමට ශක්තියක් නොතිබුණ, එසේම තම පක්ෂයේම නායකයින්ගේ කකුලෙන් ඇදීමට ලක් වූ හෙක්ටර් කොබ්බෑකඩුවට ඡන්දය දෙනවාට වඩා විජේවීරට ඡන්දය දීමේ අර්ථයක් තිබුණා. එහෙත් විජේවීරට ලැබුණු ලක්ෂ තුනකටත් අඩු ඡන්ද ප්‍රමාණය කියා පෑවේ මැතිවරණයකින් විකල්ප බලවේග තේරීමේ උත්සාහයක් හෝ ඡන්දදායකයා වෙත නැති බවයි. ඡන්ද ප්‍රතිඵලය ඇසීමෙන් රෝහණ විජේවීර පවා අපේක්ෂාභංගත්වයට පත්වූ බවයි මා අසා තිබෙන්නේ.

මා දෙවෙනි වතාවට පුද්ගලයෙකුට ඡන්දයක් පාවිච්චි කර තිබෙන්නේ 2010 වසරේ දී. ඒ මහින්ද රාජපක්ෂටයි. 2005 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ උවමනාව මත මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා ප්‍රචාරාත්මක තලයේ වැඩ කටයුතු කළත් ඒ වසරේ ඡන්ද හිමි නාමලේඛනයේ මගේ නම තිබුණේ නෑ. මේ පිළිබඳව එවකට ජවිපෙ ප්‍රචාරක ලේකම් විමල් වීරවංශ හා පැවසූ මොහොතක ඔහු විමසුවේ ඔයා මේ කට්ට කන්නෙ ඡන්දෙවත් නැතිවද කියායි. 
මගේ පුතාට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා හැඳුනුම්පත හැදීමේදී තමයි ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුලත් කර ගන්න සිදු වුණේ. 2010 වසරේ දී මා මහින්ද රාජපක්ෂට ඡන්දය දුන්නේ ඇයි? ඒ කිසිසේත්ම මහින්ද කෙරෙහි වූ ප්‍රසාදයකින් නොව සරත් ෆොන්සේකා නමැති යුද හමුදාපතිවරයා බලයට ගෙන ඒම මරිමෝඩ, අමනොඥ තීරණයක් බව විශ්වාස කළ නිසයි. ඒ සඳහා ඡන්දය දවසේ මහනුවර සිට කෝට්ටේ ඡන්දපොළට ආවා මට හොඳින් මතකයි. එතෙක් වූ කවර නොගැලපීම් මත වුවද පක්ෂය විවේචනය නොකළ මා ජනතා විමුක්ති පෙරමුණෙන් සම්පූර්ණයෙන්ම දුරස්ථ වන්නේත්, ඔවුන් ගන්නා අහිතකර තීන්දු විවේචනයට ලක් කරන්නට පටන් ගන්නේත් ඉන් පසුවයි.
ඉන් අනතුරුව මගේ ජීවිත කාලයේදී තුන්වන වතාවට ඡන්දපොළට යන්නේ මේ වතාවේදී. ඒ 1982 වසරේ දී ගත් ප්‍රාගෝගික නොවන තීන්දුව ගන්නට නොවේ. විකල්ප බලවේගයක් මැතිවරණයකින් ඉදිරියට ගෙන ඒමට අවශ්‍ය නම් ඒ සඳහා යොදා ගත යුත්තේ පළාත් පාලන, පළාත් සභා හෝ මහ මැතිවරණ ඡන්දවලදී සුදුසු නිගෝජිතයින් තෝරා පත් කිරීම බවයි අද මා විශ්වාස කරන්නේ. එසේ නොමැතිව ජනතාවගෙන් බොහෝ දුරින් සිටින විකල්ප බලවේගයක් වෙනුවෙන් ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කරනවා යනු රටේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් කිසිදු සාධනීය ලක්ෂණයක් පෙන්නුම් කරන තීරණයක් බවත් මා හිතන්නේ නෑ. එසේ තීන්දුවක් ගන්නවා දවසක් උදා වනු ඇත්තේ අනිකුත් මැතිවරණ හරහා කිසියම් විකල්ප බලවේගයක් ජනතා විශ්වාසය දිනා ගත් පසුවයි.
රටේ අනාගතය පැහැදිලිව නිශ්චය කෙරෙන අවස්ථාවක් වන ජනාධිපතිවරයෙකු තෝරාගැනීම පක්ෂ හා ප්‍රතිපත්ති දේශපාලනයෙන් එහා ගිය පුද්ගල සාධක මත තීන්දු වන්නක් බව මගේ විශ්වාසයයි. ඉතිහාසය පුරා පත්වූ ජනාධිපතිවරුන් අපට සාක්ෂාත් කොට දී ඇති සත්‍යය එයයි. ජයවර්ධන, ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී මේ වන විට ඒ බව ඕනෑවටත් වඩා පෙන්වා දී තිබෙනවා. මේ අවස්ථාවෙම ඉදිරියේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නය වන්නේ සජිත් වැනි නොමේරූ එසේම කිසිදු ආකාරයක රාජ්‍යතාන්ත්‍රික හැකියාවක් පෙන්නුම් නොකරන, කතාවෙන් ක්‍රියාවෙන් සහ භාවිතයෙන් කිසිදු ධනාත්මක ලක්ෂණයක් පෙන්නුම් නොකරන පුද්ගලයෙකු මේ රටේ පාලකයා කිරීමට දායක වනවාද යන්නයි.
නැත. කිසිසේත්ම එය එසේ විය යුතු නැත. ආගාධයේ මුවවිටට තල්ලුවී සිටින රට ප්‍රපාතයට ම ඇද වැටෙන්නට ඉඩ දිය යුතු නැත. මහා ලොකු බලාපොරොත්තු නොවෙතත් අවශ්‍ය වන්නේ රට මේ අගාධයෙන් අඩුම තරමින් පහළට වැටීම නවත්වා ගැනීමටය. ඉන් එහා කිසියම් ආකාරයක සාධනීය ඉදිරි පියවර ගන්නේ නම් ඒවා බෝනස් ය. ඒ සඳහා මා ඉදිරියේ කිසිදු විකල්ප බලවේගයක් සිය ශක්තිය පෙන්නුම් කොට නොමැත. ඔවුන් සිටින්නේ දිනුම් කණුවට බොහෝ ඈතින්ය.
එහෙයින් සජිත් ප්‍රේමදාස බලයට පත්වීමෙන් සිදුවන්නට නියමිත මහා විනාශයෙන් රට ගලවා ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දෙන්නට තුන්වැනි වතාවට ඡන්දපොළට යන්නෙමි. ඒ වෙනුවෙන් මගේ ශක්ති ප්‍රමාණයෙන් කළහැක්කක් කරමි. ඉතිරි සියලු ගනුදෙනු ඉන්පසුවය.

සෙස්ස පස්සට….
%d bloggers like this: