Menu Close

ඉතින් රැවටෙන්න – කවරයේ කතාව සහ අතුරු කතා

දියණිය ඇඳි මුල් කවරය 

මගේ දෙවන නවකතාවේ  කවරය ගැන සෑහෙන සාකච්චාවක් සහ අදහස් හුවමාරුවක් ගිය නිසා මේ ලිපිය ලියන්න   තීරණය කළේ. මම මේ කෘතිය ලියන්න පටන් ගත්තේ සෑහෙන කාලෙක ඉඳන්. ඒ කියන්නේ 2015 වගේ ඈත කාලෙක පටන් ගත්තේ. ඉවර වෙනකොට 2019 මුල. මුලින් හිතන් හිටිය මගේ දෙවෙනි පොත “සියාමා ” මුද්‍රණය කළ අහස ප්‍රකාශකයන් මේ පොතත් භාර ගනී කියල මුද්‍රණය කරන්න. එහෙම වුනේ නැහැ. “සියාමා” මුද්‍රණය ගැන මගේ කිසියම්  විවේචනයක් තිබ්බ නිසා එහෙම වුණා  වෙන්නත් පුළුවන්.

ඊට පස්සේ චූලානන්ද සමරනායක සහෘදයා සහ පද්මිණි මාතරගේ නංගි පොතේ කොපි ඉල්ලා ගෙන සෑහෙන වෙහෙසක් දැරුවා. මම සංහිඳ එකේ සන්නස්ගල මහත්මයටත් කතා කළා. මම සුචරිත ගම්ලත් ගේ ශබ්දකෝෂය මිලදී ගන්න ගිය වෙලේ ඇහුවේ.  මට මතක විධිහට  ඔහු පොත් ප්‍රකාශ කරන වැඩෙන්  ඉවත් වෙලා කියල තමා කිව්වේ. අර දෙන්නගේ වෙහෙස පල දැරුවෙත්  නැහැ. පිළිකෙව් කිරීමට එක හේතුවක් ලෙස දැන ගන්නට ලැබුනේ පොත අත්දැකීම් ගැන ලිව්ව එකක් කියල. (ඇත්තටම එහෙම කල්පනා කෙරුවොත් මැක්සිම් ගෝර්කි ගේ වත්, නිකොලායි ඔස්ත්රෝව්ස්කි ගේ වත් බොරිස් පලේවොයි ගේ වත් අපි ආදරය කරපු පොත් කිසිවක් පලවෙන්න ඉඩක් නැහැ කියලත් හිතුන.)
මම ඇත්තටම පොත ලිව්වේ ඩොස්ටයෙව්ස්කි ගේ ෆන්ටස්ටික් රියලිස්ම් (fantastic realism ) කියන ශෛලියෙන්.  මම ඒ ශෛලිය ගැන කල්පනා කලේ  විජිත ගුණරත්න භාවිතා කළ බ්‍රෙෂ්ට් ගේ එපික් තියරිය නිසා  කියලයි මම හිතන්නේ. ඒ ලිපිය මෙතැන. එදා ඒ සාකච්චාවේදී නන්දන වීරරත්න සහ විජිත අතරත් සංවාදයක් ගියා. නන්දන කීවේ නිර්මාණයකට සෞන්දර්යය අත්‍යවශ්‍යයය  කියල. නැත්නම් වාර්තාවක් වගේ එහෙම  නැත්නම්  උදාසීන බවක් ඇතිවෙනවා කියල. මගේ මුල් නවකතාව  “සියාමා” ලීවේ මේ සෞන්දර්යය කියන කොටස අමතක කරලා “පණිවිඩය” දෙන්නේ කොහොමද කියල හිතල.

සිදුවුණ දේ තමයි “සියාමා “පිළිබඳව වාමාංශික කඳවුරකින්ම ආපු විවේචනය තමා ඒක ටිකක් වාර්තාකරණයක්  වගේය  කියලා . තව වටේට ආලවට්ට්ම් දාල ලස්සනට නවකතාවක් කරලා ලියන්න තිබුන කියල. ඒ වගේ කතාවකට ආලවට්ටම් දාන්නේ කොහොමද කියන ප්‍රශ්නයෙන්  මම  තැවුණ. සියාමා ගේ සොඳුරු හදවත ගීතයක් වුනේ නැති නිසා. එදා සංවාදය කරපු නිස්සංක විජේමාන්න සහෘදයා නම් ඒක කීවේ නැහැ. හැබැයි එයා කීවේ  මම නිහඬව ඉඳල පාඨකයාට කතා  කරන්න ඉඩ  දෙන්න කියල. නමුත් ලිව්වේ මොන හේතුවටද  කියල පාඨකයා දැනුවත් නැත්නම්?

සරද සමරසිංහ සහෘදයා ගේ  ගේ පොත ගැන කල සංවාදයේදී මම හෛඩගර් සහ ඔහුගේ   “කලා  කෘතියක මූලාශ්‍රය” (the origin of the Work of Art) කියන  ලිපිය ගැන  කතා කළා. ඒ ලිපියට මෙතනින් යන්න. හෛඩගර්  හරියටම අඳුන ගත්තේ දීප්ති කුමාර ගුණරත්න ගේ ලිපි වලින්.
  හෛඩගර්  කියනවා ඔහු  වර්තමාන දර්ශනවාදී සෞන්දර්යය නම් සම්ප්‍රදායට විරුද්ධව සත්‍යය පිළිඹිබු කරන  කලා කෘති සඳහා පෙනී හිටිනවා කියල. ඔහු කියනවා නියම කලා කෘතිය සෞන්දර්යය නිසා අඳුරු වෙනවා  කියල. හැබැයි හෛඩගර් ම ඒ එක්කම කියනවා මේක මහා ඔක්සිමොරොන් (oxymoronic විරෝධාලංකාරය ) එකක් කියල. ඔහු අහනවා සුන්දරත්වයක් නැති කලා කෘති පවතින්න පුලුවන්ද කියල ඒ එක්කම ? දර්ශනවාදී හෛඩගර් ගේ ජීවිතයත් නාසිවාදී වීම නිසා අඳුරු වූවක්.

ඉතින් දෙවෙනි පොතට හෛඩගර් හා නන්දන වීරරත්න කියපු විධිහට සෞන්දර්යය ඇතුළු කළා. ඒ කියන්නේ “ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ ” කෘතියේ  මුල හරිය කියවන කොට  ඒක තේරෙයි. ඩොස්ටයෙව්ස්කි ගේ ෆන්ටස්ටික් රියලිස්ම් එකටත් මදක් අනුගත වෙන්න.

බ්ලොග් සහෝදරයෙකු ගේ  ගේ මාර්ගයෙන් හඳුනාගත්තා ගුරුගොඩ සීලවිමල හාමුදුරුවෝ. මේ දිනවල   බුකියේ හෙම සෑහෙන ප්‍රසිද්ධ අයෙක්.  සීලවිමල හාමුදුරුවෝ  හඳුන්වල  දුන්න තැන ආයෝජකයන්ගේ මුදල්  වෙන් කරලා ඉවරය කිව්වා.  නිකම් නිහඬ නොවී හේතුවක් කීව එක අගය කරනවා. නමුත් ඉතින් මට වුනත් ආයෝජනය කරන්න තිබුන.
 ඉතින් මම තීරණය  කලා කර්තෘ ප්‍රකාශනයක්  ලෙස පළ කරන්න.  එහිදී පොත විකිණීම සහ බෙදා හැරීම  පිලිබඳ ප්‍රශ්නය  එනවා. මගේ මුල් පොත වන “පොල්කට්ටෙන්  එපිටට” පොත ගැන එම ප්‍රශ්නය ආව එංගලන්තයේ ඉඳගෙන කරන්න ලෙහෙසි දෙයක් නෙමේ. මම මේ ගැන පොත මට ප්‍රින්ට් කරන්න හදල දෙන හිරුලින් එකේ මිලානි නංගි එක්කත් නිකමට කතා කළා.

එයා මගේ පොතේ පොතේ පිටපතක් දෙකක් දීල තිබුන ප්‍රකාශක  සමාගම් දෙක තුනකට .  මම දැනගෙන හිටියේ නැහැ එම ප්‍රකාශකයන්ව.  හැබැයි එහෙම දුන්නට කමක් නැහැ කියල මම කියල තිබ්බේ.   ඒ දුන් කෙනෙක් තමා සංඛ  ප්‍රකාශකයෝ හි අධිපති එම් ඩී සෝමරත්න මහත්මයා.  පොත කියවල එයා මට කතා කරන්න කියල තිබ්බ. කොන්දේසි සහිතව පොත පල කරන්න කැමති වෙලා. ඇතුලේ තියෙන සමහර  ඒවා අයින් කරන්න. අවසානය වෙනස් කරන්න වගේ කොන්දේසි. එසේම මගේ දුව මාසයක් විතර තිස්සේ ඇඳපු  පිටකවරය අයින් කරන්න කියල. ඔය උඩ තියෙන්නේ ඒක.  ඒ කවරේ එක්ක  ලංකාවේ විකිණීම අපහසු  බව ඔහු කීවා . දැන් ආවේ වෙළඳපල පිලිබඳ ප්‍රශ්නය. වෙළඳපල ඉල්ලීමට යට වෙනවද ?

මගේ යහළුවෝ දෙන්නෙකුට කතා කලා. විජිත සහ විතානගේ.  ඔවුන්ගේ අදහස මගේ අදහසට සමපාත වුනේ මෙහෙම. පොත් ටික විකුණා ගැනීම, බෙදා හැරීම  විතරක් ම නෙමේ අපහසු. තර්කයම පමණක්  නොව සම්මුති(compromise) මාර්ගයෙන් ප්‍රශ්න  විසඳා ගැනීම මම එංගලන්තයේ දී ඉගෙන ගත් එක දෙයක්. යාලුවෝ කීවෙත් බෙදා හැරීමේ ප්‍රශ්නයක් එනවා නේද කියල. කේ බුක්ස් එකේ භාර ගන්නෙත් පොත් 100 කියල මම දැනන් හිටිය. සංඛ ප්‍රකාශකයන් ගේ පිට කවර වල හැම එකකම  වගේ තරුණියන් ගේ ජීවමාන පින්තූර තියෙන්නේ. ඒ ගොල්ලන්ගෙන් පොත් ගන්න එන පාඨකයෝ කැමති ඒකට. මගේ යහළුවන්ගේ අදහස වුනෙත් කවුරුහරි කියවන්න ඒක ගන්නවා නම් පිට කවරය ගැන මම කරදර වෙන්නේ ඇයි කියන එක.  පිටකවරය ඒ මහත්මයට තෝරා  ගන්න දීල මම අන්තර්ගතය වෙනස් නොකරන්න එකඟ කර ගත්ත. ඒකට තව හේතුවකුත් තිබ්බ.

අපට යුද්ධය විකුනන්නේ කොහොමද ? සීතාම්බර සළු පිළි අන්දවලා එන යුද්ධයේ  සැබෑව මම දැක්කේ නැහැ? ටෙලිවිෂන් ස්ටුඩියෝ ඉස්සරහ අපි පෙළපාලි ගියා . සමහර වෙලාවට වැස්සේ තෙමීගෙන. ලන්ඩන් වල අපේ යාළුවන්ට ඒවා මතක ඇති. සල්ලි යැව්ව.  අපි දැක්කේ වීරත්වය , ආශ්වාදය, අහෝ යුද්ධයේ උතුම්  වූ පිවිතුරු වූ මුදා ගැනීම.මගේ  මේ “යුධ පිටියේ සවාරිය “   ලිපියේ ඇරබෙල් ගේ එනමින් තිබෙන නාට්‍යය ගැන කතා කරන කොට මම හෙමිංවේ සහ ගෙල්හොර්න් ගැනත් ලීව  මෙහෙම.

//හෙමිංවේ සහ ගෙල්හොර්න් යනු ස්පාඤඤ යුධ වාර්තාකරණයේ යෙදුනු සුප්‍රසිද්ධ ගත් කතුවර අර්නස්ට් හෙමිංවේ හා වාර්තාකාරිනියක වන ගෙල්හොර්න් අතර සම්බන්ධය ගැන කියන චිත්‍රපටියකි. ගෙල්හොර්න්” බෝම්බ වැටීමේ බියකරු බව විසිත්ත කාමරයේ සිටින්නන් නොදනී” යනුවෙන් ලියන මොහොතේ ජෙනරාල්  ෆ්රන්කෝ ගේ ගුවන් යානා මැඩ්රිඩ් නගරයට බෝම්බ හෙලයි. හෙමිංවේ හා ගෙල්හොර්න් බෝම්බ වැටෙද්දී ජිවිත බේරා ගැනීම පසෙක ලා රමණයේ යෙදෙති. මේ අතිශයෝක්තියෙන් ඔප වැටුණු අධිතාත්වික රංගනය ම  අරබෙල්ගේ   “යුද සවාරිය” තුලින් මතු කරන යථාර්තයම වෙයි.//

ඉතින් ඉරාක ජනතාව සදාම් ගේ දරුණු ඒකාධිපති පාලනයෙන් මුදා ගන්න කරපු  ශුද්ධ වූ පිවිතුරු වූ යුද්ධය ඉවර වෙන කොට සුයිසයිඩ් බෝම්බ වලින්ම ඉරක් ජාතිකයන් දහස් ගනනක් මැරිලා. බලනකොට සදාම්වත් එපමණ  මරල නැහැ ගණන් බැලුවොත්. තවම උන්  මැරෙනවා. ඕක වුනේ  මුල්ලිවයික්කාල් වලද සිරියාවේද කියන එක අදාළ නැහැ. ඇත්ත  දැන  ගන්නකොට  මරියානා අගාධය වගේ අඳුරු කුහරයක් ඇතුලට  හිත වැටෙන්න ගන්නවා . බෝධිනී සමරතුංග ගේ “අනිත් කොන” කියවන කොට තේරෙන්න පටන් ගන්නවා ඒ පැත්තේ මිනිස්සු හිටිය විධිහ. යොමුව මෙතන. ඊට පස්සේ ලංකාවේ දකුණේ  රෝහලක පිළිකාව හැදිලා මැරෙන කොටි සෙබළියක් වන තමිලිනී  ඒ කතාව අවසන් කරල දෙනවා .

කියන්න අමතක වුණා. මම දන්නා කෙනෙක්  නොවන ප්‍රකාශක මහත්මයෙකුට  පොතේ ඊ පිටපතක්  ගිහින් තිබුන කියල කියනවා. පද්මිණි මාතරගේ එක්ක ගිය මාසේ තිබ්බ පොත්  ප්‍රදර්ශනේට ගිය වෙලේ ඔහුගේ සම්භාව්‍ය කෘති තිබ්බ  කුටියටත් ගොඩ වැදුන. ප්‍රසිද්ධ කතුවරියන් කිහිප දෙනෙක් සිටිනා අතරේ අපි වගේ අලුක්කාල් මොනවා කරන්නද කියල හිතල  ශේප් එකේ  සයිඩ් එකෙන් ඉන්න කොට  පද්මිණි මාව ඒ තුමාට   අඳුන්වල දුන්න මේ අර පොත එව්ව එක්කෙනා කියල. එයා කිව්වා “ආ  මේ සිහින පොත  නේද” කියල. එහෙම කියල එයාගේ පොත් කුටියෙන් එලියටම ගියා.

මට කියන්න හිතුන “සෝවියට් දේශය ” නම් ඉතින් සමහරුන් ට හීනයක්ම  තමයි. හැබැයි අපි ඒ හීනෙ හොඳ කොටසක අපිත් ජිවත් වුනා කියල. සැබෑ කරගත් ඒ හීනේ තියා ගන්න  බැරි වෙච්ච  හෙනේ  තමයි රුස්සන්ට වැදුනේ. මම ඒක කිව්වේ නැත්ද කොහෙද.

බ්ලොග් එකේ ගැහැණු ළමයා 
දැන් කවරය 


ඒ නිසා හිතවතුනි හිතවතියනි මම තීරණය කලා අපේ ප්‍රකාශක මහත්මය නිවැරදියි කියල. මම ඔයාලට ලස්සන ගැහැණු ළමයෙක් ගේ පින්තුරයක් කවරයට දාල පොතක් ලිව්වා. මගේ බ්ලොග් එකේ දෙවෙනි පරිච්ඡේදය පළවුණේ 2015 දෙසැම්බර් 3. ඒකට දාපු රුසියානු යුවතියගේ පින්තූරය තමයි ඔය තියෙන්නේ. කවරය විතරක් බලල පොත ගැන තීරණය කරනවා නම් එහෙම කරන්න.  මොකද මමත් කරන්නේ උඹලව රවට්ටන එක. ශානිකා සශිප්‍රියා ඒක දන්නේ නැතිව පොත අරගෙන රැවටුනා. අහුවෙච්ච  හැටි මෙතන ලියල තියනවා. පොත අරගෙන රැවටෙන්න ඉන්නව නම් කියවන්න එපා ඒක. ධම්මිකා චාන්දනී අහු වුනා අනුරුද්ධ  වැලිගමගේ එක්ක. ඒවා මෙතන ලියල තියනවා. ඉතින් රැවටෙන්න  සහෘදයෙනි.

%d bloggers like this: