Menu Close

හැම තැනම දුම (6th Epi) – fantasy No1


“මං නං හිතන්නේ විජේව මැරුවේ චන්ද්‍රිකා”
“මොකක් ?…”
“ගෑණු ගොඩකගේ සිහින කුමාරයා එක ගෑණියෙකුගේ සිහිනය වෙනුවෙන් බිල්ලට ලක් වෙනවා. ලස්සන විජේගේ ලේ කැත විජේවීරගේ අත්වල ගෑවීගෙන වැක්කිරිලා ප්‍රේමදාසගේ සුදු සරමට වැටෙනවා. හරියටම කියනවා නම් මැරිච්ච ප්‍රේමදාසගේ සුදු සරමට. ඒ සුදු සරමට වැටෙන විජේගේ රතු ලේ පැල්ලම හෝදලා දාන්නේ චන්ද්‍රිකා….ඔව්….ගෑනු කියන්නේ රහස් ගොඩක්……කවදාකවත් එලිපිට නොකියවෙන, ඒත් හිතාගන්න බැරි මොහොතක ගොජ ගොජ ගාලා දෝර ගලං යන ආසා ඟඟුලක උල්පත් ගොඩක්”
මැන්ඩි කියාගෙන කියාගෙන යනවා. දෙහිවල හන්දියේ පේමන්ට් කඩ ගොඩ මැද්දෑවෙ තියන විජේගේ පිළිරුව තමයි අපේ කතාවේ මධ්‍ය ලක්ෂය. ඒ අපේ දෙවනි හමුවීම සහ එයාගේ පළවෙනි ෆැන්ටසිය. ටවුන් එකක් මැද මහ රෑ දුම දාන ෆැන්ටසිය. වැල්ලවත්තේ සැෆායා එකේ ඉඳන් 2km කටත් වැඩි දුරක් අපි පයින්ම ඇවිදන් ආවා කතා කර කර. බියර් දෙක මැදට වැටුනු ලව්ඩර්ස් 50 නිසා ඒ දුර එච්චර ගානක් වුනේ නෑ. කොහොමත් මැදියම පහුවෙලා තිබ්බ නිසා රස්නෙකුත් නෑ. අපේ ආශාවේ නැවතුම නෝලිමිට් එක ඉස්සරහ යකඩ වැට. වැටට හේත්තුවක් දාගෙන අපි හතරමං හන්දියේ හැම මාවතක්ම ඇස් වලට පේන තරමට ආරම්මණය කලා. ගාලු පාර කාලකන්නි වෙලා, station පාර මූසල වෙලා, හිල් ස්ට්‍රීට් එක කල එලි වෙලා.
“එකෙන් යමු…” මම ඩන්හිල් දෙකක් එලියට අදිද්දි එයා යෝජනා කලා. එයාගේ රත් දෙතොල මැද රැඳුනු ස්විච් එකට මම ගිනි තිබ්බා. ගින්න අවුලන්න රුකුල් දෙන හුස්ම ඇදිල්ලෙදි ඒ ලස්සන මත් බර ඇස් අඩවන් වෙන ලස්සනක තරම……
දුම් උගුරු දෙක තුන යද්දි බීර-ලව්ඩර්ස් මික්ස් එක ආයේ පණ ගහලා එන්න ගත්තා.ඇස් යාන්තමට අඩවන් වෙද්දි හිත නැලවෙනවා. මං දෙහිවල පාලම උඩින් යන වාහන වල එලි දිහාව බලං හිටියා. ගුවන් පාලම උඩ වේගෙන් ඉගිලෙන වාහන කොයි මොහොතේ හරි ආකහේ තියන තරුවකට ලඟාවෙනවා සිකුරුයි. රෑ වෙන්න වෙන්න පාලම ආකාසෙට කිට්ටු වෙනවද කොහෙද…..
පාන්දර එකත් පහු වෙමින් තියන නිසා දෙහිවල හන්දිය පාලුයි. උදේ ඉඳන් රාත්‍රිය දක්වා ඉවරයක් නොවන ඉස පුපුරවන වාහන තදබදය කොහම නැති වෙලාද කියලා හිතාගන්න බෑ. ඉඳලා හිටලා යන වාහනයක් ඇරුණාම ජීවයක සලකුණකට තිබ්බේ ටිකක් එහාට වෙන්න නවත්තලා තිබුනු ත්‍රීවීල් දෙක විතරයි. ඒකේ ඉන්න වීල් කාරයෝ දෙන්නා මැන්ඩිගේ කෙටි ගවුම නිසා නිරාවරණය වන රත්‍රං පාට කකුල් දිහා බලං අනිමිස ලෝචනේ යෙදෙන බව මට පේනවා. මං ඒ ගැන කියලා ටිකක් එහාට යමුද ඇහුවම එයාට වඩ වඩා ඕන වුනා එතන ඉන්න. එක අතකට මං ඒ වීල් කාරයා උනා නම් මාත් කරන්නේ ඒකම නෙවීද.

මැදියමක දකිනා
සුබ සිහිනයක් බඳු
නාඳුනන සුදු වටොර
ඇසින් අල්ලා ගෙන තදට
හිතට තද කර බැඳං
ගෙදරටම ගෙන දුවමි
නිදහස් මොහොතක් පතං

“බොසා කොහේට හරි ඇරලවන්නද”……හිටි හැටියේ අපි ලඟ තිරිංග තදකරපු වීල් බුවෙක් ඇහුවේ මැන්ඩි දිහා උඩ ඉඳන් යටට පෙරේත බැල්මක් හෙලන ගමන්. පොරගේ දානපති සහය කාරුණිකව ප්‍රතික්ෂේප කරන ගමන් දෙවනි ස්විච් එක පත්තු උනා. පාලු දෙහිවල හන්දියේ පාට ගියපු චිත්‍රයක එලිය ගේන ලයිට් එලි මැද අපි දෙවනි දුමත් පිඹිමින් හිටියා.
“මට හිතෙනවා ‘සරසවි’ එක බිඳගෙන ගිහින් ඒකේ තියන හැම ආගමික පොතකම මුල් පිටුව මේ සිගරට් එකෙන් පුච්චං හිල් කරං යන්න. ඊට පස්සේ අන්තිම පිටුවේ ලිප්ස්ටික් පාර වදින්න කිස් කරන්න “.
‘”මොකක්ද ඒකේ තේරුම ?”
“ඒකේ තේරුම,….. මුල පටං හිල් , ආගම් හරි හිස්, ශෘංගාරය මිස්, යූ ශුඩ් කිස් සම් ලිප්ස්” කියන එක.
“අද නම් ඔයාට වැඩී වගේ.” මම හිනාව නවත්තගන්න බැරුව කිව්වා. “මට නම් ඕන සරසවිය නෙවී නෝලිමිට් එක බිඳින්න.”
“ඇයි සිංහල ව්‍යාපාර නංවන්න ද?”
” නෑ හලෝ….ඩෙනිම් තුන හතරකුයි ටී ශර්ට් පහ හයකුයි උස්සන්න.”
“එහෙනම් සිගරට් එක නිවලා පනින්න.නැත්නම් පානදුර නෝලිමිට් එකට වුනු සන්තෑසියම මේකටත් වෙයි”
පොත් කියවලා කියවලාමද කොහෙද මැන්ඩිගේ පොශ් life එකට හද්ද සිංහල vocabulary එකක් එක්කහු වෙලා තිබුනා.පාන්දර දෙකට ඔරලෝසු කටු කිට්ටු කරන්න ගද්දි අපි හෙමි හෙමින් හිල් ස්ට්‍රීට් එක උඩහට ඇවිදින්න ගත්තේ මැන්ඩිගේ බෝඩිමට පයින්ම අදින බලාපොරොත්තුවෙන්. සරසවිය පහුවෙද්දි මං කෝකටත් කියලා එයාගේ අතින් තද කරලා අල්ලගත්තා පොත් ටික ගිනි තියන්න දුවයි කියලා බයට.
“Do you want to kiss me?” එයා ගහෙන් ගෙඩි එන්න වගේ ඇහුවා. සරසවිය ඉස්සරහ මහ රෑ අලුත් පොතක් print වෙන්න ගත්තා.

%d bloggers like this: