Menu Close

සිංහල ළමයාට දෙමළ යාළුවෙකු ඕනෑ වීම

මගෙ වයස අවුරුදු 18යි. මට තාම දෙමළ යාළුවෙක් නෑ. ඇයි ඔබ තුමන්ලා අපිව මෙහෙම වෙන් කළේ ?” යනුවෙන් දේශපාලනඥයින්ගෙන් විමසන දේවි බාලිකා විද්‍යාලයීය දැරියක පිළිබඳ සමාජ මාධ්‍ය තුළ කතා බහක් ගොඩ නැගී ඇත.
ෆේස්බුක් ලයිව් පැමිණ තමාගේ ඡායාරූප යොදා වංචනික ‘එස්.බී එකවුන්ට්’ සදා ඇති බවත් , ඒවා සෑදූ කොල්ලන්ව දන්නා බවත් පවසා ඒ කොල්ලන්ට අම්මා මෝ නැතිව බණින දැරියන් වෙසෙන සමාජයක මේ දියණිය ඉදිරිපත් කරන ප්‍රශ්නය සාපේක්ෂ වටිනාකමකින් යුක්තය.
නමුත් නවීන තාක්ෂණය මේ තරමට දියුණු යුගයක, කොළඹ අටේ පිහිටි – විභාග ප්‍රතිඵල අතින් අනභිබවනීය තැනක රැඳෙන පාසලක දැරියකට, විශේෂයෙන් රූපවාහිනී -සාකච්ඡා වලට පැමිණෙන්නට තරම් ක්‍රියාශීලී, ඉදිරිගාමි දැරියකට දෙමළ යාළුවෙක් නොමැති වීමේ වරද කොතනදැයි අප අවංකව ම කල්පනා කළ යුතුය. පාසල් සිසුන්ට පෙළපොත්, නිළ ඇඳුම් වවුචර පිරිනමන්නාක් මෙන් රජය මැදිහත් ව සිංහල සිසු සිසුවියන්ට දෙමළ යහළුවන් ද ලබා දිය යුතු ද ?
අනූව දසකය මුළුල්ලේ ම පාසල් අධ්‍යාපනය තුළ පිළුණු වූ මාතෘකාවක් වූයේ සිංහල – දෙමළ සාමය ය. තල් කොළය සහ පොල් කොළය එකට තියා වියන කළාල ගැන ද යාපා පටුනට නෑ ගම් යන සිහින ගැන ද ලියූ කවි, රචනා සියල්ල එකට එක්කාසු කොට කන්දක් සැදුවේ නම් මේ වන විට ලංකාවාසීන් බොහෝ පහසුවෙන් උදේ හවස අභ්‍යවකාශය තරණය කරනවා ඇත. අවසානයේ දී අසංක ප්‍රියමන්ත පීරිස් විසින් අර්ධ නාසික්‍ය ස්වරයෙන් “දීපාවලී දාට දීපාවලී සඳ අරන් – මාතර ගෙදර එන්න යාපා පටුන පහූඌ කරන්” යනුවෙන් භූගෝල විද්‍යාවට ද අභියෝග කරන ගීයක් ගැයූ අතර එය ඇසූ පසු බොහෝ දෙනෙකුගේ යාපා පටුනට නෑ ගම් යාමේ ආශාව ප්‍රහීණ විය. ක්‍රිස්තු වර්ෂ 2009 වසරේ දී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වූ අතර , ක්‍රිස්තු වර්ෂ 2019 දී කොළඹ පාසලක දහ අට හැවිරිදි දැරියක් ඇයට තවම දෙමළ යාළුවෙක් නැති බවට දේශපාලකයින්ට චෝදනා නගයි. ඔබට ඇයගේ කතාව තුළින් ඇය තවමත් වටහා නොගත් සත්‍යයක් නොපෙනේ ද ?
ඒ දසකය කිහිපයක කාලය තුළ යුද්ධයෙන් සෘජු බලපෑමක් නොමැති පළාත් වල සිසු සිසුවියන් තර්ජිත ගම්මාන වල දුප්පත් පාසල් සොයා ගොස් ඒවාට ආධාර උපකාර කළයුරු අත්දැකීමෙන් ම දනිමු. යුද්ධය දරුණු මට්ටමක පවතින කාලවල පවා එවන් ගමන් වලට ඉදිරිපත් වුණු සිසු සිසුවියන්ට පදක්කමක් හෝ ලාංඡනයක් ලෙස පැළඳගැනීමට දෙමළ මිතුරෙක් හෝ මිතුරන් සොයා ගැනීමේ අවශ්‍යතාවක් තිබුණේ නැත. රටේ වෙනත් කොණක තමාටත් වඩා ඌන පහසුකම් යටතේ අධ්‍යාපනය ලබන තමන් වැනි ම සිසු සිසුවියන් වෙත මිත්‍රත්වයේ දෑත් දිගු කිරීම යොවුන් වියේ ආස්වාදජනක ක්‍රියාකාරකමක් විය.මෙවැනි ව්‍යාපෘති, ගමන් බිමන් හරහා ඉබේ ම ජීවිත අත්දැකීම් සහ මිත්‍ර ආශ්‍රය ගොඩ නැගුණු අතර පරිප්පු, සීනි, පිටි පැකට් එකතු කළාක් මෙන් ආයාසයක් ගෙන ආශ්‍රය කිරීමට මිතුරන් සෙවීමේ උවමනාවක් ඇති වූයේ ද නැත. එමෙන්ම පසුගිය යුගයේ දී යහළුවන් ඇසුරු කිරීමේ දී සිංහල , දෙමළ යනුවෙන් අනුපාත වශයෙන් යහළුවන් ඇසුරු කිරීමේ විලාසිතාවක් නොතිබිණ. අද වන විට සංහිඳියාව සහ බොහෝ නූතන ලිබරල් සංකල්ප ජනප්‍රියධාරාවේ පදික වේදිකාවට වැටීමේ ප්‍රතිඵලයක් ලෙස “දෙමළ යාළුවෙක්” හෝ “මුස්ලිම් යාළුවෙක්” සිටීම මහා දෙයක් සහ මහා අවශ්‍යතාවක් ලෙස පරිවර්තනය ඇති බව ද වටහා ගත හැකිය. එය තව දුරටත් විස්තර කරන්නේ නම් බොහෝ ප්‍රදර්ශනකාමී ලිබරල් මතවාදීන් සමහර අවස්ථාවන්හි “මටත් සමකාමී යහළුවන් / යෙහෙළියන් ඉන්නවා” යනුවෙන් ආඩම්බර සහ සාටෝප ලීලාවෙන් ලියන, පවසන අවස්ථා නිරීක්ෂණය කරන්න. ඔවුන් තම අභ්‍යන්තරය තුළින් මිතුරු කෝටාව සමකාමී – විෂමකාමී සහ වෙනත් ප්‍රභේද යනුවෙන් වර්ග කරගෙන ඇති බවත් , මුද්දර එකතු කරන කුඩා ළමයෙක් “මා ගාව අසවල් රටේ මුද්දරයකුත් තියෙනවා” යනුවෙන් උදම් අනන අයුරින් , අසවල් වර්ගයේ මිතුරෙක් තමාට සිටින බව පෙන්වීමට ලිබරල් නඩත්තුකරණයක් පවත්වාගෙන යන බවක් ඔබට නොවැටහේ ද ? මේ දෙමළ යාළුවෙක් අවශ්‍ය වී ඇත්තේ එම මෝස්තරවාදී ලිබරල් සෙවණැල්ලේ ප්‍රතිඵලයක් ලෙසිනි.
ආදරණීය දියණිය ;
වතුකරයේ දෙමළ දැරියන් කොළඹ නිවාස වල මෙහෙකාර සේවයට ගෙනැවිත් හැරලන්නාක් මෙන් යහළුකම් පවත්වන්නට අවශ්‍ය වූ විට කොහේ හෝ දීපංකරයකින් දෙමළ දැරියක් සිංහල ගෙවල් දොරකඩ ට ගෙනත් දීමේ ජාවාරමක් තවමත් මේ රට තුළ ක්‍රියාත්මක වන්නේ නැත. ඔබට දෙමළ මිතුරෙක් අවශ්‍ය ම නම් ඔබ කළ යුතු වන්නේ එක සතියක් දේවි බාලිකා ගේට්ටුවෙන් එළියට බැස ඔබ පාසල වටා ඇති වතු කිහිපයේ චාරිකාවක යෙදීම පමණකි. ඔබට ඕනෑම ජනවර්ගයක මිතුරන් , මිතුරියන් සහ සතුරන් සතුරියන් ද දුසිමක් වත් සොයා ගන්නට ඉඩ තිබිණ.

පාසල් වයසේ දී මිතුරෙක් නැතිවීම සහ මිතුරෙක් සොයා ගැනීම දේශපාලනික කාරණයක් ලෙස පාසල් දැරියක විසින් වටහාගෙන තිබීම විශාල වරදක් නොවන්නේ ඇය තවමත් පාසල් දැරියක වන බැවිනි. නමුත් තමන්ගේ උතෝපියාවන් සහ යථාර්ථයන් අතර පරතරය පියවනු පිණිස පාසල් දැරියකගේ වැකියක් කෙසෙල් කොටයකට ගන්නා වැඩිහිටියන් පිළිබඳ උපදින්නේ අනුකම්පාවකි.
අගතා ක්‍රිස්ටි ලියූ Cat Among the Pigeons කෘතියේ මිඩෝබෑන්ක් නම් උසස් බාලිකා පාසලක මිනීමැරුමක් සිදු විය. පාසලට පැමිණෙන පොලිස් නිළධාරීන් සිසුවියන්ගෙන් ප්‍රශ්න කරන්නට අවසර ඉල්ලා සිටියදී විදුහල්පතිනිය මිසිස් බුල්ස්ට්‍රෝඩ් මෙසේ පවසන්නීය.
But you must remember this. One or other of the girls may wish to make herself important by exaggerating some incident or even by inventing one. Girls do very odd things: but I expect you are used to dealing with that form of exhibitionism.”
ඔබ මෙයත් මතක තියා ගන්න ඕනේ. එක ළමයෙක් හරි කීපදෙනෙක් හරි අනිත් අය අතරින් කැපිලා පේන්න උත්සාහ කරන්න පුළුවන්. මොකක් හරි සිද්ධියක් ඕනේවට වඩා උලුප්පලා හරි තමන්ම එකක් නිර්මාණය කරලා හරි.ළමයි ඒ වගේ වැඩ හරියට කරනවා. නමුත් මම විශ්වාස කරනවා ඔබ ඒ වගේ ප්‍රදර්ශනකාමීත්වයන් එක්ක වැඩ කරන්න පුරුදුයි කියලා.
අවාසනාවකට අප ජීවත්වන සමාජයේ මිස් බුල්ස්ට්‍රෝඩ් ලා විරළ ය.
පාසලේ විවාද සහ රචනා වලට ලියූ සියල්ලම කොයිතරම් දුරට ප්‍රායෝගික ද යන්න සහ ඒවායින් බහුතරයක් ඒ ඒ අවස්ථාවන් සඳහා උචිත ප්‍රකාශයන් විනා අවංක අදහස් නොවන බව හිතට එකඟව පිළිගන්නා තෙක් ම ඔබට මේ දැරිය කියවාගත නොහැකි ය.
“ඉටි පහන්” නවකතාවේ සෝමාවතී හෙවත් සෝමේ කුඩා කාලයේ මැම්බර් මහතාගේ ඉල්ලීම පරිදි දේශපාලන රැස්වීමක කතාවක් පැවැත්වූ අතර එහි පෙරහුරුව නිවසේ දී අසන මළපොතේ අකුරක් නොදත් දුලීනා එය “පළවෙනි” කියා සතුටින් අගය කළා ය.දහම් පාසලේ දී කළ පිළිගැනීමේ කතාව නිසා දේශපාලන වේදිකාවක් අමතන්නට අවස්ථාව ලද සෝමේ මැම්බර මහතා කියා දුන් කතාව එක හුස්මට කියා නිමකර අත්පොළොසන් නද ද වැඩිහිටියන්ගේ ඇගයුම් ද ලැබුවා ය. කතාව නිම කර වේදිකාව පසුපසට පැමිණෙන ඇය ට ලොකු ඔරේන්ජ් බාර්ලි වීදුරුවක් ද ලැබිණි. සෝමාවතී ඉන් කාලාන්තරයකට පසුව ඩේසි සූසන් බවට පත් වූවා ය.
වැඩිහිටියනි ;
නොදන්නා දේශපාලන වේදිකා මත මැම්බර්ලාගේ කතා චතුර ලෙස කියවන කුඩා සෝමාවතීලා ට ලොකු ඔරේන්ජ් බාර්ලි වීදුරු දිගු නොකරන්න. ඔවුනට ස්වාධීන අදහස් ඇති නිදහස් ඩේසි සූසන් කෙනෙක් වන්නට කාලය දෙන්න.
%d bloggers like this: