Menu Close

මහනුවර: ලාංකික නගර අවකාශයේ පැතිකඩක් ලෙස

(මෙම ලිපියේ සංස්කරණය කළ පිටපතක් පසුගිය ඔක්තෝබර් 06 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළ විය. මේ ලිපියේ සම්පූර්ණ පිටපතයි.)

මෙය ලියන මගේ උපන් ගම පිහිටා ඇත්තේ මහනුවර නගරයට කිලෝ මීටර පහක හයක තරම් දුරකිනි. ප්‍රාථමික අධ්‍යාපනයේ පටන් උසස් අධ්‍යාපනය දක්වාම ලබාගත් ආයතන පිහිටා ඇත්තේ මහනුවර නගරය තුළ හෝ නගරාසන්නයේ බැවිනුත්, වත්මන් රැකියාව මෙන්ම, වසර කිහිපයකදී හැර, රැකියාස්ථානය පවා පිහිටියේ ද නගරාසන්නයේ බැවිනුත් මහනුවර, මා වැඩිම වශයෙන් ඇසුරු කොට ඇති නගරය බැව් සඳහන් කිරීම කිසිසේත් වැරදි නැත. දශක කිහිපයක් මුළුල්ලේ නගරයක විපරිණාමය මහනුවර දෙස බලා සිට වටහාගත් අයෙකු ලෙස ඒ පිළිබඳ ඔබට ලිවීමට අදහස් කළෙමි. මෙවැන්නක් ලිවීමට මට වඩා සුදුස්සන් බොහෝ ඇති බව දනිමි. නමුත් මෙහි මා ‘මහනුවර‘ තබන්නේ ලාංකික නගරාවකාශ පිළිබඳ ආදර්ශ රූපයක් ලෙස පමණි. ඔබ ජීවත්වන හෝ තදාසන්න නගරය සිහි කැඳවමින් හා සසඳමින් ඔබටත් මේ සාකච්ඡාවට දායක වීමට පුළුවන.

නගරය යනු ආර්ථික, පරිපාලන ආදී කටයුතුවල මෙන්ම සංස්කෘතික කටයුතුවලද කේන්ද්‍රස්ථානයක් බව අපි දනිමු. තදාසන්න ප්‍රත්‍ය ජනපද වාසීන් ස්වකීය කටයුතු රැසකට දිනපතා හෝ තෝරාගත් දිනයන්හි පැමිණෙන්නේ නගරය වෙත ය. නගරයක ඇති බැංකු හා සමගාමී ආයතන පුරවැසියන්ගේ ආර්ථික කටයුතු සම්පාදනය කර දෙද්දී, වෙළඳසැල් සහ සාප්පු සංකීර්ණ ඔවුන්ගේ එදිනෙදා අවැසියාවන් සපුරා දෙයි. නගර සභා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍යයේ නියෝජිතායතන පුරවැසියාගේ රාජ්‍යය හා බැඳුණු ජීවිතය සම්බන්ධීකරණය කර දෙමින් කටයුතු කරයි. මේ සියල්ල හා සමාන්තරව නගරයක මුණගැසෙන පුරවැසියාගේ සංස්කෘතික ජීවිතය බොහෝ විට කුඩා කෝපිහල්වල සිට නගර ශාලා, සිනමා ශාලා, සම්මන්ත්‍රණ ශාලා, පුස්තකාල, නගර චතුරශ්‍ර, උද්‍යාන යනාදිය ඔස්සේ දිවෙයි.

කොළඹ නගරයේ යම් යම් විතැන්වීම් හඳුනාගන්නට ඉඩ ඇතත්, ලංකාවේ නගර සියල්ලෙහිම පාහේ සංස්කෘතික අවකාශ ගෙවුණු දශක කිහිපයක් ඔස්සේ වියැකෙමින් පවතින බව මගේ නිරීක්ෂණයයි. එනයින් පුරවැසියාගේ සංස්කෘතික ජීවිතය සෝදාපාළුවට ලක්වෙමින් පවතියි. නගරය යන්න විග්‍රහකොට හඳුනාගැනීමේ දී පරිපාලකස්ථානය දක්වන අසමත්කම හා නොසැළකිල්ල මේ පසුපස වන බව පෙනේ. මා උදාහරණයට ගන්නට යෝජනා කළ ‘මහනුවර‘ හරහා මෙය පෙන්වා දෙන්නට මට ඉඩ දෙන්න!

ලොව දියුණු නගර හා සසඳමින් ලාංකික නගරයක ගුණාගුණ විමසීම යහපත් ප්‍රවේශයක් නොවන්නේ ඒ ඒ නගරවල ආර්ථික ශක්තිය හා සංස්කෘතික දෘශ්ටිය වෙනස් තානවල පවතින හෙයිනි. එබැවින් මහනුවර මා සසඳන්නේ (වෙනත් නගර උදාහරණ කිහිපයක් සමග ගෙන) මහනුවර සමගම මිස වෙන අන් නගරයක් හා නොවේ.

80 දශකය වන විට මහනුවර නගරය හා තදාසන්නව සිනමා ශාලා 06ක් තිබිණ. නගර මධ්‍යයේ පැවති වේල්ස්, පේරාදෙණිය පාර ඇරඹෙත්ම හමුවුණු වෙම්බ්ලි, අතරමග වූ රීගල්, පේරාදෙණියේ වූ තුසිත, ත්‍රිත්ව විදුහල අසලින් නැගුණු කඳුගැටයක වූ ඕඩියන්, කටුගස්තොට පැවති සීගිරි ඒ සිනමා ශාලා ය. සීගිරි සිනමාශාලාව අසලම එරීනා නමින් තවත් සිනමාහලක් පසුව ඉදිවූ අතර අදටත් එතැන නම් එම සිනමා ශාලා දෙකම ක්‍රියාත්මකව පවතියි. ආසන්න කුඩා නගර වූ දිගන – රිනවුන් හා පිළිමතලාව – සීතා සිනමාහල් ද 90 දශකයේ ඇරඹ ගෙවුණු වසර කිහිපය තුළ වැසී යාම සමගාමීව එරීනා සහ සීගිරි තනි නොතනියට අද ඇති අනෙත් එකම සිනමාහළ පේරාදෙණිය පාරේ රීගල් පමණි. නගරයේ දැවැන්ත රථගාලට පිඹුරුපත් සැකසෙද්දීම වේල්ස් කඩාබිඳ ඉවත් කෙරුණු අතර, දැවැන්ත හෝටලයක් වෙනුවෙන් ඕඩියන් සිනමාහළ අතුරුදන් කෙරිණ. වෙම්බ්ලි හා තුසිත වැසීගොස් තවමත් එතරම් දිනක් ගතවී නැත.

83 කළු ජූලිය හේතුවෙන් රටපුරාම බොහෝ සිනමා ශාලා ගිනිබත් වූ බවත්, තරුණ කැරලි හා යුද්ධය හේතුවෙන් බිඳවැටුණු ගමනාගමනය ආදිය මෙන්ම ටෙලිවිෂනය ද සිනමා ශාලාවෙන් ප්‍රේක්ෂකයා ඈත් කරන්නට හේතු වූ බවත් අපි දනිමු. මහනුවර මේ වැසීගිය සිනමා ශාලාවලින් බහුතරය පැවතියේ ද ප්‍රේක්ෂකයා ආකර්ශණය කරන සුළු තත්වයන්වල නොවේ. එහෙත් අරුමය අගනුවර හෝ වෙනත් නගරවල මෙන් ඒ සඳහා ආදේශක ලෙස සිනමා ශාලා සංකීර්ණයක් තබා නවීන තාක්ෂණය සහිත එකම සිනමා ශාලාවක් හෝ මහනුවර ඉදි නොවීම ය. ප්‍රතිඵලය බොහෝ දේශීය හා විදේශීය චිත්‍රපටවල මෙරට නිෂ්පාදන මහනුවරට නොපැමිණීම හෝ ප්‍රමාද ව පැමිණීමයි. සම්භාව්‍ය චිත්‍රපටවලට වෙම්බ්ලි සිනමාහල යනාදී ලෙස ගෙන, එක් එක් මණ්ඩලවලට එක් එක් සිනමා ශාලා වෙන්කොට ගෙන චිත්‍රපට නැරඹූ 80 දශකයේ ප්‍රේක්ෂාගාරය මහනුවර නගරය විසින් නොතකා හරිනු ලැබ ඇති අතර ඉදිව ඇති ‘කැන්ඩි සිටි සෙන්ටර්‘ හෝ ඉදිවන සෙසු සුපිරි නාගරික වෙළඳ අවකාශ මෙම පිරිසට ආමන්ත්‍රණය කරන බවක් පෙනෙන්නට ද නැත.

නාට්‍ය ප්‍රේක්ෂාගාරය මහනුවර දී නොතකා හළ තවත් පිරිසකි. කටුගස්තොට ශාන්ත අන්තෝනි ශාලාව 90 දශකය තෙක්ම වේදිකා නාට්‍ය සතිපතා ප්‍රේක්ෂකයාට තිළිණ කළ ද දැන් එහි නාට්‍ය හමුවන්නේ නැත. එහි අනුප්‍රාප්තික ශාලාව බව පෙනෙන ධර්මරාජ විදුහල් ශාලාව දැන්, ඉඳහිට හෝ, මහනුවර ප්‍රේක්ෂාගාරයට නාට්‍ය මුණගස්වයි. කෙසේ වෙතත්, වාර්ෂික නාට්‍ය උත්සවය වෙත ගොස් පේරාදෙණිය සරච්චන්ද්‍ර රඟමඬලේ දී නාට්‍ය නැරඹීමෙන් මොබ, නගරයේ දී උසස් නාට්‍ය රසවින්දනයක් ලැබීමට අවශ්‍ය ප්‍රේක්ෂාගාරයේ මනදොළ සපුරන, තත්‍ය උපාංග සපිරි හා නිසි වේදිකාවක් සහිත රඟහලක් මහනුවරට නැත.

මගේ ළමා කාලය කොටුගොඩැල්ල වීදියේ ඊ. එල්. සේනානායක වීදියේ ළමා පුස්තකාල ජීවිතයකින් ද, ඉන් පසුව එළඹුණු සමය ඩී.එස්. සේනානායක මහජන පුස්තකාල ජීවිතයකින්ද ඒකාලෝකව පැවතිණ. ඒ ඉංග්‍රීසි බසින් පොත් කියවීම සඳහා තිබුණු බ්‍රිතාන්‍ය මණ්ඩල (British Council) පුස්තකාලයේ පැවති ජීවිතය හැරුණු කොට ය. කටුගස්තොට සිට ත්‍රිත්ව විදුහල පසුකරමින් බස් රථවල නැග ආ අපි ‘බ්‍රිටිෂ් කවුන්සිල් එක ළඟ හෝල්ට් එකෙන් බැස‘ පියවර දෙක තුනක් ඉදිරියෙන් වූ පුස්තකාල දොරටුවෙන් එදවස ඇතුළු වූයේ එහි වූ පොත් ඇසුරු කරන්නට මෙන්ම සිනමා උළෙල, සංවාද යනාදියට ද සහභාගි වන්නට ය. කෙසේ වෙතත්, නගරය නැගී දියුණු වත්ම ප්‍රධාන මහජන පුස්තකාල ශ්‍රවණාගාර ගිනිගැණින. ඊ.එල්. සේනානායක ළමා පුස්තකාලය අද නවීකරණය සඳහා වසා ඇති බව පෙනේ. වඩාත් ඛේදනිය මෙන්ම සංකේතාත්මකව වැදගත් තත්වයට මුහුණ දුන්නේ බ්‍රිතාන්‍ය මණ්ඩල පුස්තකාලයයි. එය කොටුගොඩැල්ල වීදියේ ඉතිරි කිරීමේ බැංකුව ද ඇති ගොඩනැගිල්ලේ තෙවැනි මහලට තල්ලු වූ අතර ඇස නොගැටෙන කලාපයක, කුඩා වී ගොස්, පෙර පැවති ආකර්ෂණය අඩු වී ගියේ ය. එම පුස්තකාලය පෙර පැවති අවකාශය ආක්‍රමණය කළේ ප්‍රමුඛ පෙළේ දුරකථන සන්නිවේදන සමාගමකි. දැන් බස් කොන්දොස්තර මහතුන් මගීන්ට නැවතුම සිහිකැඳවන්නේ ද දුරකථන ජාලයේ නම කියමින් කෑගසමිනි.

මහනුවරට ලංකාවේ වෙනත් බොහෝ නගරවලට මෙන් පැහැදිලි නගර චතුරශ්‍රයක් වූයේ නැත. කෙසේ වෙතත්, ජෝර්ජ් ඊ. ද සිල්වා උද්‍යානය හා/හෝ පොදු වෙළඳපොල අභිසය පරිශ්‍රය කලාතුරකින් දිනක හෝ වීදි නාට්‍ය කණ්ඩායමක, සංචාරක විකල්ප ගීත කණ්ඩායමක ග්‍රහණයට නතු වනු දකිමින් ඒ විඳි පිරිස අතර එදවස මම ද වූයෙමි. වෙළඳ අවශ්‍යතා මත මෙන්ම මෙගා නගර සැලසුම් මත වෙනස් කෙරුණු හෝ නවීකරණය කෙරුණු මෙම කලාප දැන් එවැනි කටයුත්තකට වුව ආරාධනයක් නොදක්වන සෙයකි.

“අපි නුවර උන්“ යනුවෙන් ස්වකීය ප්‍රාදේශීයවාදී බව හෙළි කරමින් මුහුණුපොත යනාදිය හරහා ඒ පිළිබඳ ඔද වඩන්නන් මා ඉහත මතු කළ කරුණු ඇතුළු සංස්කෘතික ජීවිතයක අත්‍යාවශ්‍ය සාධක සහිත නගරයක් බවට මහනුවර පත් කිරීමට ක්‍රියාකාරීව කටයුතු කරනු ඇතැයි මම නොසිතමි. නමුත් එය අනිවාර්ය කොට සිදු විය යුත්තකි. ඉතා මනරම් වැවරවුම වටා අල්ලාප සල්ලාපයට වාඩිවන්නට බංකු තනා එහි වාඩිවන පෙම්වතුන් මතු නොව මිතුරන් පවා පන්නා දමමින් ද, යළි කිසිවකු ඒ බංකු මත වාඩි නොවනු පිණිස ඒ මත තාර ගාමින් ද ‘මහනුවර රැකගත්‘ පාලකස්ථානයක් එහි විය. පහසුවෙන් ඉවත් කළ නොහැකි ලෙස කොන්ක්‍රීට් බැමි යොදා, කලින් රථ ගමන් කළ දළදා මාළිගාව ඉදිරිපස මාර්ගය ස්ථිරව වසා දමමින් වැව වටා රථ පෝලිම් තනවා පළාතේම දරුවන් පෙනහළු රෝගීන් වීම ‘අගය කළ‘ පාලකස්ථානයක් එහි විය. සංස්කෘතික ජීවිතය යනු වෙළඳ සංකීර්ණවල මහල් ගණන ඉහළ ගිය පමණින් නැගෙන්නක් බව විශ්වාස කරන පාලකස්ථානයක්  අදද එහි වන බව පෙනෙන්නේ නගර සභා බිම්වලත් ඉදි කරන්නේ වෙළඳ සංකීර්ණම පමණක් බැවිණි. නගර පිළිබඳ ගොස නගර ‘නගර ප්‍රේමීන්‘ අරගල කළ යුත්තේ මේ පටු සීමාවලට ද එරෙහිව ය.

නගරයක් වචනාර්ථයෙන්ම නගරයක් වන්නේ එහි හමුවන සංස්කෘතික ජීවිතයේ පොහොසත්කම පදනම් කොටගෙන ය. ඒ අනුසාරයෙන් නගර නොවන නගරයකට මහනුවර උදාහරණයක් පමණි. ඔබේ නගරය මෙහි යොදා තතු විමසා බලන්න!

-ප්‍රියන්ත ෆොන්සේකා –
 

%d bloggers like this: