Menu Close

(නො)ලැබීම

සන්දේශ් බාගෙට බීලා මේසේ උඩ දාලා ගියපු කෝපි කෝප්පය වටේට ඇඹලයෝ, කළු කූඹි එක්කහු වෙන්න පටන් අරගෙන තිබ්බේ..මම,කම්මුල් දිගේ බේරිලා ගිහින් ඇල්වතුර වෙච්ච කෝපි කෝප්පෙට “ටොක් ටොක්” ගාලා වැටෙන රස්නේ කඳුළු දිහා බලන් හිටියා…ගාපු මස්කාර ඔක්කෝම කඳුළු වලට නාස්ති වෙලා ගිහින් ෆවුන්ඩේශන් පවුඩර් එක්ක දියවෙලා කෝපි කෝප්පෙට වැටිලා කළු පාට කෝපි කෝප්පේ දේදුනු පාට සුළියක් මැවෙමින් තිබුණා..
‘තමන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්න’  කොළඹ මිනිස්සු යනඑන කොෆී ශොප් එකක් නිසා, “ඇයි ඔයා අඬන්නේ?” වගේ උත්තර දීගන්න බැරි ප්‍රශ්න වලින් තොරව මට නිදහසේ අඬන්න  ඉඩකඩ ඉතිරි වෙලා තිබුණ එක වාසනාවක්.. ඈත කැශියර් එකේ ඉදන් මං දිහා සැරින් සැරේ බලබලා ඉන්න කැශියර් කොලුවාගේ ඔළුවේ නම් ප්‍රශ්න පත්තරයක් ගොඩ ගැහෙමින් තියෙන විත්තිය බැලූබැල්මට පෙනුනත්, සැරින් සැරේ ඇවිත් එක එක ජාති ඔඩර් කරන මිනිස්සු නිසා එක දිගට ඒ ප්‍රශ්න ගැන හිතන්න ඒ කොලුවට විවේකයක් තිබුනේ නෑ..මම බාත් රූම් එකට ගිහින් මේකප් රිමූ කරලා මූණ හොඳට සෝදගෙන කොෆී ශොප් එකෙන් එලියට යද්දි  එතන වැඩ කරන ගෑනු ළමයෙක් “මෑම් ඔයාගේ ටේබල් එකේ මේ පොත තිබ්බේ.. මම හිතන්නේ අමතක වෙලා වෙන්න ඔනි” කියලා කියන ගමන් සන්දේශ් තෑගි විදිහට ගෙනත් දුන්න “The Ministry of Utmost Happiness” පොත මගේ දිහාවට දික් කලා.. මම හිනා වෙලා පොත ඒ ළමයාටම දීලා ” දැන් මට මේ පොතෙන් වැඩක් නෑ.. ඔයා කැමති නම් තියාගන්න ” කියලා නෙළුම් පොකුණ පැත්තට ඇවිදගෙන ආවා..වාහන දුම, වහින්න වගේ මූණ ඇඹුල් කරගත්ත අහස, තව ගොඩක් දේවල් මට විස්තර කරන්න පුළුවන්.. තව උස බිල්ඩිම් මැද්දෙන් ඇවිදන් යනකොට දැනෙන පාවෙන ගතිය ගැන, කොණ්ඩේ ගාපු මූස් වල ඇවිත් ඇලවෙන දූවි ගැන මට විස්තර කරන්න පුළුවන්.. මීට ටික වෙලාවකට කලින් මගේ ලඟ තිබ්බ ගණන් වැඩිම මස්කාරා එක නාස්ති කරගෙන, යූටියුබ් එකෙන් බලාගෙන අමාරුවෙන් දාගත්ත මේකප් එක කාබාසිනියා කරගෙන වේල්ල කැඩුවා වගේ ඇඬුවේ ඇයි කියන එක විස්තර කරන එක නම් වස අමාරුයි වැඩක් ..

මම කැම්පස් එකේ පළවෙනි අවුරුද්දේ  ඉන්න කාලේ කායික විද්‍යාව පාඩමකදි එක ඇට්ටර කොල්ලෙක් ප්‍රොෆ්සර්ගෙන් ඇහුවා ” දුක කියන එක වචනෙට නගන්න” කියලා..ඒ වෙලාවේ ඒක මහ තකතීරු මෝඩ ප්‍රශ්නයක් කියලා අපි හැමෝම හිනා වුනත්, මේ දැන් යන්නේ කොහෙද කියලා නිනව්වක් නැතිව ඇවිදින ගමන් ඉන්න මට ඒ ප්‍රශ්නේ කොච්චර සංකීර්ණ එකක් ද කියලා තේරෙනවා..සන්දේශ්ට මිනිස් හැඟීම් ගැන වගක් කොහොමත් නෑ.. කම්පියුටරයක් ඉස්සරහ ඉදගෙන, හර බැර ගැන හිත වෙහෙසන කෙනෙක්ට, මානුශික හැඟීම් ගැන හිතලා නාස්ති කරන්න කාලයක් නැති එක සාධාරණයි.. මම වුනත් කාගේ හරි ප්‍රශ්නයකට උවමනාවෙන් ඇහුම්කන් දුන්නු කාලයක් මතක් කරගන්න අමාරුයි..මටත් පෙට්‍රී දීසී වල දම් පාටින් වැවෙන ෆියුසාරියුම්  ගැන වෙහෙසෙනවා ඇරෙන්න, තව මනුස්ස ප්‍රාණියෙක් ගැන උනන්දු වෙන්න වෙලාවක් නැති තරම්.. මම හිටිවනම නතර වෙලා අහස දිහා බැලුවා.. තව ටිකකින් වහීවි වගේ හිතුනත්, කුඩයක් වත් නැතිව ඔහේ ඔළුව හැරුන අතේ ඇවිදින එක නතර කරන්න මට උවමනා වුනේ නැහැ…

ෆේස්බුක් නිල් පාට, වැහි වලාකුළු නැති හිදැස් අස්සෙන් යාන්තම් පේනකොට, වැහි වලාකුළු පාවෙන්නේ කොයිතරම් නම් පහළින් වෙන්න ඇතිද කියලා හිතෙන්න පටන් ගන්නවා..හොදට බැලුවොත් විතරක් කොළඹ අහසේ වලාකුළු වල හෙවනැලි තාර පාර දිගේ මුහුද දිහාවට ගහගෙන යන හැටි බලන්න පුළුවන් කියලා මට කියලා දුන්නේ සන්දේශ්..බොහෝම නොවැදගත්  කියලා මම නොසලකා හැරපු දේවල් වල ලස්සන දිහා බලන විදිහ එයා කියා දෙමින් හිටියේ..කවි ලියන්න තියා ලස්සනට ලැබ් රිපෝට් එකක්වත් ලියාගන්න බැරි මම එයා ලියපු කවි කියෙව්වා.. ජීවිතේ දිහා උඩ ඉදන් බලනකොට කොයිතරම්  ලස්සන ද කියලා මට දැනෙන්න පටන් අරගෙන තිබුණේ..

“අයියෝ සරලා..ඩේටින් ඇප් එකක් දාගන්නකෝ.. මැරෙනකන් තනියම ඉන්නද කල්පනාව” කියලා හොදම යාලුවා නිතර කරදර කරන නිසාම දාගත්ත ඩේටින් ඇප් එකෙන් ඉස්සෙල්ලාම පුංචි සීනු සද්දයක් එක්ක පණිවිඩයක් එව්වේ සන්දේශ්.. කොළ පාට කමිසයට සුදු පාට කලිසමක් ඇඳලා හිටිය පොටෝ එකකින් මං දිහා බලන් හිටිය සන්දේශ්, එයාගේ විස්තර කතා කරන්න පටන් ගත්තා…මම හිටියේ පාළුවෙන්..සන්දේශ් මගේ පාළුව, පොඩි දරුවෙක් වඩාගන්නවා වගේ වඩාගෙන පැත්තකින් වාඩි කෙරෙව්වා..

.

මට ඔනි වුනේ නැහැ සන්දේශ් මං දිහා අමුතු විදිහට බලනවට..”මට ඔයාට වැදගත් දෙයක් කියන්න තියෙනවා..ඒක ඇහුවම බාගවිට ඔයාට මාව එපාවෙයි” කියලා කියපු වෙලාවේ, එයා කිව්වේ “මොන දේ වුනත් මට ඔයාව එපා වෙන්නේ නෑ” කියලා..ඒ වෙනකොටත් අපි එක සැරයක්වත් මුණ නොගැහුනත්, මම හිතින් අනාගත සැලසුම් ගහන්න පටන් අරන් තිබ්බේ..බාගදා “වැදගත් කාරණාව” කියන එක ගැන සන්දේශ් හිතන්න ඇත්තේ කන්‍යාවියක් නොවීම, කුළය එච්චර හොද නැතිවීම,  එහෙමත් නැත්නම් හොද කරන්න බැරි ලෙඩක් වගේ දෙයක් වෙන්න ඇති කියලා.. ආයිමත් ආයිමත් හාරහාර සන්දේශ්  ඒ ගැන හෙව්ව නැති නිසා මම ඒ ගැන ආයිත් මතක් කරන්න ගියේ නැහැ..

ඒ දවස් වල බැක්ටීරියා කොළණි පෙනුනේ හදවත් හැඩේට..පුංචි හුරතල් ප්ලාස්කු ඇතුළේ වැවෙන රතුපාට වර්ණක හදන දිලීර පෙනුනේ ආදර ද්‍රාවණ විදිහට.. ආයිමත් සැලුන් යන්න පටන් ගන්න කොට තමා පෙනුනේ ඉස්සර වගේ ආයිමත් රැවුල් ගස් මූණේ තැනින් තැන වැවෙන්න පටන් අරගෙන නේද කියලා.. තැනින් තැන ඉදලා හිටලා වැවෙන රැවුල් ගස්, අතීතේ විසාල අඳුරු හෙවනැල්ලක් වෙලා විරිත්තන කොට කොයිතරම් “ස්ට්‍රෝන් ඉන්ඩිපෙන්ඩන්ට් වුමන්” කෙනෙක් වෙන්න හැදුවත් ලෝකාන්තයෙන් පහළට කඩාගෙන වැටෙනවා වගේ දැනෙනවා..

හෝමෝන පෙති, වේදනා නාශක පෙති දුසිම් ගණන් ගිලින ගමන්, අයිතියක් නැති ශරීරයකින් මිදිලා, ආත්මය එක්ක කචල්බචල් නැතිව එක්කහු වෙන ශරීරයක හීනයක් එක්ක සිංගප්පූරුවේ ඉස්පිරිතාලෙක ඇඳක් උඩ තට්ට තනියම  ගෙවිලා ගියපු දවස් මතක් වෙනවා.. අවුරුදු ගාණක් තිස්සේ හිර වෙලා හිටපු පිරිමි ශරීරයෙන් මිදිලා අත්තටු ගහලා හුරුපුරුදු ගෑනු ශරීරයක් ඇතුළේ පැළ වෙන්න උවමනා වුනාම, සදහටම අතාරින්න සිද්ද වුන දේවල් අතර තමන්ගේම පවුල තියෙනවා දැක දැකත්, ඒ වෙනුවෙන් තනියම වේදනා විදින්න තරම් ඒ දවස් වල හිත හයිය වෙච්ච  එක ගැන තාම මට පුදුමයි..”ඔය දේ කරාට පස්සේ ජීවිතේ හිතනවට වඩා සංකීර්ණ වෙයි” කියලා හැමෝම කියන කොට, ඒ වෙනකොට ගතකරමින් හිටපු ජීවිතේ වුනත් සරල සුගම එකක් නෙමෙයි කියලා ඒ අයට තේරුම් කරලා දෙන්න මට උවමනා වුනේ නෑ..ගෙවිලා ගියපු දවස් ගැන ආපස්සට හැරිලා බලනකොට මඟ අතෑරලා තිබ්බ දේවල් පුංචි වීදුරු කටු වගේ දිස්නේ ගගහා තියෙනවා පේනවා.. ඒ විදුරු කටුවලට කැපිච්ච තුවාල හොද වෙලා..කැළැල් විතරක් ඉතිරි වෙලා..

සන්දේශ් මම කොෆී ශොප් එකට යනකොටත් ඇවිත් ඉඳගෙන හිටියා.. ප්‍රධාන දොරට පස්ස හරවලා නිසා මාව පෙනුනේ නැති වුනත් මට එයාගේ කොණ්ඩේ තෙතමනය ඇස් වලට දැනුනා.. මම ලඟින් ගිහින් ඉඳගන්න හදනකොට එක පාරටම එයා ගැස්සිලා ගිහින් හිනා වුනා..

චැට් කරනකොට තිබ්බ මුකරිකම අතුරුදහන් වෙලා ගිහින් මූසල නිශ්ශබ්දතාවයක් අපි දෙන්නා අතර එකතු වෙන්න පටන් අරන් තිබ්බේ.. එයාගේ ඇස් වල ප්‍රශ්න, වචන වෙන්න බලාගෙන තොල් අස්සේ සටපට ගාලා ගැහුනත්, මට පෙනුනේ  තොල් වෙව්ලනවා විතරයි..ජීවිතේ ලස්සන ගැන, ආදරේ මහ විසාලකම ගැන, කෝපි වල උණුහුම ගැන, අපි කතාබහ කරන්න හිතන් හිටපු දේවල් ලයිස්තුව මම හිතින් ගුලි කරගත්තා…

“සන්දේශ්..ඔයාට කියන්න හිටිය වැදගත් කාරණාව මම ට්‍රාන්ස් කියන එක..” මම එහෙම කියලා මොනවා හරි ඔඩර් කරන්න හදනකොට තමා දැක්කේ ඒ වෙනකොටත් එයා කෝපි කෝප්පයක් බීලා හිටියා බව.. සන්දේශ් එයා ගෙනාපු පොත මේසේ උඩින් තියලා පුටුවෙන් නැගිටින ගමන් මට ඇහෙන්න “ශිට්” කියාගෙන කොෆී ශොප් එකෙන් එළියට දුවගෙන ගියා..මම වැස්සක් කඩාගෙන වැටෙනවා වගේ ඇඬුවේ සන්දේශ් මාව දාලා නැගිටලා ගිය එකට ද, ආදරේ ප්‍රතික්ෂේප වීම දරාගන්න බැරි නිසා ද, එහෙමත් නැත්නම් ආත්මගරුත්වය හිල් වෙලා ජීවිතේ ඒ අස්සෙන් වෑස්සිලා ගිය නිසා ද කියන එක මට තාම හිතා ගන්න අමාරුයි..

මම අත වනලා  ත්‍රීවිල් එකක් නවත්ත ගත්තා.. යන්නේ කොහෙටද කියලා හිතා ගන්න බැරි වුනත් දැන්ම ෆ්ලැට් එකට යන්න බැහැ කියලා දැනිච්ච් නිසා ගෝල් ෆේස් එකට යන්න හිතාගෙන හිටියේ..විහාරමහදේවි පාර්ක් එක පහුකරගෙන යනකොට විසාල ගස් යට වචන අහුලමින් ඉන්න කෙල්ලෝ කොල්ලෝ, උරහිස් උඩ ඔළුව තියාගෙන ඉන්නවා පේනවා.. ජීවිතේ වෙහෙස දවස් වලට තනියම ඉන්නවා කියලා කොයිතරම් හිත දැඩි කරගත්තත් ආදරේ කියන දේ ලබා ගන්න, දරාගන්න, විදවන්න තියෙන ඔනිකම මතු වෙන්නේ වතුර යට තදකරන් ඉන්න රබර් බෝලයක් උඩට එනවා වගේ… කවදාවත්ම ආදරේ නොලැබිලා යාවි කියන බය, මහ විසාල දුකක් වෙලා ආයිමත් ඇස් වලට කඳුළු උනන්න පටන් ගන්නකොට ගෝල් ෆේස් එක ගාවට ඇවිත්.. ඇස් පිහගෙන ගෝල්ෆේස් එක ගාව පඩියක් උඩ වාඩිවෙලා අහස දිහා බලන් ඉන්නකොට සන්දේශ් ෆෝන් එකට පණිවිඩයක් එවලා තිබුනා.. සමාවෙන්න ය, එයාට ළමයි බමයි එක්ක ජීවිතයක් ඔනි ය, අම්මලා ඔනි ය වගේ නිදහසට කරුණු මාගලක් වගේ එවපු පණිවිඩේ අගට “කැමති නම් සෙක්ස් පාට්න‍ර්ස්ලා වෙමු” කියන එක එකතු කරලා තිබුණා..

හොද වෘතිමය ජීවිතයක් එක්ක, ජීවිතේ කඩයිම් ගොඩක් පැනගෙන පැනගෙන යන අතර මඟ,  මට එයාලගේ “සෙක්ස් පාට්නර්”වෙන්න කියල කී දෙනෙක් කතා කරලා ඇද්ද.. එහෙම අහලා කුණු කූඩෙට දාපු මිනිස්සු ගොන්න අස්සට සන්දේශ් ව දාන්න වෙච්ච එක ගැන මට දුකයි.. එක අතකින් සන්දේශ් පව්.. මට පටන් ගන්නකොටම ඇත්ත කියන්න තිබුණා නේද කියලා මතක් වෙද්දි මම කොයිතරම් වැරදිද කියලා හිතෙන්න පටන් ගත්තා.. ජීවිතේ දේවල් හොයාගෙන යනකොට ඒ දේවල් ඈතට යන හැටි..මට පාළුවයි තනිකමයි තදට දැනෙන්න ගත්තා.. පපුව මැද්දේ උඩ පහළ  ඉදිකට්ටක් යනවා වගේ දැනෙන්නේ ගොඩක් දුක හිතුනම ද කියලා මම දන්නේ නැහැ..

ඉර බැහැගෙන යනවා.. මම පුංචි කාලේ දැකපු ගෝල්ෆේස් එක මැරිලා ගිහින් දැන් ඉතිරි වෙලා තියෙන්නේ මළකඳ… අහක් කරලා දාපු ඩේටින් ඇප් එක ආයිත් බාගත කරගෙන මුහුදේ ලතෝනිය දිහා කන් වලින් බලාගෙන හිටියා..

අලුත් මුහුණක්, අලුත් සද්දයක් එක්ක අලුත් පණිවිඩයක් දුරකතන තිරය උඩ ඇමිණිලා තිබුණා..

%d bloggers like this: