Menu Close

151. කළු ගඟදිගේ . . . . . . 12

ඉහල නාරගල තියෙන්නේ නාරගලට ඉහලින්! පුදුමයි නේද?

ඉහල නාරගලින් ගොඩවූ අප ලොරි පොඩ්ඩා සමග බැල්ලපිටියට  පැමිණ එතැනින් කළුතරට පැමිණියෙමු.

පසුදින අප සියළු දෙනාහට රැකියා සඳහා පිටත් වන්නට තිබුනි. මේ නිසාම අපට තවත් දිනයක් මිඩංගු කිරීමට නොහැකිව තිබුණි. මටත් තෙශාටත් ඇනෝටත් නිවෙස් වල සිට කිලෝමීටර 25 ක 30ක දුරක සේවා ස්ථාන වලට යාමට තිබුනද පසිඳුහට රපෝර්තු කිරීමට තිබුනේ යාල ඔහු සේවය කල කඳවුරු බිමටය!

ඒ කළුතර සිට; ගෙඩි පිටින් කිලෝමීටර 175 ක් දුරිණ් පිහිටි ස්ථානයකය!

අහසින් යනවානම් මෙන්න පාර!

ඔහුට එදින රාත්‍රිය මුළුල්ලේ ගමන් කොට පසුදා උදැහැනැක්කේ එහි යාමටත් සේවය කිරීමටත් නියමිතව තිබුනි. එනිසාම ඔහුව කළුතරින් කතරගම බස් රියකට නැංවීමේ වගකීමක් මාවෙත තිබුනි.
 මෙනිසාම කළුතරට ගොස් ඔහුව බසයකට ඇරලවා මමත් තෙශාත් ඇනෝත් ලොරි පොඩ්ඩාගේ නැගී බණ්ඩාරගම හරහා කඩවතට පමිණියෙමු.

ඔනෑම කටයුත්තක් මග නතර කිරීම බත් මුට්ටිය ඇට්ටකුණා වීමට බොහෝ සෙයින් සමානය. සමහර වැඩ හා පුද්ගලයින් වළං කටු සේය! එනම් එයින් කිසිදා නැවත වළඳක් සෑදිය නොහැකිවනවා සේම කිසිදා පස් වන්නේද නැත!

අපගේ කළු ගඟ චාරිකාව නිමකලේ;එකිනෙකාට සමුදුන්නේ  ඉදිරි සති කිහිපය තුල නැවත ඉහල නාරගලින් ගමන් අරඹා කළුතරට පා තබා අපගේ චාරිකාවට පරිපූර්ණ අවසානයක් ලබා දීමටය.

 දින සති ගෙවීගියේ කිසිදු අස්වැසිල්ලකට ඉඩ නොතබාය.
වැසි වැස්සේය!
තෙශාට රැකියාවට අමතරව ඉගෙනීමේ කටයුතු හරස් විය!!
මාගේ රැකියාව තුල නිවාඩු යනු නිකිණිය!!!
අප සියල්ලන් හටම හැකිවූ දිනයක් වෙතොත් පසිඳු හට එදින ඔරු පදිනවා තබා බාල්දියෙන් නා ගැනීමට වත් නිවාඩුවක් නොමැති විය!!!!

මේ සමගම අප්‍රේල් 21 වන දින බෝම්බ පිපිරී ගියේය!

2019 මාර්තු 16 රත්නපුරෙන් දියට බට අප මාර්තු 17 නාරගලින් ගොඩට පමිණියෙමු. එතන් පටන් ඉතිරි කිලෝමීටර 20ක 30ක දුර ගමන් කිරීමට ගතවූ කලක් නම්.

මේ සියල්ල සමගින් ගමන මාස ගනනාවක් ඇදිනි.

කළු ගඟේ ගමන් චාරිකාව ගැන සිත් තුල මුල් බිජුවට වැපුරුණුදා; අප සිව්දෙනා අතර සංනිවේදනය සඳහා සැකසුනු “River Expedition” වට්ස් අප් ජාලයට පණිවිඩයක් මුදාහරිමින්; ජුනි මස 18 වන දින අනෝපිලිස් පවසා සිටියේ “2019ජුලි මස 14 වෙනි ඉරිදා කලු ගඟ කයක් සවාරියේ ඉතිරි කොටස දියත් කිරීම සඳහා සූදානම් වන්න” කියාය!

මම එයට ඌණ පූර්ණයක් එක්කලේ මෙලෙසිනි.

පසිඳු පලමුවෙන්ම මට හමුවන්නේ”Lakdhasun”  ෆෝරම් එකෙන් සංවිධානය කල; හැමිල්ටන් ඇල පිරිසිදු කිරීමේ ශ්‍රමදානයකදී. එදා මම පසිඳුගේ දූරකථන අංකය ගබඩා කර ගත්තේ “Lakdhasun” කියලා. ඒ මීට අවුරුදු 8 කට විතර ඉස්සෙල්ලා මං හිතන්නේ. ඒත් තාම දූරකථන ගබඩාවේ පසිඳුගේ අංකය තියෙන්නේ එහෙමමයි!

ඊට පිළිතුරුලෙස පසිඳු ඔහුට එදින සහභාගී වීමට ඇති නොහැකියාව පවසා ජුලි මස 7 වන දින පවසා සිටියේ ජුලි 14 වනදින ඔහුට නොහැකි බවය.

ජුලි16 වෙනි පෝය දින තෙශාන්ත විසින් යෝජනා කර තිබුනු අතර ඒය ඇනෝ විසින් ස්ථිර කර තිබුනත් එයට පිළිතුරු ලෙස මා පැවසූවේ වැඩේ අගෝස්තු 11 වනදිනට කල තැබීමටය.
වැඩේ එයින් මෙයින් කල්  ගිහිං ගිහිං අගෝස්තු 11 ට යන්නට පිඹුරුපත් සැකසුනි.

අනපේක්ශිත ළෙස ඇනොට උන වැළඳී තිබුනි.

එයට ඇනෝගෙන් කිසිදු ප්‍රථිචාරයක් නොලද්ද අතර ජුලි 29 වෙනිදින ඔහු පවසා සිටියේ “මට සහලෝල උණ!’ කියාය. එසේම තවම උණ බැස නොමැති අතර ඉන් ඉක්බිති සති දෙකක් වත් විවේකීව සිටිය යුතු බවය!

වැඩේ හැමදා වගේම අවුල් වී ඇත!
2018 නොවැම්බර් 16 වෙනි දින එනම් හරියටම ඊට මාස  අටකට පමන පෙර මාගේ බ්ලොගයේ දකුනු පස ඉහල කෙලවරේ ඇති “යොමුව” තුලින් මා ලද ඉල්ලීමක් විය.එය සැකවින් මෙසේය:

“ඔබ නැවත බෝට්ටු චාරිකාවක යෙදෙනවාද? එයට අපටද එකතු විය හැකිද?
මගේ දූරකථන අංකය:……………… මගේ ඊ ලිපිනය……………….. 
මීට සුදාරක! “

සුදාරක යනු මගේ හිතේ පැලපදියම් වුනු චරිත නාමයකි. ඒ; ජී බී සේනානායකගේ රසාලිප්ත නවකතාවක් වන “වරදත්ත” නවකතාවේ එන චරිතයකි.

 අපගේ බ්ලොග් ලෝකයේ හා ඉන් පරි භාහිරව සැරිසරන අනේක විදි “අයියලා”ගැන මාහට යම්තාක් දුරට අදහසක් තිබුනු බැවින් සුදාරක “රොබෝවකු” නොවන බව තහවුරු කර ගැනීමට; මා මගේ අනන්‍යතාවය හෙළිනොකර ඔහුගේ කරුණු විමසූවෙමි. ඒ සඳහා මා යොදාගත්තේ කාර්යාලයේ ස්ථාවර දුරකථනයයි. සුදාරක ඔහු පදිංචිව ඉන්නා ස්ථානය හැරෙණ්නට වෙන කිසිදු තොරතුරක් ලබා දීමට අකමැතිවිය. එවිට මා මාගේ අනන්‍යතාවය හෙලිකොට දූරකථනය විසන්ධි කර දැමුවෙමි.

සුදාරක දෙතුන් විටක් මා ඇමතීමට උත්සාහ කලද එය මාගේ ස්ථාවර දූරකථන අංකය බැවින් මා එයට නතු නොවීමි.

මෙම සිදුවූ සිදුවීමට හදවතින් මට කුනු බැනුම්ය! මා අනවශ්‍ය තරම් “ස්මාට්” වීමට ගියා වත්ද? කම්ක් නෑ මම තව දවසකින් දෙකකින් කතා කරණ්නම්. මා හදවතට පොරොණ්දු උනෙමි!

හිතවත් කමෙන් ඔතා බෙහෙත් දෙන තැනක්!

ඔබට මතකද මේ රූප රාමුව? “සයිකලයෙන් තල් අරට 1″ පටන් ගන්නෙම  මෙම රූප රාමුවෙන්. මේ ෆාමසියට අධිගෘහිත දේවතාවා තමයි සුසන්ත !

සුදාරකව ඇමතූ දිනට හරියටම දිනකට පමණ පසු දිනෙක මාහට “පුරසඳ ෆාමසියේ” සුසන්ත ගෙන් ඇමතුමක් ලදිමි. 
“අයියෙ ඔයාට කතා කරණ්න ඕනෑ කියලා එක්කෙනෙක් මොබයිල් එකේ නොම්මරේ ඇහුවා මම දෙන්නද?”
තල් අරණ තෙක් මා සමග සයිකල් පැදපු ගමන් සගයෙකු වූ නිශාන්ත නම් අතිශයින් ප්‍රයෝජනවත් මිත්‍රයා මාහට සපයා දීමේ ගෞරවය හිමිවිය යුතුවන්නේද සුසන්තටම වන බැවින් මා දෙවරක් නොසිතුවෙමි.

“අවුලක් නෑ දෙන්න මල්ලි!” මම කීවෙමි.

අනේ අපරාදෙ කියන්න බෑ විනාඩි ගනනක් යන්නට ඇත. මගේ ජංගමයට නන්නාදුනනා අංකයකින් ඇමතුමක් ගලුවේය.

“අයියෙ මම සුදාරක! . . . . . .” (අප්පට සිරි!)

කතාව නිම වූයේ ඊළඟ කයාක් සංචාරයට ඔහුව එක් කර ගැනී මේ පොරොන්දුව ඔහු මත මා තබමිනි!

මේ වන විට ඇනෝගේ උන ගැනීම අපේ ගමනට ඇන ගැනීමක් වී අවසානය! පසිඳුගේ දකුණු අප්‍රිකානු ගමන කරණ කොට ගෙන මෙම ගමන ඇනෝගේ උන බසින තුරු කල් දැමීමටද නොහැක!

පසිඳුහට FGASA (The Field Guides Association of Southern Africa)  පාඨමාලාව සඳහා පිටව යන්නට ඇත්තේ සැත්තැම්බරයේය! එයද සැලකිල්ලට ගත යුතුය. එසේම වැසි නැති දිනයක් වියයුතුය. දැඩි ඉඩෝරයද ගමනට බාධා පමුණුවයි.

මට එකවර සුදාරක මතක් විය! මම ඔහුට ඇමතුමක් ගතිමි.

සුදාරක එකෙන්ම වැඩේට ගැලපී ගියේය. ඒ මොහොතේ උවද ඇඳං සිටි ඇඳුම පිටින් හෝ ගමනට ඔහු එකඟය! එළය!
කිසිදා ඇහැට දැක නැති එකෙක් සමග කයාක් සංචාරයකට යෙදෙන පලමු අවස්ථාව මෙය නොවේ. මහවැළියේ “ගඟක් දිගේ”  ගමනට මෛත්‍රීව සහභාගී කරගත්තේද එලෙසමය! 

ඇනෝගේ සිත නොරිද්දාම මා සුදාරක පිළිබඳව; වට්ස් අප් ජාලය හරහා ඔහුට හා අනෙක් දෙදෙනා හට දැනුම් දුන්නෙමි.

එදින රාත්‍රියේ අප දූරකථන සම්මන්තරණයක යෙදුනෙමු. ඔහුව හැකි උපරිමයෙන් අප් දැනුවත් කලෙමු. 

අපගේ සියළු බලා පොරොත්තු සුන් කරලමින් මහ වැසි පටන් ගැනුනි. මේ වැසි රත්නපුරයට ඇතුළු කළු ගඟේ ඉහත්තාවට, ජල පෝෂක ප්‍රදේශ වලට හෝ ගංගා ධාරයට  කඩා වැටුන හොත් අප හට කයාක පදින්න වන්නේ සංචාරයට නොව ආධාර බෙදීමටය.
ගමනේ මුල සිටම කළු ගඟ මා සිත් ගත් එකක් නොවීය! එනිසාම මා කිසිවෙකුට යන්න කියන්නේද නැත! එනිසාම වැසි වැටීමෙන් එම හැඟීම තවත් උද්දීපනය වීමට ඉඩකඩක් ඇත. එසේම කලු ගඟේ නොගැඹුරු තැනක් හමු නොවීය. එනිසාම වැසි සමග එය වඩාත් ගැඹුරු විය හැක.
සත්තකින්ම යත්‍රාවක් තුල සිටිනා අයෙකු ගැඹුර ගැන කලබල විය යුතු නැත. මන්ද එය පාවෙන්නේ මතු පිට බැවිනි. එහෙත් අධික ගැඹුරක් පවතින ස්ථාන හරහා පැදයාමේදී සිතට දැනෙන බිය කිසිදු තර්කයකින් අස්වසාලිය නොහැක. 
කෙතරම් ශක්තිමත්ව නිර්මාණයකල; විශාල උසකින් සමන්විත ගොඩනැගිල්ලක සිට පහත් බැලූ විට සිතට දැනෙන බියට එය සමානය. 
මේ කාරණා නිසාම වැස්ස විසින් මගේ උප විඥ්ඥානය මත ඇති කල ප්‍රථිරෝධය සෙසු පටු නැත!

වැසි නිසාම අගෝස්තු 11 ගමනට මගේ සිත තුල තරමක ප්‍රථිරෝධයක් පැවතුනි. එනිසා අගෝස්තු 10 වනදින දහවල් වනතුරුද පසුදින ගමන පිළිබඳව නිශ්චිත නිගමනයකට එළඹීමට අපට නොහැකිවී තිබුනි! ඒවන විටත් පසිඳු යාලින් පිටත් වී කොළඹ බලා පැමිනෙමින් විය.ඒ පසුදින යාත්‍රා කිරීමටය. හෙට දින යාමට නියමිතව තිබෙන ගමන; අද දිනය තුලදී අවලංගු කිරීමේදී සැළකිය යුතුව තිබුණු එකම කරුණ වන්නේ පසිඳුගේ කාලය, මහන්සිය හා මග වියදම පමණි.
අප දෙපසට වැනෙමින් “මස් කනවද? මාළු කනවද??” කියමින් දෙපැත්තට අදිමින් සිටිනා විටදී මගේ වැඩපොලට පසිඳු කඩා වැදුනි. 

“දැන් හෙට යනවද?” මම දෙපැත්තටම නැති ගන්ධබ්බ ප්‍රශනයක් ඇසුවෙමි.

“නැතුව!? යනවා! යනවා!!” 

මට තවදුරටත් ගමන ගැන හිතන්නට දෙයක් නොමැත. හිතන්නට ඉඩ කඩක්ද නොමැත. 

සීතාවක රාජසිංහයන් කල සිටි අරිඨ්ට කී වෙන්ඩු “රාජා හෝ මා හෝ ගංගාවෝ” කීවාසේ; මමද “කයාකයෝ පසිඳුවෝ ගංගාවෝ” කියා සිතාගෙන මගේ අළුත්ම අදහස මෙන්ම යෝජනාව ජාලයට එක් කලෙමි.

මැරෙණ්න එකෙන්ම!

සුදාරක මා ඇමතීමි! මම පසුදින ගමන යන බව අවධාරණය කලෙමි. ඒ ගමන්ම තව පුංචි පහේ ඉල්ලීමක්ද කලෙමි!

“කොල්ලො එවපංකො උඹේ පොඩි පිංතූරයක් උඹ කොයි වගේද කියලා දැක බලා ගන්න”

හොර බළල් මූණත් තහඩුව!

මා ඇනෝව අමතා පසුදින අප නව ගමන් සගයෙකු සමග ගමන් අරඹන බව හෙමි හිමීට කියා දැමුවෙමි. 

“අනෙ අයියේ ලොකු දෙයක්! මට ඔයාට කියා ගන්න බැරිව හිටියේ වෙන එකෙක් දාගෙන යන්න කියලා!”

මදුරුවෙකුගේ සමු ගැනීම!

ගං දෑල දෙපසම
කෑල මල් පිපි ඕසෙට

කොමල කළු ගඟ
සිඹිමි ඔබ ගෙන දෑතට

හද ඉතින් ඉවසන්න
බාරවෙන්නම් මම – කළුතරට 

මියෙන්නට පෙර දිනෙක 
එතෙක් හද; ඉවසන්න

විඳින අපමණ දුක් ගැහැට

%d bloggers like this: