Menu Close

අභිවහන අධ්‍යයනය: සම්මත නාට්‍ය හා රංග කලා විෂයය ධාරවෙන් ඔබ්බට

(2019 ඔක්තෝබර් 20 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

රිචඩ් ෂෙට්නර් ගෙන එන
‘අභිවහන අධ්‍යයනය‘ හඳුන්වාදීමේ මූල කෘතිය

වසරේ අවසන් කාර්තුව එළඹ ඇති හෙයින් සුපුරුදු පරිදි දිවයිනේ බොහෝ තැන්වලින් විවිධාකාර නාට්‍ය තරග උළෙල සහ ජයග්‍රහණ පිළිබඳ සඳහන් ඇසෙන්නට පටන්ගෙන ඇත. පාසැල්, විශ්වවිද්‍යාල, නාට්‍ය හා රංග කලා පාඨමාලා ගෙන එන ආයතන ඇතුළු තත් විෂයය ක්ෂේත්‍ර සමග කටයුතු කරන ආයතන හා පුද්ගලයෝ ස්වකීය ‘නිර්මාණ‘ කරළියට ගෙන එමින් හා ඒ තරග වෙත යොමු කරමින් වේදිකාව ජයග්‍රහණය (හා සමග පරාජය) හමුවන බිමක් බවට පත් කරගැනීමට කටයුතු දරමින් සිටිති. අනාගත, 2020 රාජ්‍ය නාට්‍ය උළෙල වැනි, තරගාපේක්ෂාවෙන් වසර අවසානයේ එළි දකින නාට්‍ය ද මේ අතර හමු වේ.


තරගය පමණක් නාට්‍ය හමුවේ පැවතීම හා හමුවීම හේතුවෙන් වේදිකාව හරහා බිහි කළ හැකි කළ යුතු සමාජ සංවාදය හා පුරවැසිවින්දන අඩවිය වියැකෙන බව මා මෙම තීරුව හරහා යෝජනා කරන පළමු අවස්ථාව මෙය නොවේ. රංග ශාලාවල අවම බව පිළිබඳ, පාසැල් නාට්‍ය තරගාවලිවල දුර්වලතා පිළිබඳ මෙන්ම නගරාවකාශවල අඩුපාඩු පිළිබඳව ලියූ ලිපිවල මම මේ සාකච්ඡාව සඳහා විවිධ මුලපිරීම් ගත් බව මතක ය. මේ කෙටි ලිපිය ශාස්ත්‍රීය ප්‍රවේශයකින් නාට්‍ය හා රංග කලාව අප විමසන ස්වරූපය වෙනස් කිරීම සඳහා ඇති මාවතක් හඳුන්වා දීමකි. එම නවමු විෂයය ක්ෂේත්‍රය නිසි පරිදි විමසා බැලීම හා හඳුනාගැනීම මානව විද්‍යා විෂයය ක්ෂේත්‍ර සිය අධ්‍යයන කලාප ලෙස රැගෙන එන විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතනවලට ද වැදගත් වනු ඇතැයි යන්න මාගේ විශ්වාසයයි. ‘අභිවහන අධ්‍යයනය‘ ලෙස සිංහල බසින් හැඳින්වෙන (හා හැඳින්විය හැකි) තත් විෂයය ක්ෂේත්‍රය සඳහා වන ඉංග්‍රීසි නාමය Performance Studies යන්නයි.

Performance Studies විෂයයක් ලෙස ලොවට මුණගැසෙන්නේ 80 දශකාරම්භයත් සමග ය. 1980 වර්ෂයේ දී නිව්යෝක් විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා අධ්‍යයනාංශය සිය නාමය Department of Performance Studies නොඑසේනම් අභිවහන අධ්‍යයනය පිළිබඳ අධ්‍යයනාංශය ලෙස වෙනස් කරගනිමින් තමන් තවදුරටත් නාට්‍ය හා රංගකලාව පමණක් අධ්‍යයනය නොකරන හා නූගන්වන බව දැනුම් දීමත් සමග එහි ශාස්ත්‍රාලීය පදනම ස්ථිර විණ. එහෙත් ඒ සඳහා පසුබිම 60 දශකයේ පටන්ම නැගෙමින් තිබුණු අතර නිව්යෝක් විශ්වවිද්‍යාලයේ අදාල අධ්‍යයනාංශය තැනීම සඳහා මූලිකත්වය ගත් මහාචාර්ය රිචඩ් ෂෙට්නර්ට සහ මානව විද්‍යාඥ රිචඩ් ටර්නර්ට මෙම නවමු විෂයයේ පීතෘත්වය හිමිවන බැව් පෙනී යන්නේ මුල් දශක කිහිපය තුළ ක්ෂේත්‍රය වෙත ඔවුන් දෙදෙනාගේ මැදිහත් වීම සුවිශේෂ බැවිනි. අභිවහන අධ්‍යයනය විෂයයක් ලෙස හැදෑරීම සඳහා බිහිවූ නව අධ්‍යයනාංශයේ පළමු මූලාසන මහාචාර්ය ධූරය හිමිවූ බාබරා ගිම්බ්ලෙට් ද මෙම විෂය බිමෙහි ප්‍රමුඛ චරිතයකි.

සැබවින්ම මෙම විෂයය ප්‍රවේශයේ ඇති නැවුම් බව කුමක් ද?

අභිවහන අධ්‍යයනය තව දුරටත් සාම්ප්‍රදායික ලෙස වේදිකාව මත අප දකින රංගය හෝ සමාන ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් පමණක් අභිවහනයන් (Performances) ලෙස ගැනීම ප්‍රතික්ෂේප කරයි. එය එම කලාපයන් ඉක්මවමින් මිනිස් අභිචාරයන්හි, ඇවතුම් පැවතුම්වල සිට ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් හරහා යමින් එදිනෙදා ජීවිතයේ චර්යා රටා, ක්‍රීඩා, ක්‍රියාකාරකම් යනාදිය පුරා පැතිර හඳුනාගත හැකි අභිවහනමය ලක්ෂණ විමසා බැලීම වෙත යොමු වෙයි. මිනිස් චර්යාවේ ඇති ‘පුළුල් බව‘, සරලවම ගතහොත් සියලු මානව චර්යාවන්, ශාස්ත්‍රානුකූල කියවීමක් හරහා වටහා ගන්නට තැත් කරන අභිවහන අධ්‍යයනය විෂයය බිම, නොබියව සිය ඉම් බිම් පුළුල් කරමින් අන්තර් වෛෂයයික ප්‍රවේශයන් හරහා සිය හැදෑරීම් වෙත යොමු වෙයි. ඒ අනුසාරයෙන් අභිවහන අධ්‍යයනය, සමාජ විද්‍යාව, ප්‍රාසාංගික කලාව, ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා ස්ත්‍රීවාදය පිළිබඳ අධ්‍යයන ප්‍රවේශ, මනෝ විශ්ලේෂණවාදය, සංඥාවේදය, සන්නිවේදනය හා ජනප්‍රිය සංස්කෘතිය හා බැඳි අධ්‍යයන ප්‍රවේශ, සංස්කෘතික අධ්‍යයනය වැනි විෂයය ක්ෂේත්‍ර ගණනාවක් හා බැඳෙමින් කටයුතු කරයි.

ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් යනු ඒ අනුව, එහි එක් විෂයය ක්ෂේත්‍රයක් පමණි. සංරක්ෂිත තොරතුරු හා මිනිස් පැවතුම් ඔස්සේ යළි නැගෙන අභිචාරාත්මක අවස්ථාවේ සිට ඉදිරියට ඇති සියළු චර්යා විමසීම, සහභාගීත්ව නිරීක්ෂණය හරහා ක්ෂේත්‍ර ගවේෂණය මෙන්ම සමාජීය මැදිහත්වීම ද මෙම විෂයය ක්ෂේත්‍රය සිය පැතිරුණු විෂයය බිම තුළ තබා දක්වයි. විවෘත, බහුවිධ හා ගතික ලෙස තේමා, ක්‍රමවේද, විෂයයන්, කලාවන් හා පුද්ගලයින් සමග ගණුදෙනු කිරීමේ හැකියාව මේ අනුව මෙම විෂයය කෙතට ලැබේ. ෂෙට්නර් ප්‍රමුඛ විෂයය සමාරම්භකයින්ට අනුව මෙය විශ්ලේෂණ ක්‍රමයක් හා ලෝකය තේරුම් ගැනීමේ ක්‍රමයක් පමණක් නොව ජීවත්වීම සඳහා අත්‍යාවශ්‍ය උපකරණයක් ද වේ.

රංග කලාව යනුවෙන් එක් බිමක පැවති විෂයයක් අභිවහනය වෙත යොමු වීමත්, ඒ හා සමග සෞන්දර්යය සමග පමණක් වැඩි නෑකමක් සහිතව පැවති එම විෂයය සමාජ විද්‍යාවන් හා සමග ද සම්බන්ධතා ඇති කරගැනීමත් අභිවහන අධ්‍යයනය බිහිවීම සමග සිදු විය. කෙසේ වෙතත්, විෂයයේ න්‍යායධරයින්ටම අනුව මෙය තවම නැගී වැඩෙන විෂයයකි. ඒ හමුවේ වන අභියෝග මෙන්ම ප්‍රබලතා හා දුර්වලතා යනාදිය ද හඳුනාගත හැක. නිව්යෝර්ක් විශ්වවිද්‍යාලය සහ නෝර්ත්වෙස්ටර්න් විශ්වවිද්‍යාලය මූලිකව ඇමරිකා එක්සත් ජනපදය තුළ උපත ලද මෙම විෂයය තවමත් ප්‍රචලිතව පවතින්නේ ද යුරෝපීය, ආසියානු, ඕස්ට්‍රේලියානු ප්‍රමුඛ විශ්වවිද්‍යාල කිහිපයක පමණි.

අභිවහන අධ්‍යයනය ප්‍රමුඛ විෂයයක් ලෙස මෙරට විශ්වවිද්‍යාලවල ඉගැන්වෙන බව මා නොදන්නා නමුත් පෙර කී විශ්වවිද්‍යාල ආශ්‍රිතව සිය පශ්චාත් උපාධි හදාරා පැමිණි මෙරට විශ්වවිද්‍යාලවල ආචාර්ය මණ්ඩලවල සාමාජික සාමාජිකාවන් කිහිප දෙනෙකු මෙම විෂයය ස්වකීය පශ්චාත් උපාධි පාඨමාලා අතරට හා/හෝ පර්යේෂණ ක්ෂේත්‍ර අතරට හඳුන්වා දෙන්නට කටයුතු කර ඇති බව නම් පෙනෙන්නට ඇත. පේරාදෙණියේ ලලිත කලා අධ්‍යයනාංශය (දැනට මා සේවය කරන) සිය පශ්චාත් උපාධි පාඨමාලාව තුළ හඳුන්වා දී ඇති අභිවහනය පිළිබඳ න්‍යායන් හා තාක්ෂණය යන පාඨමාලා ඒකකය තුළ මූලික අවධානය අභිවහන අධ්‍යයනය වෙත ලබා දී ඇත.

නාට්‍ය හා රංග කලාව ලෙස තුළ පමණක් තබමින් අභිවහනයන් දෙසත්, ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් දෙසත් බලන අපට එම ක්ෂේත්‍ර අතික්‍රමණය කරමින් විහිදී ගිය දෘෂ්ටි පථයක් ඔස්සේ නෙත් යොමන්නටත්, සීමාවලින් ඔබ්බට පැමිණ, පුළුල් ලෙස අපගේ සමාජ, දේශපාලනික හා සංස්කෘතික ලෝකයේ ක්‍රියාකාරකම් විමසන්නටත් අපට අභිවහන අධ්‍යයන ප්‍රවේශය භාවිත කළ හැකි ය. එහිදී රිචඩ් ෂෙට්නර්, බාබරා ගිම්බ්ලෙට්, රිචඩ් ටර්නර්, පිගී පෙලන්, පැට්‍රික් ජොන්සන්, රෙබෙකා ෂ්නයිඩර්, අන්ද්‍රෙ ලෙපෙකි ඇතුළු න්‍යායධරයින්ගේ සාකච්ඡාවන් අපට භාවිතයට කැඳවිය හැකි ය.

ලාංකික දේශපාලනයේ මතු නොව සමස්ථ සමාජ දේහයේ අද හමුවන ඇදහිය නොහැකි විප්‍රකාරී බව වටහාගන්නට සුදුසු ප්‍රවේශයක් වෙත්දැයි ඇතැමෙක් විමසති. ක්‍රීඩාවට ලැදි තවෙකෙක් ක්‍රිකට් බිමෙහි හමුවන අරුම පුදුම ‘සෙල්ලම්‘ ගැන තේරුම් ගැනීමට මං සොයති. තවත් කෙනෙක් අන්තර්ජාලයට ස්ව- කැමැත්තෙන්ම ස්වකීය රති කෙළි රැගත් වීඩියෝ පට මුදාහරින්නට තරම් නව පරපුර වෙත වන ‘ගාය‘ කුමක්දැයි අපෙන් අසති. මේ සියල්ල සමග, උසම කුළුණ, දිගම සැතපෙන පිළිමය, ලොකුම කිරිබත, වැඩිම පළතුරු ගොඩ පූජා කළ චෛත්‍යය වැනි දේශපාලනික, ආගමික හා සංස්කෘතික ප්‍රසංග වර්ග ද අපට මුණ ගැසෙන අතර ඒ කියවීමට ඇති මාර්ග ද අසති. සැබවින්ම, ඔබට මේ සියලු විප්‍රකාරී වැඩ සටහන් න්‍යායිකව වර නගාගන්නට අවශ්‍ය නම්, අභිවහන අධ්‍යයනය ඒ සඳහා වන වැදගත්ම ශාස්ත්‍ර ගවේෂණ මාර්ග අතුරින් එකක් ලෙස සටහන් කර තබා ගැනීමෙන් කිසිදු වරදක් නොවනු ඇත.

වැඩිදුර විමසුමට: රිචඩ් ෂෙට්නර් ගෙන එන ‘අභිවහන අධ්‍යයනය‘ පිළිබඳ කෙටි වීඩියෝ ඉගැනුම් මාලාව මෙතැනින් නරඹන්න:

-ප්‍රියන්ත ෆොන්සේකා –

%d bloggers like this: