Menu Close

අසඩක් අමතක වීම/ කිරීම

(2019 ඔක්තෝබර් 13 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

දෙසතියකට පෙර මා මෙම පුවත්පතට ලියූ ‘ෆ්‍රෑන්ක් කැප්රියෝලා ඕනෑකර තිබේ‘ යන ලිපිය ඉන්පසු සතියේ සුපුරුදු පරිදි මගේ බ්ලොග් අඩවියේ පළ කළ පසු යමෙකු නිර්නාමිකව පැමිණ එම ලිපියට යටින් මෙවැන්නක් ලියා තිබිණ.

අගනා ලියවිල්ලක් .. ඒත් අසඩක් ගැන අමතක කලේ ඇයි ?

ඇමරිකා එක්සත් ජනපද ප්‍රාන්තයක හමුවන වයස්ගත කරුණාවත් ෆ්‍රෑන්ක් කැප්රියෝ උපුටමින් වඩාත් මානුෂවාදී උසාවි කාමරයක් ඉල්ලා සිටින මගේ ලිපිය තුළ එකදු වාක්‍යයකින් හෝ අසඩක් සිහිපත් කර නොතිබීම ඔහුගේ විවේචනාක්ෂිය මවෙත එල්ලවීමට හේතුවී තිබිණ.

එයට මට දීමට තිබුණු පිළිතුර ද සැබවින්ම ලිපිය ලියවුණු අවස්ථාවේ අසඩක් මගේ සිහියට නොපැමිණි බව ය. එය ඔහුගේ හෝ ඇයගේ සටහනට පහතින් ලියා තබමින්ම අසඩක් පිළිබඳව ද ගැඹුරින් සිතා බලන්නට මම සිත යොමු කළෙමි. ක්ෂණිකව මට හැඟී ගියේ අසඩක් අමතක කිරීම අප සමාජයක් ලෙසම සිදු කොට ඇති බවයි!

අසඩක් අපට මුණගැසෙන්නේ ‘හුණුවටයේ කතාව‘ නාට්‍යයේ අවසන් අංකයන් හිදී ය. ප්‍රකට ජර්මානු නාට්‍යධර බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ ‘The Caucasian Chalk Circle’ ලාංකික වේදිකාවට අනුවර්තනය කරමින් හෙන්රි ජයසේන විසින් 70 දශකයේ දී නිර්මාණය කරන ලද ‘හුණුවටයේ කතාව‘, ‘හුණුවටය‘ යන කෙටි නමින් ඉහළ ජන ප්‍රසාදයක් සහිතව මෙරට නාට්‍ය ශාලාවල දර්ශන වාර සිය ගණනින් ප්‍රදර්ශනය කෙරිණ. නාට්‍යයේ හමු වූ ආකර්ෂණීය ගීත අතුරින් ‘යුද්දෙට මං ගියා – ගෑණි ගෙදර තියා…“ වැනි ගීත ජනප්‍රිය නාට්‍ය ගීත අතරට එක්වෙමින් ගුවන්විදුලිය මතු නොව එදිනෙදා ජීවිතය තුළ හමුවන විනෝද චාරිකා තුළ පවා හමුවන ගීත බවට පත් විය. ජාතික රූපවාහිනිය ද සිය සමාරම්භක දශකය තුළම ‘හුණුවටයේ කතාව‘ සම්පූර්ණ වශයෙන්ම පටිගත කොට කොටස් වශයෙන් ප්‍රදර්ශනය කළ අතර 90 දශකය වන විට උසස් පෙළ සිංහල විෂයය නිර්දේශය සඳහා නිර්දිශ්ට නාට්‍ය කෘතිය බවට ද ‘හුණුවටයේ කතාව‘  පත් විය. අද වන තෙක්ම මහාචාර්ය සරච්චන්ද්‍රගේ නාට්‍ය කෘති බහුල වශයෙන් නිර්දිශ්ට ග්‍රන්ථ අතරට එකතු වන වටපිටාවක එය සුවිශේෂ තත්වයක් ද විය.

බ්‍රෙෂ්ට්ගේ හුණුවටය ඇතුළු නාට්‍ය ගණනාවක, ඔහු හඳුන්වා දෙන ‘දුරස්ථකරණ රීතිය‘ ද සමගින්, අරමුණු කෙරෙන්නේ ප්‍රේක්ෂකයා ඥාණනයට පත් කිරීමයි. විශේෂයෙන් බිහිසුණු ලෝක යුද්ධ දෙකක් අවසානයේ, මිලියන ගණනකගේ ජීවිත අහිමි වනු දුටු හා කම්පිත මනසකින් ඒ විමසූ නිර්මාණකරුවකු ලෙස බ්‍රෙෂ්ට් නාට්‍ය වේදිකාව භාවිත කරන්නට උත්සාහ කළේම පුටු මත හරි බරි ගැහී නළුවාගේ හෝ නිළියගේ හැඟීම් හා සංවේදනා සමග බැඳෙන ප්‍රේක්ෂකයා ඉන් දුරස් කොට මානව සබඳතා සහ සමාජය පිළිබඳ බුද්ධිමත්ව දකින අයෙකු නිර්මාණය කිරීමට ය. ඒ හේතුවෙන්ම ඔහුගේ නාට්‍ය සියල්ලකම පාහේ හමුවූ අවසන් හැඟවුම් ප්‍රබල විය.

මුදු ගුණය ඇති අය… දරුවන් දිනිය යුතු වෙය…
ගොවි දන මනා වූ… දිනිය යුතු වූ සේම ගම් බිම්...“

‘හුණුවටයේ කතාවේදී‘ මෙම තීරණාත්මක අදහස් සමුදාය අප වෙත ලබාදෙන්නට මං සාදන්නේ අවසාන අංකයේ දී වේදිකාවට ප්‍රවිශ්ට වන අසඩක් විසිනි. නාට්‍යයක අවසානයේ, සමස්ථ නාට්‍යයේ ධාවන කාලය හා සසඳද්දී කුඩා මොහොතකට, වේදිකාවට ප්‍රවිශ්ට වන (සැබෑ විනිසුරුවරයෙකු ද නොවන) අසඩක් දුන් තීන්දු දෙස අප බලා සිටියේ උණුසුම් හදවත් ඇතිව ය. 70 දශකයේ පටන් රොඳ බැඳ හුණුවටය නැරඹූ, යළි රූපවාහිනිය වටා එක් රොක් වී ද නැරඹූ, 90 දශකය වන විට උසස් පෙළ සිංහල විෂයය හදාරද්දී අසඩක්ගේ චරිතයේ ගැඹුරු මානව සංවේදනා පිළිබඳ උත්තර පත්තරවල පිටු පිරවූ අපට අසඩක්ව මුණ ගැසුණේ වරක් දෙවරක් නොවේ. නීතිය හදාරන්නට කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට, නීති විද්‍යාලයට ඇතුළු වූ එක් නිශ්චිත පරම්පරාවකට ද අසඩක් මගහැර එහි යන්නට ඉඩක් ලැබුණේ ද නොවේ. නමුත් අපි අසඩක්ව අමතක කොට ඇත්තෙමු.

නිර්නාමික ප්‍රකාශකයා (සැබවින්ම ඒ අසඩක්ම වන්නටත් බැරි නැත!) මගේ බ්ලොග් අඩවියේ තැබූ සටහන මා ඔබේ ඉදිරියේ ද තබමින් එය සමාජයක් වශයෙන් අප යළි යළිත් අපගේ හෘද සාක්ෂියෙන් විමසිය යුතු පැනයක් නොවේ දැයි අසන්නට කැමැත්තෙමි. 70-80 දශකවල (සහ ඉන් පසුවත්) වේදිකා අභියස අසඩක් හමුවූයේ මෙරට සමාජයේ සංවේදී කලා රසික පිරිස යැයි මා කරන යෝජනාවට ඔබ එකඟ වනු ඇත. ගම් නියම්ගම් පුරා විවිධ ශාලාවල වේදිකාගත කෙරුණු හුණුවටයේ දී අසඩක් පුන පුනා බොහෝ දේ අපට කියා ඇත. (නීතිය හදාරන්නට ගිය බහුතරයක් උසස් පෙළදී හදාළ) සිංහල විෂයය නිර්දිශ්ට ග්‍රන්ථයේ දී ඒ යළි යළිත් කියවා ද ඇත. නමුත් ඒ කරුණු අප භාවිතයට කැඳවා නැත.

ෆ්‍රෑන්ක් කැප්රියෝ පරිදිම අසඩක් ද සිය විනිශ්චය ශාලාවට එන මැහැල්ලක් සිය අසුන වෙත කැඳවයි. කැප්රියෝ ඉක්මවමින් සිය අසුනේ ඇය අසුන් ගන්වා ඇය අසළ දන නවමින් මෙලෙස ගයයි.

“අත්තම්මේ මහරු – සිල්වත් වු ගුණවත් වු…
මාතාව දුක්බර – සාරවත් කළ මේ කටුක බිම…
ඔබ පුත් සියලු දෙන – වැටුණොය නිසරු යුද වැද…
බරින් ජීවිතයේ – ඔබ ගත නැවී ගිය මුත්
මෑණියනි එඩිතර – නැමී වැහැරී සිටිනා
පව්කාර අප වෙත  – ඔබේ ආසිරි සුසුම් දෙනු මැන…“

අප දුක්බර මාතාවන්ගේ දරුවන් යුද්ධය වෙත ගොස් මියෙද්දී ඔල්වර නැගුවේත්, ඒ මව්වරුන්ම කුසගින්නට කොස් දෙල් අහුලාගත් වරදවලට සිර ගෙවල ලෑවේත් අසඩක් අමතක කරමිනි. අයෙකු කෙටි කතාවක් ලියූ වරදට දින 130ක් කුඩා දරු දෙදෙනාගෙන් හා බිරිඳගෙන් වෙන් කොට සිර ගෙදරක තබන විට, එය නොදුටු අයුරන් නිහඬ වූයේ අසඩක් අමතක කරමිනි. මිලියන ගණනින් මහජන දේපළ කොල්ල කෑ සොරුන් පැන ගිය සිරගෙවල්වල අහිංසක දුප්පතුන් වැළපෙද්දී ඒ නොතකා උන්නේ ද අසඩක් අමතක කරමිනි. එක් සමයක අසඩක් නැරඹූ, හැදෑරූ පරම්පරාවක සාමාජිකයින් වූ අපම ජෝර්ජි අබෂ්විල්ලිලාට ඉඩ දී නිහඬ වූයේ ද අසඩක් අමතක කරමිනි. 

“බඩගින්නට මිනී මරාපු දුප්පතුන්ව බේරලා යවල තියෙනව මං… 
ඒකම ඇති මෙයාලට මාව එල්ලල මරන්න. 
දුප්පතුන්ට දෙපයින් හිටගන්න ඉඩ දීල තියෙනව මං… 
ඒකත් බලගතු වැරැද්දක්.“

අසඩක් තමන් මනුෂ්‍යත්වය සියල්ලට පෙර තැබූ බව වරෙක කියන්නේ එලෙසිනි. අප රට නීතිය හා එය ක්‍රියාත්මක වන උසාවිය මනුෂ්‍යත්වය පෙරට කැඳවූ අවස්ථා හමුවන්නේ කලාතුරකිනි. ඒ තබා එදිනෙදා කටයුත්තකට තමන් හමුවන එන සාමාන්‍ය අහිංසක පුරවැසියන්ට ඔවුන්ගේ අවශ්‍යතා ගෞරවනීයව ඉටුකොට දුන් අවස්ථා පිළිබඳ ඇසෙන්නේද අවම වශයෙනි. කැප්රියෝ මෙන්ම අසඩක් ද නීතිය හා පාලනය අභියස සිටගන්නේ මිනිසාම බව අපට කියා සිටි තත්‍ය ලොව හා ප්‍රබන්ධ ලොව චරිතයෝ ය. සමාජයක් ලෙස අප හෘද සාක්ෂියෙන් විමසිය යුත්තේ අසඩක් අපට අමතක වූයේ හෝ අප අමතක කළේ මන්ද යන්නයි.

“දෙදරවා නීතිය – ගුගුරුවා සිය වදනින්
විනිසුරු මේ මහඟු – නීති බින්දෝ එය රැකීමට
ලබනු වස් යුක්තිය – සාධාරණය නීතිය
හිස් අතින් සපැමිණි – දනෝ පීඩිත එය ලැබූවෝ…“
-ප්‍රියන්ත ෆොන්සේකා –
  
 

%d bloggers like this: