Menu Close

හැම තැනම දුම(5th epi) – Zoom වෙන පින්තූර


එදා මැදියම් රැයේ බැරකූඩාවෙන් පිටවෙද්දි එයාගේ මූණ හිතේ කෙටිච්ච ටැටූ එකක් වෙලා ඉවරයි ආයේ කිසිදා නොමැකෙන්නම. ටැටූ එක වටේට අඩ කවයක් විදියට අන්කොමන් font එකකින් කෙටිලා තිබ්බේ එයාගේ අන්කොමන් නම. සුපිරියටම ටැටූ කලා වුනත් මම බයේ හිටියේ හිත හෙල්ලුනොත් ටැටූ එක බොඳ වෙයි කියලා. ඒ නිසා වැඩි දේවල් හිතන්නේ නැතුව හිමීට ඇඳෙන් ඇලවුනා. එදා දවස පටන් ගනිද්දි මගේ හිතේ තිබ්බ ප්ලෑන් එකේ හැටියට සියල්ල සිදු උනා නම් මම ඇඳට වැටෙන්න තිබ්බේ එයත් එක්කමයි. ඒත් අපි අතර ඇදුනු ඇඳුනු කතා බහ අනුව තව මුණගැසීම් රාශියක වියහැකිබාවය මොනවට පැහැදිලි වෙමිනුයි තිබ්බේ. ඒ නිසා හදිසි වීමේ අවශ්‍යතාවක් නෑ. කොහොමත් අටවක පුත්තු වගේ බරසාර කතාවකින් පස්සේ දිගු ඇරුණු විචාර කතිකාව දිශානත වෙලා තිබ්බේ හෝටල් ඇඳක් දිහාවට නෙවෙයි. එයාව uber ටුක් එකකට ඇරලවපු මම වෙනින් ටුක් එකක නැගිලා බෝඩිමට ආවා.

ඇඳට වැටුනු මම බැරකූඩාවේ ගෙවුනු පැය කිහිපය මනසින් සිතුවම් කරමින් උන්නේ එයා නිදි දෙව් දුවක් වෙලා ඇවිත් මාව සිහින ලෝකෙකට කැන්දන් යයි කියන බලාපොරොත්තුවෙන්. නින්ද කොහේදෝ ඈත කෙලවරක ඉඳන් අතවනං ලඟට එද්දිම බෝඩිමේ බලු තඩියා බුරන්න ගත්තා මහ සද්දෙන්. නෙදකිං කාලකන්නි සුනඛයා……මට චන්දන මෙන්ඩිස්ගේ සුනඛ ශාපය පොත මතක් උනා. මූ නම් සාපයක්ම තමයි. පොතේ ඉන්න බැස්කවිල් බලු දණඩා වගේම මූත් භයංකාරයි. බැස්කවිල්ගේ වගේ මුගේ කටින් ගිනි පිට වෙන්නේ නැති උනාට කලුම කලු උස මහත ශරීරෙත් එක්ක මහ රෑක බුරං පනිද්දි අපිට නම් සුලුදිය පහවෙනවා.මිනිස්සු මොකට මුංව හදනවද මංදා , කාලකන්නි සත්තු. හැබැයි බෝඩිමේ බඩ තඩි අයියා නම් කියන්නේ මුගේ කට මිස වැඩ නෑ ඒ නිසා බය වෙන්න දෙයක් නෑ කියලා. බෝඩිමේ අක්කත් කියන්නේ අයියාගේ කටයි බඩයි විතරයි වැඩ නෑ කියලා. ඒත් උගේ දඩ සයිස් එක දැක්කම(බල්ලගේ සයිස් එක හොඳේ ) වැරදිලාවත් හැපුවොත් බුරිය වටේට ඉන්ජෙක්ෂන් එකසිය විස්සක්වත් ගහන්න වෙයි. ඒ නිසා කෝකටත් බල්ලා රෑට මතුවෙනකොටම අපිට “අයියේ…. බල්ලා….” කියලා සද්දෙට කියවෙනවා. එතකොට අයියා බඩ උඩ දදා එනවා ගේට්ටුව ලඟට “බිය නොවන මලයන්ඩිය සුනඛයා දමනය කරන සැටි මම පෙන්නන්නම්” කියාගෙන වගේ. ඒ වෙලාවට නම් අපිට කොච්චරවත් හිතෙන්නේ අක්කා මොනවා කිව්වත් අයියා තමයි වැඩකාරයා නොහොත් අපේ ගැලවුම්කාරයා කියලා. හැබැයි මාසේ බෝඩිං ගාස්තුව ඉල්ලං එද්දී ඌ තමයි අපේ කරුමක්කාරයා….. තත්පර පිහිපයක් යද්දී බෝඩිමේ ඉස්සරහ දොර අරෙනවා ඇහුනා. පේරේ intern කොල්ලො සෙට් එක දැන්ද කොහෙදෝ එන්නේ. මම වෙලාව බැලුවා. පාන්දර 1.45යි. උංගේ කතබහ සහ එහෙන් මෙහෙන් ඇහෙන සින්දු කෑලි අනුව කට්ටිය සිකුරාදා රෑ හොඳට සමරපු බව පැහැදිලියි.

කොහොමත් සිකුරාදා රෑ කියන්නේ අනිවා සැමරීම වෙනුවෙන් වෙන්කල යුතු පූජනීය කාල පරාසයක්. ඒ පූජනීය සිකුරාදා රෑ සැමරීම, එලඹෙන සති අන්තයට එකතු කරන්නේ කියලා නිම කරන්න බැරි ගැම්මක්, සන්තෝසයක් සහ සැහැල්ලුවක්. ඒ සැමරීම සිද්ද වෙන්නේ මී විතෙන්ද, ගී පොතෙන්ද, ආදරෙන්ද , සිනමාවෙන්ද කියන එක අදාල නෑ. අපි වද විය යුතු එකම දේ වෙන්නේ රස්සාව වෙනුවෙන් දවස් පහක් ගනිකා වෘතියේ යොදවපු අපේ හිත කය වචනය, අපි කැමති සැමරුමක් වෙනුවෙන් පාවිච්චි කිරීමේ නිදහස උදා කරගන්න බව තහවුරු කරන එක. පේරේ කොල්ලො ටික මීවිතෙන් මත් වෙලා ඒ නිදහස අත්පත් කරගනින්ද්දි මං හිටියේ නිශ්චිත නමක් නැති හමුවක සන්තෝසය, චුයින්ගම් එකක් වගේ නැවත නැවත මතකයෙන් අදිමින්. අනාගතයේ දිග හැරෙන්න නියමිත මේ සම්බන්ධය ලඟාකරවන්නේ ආලකමන්දාවක්ද හිරගෙයක්ද කියන එක පැහැදිලි නොවුනත් මං හිටියේ අමුතුම ලල් එකක පාවෙමින්. සුනඛයාගේ ශාපය නිසා නිදිමත දැන් අහලකටවත් එන පාටක් නෑ. මම ෆේස්බුක් ලෝඩ් කරං මැන්ඩිගේ account එක අස්සට රිංගුවා. ඒකේ පල්ලෙහාට පල්ලෙහාට කනිමින් එයාගේ අතීත අනතීත හැම පින්තූරයක්ම පිරික්සන්න ගත්තා. බලන බලන හැම පින්තූරයක් පින්තූරයක් ගානේ එයාට පණ එන්න ගත්තා. සමහර පින්තූර ලඟ විනාඩි ගණන් නැවතුනා , සමහර පින්තූර සූම් වුනා. සමහර ඒවා මාව නලවද්දි , ගොඩක් ඒවා මාව ඇවිලුවා. ඇවිලීමේ උපරිමේට ලංවේගෙන එන බව පැහැදිලියි. ඒත් වොශ් රූම් එකට රිංගන්න කම්මැලියි වගේම වෙලාවත් මදියි. මම අඳුරේම අතපත ගාලා බැනියමක් හොයාගත්තා.

%d bloggers like this: