Menu Close

හෙවණැලි සහ හෙවණැලි


පියද්දරා ගගබඩ එකම එක හැන්දෑවක්.

එයයි මායි, අපි විතරයි


ඉර බහිමින් තිබ්බා රතට රතේ

ඉරට සාපේක්ෂකව සෙවණැලි නැග්ගා.

සියුම් දියරැලිත් එක්ක

හීනියට පොර බැදුවා.


මං එයා දිහා බැලුවා

සුළඟට සෙලෙවමින් තිබ්බ කියඹු වැල් අතරින්

පෙරී ආ

ඒ ඉරේ

චූටිම චූටි රතුපාට කිරණක්

එයාගෙ දෙතොල් මත මනමාලකම් කර කර හිටියා

රත දෙරත කරමින්


මට ලෝබ හිතුණා.

සල්ලාල කිරණත් එක්ක

මං දෙතොල’තර පොරබැදුවා.

කරට කර සටනක්.


පැහැරගත් හෙලන් බේරගන්නට

පිරිසක් නැතිවවම ට්රෝජන් පවුර වටකළ

හුදකලා පැරිස් කුමාරයා මං.


මගෙ අශ්වයා අඳුර.


ගස්සා රතුගැහුණ මූණ පසෙකට

දිගුකර අතක් ඈ පෙන්වයි

‘අර බලන්න, ලස්සනයි නේද ගස්වල හෙවණැලි

වතුරට වැටිලතියෙන හැටි?’


‘ඉර බහින්න බහින්න හෙවණැල්ල

දික්වෙනවා චංචලා..’

මගෙ වචන පැටලුණා.


ඉස්තේරුවට අත දමා මා කරවටා

ඈ එබුණා මගේ ඇස් දෙකට

ගැලවීමක් නම් තිබුණෙ නෑ.

‘ආදරෙයිද ඔයා

ඇත්තතටම මට?’


‘ඇප්රොඩයිට්!

ඇයි මං රන් ඇපල් ගෙඩිය නුඹටම දුන්නෙ?’

මං ආදරේ දෙව් දුවගෙන් ඇහුවා.


‘දෙවොන්දරා සංවත්

අරවින්දවත් නෙමෙයි මං චංචලා’

නොකියවුණ වචන පේලිය හද තුළම කිඳා බැස්සා.

කැළඹෙන දියේ නාදය යාන්තම්

හදවතේ ඒ සද්දෙ මැකුවා.


ආයෙමත් මං එබුණා.


‘අපි යං.

රෑ වෙන්නත් ළඟයි.

ආදරේ කියන්නේ

හැංගි හැංගි ඉන්න එකටද මේ විදිහට?’

ඈ නැගිට්ටා


‘ආදරේ කියන්නෙම යුද්ධයක් තමයි

අශ්වයා ඇතුළට නොයවා උඹට මේ උස බැම්ම කඩන්න බෑ’

ඇප්රොඩයිට් කිව්වා.


‘ජීවිතේ කියන්නෙත්

වචනයක්මත් නෙමෙයි චංචලා..’

ඇගෙ සුළැගිල්ලෙ එල්ලී මං නැගිට්ටා.


ටිකෙන් ටික ගංදෑල කරුවල වුණා

විසාලෙට පැතිරිලා තිබ්බ මගෙ හෙවණැල්ලට

ඒ හෙවණැල්ල බොඳ වුණා.


අඳුරට පැරදිච්ච අතුරටා

අතුරුදන් වුණා ගැඹුරු දිය යට.

සිහින් සුසුමක් නැඟුණා.



     – ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

%d bloggers like this: