Menu Close

12 වන බාලදක්ෂ කබෝරියට ජනාධිපතිතුමා කළ කතාව

 

දොළොස් වැනි ජාතික පෝතක බාලදක්ෂ කබෝරියේ සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව (2019.04.06 වන දින වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දී)

12 වන බාලදක්ෂ කබෝරියට ඔබ සියලුදෙනා සමඟ එක්වන්නට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.

බාලදක්ෂ ව්‍යාපාරය ජාත්‍යන්තර ස්වෙච්ඡා ව්‍යාපාරයක්. ලෝකයේ ස්වෙච්ඡා සංවිධාන අතර ඉතාමත්ම ප්‍රබල වූත් ප්‍රමුඛ වූත් විශිෂ්ට වූත් ගෞරවනීය වූත් අන්තර්ජාතික ස්වෙච්ඡා ව්‍යාපාරයක් තමයි බාලදක්ෂ ව්‍යාපාරය කියලා කියන්නේ. ජාත්‍යන්තර බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳව කතා කරන විට එහි නිර්මාතෘ බේඞ්න් පාවුල් සාමිතුමා පිළිබඳව අපි ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. මේ වන විට ලෝකයේ රටවල් 172 ක පමණ බාලදක්ෂ ව්‍යාපාරය ක්‍රියාත්මක වෙනවා. ඒ රටවල් 172 ක බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ දරුවන් සහ තරුණයින් දස ලක්ෂ පනස් දෙකක් පමණ සංඛ්‍යාවක් වනවා. ස්වෙච්ඡා ව්‍යාපාරයක් විදියට බාලදක්ෂ ව්‍යාපාරයට ඒ තරුණයින් අතර තිබෙන්නේ අන්තර්ජාතික වශයෙන් විශාල පිළිගැනීමක් සහ ගෞරවයක්.

ඒවගේම ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ දරුවන් සහ තරුණයින් 72,000 ක් සිටිනවා. අපේ රටේ පාසල් දරුවන් ලක්ෂ 40 ක් පමණ සිටිනවා. නමුත් ඒ පාසල් දරුවන්ගෙන් හතළිහෙන් එකක් වත් බාලදක්ෂ ව්‍යාපාරය තුළ නියෝජනය වන්නේ නැහැ. ඒ නිසා ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ සභාපතිතුමනි, ප්‍රධාන කොමසාරිස්තුමනි, එහි සහාකාර සහායක නියෝජ්‍ය කොමසාරිස්තුමාලා ඇතුළු මෙහි නායකත්වය ගන්නා ඔබ සියලුදෙනාට විශේෂයෙන්ම මා කරන යෝජනාව තමයි බාලදක්ෂ ව්‍යාපාරයත් කාලානුරූපව යුගයෙන් යුගය යම් යම් වෙනස්කම්වලට භාජනය කළ යුතු වෙනවා. එහි තිබෙන මූලික ප්‍රතිපත්ති මූලධර්මවලට හානියක් නොවන විදියට මේ ව්‍යාපාරය ව්‍යාප්ත කිරීම සඳහා අඩු වශයෙන් පාසල් දරුවන්ගෙන් 25% ක් වත් බඳවා ගැනීම සඳහා ක්‍රියාකිරීම ඉතාමත් අවශ්‍යය යි.

මේ පෝතක බාලදක්ෂයින් නියෝජනය කරන්නේ වයස අවුරුදු හතත් එකොළහත් අතර වයස් කාණ්ඩවලට දරුවන්. මේ දරුවන් තමයි සමාජය තුළ සිටින ඉතාම සුන්දර දරු පිරිස වෙන්නේ. ලෝකයේ ජීවත්වන මිලියන ගණනක් සතුන් අතරේ සුන්දරම මිහිරිම හඬ තිබෙන්නේ මිනිස් දරුවන්ගේ බව අපි අසා තිබෙනවා. ඒ මිහිරි සුන්දර හඬට තමයි අපි මේ සවන් දෙන්නේ.

සාමාන්‍යයෙන් අපේ ගමේ කතාවක් තිබෙනවා කුඩා දරුවයි අලි පැටියයි දෙන්නම එක වගේ කියලා. අලි පැටියා කිසිම වෙලාවක එකම විදියකට ඉන්නේ නැහැ. ඒ පුංචි සුන්දර අලි පැටියෙකුගේ තිබෙන ලක්ෂණ තමයි මේ අවුරුදු හතේ එකොළහේ පෝතක බාලදක්ෂයින්ගෙන් අපි දකින්නේ. අපි ඒ සුන්දරත්වය අගය කරන්න ඕනෑ. ඊට ඉඩ දෙන්නට ඕනෑ. මේ වගේ ඉතාමත්ම වටිනා ජාතික සම්පතක් තමයි අද මේ 12 වන කබෝරියට සම්බන්ධ වී සිටින්නේ. ඒ නිසා අපි සැමවිටම කල්පනා කරන්නට ඕනෑ මේ සුන්දර දරුවන්ගේ ජීවිත තව තවත් සුන්දර කර ගන්නේ කොහොමද කියලා. අපට එය අභියෝගයක්.

මම පසුගිය දිනවල ප්‍රකාශ කළ කාරණයක් තමයි මේ රටේ පවත්වන පහේ ශිෂ්‍යත්ව විභාගය පිළිබඳව. පහේ ශිෂ්‍යත්වයට මුහුණ දෙන්නේ මේ සිටින පෝතක බාලදක්ෂයෝ තමයි. මේ අවුරුදු 7 ත් 11 ත් දරුවෝ තමයි ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින්නේ. මේ රටේ නිදහස් අධ්‍යාපනය ඉතාමත් විශිෂ්ටයි. මේ නිදහස් අධ්‍යාපනය නිසා ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් පිළිගත් මහා විද්වතුන් අපේ රටෙන් බිහි වෙලා තිබෙනවා. ලෝකයේ සිටින උගතුන්ට විද්වතුන්ට නොදෙවෙනි උගතුන් විද්වතුන් බිහි කරන්න පුළුවන්කම ලැබිලා තිබෙන්නේ නිදහස් අධ්‍යාපනය නිසා. එහි තිබෙන්නා වූ ගුණාත්මකභාවය සහ උසස් ප්‍රමිතිය රැක ගනිමින් කාලානුරූපීව දරුවන්ගේ සිතුම් පැතුම්, ආකල්ප, හැසිරීම් තේරුම් ගනිමින් තාක්ෂණික ලෝකය ජය ගැනීම සඳහා අපේ අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් කිරීමට දැන් කාලය පැමිණ තිබෙනවා.

මම ඊයේ හවස පුංචි දරුවකුගේ උපන්දින සාදයකට සහභාගි වුණා. මේ වගේම පුංචි දරුවෝ තමයි එතන සිටියේ. ඒ උපන්දිනය සැමරූ දරුවාගේ වයස අවුරුදු 07 යි. එතන පුංචි දරුවෝ 50 ක් විතර සිටියා. මම ඒ දරුවන්ගෙන් ඇහුවා පහේ ශිෂ්‍යත්වය ගැන දන්නව ද කියලා. ඒ දරුවෝ එක හඬින් කිව්වා අපි දන්නවා කියලා.

මම කිව්වා පහේ ශිෂ්‍යත්වයට කැමති අය අත උස්සන්න බලන්න කියලා. එක් කෙනෙක් වත් අත ඉස්සුවේ නැහැ. මම කිව්වා පහේ ශිෂ්‍යත්වය අවලංගු කරනවට කැමති අය අත උස්සන්න කියලා. සියලුදෙනාම එක සැරේ අත ඉස්සුවා. මම මේ අහන්නේ කලින් කියලා දීලා ද පුරුදු කරල ද එහෙම නැත්නම් පෙර පුහුණුවක් දීල ද එහෙම නැහැ. එතන හිටපු දෙමව්පියන්ට මම කිව්වා පේනවා නේද දරුවන්ගේ ඉල්ලීම. අන්න දරුවන්ගේ මානසිකත්වය. අන්න දරුවන් ඉල්ලන දේ. තාක්ෂණික ලෝකය ජය ගන්න මේ රටේ නිදහස් අධ්‍යාපනය තව තවත් ශක්තිමත් කළ යුතුයි. එසේම දරුවා විශිෂ්ටයෙක් කරන්න මේ අධ්‍යාපන ක්‍රමය ජාතික අවශ්‍යතාව වගේම අන්තර්ජාතික වෙනස්කම් අප විසින් තේරුම් ගැනීම ඉතාමත් අවශ්‍ය වෙනවා. අධ්‍යාපන විශේෂඥයින්ට පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතුයි කියලා යෝජනා කළේ ඒ නිසයි. මම මේක කිව්වට පස්සේ ඇතැම් අම්මලා මට දොස් කියනවා කියලා ආරංචි වුණා. එතකොට කොහොමද දරුවාට හොඳ පාසලක් හොයා ගන්නේ. අපිට හොඳ පාසලකට දරුවෙක් දා ගන්න තිබුණු අවස්ථාව මේ නිසා නැතිව යනවා නේද කියලා සමහර අම්මලාගේ දුක් ගැනවිල්ලක් මට ආරංචි වුණා.

නමුත් මම දෙමව්පියන්ට කියන්න ඕනෑ අපි මේ අලුත් වැඩපිළිවෙළක් හදන්නේ පහේ ශිෂ්‍යත්වය අවලංගු කරලා 08 පන්තියට අලුත් විභාගයක් තියලා මේ දරුවෝ ලෝකයම ජයගන්න විශිෂ්ටයින් බවට පත් කරන්නයි.

විශ්වවිද්‍යාලයට ගිහින් කලා උපාධිය අරගෙන රැකියා ඉල්ලලා පාරවල්වල උද්ඝෝෂණ කරන තත්ත්වයට පත් කරන්නේ නැතිව මේ අධ්‍යාපන ක්‍රමයේ කළ යුතු වෙනස්කම් කිරීම සඳහා තමයි අප මේ ප්‍රවේශ වී සිටින්නේ.

ලෝකයේ දියුණු රටවල වගේ විභාගයක් පවත්වලා ඉන්පසුව සම්මුඛ පරික්ෂණයකට ලක් කරලා ඒ සම්මුඛ පරීක්ෂණයෙත් විභාග ප්‍රතිඵලත් අනුව දරුවන් වර්ග කිරීමක් අවශ්‍ය වෙනවා. එක් එක් විෂයන් තේරීමේදී කලා විෂයන් සඳහා අපේ රටේ සිටින ශිෂ්‍ය සංඛ්‍යාවෙන් වාර්ෂිකව 5% දක්වා අඩු කරන්න ඕනෑ. අපි බලන්න ඕනෑ සංවර්ධනයට අවශ්‍ය මොන විදියේ දැනුමක් ද? සංවර්ධනය සඳහා දරුවන්ට ලබාදෙන්න සුදුසු දැනුම කුමක්ද? ඒ සඳහා සුදුසු විභාග කුමක්ද? දරුවාගේ බුද්ධිය වර්ධනය වන්නේ කොයි ආකරයට ද? මේ තරගකාරි ලෝකය ජයග්‍රහණය කරන්න අප විසින් කළ යුතු සමාජමය වෙනස්කම් මොනවද? නව ආර්ථික ක්‍රම රටාවන් තේරුම් අරගෙන තාක්ෂණික විෂයන්ට මෙන්ම එක් එක් විෂය ක්ෂේත්‍රවලට දරුවන් යොමු කළ යුතුයි. මේ විදියට අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් කරලා ඔබට ඵලදායි මාර්ගයක් පෙන්වා දෙන්නයි අප බලාපොරොත්තු වන්නේ.

අද පහේ ශිෂ්‍යත්ව විභාගයත් එක්ක දරුවෝ පන්තියට කොටු වෙලා. අම්මාගේ හිර කාරයෙක් වෙලා. අම්මාත් දුක් විඳිනවා. දරුවත් දුක් විඳිනවා. හොඳ පාසල් කියලා හොයනවා නම් පහේ ශිෂ්‍යත්ව විභාගයට දරුවාව දා ගන්න එහෙම නම් මේ රටේ නරක පාසල් කියලත් දෙයක් තියෙන්නට ඕනෑ. හොඳ පාසල් සහ නරක පාසල් කියලා දෙකක් රටක තියෙන්න පුළුවන්කමක් නැහැ. මෙයින් අපි දන්නවා පැහැදිලිවම දෙමව්පියෝ බලාපොරොත්තු වෙන්නේ සිය දරුවන්ට ඉගෙන ගන්න අංගසම්පූර්ණ සියලු සම්පත් තිබෙන පාසලක්. එහෙම නම් අපි මේ සඳහා සුදුසු විභාග ක්‍රමයක් හදන්නට ඕනෑ. පාසල්වලට සියලු සම්පත් ලබා දෙන්නට ඕනෑ. එයින් තමයි දරුවා නිවැරදි තැනකට ගෙනියන්න පුළුවන්කම තිබෙන්නේ.

ඇතැම් අවස්ථාවල කවුරුවත් කාටත් නොදැනෙන්න පොඩි ළමයි කියන දේවල් මම හොරෙන් අහගෙන ඉඳලා තිබෙනවා. ඊයේ දරුවකුගේ උපන්දින සාදයකට ගිය වෙලෙත් ඒ අය කතා කරන ඒවා මම වෙන පැත්තක් බලාගෙන අහගෙන සිටියා. ඒ දරුවන් කතා කරන දේවල් මොනතරම් සුන්දර ද බලන්න. ඒ ගැන පොත් කීයක් ලියන්න පුළුවන් ද? ඒ අයගේ පුංචි පුංචි අපේක්ෂාවන් අසීමිතයි. මේ දරුවෝ ළඟ ඊර්ෂ්‍යාව නැහැ. කුහකකම නැහැ. ක්‍රෝධය වෛරය නැහැ.

මමත් වසර ගණනක් බාලදක්ෂයෙක් විදියට ඉඳලා අත්දැකීම් රාශියක් ලබා තිබෙනවා. මම පාසල් යන කාලේ ශිෂ්‍ය භටයෙක් විදියට කටයුතු කර තිබෙනවා. පාසලක බාලදක්ෂයෙක් ශිෂ්‍ය භටයෙක් ලෙස සිටීම මෙන් ම ක්‍රීඩා කටයුතුවලට යොමු වීම ඉතාමත් වැදගත්. පොත අතට අරගෙන පන්ති කාමරයට හිර වෙලා එකම තැනක සිටිනවාට වඩා දැනුම ලබා ගන්න ඕනෑ. දැනුමට ප්‍රමුඛතාවය දෙන්න ඕනෑ. ඒ වගේම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා යොමු වෙන්න ඕනෑ. සමාජය සමග ගැටෙන්න ඕනෑ. පරිසරයට දරුවා විවෘත කළ යුතු යි. පරිසරය හඳුනාගැනීම පරිසරයේ අභියෝග තේරුම් ගැනීම දරුවාට ඉතාමත් අවශ්‍යය යි.

මේ කබෝරිය මගින් ජිවිත කාලය පුරාවටම අමතක නොවන සුන්දර අත්දැකීම් මේ දරුවෝ ලබනවා. මේ දරුවන්ට අවුරුදු හැටක් පිරුණු විටත් කතා කරයි අපි පුංචි කාලේ මේ බාලදක්ෂ කබෝරියකට ගියා. ඒ කබෝරියේදි අපි මේ මේ වගේ අත්දැකීම් ලැබුවා කියලා.

මෙම උත්සවයේ කටයුතු ඉතාමත් හොඳින් සංවිධානය කර තිබෙනවා. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපතිතුමා, ප්‍රධාන කොමසරිස්තුමා ඇතුළු සහකාර කොමසාරිස්වරු, නියෝජ්‍ය කොමසාරිස්වරු, මැති ඇමතිවරු අනෙකුත් රාජ්‍ය ආයතන ඇතුළු මේ 12 වන ජාතික කබෝරිය සාර්ථක කර ගැනීමට සහයෝගය දැක් වූ සියලු දෙනාටම මගේ ගෞරවනීය ස්තූතිය පුද කරනවා.

ඒවගේම ජාත්‍යන්තර බාලදක්ෂ ව්‍යාපාරයේ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කටයුතු ඉතාමත් අගය කරමින් ඔබ සියලුදෙනාට වාසනාවන්ත අනාගතයක් සුන්දර අනාගතයක් ප්‍රාර්ථනා කරමින් ඔබේ අනාගතය සුන්දර කරන්නට රජයක් විදියට පෞද්ගලිකවත් සැමවිටම කැපවෙන බව ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරනවා.

සියලු දෙනාටම ස්තූතියි. 

ප්‍රතිපත්ති හා මූලධර්මවලට හානියක් නොවන අයුරින් බාලදක්ෂ ව්‍යාපාරය කාලානුරූපව වෙනස්කම්වලට භාජනය විය යුතු බව ජනපති පවසයි.

ප්‍රතිපත්ති හා මූලධර්මවලට හානියක් නොවන අයුරින් බාලදක්ෂ ව්‍යාපාරය කාලානුරූප ව වෙනස්කම්වලට භාජනය වියයුතුයි – ජනපති

ප්‍රතිපත්ති හා මූලධර්මවලට හානියක් නොවන අයුරින් බාලදක්ෂ ව්‍යාපාරය ද කාලානුරූපව වෙනස්කම්වලට භාජනය විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

දොළොස් වැනි ජාතික පෝතක බාලදක්ෂ කබෝරියේ සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (06) පස්වරුවේ වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දී පැවැත්වුණු අතර එම අවස්ථාව අමතමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමේ දී අවම වශයෙන් එය පාසල් දරුවන්ගෙන් 25%ක් වත් නියෝජනය වීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා විනයෙන්, හික්මීමෙන් මෙන්ම ගුණදම්වලින් පොහොසත් අනාගත පරපුරක් ගොඩනැඟීමට බාලදක්ෂ ව්‍යාපාරය ඉතා වැදගත් බව ප්‍රකාශ කළේය.

එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ විශිෂ්ට අනාගත පරපුරක් රට තුළ ගොඩනැඟීම වෙනුවෙන් අධ්‍යාපන පද්ධතියේ සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳව මේ වන විට විශේෂ අවධානයක් යොමු කරමින් අධ්‍යාපන විශේෂඥයන්ගේ උපදෙස් අනුව අදාළ වැඩපිළිවෙළ සකස් කරමින් සිටින බවයි.

ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානය මගින් වසර 03කට වරක් ජාතික මට්ටමින් සංවිධානය කරන ජාතික කබෝරිය “අපේ උරුමය මව්බිමයි” තේමාව යටතේ අද සිට අප්‍රේල් 08 වනදා දක්වා වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ දී පැවැත් වේ.
මෙම කබෝරිය සඳහා ශ්‍රී ලංකාවේ නන් දෙසින් පැමිණි වයස අවුරුදු හතත්, එකොළහත් අතර වයසේ පසුවන පෝතක බාලදක්ෂයින් 7500 ක් ද ආචාර්යවරුන් හා වරියන් 750 ක් පමණ එක්ව සිටින අතර ප්‍රථම වරට දකුණු ආසියාතික රටවල්වල පෝතක බාලදක්ෂ දරුවන් හා නායක නායිකාවන් 300ක් පමණ ඊට එක්ව සිටී.

තෙදිනක් පුරා පැවැත්වෙන කබෝරිය විශේෂාංග රැසකින් සමන්විත අතර එම දරුවන්ගේ වයසට ඔබින විෂය නිර්දේශ යටතේ පුහුණුවීම් ලබාදීම සිදු කෙරෙන අතර විනෝදජනක අවස්ථා මගින් දැනුම ලබා ගැනීමට අවස්ථාව සලසා තිබේ.

කබෝරි පදක්කම් කට්ටලය කබෝරි සංවිධායක කොමසාරිස් වත්සලා විජේවික්‍රම මහත්මිය විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූවාය.

කබෝරි සමරු ඵලකය කබෝරි ලේකම් රේණුකා සිල්වා මහත්මිය විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී. රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ද, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ඉංජිනේරු මෙරිල් ගුණතිලක මහතා ඇතුළු සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

%d bloggers like this: