Menu Close

දෙපා අවසඟ පාපන්දු පිස්සා – සිව්වෙනි කොටස

රාජමනි අංකල් කියවීමටත් හුරු වූවෙකි. ‘කියවනවා’ කිව්වම දෙකමය. 


පොත-පත කියවීම එකය; කා සමඟ හෝ කතාවට වැටිලා කියවීම දෙකය. රෝද පුටුවකට සින්නවී, තනිවම ඉන්නා මිනිහෙකුට ඉඩක් ලැබුණු වහාම ආලාප-සල්ලාපවලට යොමුවීම වැරැද්දකුත් නෙවෙයිනේ. ඊටත් බොහෝ ඇසූ-පිරූ තැන් ඇති කෙනෙකුට………. දැනීම update කරගන්නා කෙනෙකුට.
කියවීම කිව්වාම පළමුවැන්න පොත-පත කියවන එකය. දෙවැන්න……..
ඇත්තම කිව්වොත් දැනීම යාවත්කාලීන කරගැනීම අතින් අංකල් හිටියේ අපට වඩා ගව් ගණනාවක් ඉස්සරහිනි! එහෙම කෙනෙකුගේ කෝච්චියට අහුවීමත් එක අතක වාසනාවකි.
දිනපතාම ගන්නා Daily News පත්තරය හැරුණුවිට වෙනත් පොතක්-පතක් මිලදී ගන්නට තරම් බරැති පොකැට්ටුවක් අංකල්ට තිබුණේ නැතිවා විය යුතුය. ඕස්ට්‍රේලියාවේ හිටි අක්කා කියවන Women’s Day සඟරා අංකල්ට එවන්නට ඇත්තේ, ඒ අඩුව පුරවන්නට විය යුතුය.

අංකල් ඒ සඟරා කියෙව්වේ නැතිකමට වගෙය. එහෙම ඒවා කියවන අංකල් මටත් ඒ සඟරා දුන්නේය. 

මගෙන් පස්සේ ලංකාවේ හිටි අක්කාටත්!
ඒ සඟරා නිසා මා සොයාගත් එක කාරණයක්; කුකරි රහසක් හැම දෙනාටම කියා දෙන්නට වටියි!

ඒ සඟරා නිසා මා සොයාගත් කුකරි රහසකුත් හිතවත් ඔබට කියා දෙන්නට ……….
සඟරාවේ එක පිටුවක් පුරා කෑම වට්ටෝරුවක් තියෙනවාමය. පිස්සු වට්ටන ෆොටෝස් ගොඩකුත් එක්කම. 

පුළුවන් ඒවා මමත් අත්හදා බැලුවෙමි. 

ආසියාතික සුප් වට්ටෝරුවක Lemon Grass කියලා එකකුත් තිබුණේය. මං කළේ ගුණපාල මලලසේකර මහත්තයාගේ ඩික්ෂනරිය පෙරළීමය. ලෙමන් තිබිණි. ලෙමන් ග්‍රාස් නැත. අංකල්ගෙනුත් ඇහුවාමය කාරණය කිව්වේ!
“Lemon Grass කියන්නේ සේරවලටනේ නිමල්!”
මස් උයනවා නම්, මට ‘සේර’ නැතිවම බැරිය. 
කිහිප වතාවක්ම සේර පඳුරක් වත්තේම වවාගන්නට හැදුවත් හරි ගියේ නැතිය. ඒකත් ඔළුවේ තියෙද්දී ලෙමන් ග්‍රාස් හින්දා මට අලුත් අයිඩියාවක් ආවේය. 

දන්නවානේ මාත් ‘දිසානායක් හේවගේ’ අයිඩියානන්ද පරම්පරාවේ ජානවල උරුමක්කාරයෙකු බව

ඉතින්, මේ ලියන මං කළේ අත්හදා බැලීමක් කරන එකය! ලෙමන් ග්‍රාස් වෙනුවට …..
මා කළේ අත්හදා බැලීමකි. සේර වෙනුවට දෙහි- ලෙමන්- හීන් නාරං කොළ යොදමින් බැලීමය. තුනම ගැළපෙයි! හරියටම හරිය!! ඔන්න ගුරු මුෂ්ටි නැතිවම කියා දුන්නාය.
  
වුමන්ස් ඩේ සඟරාව නිසා මගේ ඉංගිරිසියත් ටිකාක් විතර දියුණු වුණේය. 

ඇස් කඩා හැලෙන පිංතූරත් එක්කම තියෙන වල්පල්-ඕපාදූප….  ඒවා කියවන්නට පොළඹවන සුලුය. 

(‘ධම්මපදයෙන් ඉගෙනගත්’ අත්තානං උපමං කත්වා- තමා උපමා කොට සිතා වැඩ කරන එක මගේ පුරුද්දය.)   
නිදිගෙ පංච තන්තරේ හැඩවෙන්නේ; යහමින් පින්තූර යෙදවෙන්නේ මගේ රුචිය හිතාදර රසික ඔබෙත් රුචිය වේයැයි හිතාගෙනය. 
මගේ බ්ලොගය වැටී තියෙන්නේ Visual Story Teller ගණයටය. 
මං කියන්නේ මගේම ජීවිත කතන්දරය වුණත් ඒකත් එක වර්ගයක කතන්දරයක්ම තමාය.
ගත යුතු දෙයක් තිබෙයි නම් කොතැනින් හෝ එය අරගැනීමට මා පැකිළෙන්නේ නැත. එතැනදී මට ගුරුවරයා වෙන්නේ රාහුල පොඩි හාමුදුරුවන් වහන්සේය. 

ගිහි කාලයේදී, සිදුහත් කුමාරයාගේ පුතනුවන් වුණාට රාහුල හාමුදුරුවෝ ආඩම්බර වුණේ නැත. හැමදාම උදේට, වැලි අහුරක් අතට ගෙන උන්වහන්සේ අධිෂ්ඨානයක් කළාලු. ‘මේ වැලි කැට තරම් අවවාද ගොඩක් අද මට ලැබේවා!’ කියල. 

නුවණැති අය එහෙමයි….. නුවණ නැති අය මෙහෙමයි!
  
පොඩ්ඩක් බලන්නකෝ… අපේ නුවණ නැති නොට්ටිගෙ පුතාලා…. කාගේවත් අවවාද නොතකා, කුඩුම්බිය නොනමා මහන්තත්තකමට කරන දේවල්….. 
  
1937 වසරේ පළ කිරීම ආරම්භ කළ Women’s Day සඟරාව පිටපත් 33,94,754 ක අලෙවියක් වාර්තා කර තිබිණි. ඒ 2013 දීය. 
ආසන්න වශයෙන් තිස්හතර ලක්ෂයක්…. 
එහෙම තැනකින් පිටුවක් සැකසීම ගැන ආදර්ශයක් ගැනීම නරකයිද?
ජීවිතය රස ගන්වන්නේ විවිධත්වයයි. Variety is the Spice of Life!….
ඊළඟට මා අමතක නොකරන කාරණය මට කියා දුන්නෙත් රාජමනි අංකල්ය. Variety is the Spice of Life! 

මේවා අප නොදන්නා දේවල් නොවේ. එහෙත් තුට්ටුවකටවත් නොසලකන ඒවාය. 

කොච්චර හරවත් අදහසක්ද? ජීවිතය රස කරවන්නේ විවිධත්වයයි! කුළුබඩුවලින් ආහාර රස ගන්වනවාසේ, විවිධත්වයෙන් ජීවිතය රස ගැන්වෙයි.
  
අද මා ඇඳෙන් බැසගත් නැකතේ වැරැද්දක්ද මන්දා, මං ටිකාක් දාර්ශනික වෙලා වගෙය. එහෙම නම් මට සමාවෙන්න. මේවා කියන්නේ ලියන-කියන නවකයන්ට සෙතක් වෙතැයි හිතාගෙනය. 
මිත්‍ර සමාගමකට ‘ස්ටෙලා’ වෙන (අනෙක් අයටත් වාතයක් වෙන) අයටත් කැමතියි නම් මෙයින් වැඩක් ගන්නට පුළුවන් වෙයි.
හැබැයි, මෙහෙම උද්ධෘත කොච්චරක් උපුටලා ඇහේම ඇන්නත් සමහරුන් නම් මේ කපේදී ඉගෙනගන්නේ නැත. 
2019 සැප්තැම්බර් 14 වෙනිදා මන්දාරම් විලාවේදී නන්ද කුමාර (දකුණු කෙලවරේ) කියූ නැවක කතන්දරවලින්…….
ලියන්නට ගියත්, කියවන්නට ගියත් එයට විවිධත්වයක් එකතු කරගන්නට හැකියි නම් කවම කවරදාකවත් ඔබට රසිකයන් හිඟ වෙන්නේ නැත! එහෙම වෙන්නේ හැම දෙනාටම හැම දේම නාල්ලන හින්දාය; ගහකට ගල් දහයක් ගැහුවොත් එකක් හරි වැදෙන්නට ඉඩ තියෙන හින්දාය.

අපේ ගෙදරට එකතු වෙන, අප සමඟ ගමන්-බිමන් යන අයව හොඳ සිහියෙන් යුතුව නිරීක්ෂණය කරද්දී පෙනෙන්නේ සමහරුන් අර උපදේශය තුට්ටුවකටවත් මායිම් නොකරන බවයි; එහෙම අය ළඟට එද්දී අනෙක් අය කකුල් දෙකට වැඳ-වැඳ දුවන බවයි!
  
කරුණාකර, අපේ කල්ලියෙන්ම මා දන්නා හොඳම උදාහරණයක් දෙන්නට ඉඩ දෙන්න. මේ positive උදාහරණයකි.
නන්ද කුමාර! ගම මාතරය. බින්න බැහලාද කොහෙද, ඉන්නේ ඇඹිලිපිටියේය. ඉස්සර සීමන් කෙනෙකි. දෙදරු පියෙකි. 
Trip එකක් ගියත්, set වුණත් මේ මනුස්සයාවත් ගෙන්වා ගන්නට අප කවුරුත් කැමතිය. (නන්දෙත් එන්නට පය උස්සාගත් ගමන්ය ඉන්නේ.) 
ඒ නන්දෙගේ නැව්වල ජීවිතය ගැන රසකතා නිමක් නැති හින්දාය. 
මේ වතාවෙත් මන්දාරම් නුවර ගමනේදී ඒ කතන්දර වැස්සක්ම වැස්සේය.
ඔහෙලට කියන්න, එතකොටම ආවා ‘බාජ්’ එකක්. ඒකෙ හිටිය කිකිළියෝ දැක්ක ගමන් අපේ ඉන්ජාට…….
“ඔහෙලට කියන්න, එදා අපි හිටියේ වියට්නාමේ… අපේ නැවේ හිටිය second engineerකාරයයි, මගේ යාලුවා රොෂානුයි, මමයි ඩෙක් එක උඩ හිටියේ. එතකොටම ආවා බාජ් එකක්… 
  
-බාජ් එකක් කියන්නේ පාරුවක් වගේ එකක්. එහෙ මිනිස්සු පවුල් පිටින් එව්වයේ පදිංචි වෙලා ඉන්නවා. ඉතින් …. අර බාජ් එකේ කිකිළියෝ රංචුවකුත් හිටියා. 
ඒක දැක්ක ගමන් අපේ ඉන්ජාට හෙණ හැපී. 
‘හේ රොෂාන්…. යූ සී… that කොක්?’ ඌ කිව්වා. 

-රොෂානයා එබිලා බැලුවා….. ඉන්නේ කිකිළියෝනේ. 
ඌත් දන්න ඉංගිරිස්වලින් උත්තර දුන්නා. ‘No second. ඉට් ඊස් හෙන්. නෝ කොක්….. හෙන්, හෙන්…It is hen.
  
-ඔන්න ග්‍රීක්කාරයට තද වුණා. 
ඔහෙල දන්නවැයි? උන්ට පොඩ්ඩ ඇත්තං තද වෙනවා. 
‘What? හෙන්? නෝ මලාකා…. No, no, no රොෂාන්. කොක්, cock, කොක්’ අම්මට සිරි. දෙන්නා එක පොකුරට වාදේ…. ඉන්ජා කොක් කියනවා…. රොෂානයා hen කියනවා. 
ඉන්ජා පොළොවේ අඩි හප්පනකොට රොෂානයා යටි ගිරියෙන් බෙරිහන් දෙනවා……
අම්මට සිරි! දෙන්නා එක්ක එක පොකුරට වාදේ. එකෙක් cock කියනකොට අනෙකා hen කියනවා…..
-මට තේරුණා වැඩේ. ග්‍රීක්කාරයන්ට ඉංග්‍රීසි බැහැනෙ…..
මක්කැයි දෙඩුවේ?   මට ඇහුණා, හොඳේ … 
අපිටත් ඉංගිරිස් බැහැ තමයි බං. රොෂාත් එහෙමයි. 
‘යකෝ, ඉන්ජට තේරෙන්නේ නැහැ හෙන් කිව්වට. ඌට හෙමින් සැරේ කියපං තේරුම් කරලා. වලියක් දාගන්නෙ නැතිව.’ මං රොෂාන්ට කිව්වම ඔන්න ඌ ටිකාක් නිවුණා. හිතුවා!!
  
-‘You know සෙකන්ඩ්? එග්….එග් ….එග්… egg?’
-‘Yaaa, I know egg!’
-‘හා, ආන්න හරි, එග්…එග්. egg කමින් hen!’
  
-එතකොට තමයි ග්‍රීක්කාරයට හිනාවක් ගියේ. 
ඌ රොෂාන්ගෙ පිටටත් තට්ටුවක් කාරිය දාලා කිව්වා ‘No hen, අයි අන්ඩර්ස්ටෑන්ඩ් යූ. It is no hen. චිකන්, චිකන්. Lady chicken, ලේඩි චිකන් මලාකා!’ කියලා.”
යා, අයි understand යූ! ඉට් ඉස් no Hen මලාකා, Lady.. ලේඩි… lady චිකන් මලාකා!
මෙච්චර වෙලා කතාව කිව්වේ නන්ද කුමාරය. 

අතුරු ප්‍රශ්න- හරස් ප්‍රශ්න- හැඟීම් ප්‍රකාශ කිරීම් එමට තිබුණේය. 
ඒ සේරම නිසි බලධරයා විසින් කප්පාදුවට ලක් කෙරිණි! 
අන්තිම ප්‍රශ්නය විතරය ඉදිරිපත් කරන්නට යන්නේ. “කාටද ‘මලාකා’ කියන්නේ?”
“ඒක මචං ග්‍රීක් වචනයක්!” නන්දෙ කිව්වේය. 

වචනයේ අරුත කියනවා මිස වචනය මෙතැනට ඔබන්නට සදාචාරවත්, සුචරිතවාදී මගේ චිත්තය ඉඩ දෙන්නෙම නැත. 
ශුක්‍ර තරලයට කියන ග්‍රාම්‍ය වචනය මතකයිද? 
අකුරු දෙකේ එකකි. ඒකෙ අගට ‘යා’ අකුරක් එකතු කරගන්න! නැතිනං ‘යෝ’ අකුරක් වුණත් කමක් නැත!!
“නිමල්, කොහෙට ගියත් ඉංග්‍රීසි ඕන වෙනවා. පිටරටකදී විශේෂයෙන්ම…” 
අංකල් කී කතාවක් මට මතක් වුණේ නන්දෙගේ රස කතාව ඇහුවාමය.

එයා අදත් ඉන්නවා නම් ඉංග්‍රීසි නොදන්නා ග්‍රීක්කාරයනුත් නැව්වල් රස්සාව කරන බව……….
අදත් එයා ඉන්නවා නම් ඉංග්‍රීසි හරියට නොදැන ඉන්නා ග්‍රීක්කාරයන් ගැන එයාට කියන්නට තිබිණි.

එයා අසනීප වුණේ හිටි ගමනය. ඉස්සෙල්ලාම ආවේ කෑම අරුචියයි. “කන්න බැහැ නිමල්. බඩත් පුරවලා දාලා!”
බෙහෙත් ගෙනාවත් සනීපයක් ලැබුණේ නැත. 

රාජමනි මිසී මස්සිනාව බලන්නට එක වතාවක්වත් අපේ ගෙදරට ආවේ නැතත්, ඒ වෙලාවේ කර ඇරියේ නැතිය. අංකල්ව දොස්තරලා ළඟට ගෙනියන්නට, පරීක්ෂණවලට ගෙනියන්නට වාහනය එව්වාය. 

ඕස්ට්‍රේලියාවට කතා කරලා එහි සිටි අක්කාටත් එන්නට කිව්වාය.
“අක්කා ආවම සේරම decide කරයි නිමාආආආආආආල්. අනේ කොල්ලෝ….. මේ අහිංසකයා ගැන මේ වෙලාවේ බලන්න ඕනේ උඹ තමයි…. 
අක්කා ඉන්නවා තමයි බං. ඒ වුණාට ඒ නාකි මල ඉලව්ව නමට විතරනේ නිමාල්….. ඔහෙ ඉන්නවා. මං වගේම තමයි. 
සද්දන්ත ඇඟක් තිබුණට මාත් ලෙඩෙක්නෙ කොල්ලෝ. 
Please නිමල්…. මට මේ ෆේවර් එකත් නොකළොත් නං කොල්ලො, මං උඹව මරනවා!”
එතකොට අංකලුත් අපේම පවුලේ සාමාජිකයෙක් වෙලා ඉවරය!
රාජමනි මිසී කිව්වාය කියලා අලුතින් වෙනසක් කරන්නට තිබුණේ නැත. 
අංකල් අපේම පවුලේ කෙනෙකු වෙලා ඉවරය. 
මගේ වගේම, අපේ ගෙදරට එන-යන හැම දෙනාගෙමත්; අපේ අසල්වැසි හැම දෙනාගෙමත්…..
දවසක් උදේ තේ එක හදාගෙන උඩට ගියාම මට තරු පෙනුණේය. 

ගන්දස්සාරේ බැරිය. රාජමනි අංකල්ට ඇඳේම මළ-මුත්‍රා පහවෙලාය. මට හිත හදාගන්නට විනාඩියක් දෙකක් ගියා මතකය! 
උදේ වැඩට යන මං හවසට ගෙදර එන්නේ ඇඳුම් අහවර කරන්නට නොඉවසිල්ලෙනි. 
ඒ මගේ නහය හොඳ හින්දාය. 
මගේ දහඩිය ගඳ මටම දැනෙන හින්දාය. 

Perfume චිත්‍රපටයේ කොල්ලාට වගේම, අසාමාන්‍ය ආඝ්‍රාණ හැකියාවක්  නිමල් දිසානායකට තිබෙන බව මං කලිනුත් කිව්වා මතකය. 
ගඳ-සුවඳට මගේ නහය අසාමාන්‍ය විදිහට සංවේදී වෙනවා වගෙය! Perfume ෆිලුමේ කොල්ලා වගේ……………
ඒ මදිවාට මට අපිරිසිදු දේවල්, ජරා දේවල් එහෙමත් ඕනෑවටත් වැඩියෙන් පිළිකුල්ය. 

ඒ සුද්දවන්තකම නිසාමය, අපේ ගෙදර කිසිවෙකු කොයියම්ම වෙලාවකවත්- තාත්තාගේ හෝ සීයාගේ හෝ ලෙඩකදීවත් මට ආවතේවයන් නොපැවරුවේ. 
එහෙව් නිමල්….. දැන් මොකද කරන්නෙ දෙයියනේ? 
මේ අහිංසක මනුස්සයාට ඒ ජරා ගොඩේම ගඳ ගගහා කුණු වෙන්නට අරිතහැකිද?
  
දත කාගෙන අංකල්ව රෝද පුටුවට ගත්තෙමි; ඇඳේ ඇතිරිලි සේරමත් ඉවත් කරගත්තෙමි. නාන කාමරයට එක්කාසු කරගෙන ගිහින් අංකල්ව නාවා-සෝදා-පිරිසිදු කළෙමි. 

අර bed sheets සේරමත් හෝදලා දැම්මෙමි.
ඇත්තම කිව යුතුය. මං ඒ සේරම කළේ ඉවසාගත නොහැකි තරම් පිළිකුලකින් යුතුවය; උත්තරීතර මනුස්සකමකින් යුතුව හෙම නොවේ. 

ඒ වෙලාවේ වෙනින් choise එකක්; විකල්පයක් නොතිබුණු බැවිනි. වෙන මොනවා කරන්නද?

ඕනෑම රාජකාරියක් අමාරු වෙන්නේ ඉස්සෙල්ලාම වතාවේ ඒක කරනවිටය.
ඕනෑම රාජකාරියක් වැඩියෙන්ම අමාරු පළමු වතාවේ කරද්දීය.
ඊට පසුව අපි ක්‍රමයෙන් ඒවාට හුරු වන්නෙමු. 

මටත් වුණේ ඒකය. රාජමනි අංකල්ගේ වෛද්‍ය පරීක්ෂණවල වාර්තා ආවේ සතියකටත් වඩා පහුවෙලාය. ඕස්ට්‍රේලියාවේ සිටි අක්කා ආවේ ඊටත් පහුවෙලාය. ඒවා පහුවුණාට ලෙඩ-දුක් හින්දා සිද්ධවෙන දේවලුත් පහුවෙනවාද? නැහැනේ.
දවස් අටක්ද- නවයක්ද තිස්සේ, දවසට දෙසැරයක්වත් රාජමනි අංකල්ගේ කැත-කුණු අදින්නට, හෝදන්නට, නාවන්නට, පිරිසුදු කරන්නට විතරක් නොවේ- ඇඳ රෙදි, ඇඳුම් හෝදන්නටත් මේ කොටන ‘පිරිසිදුවාට’ සිද්ධ වුණේය! 

(ඒ සමහර දවසකට මා යමක් කෑවෙත් නැතිය. දුක නිසා නොවේ. පිළිකුල නිසාය.)
“අනේ සොරි නිමල්…. මං හින්දා උඹට හරි කරදරයි…. 
Thanks Nimal …. උඹ මට මගේම දරුවාටත් වැඩියෙන් උදව් වෙනවා….” 

රාජමනි අංකල් කිව්වේ ඇස්වල කඳුළු දෝරෙ ගලද්දිය. තාත්තා හොඳටම අසනීපයෙන් බව අංකල්ගේ පුතාට දන්වා තිබිණි. තාත්තා පණපිටින් ඉඳිද්දී නොආ ඒ නොට්ටිගෙ පුතා පියාගේ  මළගමටවත් ආවේ නැත.
මල්ලිට පිළිකාවක්ලු නිමල්. What to do? තව වැඩි දවසක්……….
“මල්ලිට පිළිකාවක් නිමල්…. What to do? 
එයාට තියෙන කාලය ගොඩාක් අඩුයිලු…. Cancer Hospital එකට නෙවෙයි ‘හොස්පීස්’ එකටම දාන්නයි අපි ලැහැස්ති වෙන්නේ. Paying Ward එකකට. 
එයාලා හොඳට බලනවත්නේ!” අක්කලා දෙන්නාත්, රාජමනි මිසීත් තීන්දු කොට තිබ්බේ එහෙමය.
දෛවය කොතරම් පුදුමාකාරද? 

ඊට අවුරුදු කිහිපයකට පස්සේ අපේ සුනිල්ගේ බිරිය මල්ලිකාත් පිළිකාවෙන් බැට කා, කාලයක්ම ‘හොස්පීස්’ එකේ නේවාසිකව උන්නාය. 
දැන් එය තියෙන්නේ වෙනින්  නමකිනි. ‘සුව සෙවන’ද කොහෙදය. අපේ පවුලේ හතරවැනියා අනිලුත් මේ අවුරුද්දෙම අවසන් ගමන් ගියේ එතැනදීමය. 

සමන්ති නංගී නම් පිළිකාවෙන් මියෙනු ඇත්තේ එංගලන්තයේදීය; ඇයගේ සැමියා බිමල් වගේම.

සමන්ති නංගි 2019 මුල- නිදි 2014 අග ……………..

එතකොට මං?


රාජමනි අංකල් හොස්පීස් එකට ඇතුළත් කළාට පස්සේ දවසකට එක වතාවක්වත් ඔහු බලන්නට යාම මගේ පුරුද්දක් විණි. 
දෙවෙනි දවසේ අංකල් මට රහසක් කිව්වේය!
“නිමල්, උඹ දන්නවා නේද මගේ මේසය. 
ඒකේ දෙවෙනි ලාච්චුවේ තියෙනවා මිනි කැසට් පීස් එකක්…. 
මම මළාට පස්සේ මාව කොහෙවත් ගෙනියන්න දෙන්න එපා. 
මට ආසයි නිමල් මගේ රිලෙෂන්ස්ලගේ කිට්ටුවෙන්ම ඉන්න. 
Please මාව මෙහෙ බෙරියල් ග්‍රවුන්ඩ් එකේම ……”
“අනේ අංකල්, අපි පස්සේ ඔව්වා කතා කරමු!”
කවුරු හරි object කළොත් උඹ ඒ කැසට් එක play කරලා පෙන්නපං!
“No, නිමල්. We have to face reality. 
මට තව වැඩි දවසක් නැහැ. 
උඹ දැන්ම මේවා අපේ සිස්ටර්ස්ලට කියන්න ඕනේ නැහැ. 

-මාව මෙහෙ සිමෙට්‍රියේම වළක දාන්න කියලා මං කැසට් එකේ කියලා තියෙනවා….. කවුරු හරි object කළොත් උඹ ඒක play කරලා පෙන්වන්න ඕනේ, නිමල්….. 

-පහුගිය අවුරුදු ටික…. What a sweet of memory! 

-මං හරිම සන්තෝසෙන් උඹලත් එක්ක හිටියේ…. නෙවිල්, ශාන්ති, දේවිකා, උඹේ යාළුවො….. එයාලා තමයි මගේ නියම නෑදෑයෝ වුණේ….. 
ඒකයි මට මෙහෙදීම පොළොවට පස් වෙන්න ඕනේ.”
මම ඔහුට පොරොන්දු වුණෙමි. 

ඒ පොරොන්දුව එසේම ඉටු කිරීමට බාධාවක් පැමිණුණේ නැත. 1996 මැයි 17 වෙනිදා අභාවප්‍රාප්තවූ, 78 හැවිරිදි ඒ. රාජමනි නම්වූ ඉන්දීය දෙමළ ජාතිකයා, මහරගම දෙහිවල පාරේ රෝහිණී මල් ශාලාවේ දෙදිනක් උඩුකුරුව සැතපී හිඳ – මහරගම ගොඩිගමුව සුසාන භූමියෙදී මිහිදන් වුණේ සතුටෙනි; සමාදානයෙනි!
හිතවත් දිලිප් ජනක කුමාර ෂෙයාර් කරගෙන තිබුණු අර්ථාන්විත පෝස්ටුවකි මේ!
මිනිසුන්ට මිලියනයකත් බිලියනයකත් වෙනස එතරම්ම දැඩිව දැනෙන්නේ නැත. තත්පර මිලියනයක් යනු දවස් 11කි. තත්පර බිලියනයක් යනු අවුරුදු 31.5කි. කොහොමද වෙනස?
පෝල් ෆ්‍රාන්ස් මුහුණු පොතට එකතුකර තිබුණු ඒ පෝස්ටුව කියෙව්වාට පසුවය මිලියන, බිලියන වෙනස හොඳින්ම මගේ හඳුන්පොතට වැදුණේ! 

ඒ ගණනය කිරීමට අනුව නම් අංකල් අප හා එක්ව හිටියේ ආසන්න වශයෙන් තත්පර බිලියනයකින් අටෙන් පංගුවකි. අවුරුදු හතරක් විතර චුට්ටන් කාලයකි.
ජීවිතයේ අන්තිම දවසෙත් රාජමනි අංකල් මට මතක හිටින සතුටක් ලබා දුන්නේය. 

තව ඩිංගෙන්, අපේ නෙවිල් උන්නැහේ නිසා ඒ සතුට අමතක නොවෙන දුකක් බවට පෙරළෙන්නටත් තිබිණි. සිද්දිය සහසුද්දෙන්ම කියනවා නම් මෙහෙමය.
1996 මැයි 16 වෙනිදා දහවලුත් මම රාජමනි අංකල් බලන්නට ගියෙමි. “නිමල්…. මට ආසයි ජෙලි ටිකක් කන්න… උඹට පුළුවනිද හදාගෙන එන්න.”
මට ආසයි ජෙලි ටිකක් කන්න….. උඹට පුළුවන්ද ටිකක් හදාගෙන එන්න?
“මං හවසට ගේන්නං, අංකල්.” 

ගෙදර ආ ගමන්ම මං කළේ ජෙලි බඳුනක් හදලා ශීතකරණයට දැමීමය. ‘හවසට නෙවිල් ආවම එයාත් එක්කම අරන් යතහැකි.’ මං හිතාගෙන හිටියේ එහෙමය. ඒත් මොන…..
“පිස්සුද හලෝ? අද මට අම්බානක වැඩ තිබුණා. 
ඕක අදම ගෙනියන්න ඕනෙ නැහැනෙ. ජෙලි පිළුණු වෙනවය? හෙට ගෙනියමු!” 

බැහැයි කියනවාටත් වැඩියෙන් මට රිදුණේ ඒ අටුවාව ඇහුණාමය. මං ටිකක් නොඉවසූ හින්දා ‘පාලි’ට වුණු දේත් මට මතක් විණි. ‘හෙට මොනවා වුණත් කමක් නැහැ. අදම ගෙනිහින් දෙනවා.’ මට හිතිණි.
නෙවිල්ට ඇනෙන්නටම වගේ, එහෙන්-මෙහෙන් සද්ද-බද්ද දමා ෆුට් සයිකලය එළියට දමලාත් ඉවර වෙලාය, මං ඇඳුමක් දමා ගත්තේ. 

ඒ එතකොටවත් ඒ මනුස්සයා ‘හා යමු.’ කියලා කියාවි යැයි හිතමිනි. 

එහෙම වෙලාවට ‘නාඩි වැටෙන්නේ නැති’ ඒ යක්ෂයා ඔළුව උස්සා බැලුවේවත්, මොකුත් කිව්වෙවත් නැත. 

හොස්පීස් එකට ජෙලි ගෙනිච්චේ මං විතරය. එහෙම තකහනියේ ගෙනිච්චත් අංකල් එයින් හැඳි දෙක තුනක් විතරය, කෑවේ. 
පහුවදා උදේ මිනිය බාර ගන්නට පිළිකා රෝහලට ගියාම………..
“ඔයා ඇවිත් ජෙලි කැව්වට පස්සේ මිස්ටර් රාජමනි මොකුත්ම කෑවේ නැහැ.” පසුවදා උදේ මිනිය බාරගන්නට ගියාම උපස්ථායිකාවක් මට කීවාය.
මේ පෝස්ටුව ඉවර කරන්නට හිතාගෙන හිටියේ එක ප්‍රශ්නයකිනි. හරි නම් එය අහන්නට තිබුණේ අංකල්ගෙන්මය.
රාජමනි අංකල් විතර පාපන්දු ලෝලියෙකු බ්‍රසීලයෙවත් ඉන්නට ඇතිදැයි සැකය. 

මේ මනුස්සයා සේරම වැඩ කළේ කලට-වෙලාවට-පිළිවෙලටය. මොනම හේතුවක් හින්දාවත් දවසේ රූටින් එක වෙනස් නොකළ ඒ මනුස්ස පුත්‍රයා…. Foot Boll මැච් එකක් විකාශය කෙරෙනවා නම් අනෙක් සේරම කටයුතු අත්හැරියේය. 

මහ රෑ- හිමිදිරි පාන්දර වුණත් නිඳි මරාගෙන; ඇහැරීගෙන ඉඳ ඒවා නැරඹුවේය.
අදටත් මට තේරුම් ගන්නට බැරි කාරණාව ඒකය.

අංකල්, ඔයා රෝද පුටුවට වැටෙන්න කලින් Foot Boll ගැහුවද?

තනිවම කෙලින් හිටගන්නටවත් දෙපා අවසඟ මිනිහෙකුට දෙපා සවිය නැතිවම බැරි ක්‍රීඩාවක් එච්චරටම හිතට ඇල්ලුවේ කොහොමද? 
කවදාවත්, එයාගෙන් අහන්නට හිත එකඟ කරගත නොහැකිවුණු ප්‍රශ්නය දැන් මම ඔබට යොමන්නෙමි. 

අංකල්, ඔයා පුටුවට වැටෙන්න කලින් foot boll ගැහුවද෴  

%d bloggers like this: