
The Sunday Times පුවත්පතට ආරක්ෂක තොරතුරු පිළිබඳව වසර ගණනක් ලිපි ලිවූ ඉක්බාල් අතාස් UPI පුවත් සේවයට ලියන ලද ලිපියකට අනුව ඔහුට දුරකතනයෙන් කතා කළ උඩුගම්පොල , පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රෙජිස්ටාර් වරයාවූ T.E. නාගහවත්ත මහතා දිවා ආහාරයට නිවසට යාමට මෝටර් රථයට නගින විට ජවිපෙ විසින් ඔහුට වෙඩි තබා මරා දැමීමෙන් පසු එහි කඩා වැදුණු කණ්ඩායමක් එහි සේවකයන් 14 දෙනෙකු අල්ලාගෙන ඔවුන්ගෙන් 6 දෙනෙකුගේ බෙලිකපා සරසවි භුමියේ කුඩා පොකුණක් වටා තබා තිබෙන බවත් අනෙක් 8 දෙනාට වෙඩි තබා මරා දමා තිබෙන බවත් කියා තිබේ. ‘කන්ද උඩරට උකුස්සෝ ‘ නැමති සංවිධානයක් විසින් රෙජිස්ටාර්වරයා මර දැමීමට පලිගැනීමක් ලෙස එය කර ඇති බව උඩුගම්පොල වැඩි දුරටත් ඉක්බාල් අතාස් ට කියා තිබේ . ඒම ඝාතන උඩුගම්පොලගේ නියෝගයකින් හෝ ආශිර්වාදයෙන් කෙරුණු බවට සිතීම සාධාරණය.
ජවිපෙ විනාශ කිරීම තම එකම රාජකාරිය කර ගත් අය අතර උඩුගම්පොල ප්‍රමුඛයෙක් විය. නීති රීති බල්ලට දමා මිනිසුන් ඝාතනය කරන ලෙස ආණ්ඩුවට යෝජනාකරන ලද්දේ ඔහු බව කියනු ලැබේ. හමුදා පවුල් තුනක් ඝාතනය කිරීමට පලි ගැනීමක් ලෙස උඩුගම්පොලගේ රාජකාරී ප්‍රදේශයට අයත් මැණික්හින්නේ මිනිසුන් 150 ක් එක දිනකදී මරා දමනු ලැබිණ.