Menu Close

‘බ්ලොග්’ මාධ්‍යයට පිවිසුණු නිසා නව සබඳතා රාශියක් ඇතිවිය.

සිංහල පරිගණක හුරුව සහ Blogs ලිවීම. 


මගේ 150 වෙනි බ්ලොග් සටහන ලියැවෙන මේ අවස්ථාවේදී, හරියටම වසර තුනක අතීතයට 
නිරායාසයෙන්ම ඇදී යාම නොවැලැක්‌විය හැකිය. බ්ලොග් සඳහා පිවිසුමක් ලෙස මා විසින්
ඉංග්‍රීසියෙන් ලියනලද පළමු සටහනට ලැබුණු මුල්ම ප්‍රතිචාර දෙකෙන් මට තව තවත් ලියන්නට
ධෛර්යයක් ඇතිවිය. මේ ඒ ප්‍රතිචාර දෙකයි. 


  1.   රවිගෙන් 
Welcome Sir…..you are most welcome…Looking forward to reading your no
doubt at all very interesting writing…:)


  1.   රසිකගෙන් 
රසිකොලොජිස්ට් – Rasikologist6 April 2017 at 22:08
දිගටම ලියන්න. මේ සටහන් අපට ඉතා වැදගත් වේවි.
මගේ බාප්පාත් මීට වසර කිහිපයකට පෙර බ්ලොග් එකක් ඇරඹුවා. නමුත් එක ලිපියයි, තාම
එතැනමයි.
දැන් අඩ විශ්‍රාමිකව පසුවෙන (උපන්නේ 1945 නමුත් තාම කන්සල්ටින් කරනවා) ඔහු සතු
අත්දැකීම් රාශියක් තියෙනවා බව මා දන්නවා. සමහර විට පූර්ණකාලීනව නිවසට වුනාම
ලියාවි!

එයින් පළමුවැන්න රවිගෙන්,  දෙවැන්න රසිකගෙන්. මේ දෙදෙනාටම  ස්තුති කළ මම, ඊළඟට
කුමක් ගැන ලියයුතුදැයි සිතා ගන්නටවත් නොහැකිව සිටියෙමි. ඒ වන විට මට පරිගණකයෙන් සිංහල
ලිවීමට හුරුවක්ද නොතිබුණි.
පාසල් කාලයේදී හෝ විශ්ව විද්‍යාල අධ්‍යාපනයේදීවත් අපට පරිගණකය භාවිතා කිරීමට නොලැබුණි.         

(පණහ දශකයේ). මට මුල්ම පරිගණකය දකින්නට ලැබුණේ 1964 විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ
සිටියදීය.
එම සිද්ධිය මෙසේය: අධ්‍යයන කාර්යයක් සඳහා ජපානයට ගිය අපගේ මහාචාර්යවරයෙකුට තෑගී ලැබුණු පරිගණකයක්,
විශ්වවිද්‍යාලයයේ ප්‍රධාන ශාලාවේදී සිසුනට හඳුන්වාදෙන ලදී. මේ නිසා එදින සවස් වරුවේ දේශනද
අවලංගු කළ බව මතකයට නැගේ. එදින ශාලාව අතුරු සිදුරු  නැතිව සිසු සිසුවියන්ගෙන් පිරි ගියේය.
ශාලාව මැද අටවා තිබුණු කුඩා වේදිකාවක් මත විශාල මේසයක් උඩ ‘පරිගණකයට’ අයිති උපාංග
රාශියක් තබා කළු පැහැති ආවරණයකින් වසා තිබුණි. නියමිත වේලාවට පැමිණි මහාචාර්යතුමා
උපකරණ නිරාවරණය කර, උපකරණය ගැන සුළු හැඳින්වීමක්ද  කර, එහි අකුරු පුවරුවේ බොත්තම්
ඔබා, යම්කිසි දෙයක් පරිගණකයට ඇතුලත් කළේය. ඊටපසු ඒ අසලම තිබුණු තවත් උපකරණයක්
වයරයක් මගින් පරිගණකයට සම්බන්ධ කල ඔහු, තවත් බොත්තමක් එබූ විට, දෙවන උපකරණයේ
තිබුණු කඩදාසි රෝලක් කරකැවී ගොස් පිටතට පැමිණියේය. තිත් ඉරි පෙලක් ඔස්සේ එය කඩා
වෙන්කළ මහාචාර්ය තුමා, එම කඩදාසිය අප අතින් අත  යැවීය. එහි විශාල අකුරෙන් මුද්‍රණය
වී තිබුණේ ‘WELCOME TO COMPUTER TECHNOLOGY’ යන වගන්තියයි.                                                                                      
පරිගණකයට සම්බන්ධ කළ ඒ දෙවන උපකරණය ‘Printer’ ය බව පසුව දැන ගතිමි. එයද හඳුන්වා දුන් මහාචාර්යතුමා, පරිගණක භාවිතය සහ අනාගතයේදී, පරිගණක නිසා අධ්‍යාපනය ඇතුළු අනිකුත් සෑම
අංශයකම මහා විප්ලවයක් ඇතිවන බව පැහැදිලිකර දුන්නේය.
විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසුව රැකියාවලට ගියපසු වුවද අපට පරිගණක භාවිතයට අවස්ථාවක්
නොලැබුණි. මුල්ම පරිගණකය දැක වසර විස්සකට පමණ පසුව, විදේශයක රැකියාවක් කරනවිට
පරිගණක භාවිතය පිලිබඳ මූලික අවබෝධයක් ලබාගැනීමට අවස්ථාව  පෑදුනි. එහෙත් කිසිම විටක
පරිගණකයේ සිංහලෙන් ලිවීමට අවස්ථාවක් උදාකරගත නොහැකි විය.
විදේශගතවී සිටින හෙල්මලී දියණියගේ මග පෙන්වීම නිසා, විශ්‍රාම ගත්තාටත් පසුව, ඉංග්‍රීසි යතුරු
පුවරුවේ Unicode ක්‍රමයට සිංහල වචන ලියන ආකාරය අවබෝධ කර ගත හැකි විය. මෙය සති
දෙක තුනකදී ඉගෙන ගැනීමට හැකිවීම මහත් භාග්‍යයක් විය. අධ්‍යාපනයේ විවිධ භූමිකා වල රඟපා
ඇති මට එම ‘අධ්‍යාපන රසකතා’ සිංහලෙන් බ්ලොග් ලියන ලෙසද දියණිය ඉඟියක් දුන්නාය. මේ නිසා
මගේ  Blog posts වල තේමාව ‘අධ්‍යාපන රසකතා’ නම් විය. මේ ආකාරයට සිංහලෙන් බ්ලොග්
ලිවිමට අවශ්‍යවන ගුරුහරුකම් රාශියක් හෙල්මලී දුවගෙන් නිරතුරුවම ලැබිණ. අදටත් ලැබෙමින්
පවතී.   
‘අධ්‍යාපන රසකතා’ යටතේ මා විසින් සිංහලෙන් ලියන ලද, මුල්ම බ්ලොග් පොස්ටුවට මුල්වූ
රසවත් තොරතුර වූයේ, මෙයට වසර 65 කට පමණ ඉහතදී, එවකට අධ්‍යාපන ඇමතිවරයාවූ,
නිදහස් අධ්‍යාපනයේ පියා නමින් විරුදාවලියක් ලද,  ආචාර්ය සී. ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර
මැතිතුමා සම්බන්ධ සත්‍ය සිද්ධියකි. කන්නන්ගර මැතිතුමාගේ මධ්‍ය විද්‍යාල සංකල්පය යටතේ,
1945 වසරේදී ආරම්භ කරන ලද, මුල්ම මධ්‍ය විද්‍යාලයය පිහිටුවන ලද්දේ, එතුමාගේ
පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනය වන මතුගමය.

1950 වසරේ පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්වධාරියෙකු ලෙස මතුගම මධ්‍ය විද්‍යාලයයට ඇතුලත්
වීම සඳහා මට අවස්ථාව  ලැබුණි. 1952 වසරේ සෞඛ්‍ය සතියේ දිනක, උත්සවයක් සඳහා
විදුහලට පැමිණි අධ්‍යාපන ඇමතිතුමා අහම්බෙන් මෙන් අපගේ පන්තියට පැමිණ, අපට ඉතා
අගනා සෞඛ්‍ය පාඩමක් උගන්වන ලදී. ‘ආරෝග්‍ය පරමා ලාභා’යන පාලි ගාථා පදය සිංහල,
ඉංග්‍රීසි සහ ලතින් යන භාෂා සතරෙන්ම උච්චාරණය කර, එතුමා එදින කුඩා අප
මවිතයට පත් කළේය.
මෙය මා විසින් සිංහලෙන් ලියනලද පළමු  බ්ලොග් සටහනට පසුබිම විය.                                                                                                                                   
මාගේ Blog posts කියවා රවී දුන්  වැදගත් උපදෙසක් වුයේ ඡේද වෙන් කිරීම පිළිබඳවයි. රසිකගෙන් සහ
තිසරගෙන්ද බ්ලොග් සටහන්  වලට හොඳ ප්‍රතිචාර ලැබිණ                                                                                                               
පසුව ‘ඉයන්’ විසින් අහම්බයෙන් මගේ බ්ලොගය ඔහුගේ සටහනක් මගින් අනිකුත් අයටද හඳුන්වා
දීමෙන්  පසු ලැබෙන ප්‍රතිචාර බෙහෙවින් වැඩිවන්නට විය. මෙයින්ද ‘දූමි’ විශේෂයෙන් සඳහන් කළ
හැකිය. ‘දූමි’ගේ කාව්‍යමය ප්‍රතිචාර නිසා, මට වසර හැටකටත් වඩා වැඩි අතීතයට නැවත එබී
බැලීමට හැකිවිය.
ඒ අප පාසල් යන කාලයේය. එවකට කොළඹ යුගයේ කවියන් රැසක්‌ කාව්‍ය නිර්මාණ කිරීමෙහි
නියැලී සිටියහ. අ.ත.ක‌.ස (අගනුවර තරුණ කවි සමාජය) බිහි වුයේ මේ කාලයේදීය. ‘මීවදය’,
‘අඹ වනය’, කවි ඇස’  වැනි කාව්‍ය මාසික මේ කාලයේ ඉතාමත් ජනප්‍රිය විය. ජෝන් රාජදාස,
මිණිපුර ජයසේන, බ්‍රිටෝ අදිකාරම් වැනි කවියන් එකතුවී කළ, කවි මඩු ද අප මතකයේ ඇත.
කාව්‍යකරණයේදී, ය ව හ න් දෝෂ, පුනරුත් දෝෂ, එළිසම ආදියත්  සමුද්‍ර ගෝෂ, ගෝ මුත්‍ර
ආදී තාල පිළිබඳවත් උගත් දේ යළි සිහිපත් වන්නට විය.                                                                                                                                                      
‘දුමී’ ගේ කවි ප්‍රතිචාර නිසා මටද කවි ලිවීම ගැන උනන්දුවක් ඇතිවිය විය. මම ද  ඔහුගේ කවි
ප්‍රතිචාර වලට කව් පිළිතුරු සැපයිමි. මට නැවත කාව්‍ය කරණය සඳහා මග පෑදු ‘දුමී’ට විශේෂ
ස්තුතියක් පුදකරමි. ‘දුමී’ට උපහාරයක්‌ වශයෙන් මගේ පෝස්ටුවක්  සඳහා ඔහුගෙන් ලැබුණු
පළමු ප්‍රතිචාරයද මෙසේ සටහන් කර තබමි.


Blog වලින් ‘සන්නස’ පුවත් පතට.
මාගේ බ්ලොග් සටහන් කිහිපයක් කියවන්නට යෙදුන, සිඩ්නි නුවර වාසී ‘රසිකලොජිස්ට්’- රසික – සහෘදයා මගේ පෝස්ටුවකට තැබූ ප්‍රතිචාරයක් මගින්, මට සන්නස මාසික පුවත් පත ගැන හැඳින්වීමක් කර,
එම පුවත් පතට ලිපි ලිවිය හැකිදැයි විමසීය. මේ සඳහා කැමැත්තක් දක්වතොත් සන්නස සංස්කාරක
ජගත් එදිරිසිංහයන් ඇමතීම සඳහා ඔහුගේ දුරකථන අංකයද ලබාදුන්නේය.
දුරකථන ඇමතුමක් දුන්  විගසම ඉතා හොඳ ප්‍රතිචාරයක් දැක්වූ ජගත්, පත්‍රයේ පළකිරීම සඳහා  ලිපියක් එවන
ලෙස මගෙන් ඉල්ලීමක් කළේය. 
මේ වනවිට මවිසින් Blog සටහනක් සඳහා ‘බාඳුරා මලද සියුමැලි මලකි. එහෙත් බාඳුරා
කෙන්ඩිය දරුණුය’ යන මැයෙන්  ලියමින් සිටි   ලිපිය තවදුරටත් සංස්කරණය කර ජගත්
වෙත යැව්වෙමි. ලිපියේ ජේද  බෙදීම සහ ජායාරූප සඳහා සිරස්තල යෙදීම වැනි අඩුපාඩු කිහිපයක්
යලි සකස් කිරීමෙන් පසු එය 2017 ජුලි සන්නස කලාපයේ පළකරනබව දැනගන්නට ලැබිණ.
ඒ සමගම නොකඩවා මාසිකව ලිපි පෙළක් පළකිරීම සඳහා “ආ මග සටහන්” යන නමින්
පුවත් පතෙහි පිටුවක් මා සඳහා වෙන් කරන බවද ඔහු පැවසීය. 
සන්නස පුවත් පතෙහි පළවූ මාගේ මෙම ලිපියද, අධ්‍යාපන ක්ෂේත්‍රයේදී සම්බන්ධවූ   සත්‍ය
සිද්ධියක් ඇසුරෙන් සකස් කරන ලද්දකි. එම සිද්ධිය මෙසේය: 
1982 වසරේදී, පාසල් සිසුන් කණ්ඩායමක් විසින්,  ශ්‍රීපාද අඩවිය ආසන්නයේ, පලාබද්දල
ගමෙහි වන ගොමුවක   කරනු ලබන පරිසර අධ්‍යයන කාර්ය සැසියක, සම්පත් පුද්ගලයෙකු
ලෙස මටද සහභාගිවීමට අවස්ථාව ලැබිණ. අධ්‍යාපන අමාත්‍යංශයේ අනුග්‍රහයෙන් කරන ලද
එම එම කාර්ය සැසිය නිරීක්ෂණය සඳහා, නියෝජ්‍ය අධ්‍යාපන ඇමති තුමාද පැමිණෙන බව
දන්වා තිබුණි. උසස්පෙළ විද්‍යා සිසු සිසුවියන් 30 දෙනෙකු, සහ ගුරුවරුද පස් දෙනෙකු 
පමණ සහභාගිවූ එම ප්‍රායෝගික කාර්ය සැසිය හොඳින් සංවිධානය කර තිබිණ.
එක්  කණ්ඩායමක සිසුන් පස් දෙනා බැගින් කණ්ඩායම් හයක් සඳහා ක්ෂේත්‍රයේ විවිධ 
පරිසර හයක අධ්‍යයන කටයුතු සැලසුම් කර තිබිණ. එක් කණ්ඩායමක් භාරව සිටි මට, 
සිසුන් සමග අධ්‍යයනය කළයුතුව තිබුණේ, කළු ගඟ ඉවුරෙහි තෙතමනය සහිත ලඳු කැලෑ
රොදක, ජෛව විවිධත්වයයි.
එහි තිබුණු බාඳුරා ශාකයක් පිළිබඳව අපගේ අධ්‍යයනය කරමින් සිටින විට,  නියෝජ්‍ය අධ්‍යාපන
ඇමති තුමා සහ තවත් කිහිප දෙනෙකු එතැනට පැමිණියහ.     
අපි අපගේ බාඳුරා අධ්‍යයනය දිගටම කරගෙන ගියෙමු.
අප සිටි ස්ථානයට පැමිණි ඔව්හු අප කණ්ඩායම විසින් කරගෙන යනු ලබන අධ්‍යයනය දෙස
තුෂ්ණීම්භූතව බලා සිටියහ.

ටික වේලාවකට පසු   ඇමති තුමා සිසුන්ගෙන් ප්‍රශ්නයක් ඇසීය.
‘මොනවද ළමයි මේ බොහොම ආසාවෙන් ඉගෙන ගන්නේ……’
‘සර්, ජෛව විවිධත්වය ගැන පරිසර අධ්‍යයනයක්. මේක මාංශ භක්ෂක පැළෑටියක්, නම බාඳුරා’
එක්  ශිෂ්‍යාවක් බාඳුරා ශාකයේ කෙන්ඩිය පෙන්වමින් කීවාය.
‘මාංශ භක්ෂක කියන්නේ මස් කන එක  නේද? ඔය පැළෑටියේ මල ද සත්තුන්ව අල්ලා
ගන්නවායයි කියන්නේ’?
ශිෂ්‍යාව එම ප්‍රශ්නයට පිළිතුරක් දීමට අදී මදි කළ විට ශිෂ්‍යයෙකු පිළිතුර සැපයීය.
‘මේ පැළෑටියේ මල් වෙනම තිබෙනවා. ඒ උනාට සත්තු අල්ලා ගැනීම සඳහා සකස් වී
තිබෙන්නේ මේ කෙන්ඩිය’.  
කියා ශාකයේ තිබුණු ‘බාඳුරා බොක්කක්’ (කෙණ්ඩියක්) සහ මල් වෙන වෙනම ඇමති
තුමාට පෙන්වීය.
‘මම මෙච්ච්ච්ර කල් සිතා හිටියේ සත්තු අල්ලා ගන්න බාඳුරා බොකු, බාඳුරා පැළෑටියේ  මල්
කියලනේ’. 
සන්නස මාසිකයේ පළවූ මාගේ පළමු ලිපිය මෙන්න මේ සිද්ධිය සහිත විස්තරයයි
පරිසරයට අදාළ පොතක් ලිවීම
මාස කිහිපයකදී මට සිංහලෙන් පරිගණකය හසුරුවීමට හැකිවීම ආශ්චර්යයක් බඳු දෙයක් විය.
ලිවීමට හැකියාවක් සහ කැමැත්තක් ඇති කෙනෙකුට,පරිගණකය ඉමහත් සේවයක් කරන මෙවලමක්
බව මට ප්‍රත්‍යක්ෂ විය. රජයේ සේවයෙන් විශ්‍රාම ගැනීමට පෙර සිටම,මගේ ප්‍රියතම විෂයය වන පරිසරයට
අදාළ පොතක් ලිවීමේ අදහසක් මා තුළ පහළවී තිබිණ. එසේ වුවත් අතින් ලියා පිටපතක් සකස් කර පසුව
වෙන අයෙකු ලවා පරිගණක ගත කර ගැනීම එතරම් පහසු කාර්යයක් නොවන බව මම දැනසිටියෙමි.
පරිගණකයට හුරුවූ පසු, මම  මගේ සිහිනය සැබෑ කර ගැනීම ආරම්භ කළෙමි. කාලයක් තිස්සේ
එකතු කර ගත් පරිසරයට අදාළ තොරතුරු,අනු පිළිවෙලට ලියා ඒ සියල්ල පරිච්ජේද දහයකට
පමණ ගැලපෙන සේ සකස් කරගෙන, පොත ලිවිම ආරම්භ කළෙමි.මෙසේ සකස්
කරගත් පොතට ‘පරිසරය නිවැරදිව දකිමු’ යන නම තැබීමි.


මාස හයකදී පමණ පොතෙහි සියලු පරිගණක ගතකිරීමේ කටයුතු මට පෞද්ගලිකවම අවසන්
කරගත හැකිවිය. මාගේ පොතෙහි අත් පිටපතක් කොළඹ ගොඩගේ ප්‍රකාශකයින් වෙත යවා
මුද්‍රණ කටයුතු කර ගතිමි.  මාගේ පොත කලට වෙලාවට මුද්‍රණය කර ප්‍රකාශයට පත් කිරීම
පිළිබඳව ඔවුනට මගේ ප්‍රණාමය පුද කෙරේ. 

මගේ ‘පරිසරය නිවැරදිව දකිමු’ පොත 2018 වර්ෂයේ පවත්වන ලද, පුස්තක රාජ්‍ය සම්මාන සඳහා,
විද්‍යා කෘති අංශයෙන්,  නිර්දේශිත ග්‍රන්ථයක් වශයෙන් තෝරා ගැනීමද ජයග්‍රහණයකි.
මේ වන තුරු මට පෞද්ගලිකව හමුවී නොසිටි, සන්නස සංස්කාරක ජගත් එදිරිසිංහයන්ට
මගේ පොතෙහි පිටපතක් යැවීමි. ඔහු පොත  පිලිබඳ අගනා විමර්ශණයක් සන්නස ඊළඟ
කලාපයේ පළ කිරීමට කාරුණික වීම මම නිතර සිහිපත් කරමි. 
ඊට මාස කිහිපයකට පසු, ඕස්ට්‍රේලියාවේ සිටින සිංහල ලේඛක ලේඛිකාවන් කිහිප දෙනෙකුගේ
කෙටිකතා ගොනුකර සකස් කරන ලද ‘කූඩු කිරිල්ලී’ කෙටි කතා සංග්‍රහය එළි  දැක්වීමේ
උත්සවයට සහභාගිවූ අවස්ථාවේදී ජගත් එදිරිසිංහයන් මට හමුවිය. මා ශාලාවට ඇතුල්වීමට
පෙර කවුන්ටරයෙන් කූඩු කිරිල්ලී පොතක් මිලයට ගෙන ඉදිරියට එන විටම   
“මේ අපේ ‘ආ මග සටහන් ලියන,  ‘පරිසරය නිවැරදිව දකිමු’ පොතේ කතුවරයා නේද ?” 
කියමින් ඔහු මා සාදරයෙන් පිළිගත්තේය. එවේලේ ඔහු  සමග සිටි, මෙල්බර්න්හි SBS
ගුවන් විදුලි සේවයේ සිංහල අංශයේ වැඩ සටහන් සම්පාදිකා, දිල්රුක්ෂි විජේසුරිය මහත්මියටද
මා හඳුන්වා දුන්නේය. මගේ පොත පිළිබඳව විමර්ශනාත්මක වැඩ සටහනක්  SBS ගුවන්
විදුලි සේවය ඔස්සේ කළ හැකි බවද ඔව්හු මට හෙළි කළහ.
එදා සාකච්ජා කළ පරිදි ඊට මාස දෙකකට පසු ජගත් එදිරිසිංහ සහ දිල්රුක්ෂි විජේසුරිය
දෙපලගේ මෙහෙයවීම ඔස්සේ මට   ‘පරිසරය නිවැරදිව දකිමු’ පොත පිළිබඳව SBS සිංහල
සේවයේ, ගුවන් විදුලි සාකච්ජාවකට සහභාගී වීමට අවස්ථාවක්ද සැලසින.
හෙල්මලී දියණියගේ ‘සහස් පියවර’ කෙටි කතා සංග්‍රහය 
2019  වසර මුලදී අපට සති කිහිපයක් සඳහා ශ්‍රී ලංකාවට යාමට අවශ්‍ය විය. එම ගමනේ
එක්  බලාපොරොත්තුවක් වූයේ හෙල්මලී විසින් ලියා පළකරන ලද ‘සහස් පියවර’ කෙටිකතා
සංග්‍රහය කොළඹදී එළිදැක්වීමයි. මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ  පැවති චාම් උත්සවය
සඳහා, නෑදෑ හිතමිතුරන් පිරිසකට සහ ශ්‍රී ලංකාවේ සිටින බ්ලොග් හිතවතුන්
කිහිප දෙනෙකුටද ඇරයුම් කළෙමු. මගේ බ්ලොග් සහෘදයින් වන දුමී සහ ප්‍රා.ජේ
එම උත්සවයට සහභාගී වීම විශේෂයෙන් සිහිපත් කරමි.    
ආපසු ඔස්ට්‍රේලියාවට පැමිණ හෙල්මලීගේ  ‘සහස් පියවර’ කෙටිකතා සංග්‍රහය මෙල්බර්න්හිද 
එළිදැක්වීමේ කටයුතු සැලසුම් කරන ලදී. පොත හඳුන්වාදීම සඳහා ජගත් එදිරිසිංහ සහෘදයාට
ආරාධනා කිරීමට අපි තීරණය කළෙමු. ආරාධනය සතුටින් පිළිගත් ඔහු, එදින හරබර දේශනයක්
කර, පොත  පිලිබඳ වටිනා ඇගයීමක්ද කරන ලදී. ඊට මාසයකට පමණ පසුව ජගත් එදිරිසිංහ
සහ දිල්රුක්ෂි විජේසූරියගේ මෙහෙය වීමෙන් සහස් පියවර පොත පිළිබඳවද, එහි කතුවරිය වන
හෙල්මලී සමග කරන ලද විමර්ශනාත්මක සාකච්ජාවක් SBS ගුවන් විදුලියේ  සිංහල සේවය
ඔස්සේ ප්‍රචාරය කරන ලදී.
අධ්‍යාපන රසකතා ‘ආ මග සටහන්’ නමින් පොතක් ලෙස.
‘අධ්‍යාපන රසකතා’ බ්ලොග් සටහන් සහ ‘ආ මග සටහන්’ තොරතුරු ඇතුලත් කර පොතක්
පලකරන ලෙස බොහෝ දෙනෙකු මගෙන් ඉල්ලා සිටියහ. සිංහලෙන් පරිගණකය හොඳින්
හසුරුවීමට හැකියාවක් ලද මට, මෙය අමාරු කාර්යයක් නොවීය. මට මාස කිහිපයකදී,
අවශ්‍ය සංශෝධන සහිතව සංස්කරණය කර, සත්‍ය කතන්දර තිහක
පමණ එකතුවක් සහිත අත් පිටපතක් සකස් කර ගත හැකි විය.
මෙම පොතට පෙර වදනක් සපයන ජගත් එදිරිසිංහයෝ  මෙසේ කියති.   
දැනුම බෙදා හදා ගැනීමේ මෙහෙවරක …….  එකකට එකක් නොපරදින, රසවත් බැවින්
පිරි මේ ලිපි, පාඨකයාඒ ඒ විෂයය පිලිබඳ දැනුම්වත් කරමින් නොනැවතී, අපූරු
රසයක්ද ලබාදෙයි.   එපමණකින් නොනැවතුණු ඔහු, අපේ මෑත ඉතිහාසයේ විවිධ
පැතිකඩ ද මේ කතා ඔස්සේ පාඨකයා වෙත ගෙන එන්නේ, ඒ සිදුවීම් පිළිබඳව
නැවත නැවත සිතා බලන්නට පොලඹවමිනි.”
මේ පොතද ගොඩගේ ප්‍රකාශකයින් විසින්  ළඟදීම ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
බ්‍රිස්බේන්හි 4EB ගුවන් විදුලි සේවාවෙන් විමසුමක්   
මුල සිටම මගේ බ්ලොග් සටහන් කියවා ප්‍රතිචාර දක්වන කෙනෙකු වන  තිසර, ඒ මගින්
හඳුනා ගන්නට ලැබුනත්, මට ඔහු කිසිදිනක හමුවී නැත.  ඔහු බ්‍රිස්බේන්හි 4EB ගුවන්
විදුලි සේවාවේ සිංහල අංශයේ වැඩ සටහන් සම්පාදක වරයෙකු බවද  මම නොදත්තෙමි.
ඔහු හෙල්මලී දියණියගේද බ්ලොග් සටහන් කියවන්නෙකි. මා දේශගුණ විපර්යාස පිලිබඳ
පොතක් ලියමින් සිටින බව ඇයගෙන් දැනගෙන ඇති ඔහු  පසුගිය දිනක මට
දුර කථන පණිවුඩයක් දුන්නේය. ඉතාමත් සුහද ආකාරයට මා ඇමතූ ඔහු, තමන්
4EB ගුවන් විදුලි සේවාවේ,තිසර ශ්‍රීමාල් බවත් අවශ්‍යතාවක් සඳහා මා අමතන බවත් 
කියා, 
‘කලින් නොදැන්නුවාට සමාවන්න.  අපගේ 4EB සිංහල සේවය සමග දේශගුණ විපර්යාස
වලට අදාළ ගුවන් විදුලි සාකච්ජාවකට සහභාගී වන්නට පුළුවන්ද ?  එයට විනාඩි පහළොවක්
පමණ මිඩංගු කළ හැකිය’ යි කීවේය.
මොහොතක් කල්පනා කළ මා හට, ඒ වන විටත් මවිසින් අත්  පිටපත සකස් කරමින්
සිටි “දේශගුණ විපර්යාස අර්බුදය” ලෙස නම්කළ මගේ ඊළඟ  පොතෙහි අඩංගු කරුණු
කිහිපයක් ආශ්‍රීතව පහසුවෙන්ම සාකච්ජාවක් කළ හැකි බව මතකයට නැගිණ. මම
ඒ බව ඔහුට කියා, ඔහුගේ ඇරයුම පිළිගත්තෙමි.
‘එහෙනම්  අපි අද හෙටම “දේශගුණ විපර්යාස” ගැන සාකච්ජාවක් කරමු.’ 
‘මම මූලික කරුණු කිහිපයක් එවන්නම්. ඒ අනුව තව දින දෙක තුනකින් සාකච්ජාව
දුර කථනය ඔස්සේම පටි ගත කරමු.’ ඔහු කීවේය. 
ගිවිසගත් පරිදි, ඔහු විසින් එවන ලද කරුණු වලට අදාලව සටහනක් සකස් කර ගතිමි.
දින දෙකකට පසුව සාකච්ජාව පටිගත කළෙමු. එය ඊළඟ ඉරිදා 4EB ගුවන් විදුලිය
ඔස්සේ ප්‍රචාරය විය. 
මගේ   “දේශගුණ විපර්යාස අර්බුදය” පොතද ලබන වසර මුලදී මුද්‍රණය කර ප්‍රකාශයට 
පත්කිරීමට නියමිතය.
දැනට මගේ බ්ලොග් සටහන් කියවන්නෝ විශාල පිරිසක් සිටිති. ඒ අය විසින්
කරනු ලබන  ඇගයීම් සහ අඩුපාඩු පෙන්වා දීම, තව තවත් ලිවීම සඳහා මහත් රුකුලකි.
ආපසු හැරී බලන විට  මේ සියලු සබඳතා ගොඩ නැගුනේත් සහෘදයින් රාශියක් දැන
හඳුනා ගැනීමට අවස්ථාවක් ලැබුනේත් බ්ලොග් මාධ්‍යය නිසාමය.  
මා හට, බ්ලොග් මාධ්‍යයෙන් ඉදිරියට යාමට, අත හිත දුන් සියලු දෙනාටම
ස්තුති කරන අතරම, ඒ සැමටම ජයෙන් ජයම ප්‍රාර්ථනා කරමින්, මෙම 150 වන
පියවර මෙසේ අවසන් කරමි.
                                                                                                                                                                                                                                                                                               


%d bloggers like this: