Menu Close

සමන් නම් මල්කරු__

අහසින් සිහින කාණ්දු වෙමින්, හතරාමාරට වැඩ ඇරී ගෙදර දුවන්නන් පොඟවමින්..වාසුකී තෙමෙන නඟරය දෙස තට්ටු පහක් උඩ සිට නරඹමින්,වචන වාක්‍ය තුළට එම්බ්‍රොයිඩර් කරමින්, වගන්ති පෙළක් මසමින්.. පෙරේදා රැගෙන ආ උස වීදුරු බඳුනේ ඇස්ප්‍රින් සැරට තවමත් අවදියෙන් සිටින බාබන්දේසියා මල්, බටහිර ජනේලයෙන් හෝස් ගා ගලාගෙන එන හැන්දෑ තෙතමනයෙන් යුත් මද එළිය දෙස හිටිවනම බලාගෙන පාළුවෙනි…

වාසුකීගේ මැස්ම පිළිවෙලය, නොකිලිටි ය..වචන එකපිට එක නොයයි..ඈ පෑනෙන් හිස කසමින්, පෑනේ පස්සා පැත්ත හපමින් ලියමනට පාට පොවමින් ගොතන්නී ය.. සමන් පැමිණියේ රැවුල තෙත් කරගෙන ය..ඔහු තද රතු කමිසයේ තෙත් පැල්ලම් අතින් පිහදාන්නට ගන්නා මෝඩ උත්සහය දෙස බලා, සිනහවක් දල්වා වාසුකී ඔහුගේ මුහුණ පිරික්සමිනි..

සමන් හොදටෝම තෙත් ය..ඇඳිවතට වඩා තෙත් උණා ඇති උන්ඩි වෙවී උඩගහන නූඩ්ල්ස් කොණ්ඩය වාසුකී තුවායකින් සුරතල් කරමින්, “ගෙනාවා දැයි?” අසන විට, “ගෙනාවා” යැයි කියා තුවායෙන් ගලවාගත් කොණ්ඩය රැගෙන සමන් නානකාමරේට පියාඹා යන්නට විය.. වාසුකී තෙත් තුවාය අහසට වීසි කර නැවත ගොතන්නට සැරසෙන..

මල් රැගෙන එන්නේ සමන් ය.. අසල්වාසීන් මල් ප්‍රිය නොකරයි.. මල් රැගෙන එන්නේ වාසුකීටය..වාසුකී රැගෙන එන මල් කුඩා පෙට්ටියක බහලන්නී, සුරකින්නී ය..

අඳුරේ කුරහඬ වැහි කෝඩයේ ගොරහැඬි ගොරගොරය හා මුසුව, වසා දමා ඇති කවුළුවකට  වැහි වතුර බෝල වලින් පහර දෙමින් වාසුකී කළඹයි..වාසුකී හුන් තැනින් නැගිට සෝපාවක් උඩට ඇඳහැලුනි.. සිවිලිමේ මකුළු දැල් වල ඇමිණිනුන ලක්ස ගණනින් ජීවිත සෝපාවේ දිගා වූ විට පෙනෙන හැටි..

සමන් පැමිණියේ “මලක් ගහමු දැයි” අසමිනි..වාසුකී මලින් සැරසෙන්නට සෝපාවේ හරිබරි ගැසෙමින් වාඩි වූවා ය.. වසා දැමූ ජනෙල් වලට වැහි හීත වළකාලිය නොහැක..සමන් මල් පෙති කඩා  කවියක් ලියූ කොළකය සීරුවට අඩුක් කර ඔතා ඇය අත තැබීය..මල් කරුවන් පමණක් දන්නා මල් ගෙතීම, නටුව නොපෙනෙන්නට මල් වෙලීම සමන් දනී. වාසුකී මල් සුවඳ පෙණහළු වලට ගෙන සිවිලිමේ මකුළුවන් දෙසට මුදා හරිමින් හතිලමින්..

“ඔයා මොනවා ද උදේ ඉදන් ලියන්නේ?”

සමන් ගැන්ඩල්ෆ් පන්නයේ දුමක් පිටකරමින් උගුර පාදයි..මේ වන විට වාසුකී තම ස්වකීය  විශ්වය මත උඩුකුරුව පාවෙමින් සමන්ගේ කටහඬින් සෑහෙන්න ඈතට ගසාගෙන ගොස් ය.. දූමාකාර පණිවිඩකරුවන් හෙවත්  සීනි පුළුන් යැයි කුඩා කල අප සිතූ වලාකුළු මතට අඩිය තබමින් වාසුකී සමන් අසන ප්‍රශ්න වලට පිළිතුරු අහුලන්නී, ඇස් පොඩිකරමින් නිදිගැට ලිහන්නී ය..

“කොල්ලෙක් ගැන.. මට ලියන්න ඔනි වුනේ කොල්ලෙක් ගැන…” වාසුකී ජනේලය අසල ගොස් ජනෙල් පියනක් හැර දමා ‘අහවර වැසි’ නැවුම් පුසුඹින් හුස්ම පුරව ගත්තා ය.. “කොල්ලෝ ගැන ලියන්න අමාරුයි..කෙල්ලෝ ගැන නම් ලියන්න පුළුවන්”

සමන් තවමත් ඇතුළින් ගිනි ගන්නා හදවත දුමක් මෙන් සෙමෙන් නාසා පුඩු අතරින් විදිමින්.. “ඒ මොකෝ ඒ..කොල්ලෝ ගැන මහ විස්තර ලියන්න නෑ නෙහ්” යැයි අසමින් දෑස් අඩවන් කරගත්තේ ය.. වාසුකී කල්පනා කරමින් කුස්සියට ගොස් ගෑස් ලිප අවුලුවා නිල් පාට ගිනි දැල් වලින් කේතලය පුළුස්සනට හැර, සීනි අහුරක් උගුරට හලා ගන්නී ය..ඇය බොහෝ නිහඬව, කහට කෝප්ප දෙකක් සාදා එකක් සමන් අසලින් තබන විට, සමන් “වැඩි සීනි?” දැයි අසමින් ගිනි රස්නෙන්ම උගුරක් බොන්නට විය..

රාත්‍රිය හමා යමින් තිබුණි.. වාසුකී නැවත කොල්ලෙක් ගැන ලියමින් වෙහෙසෙද්දී, සමන් නැවත තෙමුණු රතු කමිසයට සහ ඉරුණු ඩෙනිමකට බැස යන්නට සැරසෙයි.. “කොහේද යන්නේ, මොකද කරන්නේ යැයි” අසන්නේ වාසුකී නම් නොවේ..සමන් පිටව යන විටත් වාසුකී ඔළුව කසමින් කොහේ දෝ දුර ලෝකයක් දෙස දෑස් දල්වාගෙනය..

කොළඹ නම් තරුණියක් ම බව සමන්ට සිතෙයි.. ඇය හා ප්‍රේමයෙන් බැඳෙන්නන් ඇය හැරදා නොයයි.. මහ වැස්සක පශ්චාත් ලකුණු වන තෙත් කාපට් පාරේ තැනින් තැන එක්කහු වුන වතුර කඩිති උඩින් “චිටිස්” ගා ඇදී යන වාහන නිසා කළබල වූ මඩ දිය, හිසලූලූ අත විසිර යයි..සමන්ගේ කමිසයේ ද නතර වෙයි..

ඩේවිඩ් සිටින්නේ මුහුද අසල ය.. සමන් ඔහු සොයා පැමිණිවිට වැස්සට බත් වුන කොන්ක්‍රිට් බංකුවේ පසක් පෙනවා සිනහසෙන්නට විය..

“මුහුද කියන්නේ හැඟීමක්..වතුර ගොඩක් නෙමෙයි..” ඩේවිඩ් මුහුදට කියයි.. මුහුද තේරුනාක් මෙන් සුදු පෙණ අහසට විසිකරමින් විරිත්තයි..

“එයයි මමයි හම්බුනේ මෙතනදි..ඒකි ආදරේ කලේ මෙතනට… නගරේ දහදුරාව ගහගෙන එන මේ මුහුදු කොටහට ඒකි නොසෑහෙන්න ආදරේ කලා.. ඒකි කිව්වේ සල්ලි ටිකක් එකතු කරන් ජීවිතේ හොයන් මුහුදෙන් එහා පැත්තට යමු කියලා…බඩට නොකා  සල්ලි හොයාගෙන ඉවර වෙනකොට ඒකිට එලොවින් වීසා එක ඇවිත්.. බාගදා ජීවිතේ මුහුදෙන් එහා නෙමෙයි, මේ ගෙන්දගම් පොළවේ තියෙන්නත් ඇති.. දැන් පරක්කුයි..දැන් මහන්සියි..”

ඩේවිඩ් කමිස කොණකින් සොටු හූරමිනි..සමන් ඩේවිඩ් අතට මල් මිටක් දී කොල්ලුපිටියට යන්නට විය.. මඟ දිගට වීදී ලාම්පු එළි ජවුසම් නටමින් දැල්වෙයි.. කොළඹ කළුවරට ඉඩක් නැති.. අහසේ තරු අන්ධ කරමින් කොළඹ දිලිසෙයි..සමන්ට  ඈත සිට අතවනන ලිප්ස්ටික් කූරක් පෙනුණි.. සාවිත්‍රී කොට සාය අතින් සකසමින්  සමන් දෙසට අතවනයි..සමන් ඈ අසලට ගිය විට වැළදගත්තේ ඇයයි.. ඩැෆොඩිල් මල් සුවඳ පර්ෆියුම්!! සමකයෙන් බොහෝ ඈත සුවඳක් සාවිත්‍රීගෙන් හමා එමින්..සමන්ට නම් හුරුපුරුදු සුවඳ කැඩුණු ඉංග්‍රිසි අතරින් ලුහුටා එයි..

“මයි ගෝඩ්..මම බය වුනා.. වීල් එකක් අරන් එන්න තිබුණේ..මං පේ කරනවා නෙහ්”

සමන් සිනහසෙයි..සාවිත්‍රී මුහුණ අඳුරු කරගෙන සමන්ගේ අතින් ඇදගෙන යන්නී, බාර් මේසයක් ලඟින් වාඩි කරන්නී ය..

“විස්කි ද බියර් ද” යැයි සමන්ගෙන් අසා සමන් උත්තර දෙන්නටත් මත්තෙන් ඇය විස්කි ඕඩර් කරන්නී ය..දුර ඈත එපිට සුසුවඳ ඇය අසලින් පැමිණෙයි..සමන් නිවෙමින් දැල්වෙමින් ඇය වටා වෙළෙමින් ඉවකරයි..

“මම හිතන්නේ මට ඩිප්‍රෙශන්..” සාවිත්‍රී විස්කි වීදුරුව උගුරට හිස් කර වීදුරු දාරය වටා ඇඟිල්ල දුවවමින් සිතුවිලි වල තටු පිසදමමින්, පිරිමදිමින්..

“ඊයේ මගෙ බෝයිගේ වයිෆ් මගේ මැසේජ් කියවලා.. එයා අද ඇවිත් හැමෝම ඉස්සරහ මට බැනලා ගියා..” බාර් කොළුවාට වෙදගිල්ල පෙන්වමින් ඇය තව විස්කි වඩියක් එනතුරු කල් මරමින්..

“මම දන්නවා වැරදි කියලා මම.. ඒත් ආදරේ කියන එක ලොක් කරලා දාලා ජීවත් වෙන්න මම ඉගෙනගෙන නෑ.. දැන් බෝයි මට කතා කරන්නේ නෑ.. එයා කියන්නේ පවුල වටිනවා කියලා..එයා එයාගේ වයිෆ්ට ආදරේ නෑ සමන්..”

දෙවනි වඩිය සෙමෙන් දෙතොල් අතරින් ලිස්සා යන විට වීදුරුව මත ලිප්ස්ටික් සලකුණක් ඉතිරි විය..

“ඩිප්‍රෙශන් කියන්නේ විහිළුවක් නෙමෙයි සමන්..මම හිතන්නේ හෙට මම ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න යන්න ඔනි”

සමන් නැගිට යන විටත් සාවිත්‍රීගේ ඇස් වලින් කළු පාට කදුළු බේරෙමින් තිබුණි..

එළිවෙන්නට තව සුළු මොහොතයි කියමින් කුරුළු කිචිබිචියක් නිදැල්ලේ පාවෙමින් තිබුණි.. සමන් සාක්කු වල තිබූ මල්, පාවී අයිතිකරුවන් සොයා ගොස් තිබූ නිසා සැහැල්ලුවෙන් ඇවිද යයි.. අන්තිමට මල් බෙදූ කෲස් ඔහුගේ හදවත තුළ සිර කරන ලද ප්‍රේමාවෘතයන් මල් මතින් වාතයට මුහු කළ පසු කියූ දෑ සමන්ට සිහිවෙයි..

“මම දැන් ඉන්නේ සතුටින්.. මම ආදරේ අතහැරියා.. ආදරේ කරන දෙයක්, කෙනෙක් අතාරිනවට වඩා ඒක ලක්ස ගුණයක් අමාරු වුනත්, මම  මාස ගාණක් තිස්සේ මහන්සියි වෙලා ඒ දේ කලා.. මම දැන් සතුටින්…  අතෑරලා දාලා ගන්න පුළුවන් ෆන් එක, ට්‍රයි කරලා ගන්න දේ නෑ නේද කියලා මිනිහෙක් ට තේරිච්ච දාකට ඒ මිනිහා මේ ලෝකේ සතුටින් ම ඉන්න මිනිහා වෙනවා..මම අතීතේ අතහැරල ඉන්නේ.. අනාගතේ අතහරිමින් ඉන්නවා.. වර්ථමානයේ මොහොතක හුස්ම ගන්නව..”

සමන් මල්ශාලාව අසලට යන විටත් නුවරඑළියේ පිපුණු සුවඳ මල්, මිනී පෙට්ටි අසල සීරුවෙන් සිටගෙන ය.. හැඬූ කඳුළෙන්  මල්ශාලාව අසල ගැවසෙන ගෑනු සහ පිරිමි, කැටයම් දමා ඇති අවම මිල මිනී පෙට්ටි තෝරමින්, සොටු සූරමිනි..

අලුතින් මළමිනී වුන, පරණ මිනිසුන් කිහිපදෙනෙක් වෙනුවෙන් ස්තිරික්ක කරන ලද ඇඳුම් පසෙක ගොඩ ගසාය..

මල්ශාලා හිමිකරු, සමන් අතට මල් පොකුරු කිහිපයක් දී, “මල්වඩම් තුනක්” කියා කොහේදෝ යන්නට විය..මල් සුවඳ පාට හා උදෑසන රැගෙන ආ සුභ පණිවිඩ, මල්වඩමක් මත පටවන්නේ සමන් ය..

උඩ බැලූ විට සමන්ට පෙනුනේ වලාකුළු අතර ඇවිදින වාසුකී ය..මල් වඩම් සාදන්නට දුන් බාබන්දේසියා මල් වලින් කිහිපයක් පසෙකින් තැබූ ඔහු, කම්බියක රෝස මලක් අමුණන්නට විය.. ඒ පසෙකින් තැබූ බාබන්දේසියා ද ඇස්ප්‍රින් වලින් තෝන්තු වෙන්නට නියමිත බව සමන්ගේ ඇස් වලට එබී බැලූ විට මල් වලට පවා පෙනුණි..

%d bloggers like this: