Menu Close

සංඥා


අකම්පිතයි නෙත් යුග.


ඝණ වනාන්තරයක
උසම උස මුදුණක
සිංහසෙයියාවෙන් සැතපුණ
හිමි හිඳී එකලාව


පිරිසිඳ ඉගැන් වූ දහම
තනිවම ම සිහිකරනවද


අසපුවට පිටුපෑ දිසාවකට ම
කිමද හිමියනි මේ නැඹුරුව?


නොපෙනෙද ඇදෙන ජන ගඟ
බැති සිත් ශ්වේතවර්ණයෙන් තවරා
මල්වට්ටි, හඳුන්කූරු 
වීද අඩුවෙක් සමිද කිස මොනයම්


කිමැයි හිමි මේ නෝක්කාඩුව


සංඥා කුළුණු ඉදිවුණ අසපු බිම 
වේදනා ගෙනදේද ඔබැ’සට?


නෑසේද හිමිසඳ
සුවහසක් මහ බල පිරිත් කඳ
කඳු හිසින් හිස වදිමින්
තුරු හිසින් හිස සිපිමින්
හිස් වා තලය පුරවන‘යුරු
මුලුල්ලෙම දිව රෑ එකම ලෙස


නොපෙනෙන නමුත් සංඥා
සැම සවණකම දැවටේය නොවරදවා


කිම ඉතිං මේ 
මද සිනාවක් මුව අග


නොගැලපේ හිමිසඳ
අකම්පිතයි ඔය නෙත් යුග.


*****

“ඇවිත්නිනි,
‘හඳුනාගනී’ නුයි එයින් සංඥා’යි කියනෙමි’


රූප වේදනා සංඛාර
විඥානයන් අතරම
එකින් එක ගැට ගැහුණු
පිළිසිඳි උපාදානෙක්මය සංඥාව


මිනිස්සුම ගොඩනගති උස කුළුණු
සිරස්පත පරදවා
ඔවුහුම ගොඩනගති කොත් කැරලි
රතු එළිද අබිබවා


සංඥාවන්ම හඹායන
එය නොවේ මා ඉගැන්වූ ධර්මය…”


****


මද පවනිනුද සෙළවුණ
පැන් තොටෙක මුදු දිය තුළ
වියපත්ම දිනිසුරුගෙ 
සංකාර රූප කෙමෙන් බොඳවිණ 


පොකුණසළ ගැවසුන
දියකා විහඟ ස්වරයද
හෙමි හෙමින් ගොළු වෙනතර


සංඥා කුළුණු විසුරණ
සංඥාපිතැ’ති සිතැතිව
විසංඥිත බැති කැළ


සංඥාවන් ලබන්නට
සුවාසු දහසක් දම්කඳ
අල්පැයි හඟිස්සන මෙන්
හෙමින් බැස යති අසපුවෙන්
සංඥා කුළුණු පහු කර


එනමුදු අකම්පිතමයි 
ඒ සදය නෙත් කැල්ම දැල්වෙන 

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර –
%d bloggers like this: