Menu Close

150. කළු ගඟදිගේ . . . . . . 11

ඉංගිරිය, හල්වතුර – හෑගල් ඔය මාර්ගයේ ඇති පාලම

ඇල්ලෙන් නික්මීම සමගම ගඟ අවතිර්ණ වන්නේ කුඹුක් ගස් වලින් තරමක් ආවරණය වූ පෙදෙසකට.

 “කුඹුක්” කියා ලිව්වේ මතකයෙනි!

ගඟ මීටර 50-100 ක් ගලන්නේ ගලින් කල කාණුවක් දිගේ. ඉවුර ලෙස දෙපසම ඇත්තේ තනිකරම  ගල්. ගල් කීවාට පටන් ගත් තැනක් – අවසන් වූ තැනක හොයා ගැනිමට හිස දෙපසට හරවන්නට වන තරම් පර්වත.

ඒ අසලම මිනිසුන් දෙදෙනෙක් පමණ හිටි බව මතකයි.
ඇත්තටම ඔවුන් එහි රැඳුනේ කුමක් සඳහාද කියා සිතා ගැනිමට අපහසුයි දැන් සිතන විටදී වත්!?
මමමෙහෙම කියන්නේ ඔවුන් තුල කිසියම් ආගන්තුක බවක් තිබුණු බව නම් මට හොඳටම මතක බැවින්! ඔවුන් මාළු අල්ලන්නන් නම් නොවෙයි.

සමහර විට ඔවුන් පැමිණියේ; ඇල්ලෙන් අප විඳින දඬුවම හොඳින් බලා ගන්නට විය හැක. ඔවුන් සරම් හා කමිස ඇඳ සිටි බව මතකය.
 එසේම එම ඇඳුම් කිසියම් බැහැරක යෑමට සුදුසු ප්‍රසස්ථ බවකින් යුක්ත වූ බව මාහට තේරුම් ගියේය. එතරම් ජේත්තුවට හැඩවී පාලමක් පල්ලේ ඉවුරක බැරි අමාරුවෙන් ඉන්නේ කුමකටද? සොයන්නේ මොනවාද?

ඇල්ලෙන්; අවුලකින් තොරව අප යාත්‍රා කිරීමේ සතුට තියෙන්නේ ඇනෝ නිසා විය.

ඇනෝ සිටි හෙයින් අප වඩාත් අරපරිස්ස්මෙන්, සැකසුරුවමින් යුතුව කයාකයන් හැසිරවූ නිසා පෙරලීයාමට තිබූ වාසනාව අප වෙතින් ගිලිහී ගියේය.

  කයාකය පෙරළීයාම හෝ අවසාන මොහොත වන තුරු ජල කඳ සමග සටන් කිරීමට වීම තරම් සතුටක් වින්දනයක් කයාක පැදිමේදී තවත් නැත.

මෙයට පහදාලීමට මා දිය යුතු උදාහරණය කුමක්ද?

“ට්‍රේල්” බයිසිකලයකින් මහ පාරක ගමන් කරණවා වැනි තත්වයකි.
සාමාන්‍යයෙන් කයාක මෙවන් රැපිඩයක් තරණයෙදී එය පෙරළී නොයා පදවාගෙන යෑම දක්ෂ තාවයකි.
 එය සතුට දනවන කටයුත්තකි.
“හොඳම දේ විවාහ නොවී සිටීම! ඊළඟට හොඳම දේ විවාහ වීම” සේ පෙරළී යෑමට ඉඩ නොතබා කයාකය පැදයාම සතුට දනවන දෙයක් වනවා සේම ඊළඟට වඩාත්ම සතුට දනවන දේ වන්නේ කයාකය පෙරළී යාමය!

ඇල්ල පසු කොට පැමිණීමේදී අපට හමුවූ වැලි ගොඩ දමන්නන්, ඉල්ලම් හෝදන්නන්, පතල් කණින්නන්  අතර සිටියවුන්ගෙන් බොහෝ දෙනා අපෙන් විමසූ පොදු විමසීම් කීපයක් විය!

“ඇල්ලෙන් කොහොමද ආවේ?”

“යට ගැහුවේ නැද්ද???”



රැපිඩයක් සාර්ථකව පසු කල පසු කණ්ඩායම එක් තැනකට නො එසේනම් එක් පොදියකට කයාක සියල්ල එක් කොට හබල් එකිනෙක ගැටීම සිරිතකි. එය බොන්නට පෙර චියර්ස් කියනවා වාගේමය.

අප එකිනෙකා අත වූ හබල් එකට වද්දා ගමනට නැවත එක් වුනෙමු.

ගංගාව මේ වන විට තම නමට ගැලපෙන වේශයකට අවතීර්ණ වී සිටියාය.
 එය තරමක පලලකින් යුතු වපසරියක් තුල තම අණසක පතුරුවාය.
එසේ වඩාත් වැඩි පලලක් ගත් ස්ථාන යන් හීදී ගංගාව විලක ස්වරූපයක් ගත්තේය. එම ස්ථාන සිසාරා ගමන් කිරීමේදී වඩාත් වැඩි වෙහෙසකින් මහන්සියකින් යුතුව පැදීමට සිදු විය. ගංගාව ජන ශූන්‍ය පෙදෙස් හරහා ගමන් කලේය.

අප කෙමෙන් කෙමෙන් පහලට බසිත්ම ගඟ හරහා ගමන් කල නිල් පැහැ ගත් අඟුලක් දක්නට ලබීය.
 මුළුමණින්ම කෘථිමව හෙවත් ෆයිබර් වලින් නිපදවා තිබූ අඟුලේ යකඩින් සාදන ලද ඇඳි දෙකක්ද විය. අප කෙමෙන් කෙමෙන් ගඟේ වම් පස වූ තොටු පොලේදී අඟුල පදවන ලද  අඟුල හමුවිය.
එය කළු ගඟේ ඓයිතිහාසික දුම්බර තොටුපොලයි.

ඔහුගේ නම නිමල් මෙන් මා හට මතකය! තොටු පොලෙහි ජල මට්ටම තුල නොපෙනී යන විසල් ගල් කුට්ටි මගින් සීමා වූ ගල් ඇල්ලූ පටු මගකි.
මීට අඩ සිය වසකට පමන පෙර මෙම ස්ථානය ඉතා සාර්ථක ප්‍රවාහන මධ්‍යයස්ථානයක්ව තිබුණු බවක් පැවසේ.
 ඒ අසල පිහිටි මිණිරන් පතලෙන් උඩට ඇදෙන මිණිරන් කොළඹ බලා යැවුනේ මෙම තොටුපල හරහා කලු ගඟ ඔස්සේ බව කියැවේ. 

සමහර රට වල මෙසේ අභාවයට කිය කර්මාන්තයක සංස්කෘථිය අද පරපුරට බලා ගන්නට හකි අන්දමට පවත්වාගෙන යනු ලබයි. ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පිහිටි බෙලරාත් ප්‍රදෙශයද එවන් ප්‍රදර්ශන මධ්‍යස්ථානයකි. 
මීට වසර ගනනාවකට පෙර පැවති නගරය සියැසින් දැක ගැනීමේ අවස්ථාව සංචාරකයන්ට හිමිවේ. 
ඔය ලියලාම තියෙන්නේ!

මේ පාර පනින්නේද ප්‍රදර්ශන භාණ්ඩයක්ම තමයි.
 1850 ගනන් වල මෙම පලාතේ භාවිතා කල ඇඳුම් පැළඳුම්, කොන්ඩා විළාසිතාවන් වලින් සැරසුනු මෙවන් කාන්තාවන් හා පිරිමින්; නරඹන්නන් අතරින් එහා මෙහා ගමන් කරණු නිරණ්තරයෙන් දක්නට ලැබේ. විටෙක මාර්ගය ඔස්සේ ගමන් කරණ්නේ අශ්ව කරත්තයකි!

ප්‍රථි නිර්මිත බෙලරාත් නගරය!
මාවනැල්ල අසල සර්දියෙල් ගම, අපේ ගම වැනි ස්ථාන කිහිපයක් ඇති වූවාට මෙම මිනිරණ් කර්මාන්තය හා බැඳුනු උප සංස්කෘථිය සුවිශෙෂී ප්‍රදර්ශන භාන්ඩයක් වනු ඇත.

කලකට පෙර මෙරට ප්‍රේක්ෂකයින් අතර අතිශයින් ජනප්‍රිය වූ “බෝගල සවුන්දිරිස්” ටෙලි කථාව  තුල චිත්‍රණය වූයේ මෙම උප සංස්කෘථියයි.

තොටුපොල කරා බඩු බාහිරාදිය ගෙන ආ මාර්ගය පමනක් සිහිවටනයක් ලෙස ඉතිරිවී ඇත.
 අප එම ස්ථානයෙ නැවතී ස්වල්ප වේලාවක් සිටියෙමු. තෙශාන්ත විසින් ගොඩ බිමට ගොස් බීමට ඇවැසි ජලය රැගෙන ආවේය. තවත් ස්වල්පවේලාවකින් අප නැවත ගමන් අරඹූයෙමු.

ගමේ බඩු ! – පිරිසිදු ජලය

දුම්බර දුම්

කොතැන උනත් නැත නින්දට බාධා !

ඉංගිරිය, හල්වතුර – හෑගල් ඔය මාර්ගයේ ඇති පාලම  අසලට එන අතරමග අප නැවතුනේ එක් ස්ථානයකදී පමණි.
ඒ ගඟේ දකුණු ඉවුරේ වූ රමණීය ගල් තලාවක් මතය.
එම ගල් තලාව හුදෙකලා එකක් නොවීය.
 පරිවාර ගල් කිහිපයකින් සෑදුනු ගල් දිවයිනක් නො එසේ නම් සංකීර්ණයක් සේ දිස් විය.

එම ස්තානයේ සුවදායක පරිසරයේ මිහිර අප කිසිවෙකුටත් වඩා ඇනෝ විඳිනු දැකිය හැකි විය. ඔහුට එම ගල් තලාව සුව යහනක් විය. ඇනෝගේ නින්දට කුඩා ඉඩක් වෙන්කල අප එතනින් නික්මෙන විට දවල් ආහාරය සිරුරු අපෙන් ඉල්ලමින් විය.

 පාලම පසු කරණ විට දැඩි හිරු රැසින් සිරුර දැවෙමින් විය. වෙනදා මෙන්ම ගඟේ ඇල් දියෙන් දෑත් හා දෙපා දොවා ගන්නවා විනා වෙන කල හැකි හා කල යුතු වෙනත් කිසිවක් නොවීය.

අප පිළිගැනීමට නිර්මිත තොරණක් !

සයිකල් පැදීමේදී කිලෝමීටර් කනු, මං සල්, කඩ මණ්ඩි; විශේෂයෙන්  මාර්ග සංවර්ධන අධිකාරියෙන් නගර සීමාවේ සවිකොට ඇති කොල පැහැති; නගර නාම පුවරු දැකීමේදී සිතට දැනෙන සතුට සැහැල්ලුව යම්සේද එවන්ම වූ සතුටක්; කයාකින් පැදීමේදී පාලම් දැකීමේදී සිතට දැනෙන්නේ නිරායාසයෙනි!


තවත් කිලෝමීටරයක් පමණ දුරක් අප ගඟ දිගේ පහලට බසිත්ම කුඩා වැලි තොටුපොලක පිරිමින් හා හරි හරියට වැලි ගොඩට අදින කාන්තා රූප දෙකක් අපේ කාචයේ සටහන් කර ගැනීමට සමත් විමු. 
ඒ මා ඔවුන් අසලට කයාකය හරවා ගෙන ගොස් ඡායා රූපයක් ගන්නට අවසර ගෙන ලබා ගත් එකකි. වැළි තොටුපොලේ සිටි සියල්ලෝම ඊට අවසරය ලබාදී  හා ඇයගෙන් ඉල්ලීම කලද ඇය ඊට දැක්වූයේ වස කුලෑටි කමකි. 
එබැවින් අපට සාර්ථක ඡායා රූපයක් ගැනීමට තිබුණු අවස්ථාව මග ඇරී ගියේය.

හිරු මුදුන් වී ආපසු ගමට යන්නට පටන් ගෙන තිබුණි. අප ගං ඉවුරකට සේන්දු උනෙමු. ආසාවට ගහක් තබා හෙවනකට වතුපාළු වැලක් වත්  එම ස්ථානයේ නොවීය.
 තෙශාන්ත හා පසිඳු සිරිත් පරිදි දිවා ආහාරය සපයා දීමට ඉවුරේ කපොල්ලක් තුලින් නොපෙනී ගියේය.
 ඒ වන විට මාගේ හිස තදින් රිදුම් දෙන්නට පටන් ගෙන තිබුණි. 
මා බොහෝ විට බියපත් වන තර්ජනය මෙම හිසේ රුදාවය. 
සැමදා එය; මා බිම හෙලන්නට සමත් පෙළීමකි!  

මේ සියල්ල අතර ඇනෝ ගං දියේ ගිලෙමින් සිත්සේ නා ගනු මා දුටුවෙමි. 
ජීවිතාරක්ෂක කෑනය ලබාදී ඔහුගේ ආරක්ෂාව තහවුරු කර ගත් මා ඔහු නෑම අවසන් කරණා තුරු ඒ අසල නවතා තිබූ වැලි ගොඩ දමන ෆයිබර් බෝට්ටුවේ බඳින් සැකසුණු කුඩා සෙවනැල්ල තුල හිස තබා ගෙන බිම වැතිරී සිටියෙමි. 

දෙනෙත් තෙත් වන තරම් අමාරුවකින් සිටි මා හිස එසවූයේ ඇනෝ නෑම අවසන් කොට ගොඩට පැමිණීමත් සමගය. 
ඇනෝ මා ඔහු අසල බිම වාඩිකරවා හිසේහි දෙපස ඇති නිල නැතහොත් පීඩන ස්ථානයන් තෙරපමින් නිල වෙදකම්ක් කලේය. 
එය එම අවස්ථාවේදී මිළ කල නොහැකි අස්වැසිල්ලක් විය.

දිවා ආහාරය අසල වැලි බෝට්ටුවේ තට්ටුව හෙවත් ඩෙක් එක මත දිග ඇර ගත් අප තවත් ටික වේලාවකින් ගමනට පිටත් විය.
දිනය අතිශයින් උනුසුම්  වාතාවරණයක් සියල් කල්හිම අපවටා ගොඩනගමින් විය. 
අප දිවා ආහාරය ගෙන එතනින් පිටත් වී නොබෝ වේලාවකින් හාත් පස පවති කාළගුණික තත්වයේ කැපී පෙනෙන වෙනසකට මුල පුරණ්නට විය.

එතෙක් අප දවාලූ චන්ඩ හිරු රැස් වළාකුල් තුල සැඟව ගියේය. 
තවත් ටික වේලාවකින් වැහි බීරිමකින් අහස බර විය.
 දහවල් 3ට පමන වන්නට ඇතැයි සිතේ. 

එක් වරම මහා වරුසාවක් කඩා වැටෙන්නට විය. වැහි බිඳු සිරුර මත යකඩ බෝල පොලා පනින්නා සේ දැනුනි. මහ වැස්ස නොතකා අප තවත්; තව තවත් පැදගෙන ගියෙමු. 

මාගේ හිස පුපුරණ්නට තරම් වේදනා දෙමින්ය.

 ඒ වන විටත් මා පැදවූයේ බරසාර ෆයිබර් ට්‍රයෑකයය. “මචං! ඉන්න බෑ ඔළුව පුපුරන්න වගේ අමාරුයි!” හැම මොහොතකම මගේ මුවින් පිටවුනු ශෝකාලාපයයි. මෙය අසා ඉන්නට බැරිම තැනදෝ; කයාක දෙක මාරු කිරීමට පසිඳුත් තෙශාන්තත් මා හට යෝජනා කලෝය. ඔවුන් පදින ලද LDPP – කයාකය පැදීම වඩාත් පහසු කටයුත්තක් විය. තවත් ටික දුරක් පැදගිය මා; ඔවුන්ගේ කීමට අවනත විය. 

මහවැළි ගඟේ, කැළණි ගඟේ මෙන් සිතෙන පරක්කුවෙන් ගොඩ බිමට බැසිය හැකි තැන් කළු ගඟේ නොවීය. මන්ද ගං ඉවුරට ඉතාමත් ඉතාමත්ම ආසන්නයේ වුවද අපේ උස පොවන්නේ නති තරම් ගැඹුරකින් යුක්ත විය!මෙය අතිශයෝක්තියක් නොවේ. බොහෝ තැන් වල පතුල රොන් මඩ හෝ ඉල්ලං ගල් වලින් පිරී ගොස් තිබුණි. මේ සියල්ල මිනිස් ක්‍රියා කාරකම් වල අනිසි පල විපාකයන්ය!

මහ වැස්සේම වම් පස ඉවුරට අපසේන්දු විය. කයාකය ඉවුරටම ලංකර ඉදිරියේ සිටිනා අය ඉවුරේ කිසියම් ගහක් වැලක් හෝ වෙනයම් ස්ථාවර වස්තුවක් අල්ලාගෙන ගොඩ බිමට පැනිය යුතු වේ. 
මන්ද ඉවුර අසල ගැඹුර නිශ්චය කර ගත නොහැකි නිසාය. 

ඉවුරට බට ඇනෝ “තව පොඩ්ඩෙන් . . .!” යැයි කීවේය. 

කයාකය ගොඩ බිම සිට; ඇනෝ විසින් අල්ලාගත් පසුව මමද ඉවුරට පැන ගත්තේය. 

“අම්මට සිරි!’ මටද කියැවුණි.

ඉවුරට අඩි එකහමාරක පමණ සමීපයේ  හාරණ ලද අඩි 4 X 4 පමණ අත හැර දැමුණු පතලකි. 
පුවක් ගස් මගින් ඉවුර කඩා වැටීම නවතා තිබුණු මෙම පතලේ කට මට්ටමට ජලය පිරිලාය. 
අත හැර දමා තිබුණු එහි වතුර කොලම කොල පැහැය ගෙන තිබුණි. සත්තකින්ම එය  මර උගුලකි.
 පසිඳු හා තෙශාන්ත පරිස්සමින් ගොඩ බෑ පසු; .මා තන බිස්සේ මදක් වැතිරුණෙමි.එය කිසිසේත්ම සුවයහනක් නොවුණි. එහෙත් මාගේ හිසේ රුදාව විසින් මා කපා හෙලූ ගසක තත්වයට පත්කොට අවසානය.

එක වරම ඇද හැලුණු ධාරානිපාතය සමග දසත් ගිගුරුම් දෙමින් හෙන පුපුරණ්නට විය. මෙවන් එළිමහනක සිටින අප හෙන සැරයකට ඉලක්ක වීමට ඇති ඉඩ කඩ අති මහත්ය. නිඹඳවම පුපුරා හැලෙන විදුලි කෙටීම් වලින් අඳුර විටෙන් විට කපා දැමුණි.

මා තරමක වේලාවක් දෑස් පියාගෙන සිටියෙමි. 
ඔර්ලෝසු වේලාව ගැන කිසිදු හැඟීමක් අප කිසිවෙකුට තිබුනාදැයි මාහට නොසිතේ. එහෙත් හාත්පස කරුවල වැටෙන්නට පටන් ගෙනය. ඒ දිනය මහළු වීම අතික්‍රමණය කල වැහි වළාකුළු හා වැස්සය. 

කිසිවෙකු මා හට බාධා නොකලේය. එහෙත් අප ඉක්මණින් පිටත්ව යා යුතුය. අපගේ ගමනාන්තය වන කළුතරට තවත් කිලෝමීටර 30 ක් පමන ඉතිරිව ඇති බව සිතියම කියා පෑවේය. කළුතරටම යන්නේ නම් තවත් පැය 8 ක් පමණ ගත වෙනු ඇත. 
ගඟ බොහෝ සෙයින් නිසලව ඇත. කළුතරටම ඇත්තේ පැදීමක්මය! එය අතිශයින් වෙහෙසකාරී ක්‍රියාවකි.  

මෙම ගඟේ බිම පය ගැටුණු තැනක් නොමැත. එතරම්ම ගැඹුරකින් යුක්තය. එනිසාම රාත්‍රී කාලයේ සංචාරයට සුදුසු මෙම ගඟ නම් නොවේමය. 
අප තීරණයක් ගත යුතුව ඇත. ගඟ  ගලන්නේ ජන ශූන්‍ය පරිසරයක් තුලින්ය. ගඟෙන් අත් මිදෙන්නට නම් පාලමක් හමුවිය යුතුම විය. 

“මචං! මං හිතන්නේ අපි ඉක්මණින්ම ඊළඟ පාලම ලඟින් ගොඩට යන්න ඕන කියලා! අපි භාරයක් ඔප්පු කරණ්න වගේ පැදලා වැඩක් නෑ!!  මේ ගඟත් කිසිම ශුවර් එකක් තියන්න පුළුවන් එකක් නෙවෙයි ගැඹුරත් එක්ක! මොකද උඹලා කියන්නේ!?”

“………………………………………………………………………………..”

සියළු දෙනාම මාගේ අදහස සමග එක් විය. 

“එහෙනං ඉක්මන් කරලා යමු. වෙලාවක් නෑ!”

“අයියේ ඔයා මේක පදින්න!”

 පසිඳු ඔවුන් එතෙක් පැද ආ කයාකය මා වෙත ප්‍රදානය කලේය. තෙශාත් එය අනුමත් කලේය. මමද එය අකමැත්තෙන් වුවද භාර ගතිමි.  

නැවත අප දියට බටහ! එතැන් සිට ගසන් ගසන හබල් පහරක් සමගම ටිකින් ටික අඳුර අප වෙතට පැමිනෙමින් විය. නොපෙනෙන අරමුණක් හමුවන තෙක් අප වෙහෙස නොබලා හබල් ගසන්නට ගැසීමු. 

තවත් ටික වේලාවකින් වැස්ස තරමක් තුරල් විය. ඊට සමගාමීව වැසි බර වළාකුළු තරමක් ඈත් මෑත්ව අපේ ගමනට සුළු සහ යෝගයක් දක්වමින් විය. කිලෝ මීටර 4 ක පම ණ දුරක් හබල් ගැසූ පසු ඈතින් කුඩා පාලමක් දිස් වන්නට විය. අප සීරුවෙන් එතැනට සේන්දු විය. 

ගොඩ බෑ සතුට !

අප සිටින්නේ කොහිද?
ගූගල් සිතියම උප කාරයෙන් අප සිටින ඉසව්ව සොයා ගත්තෙමු. එය ඉහළ නාරගල පාලමය. අපේ ලොරි පොඩ්ඩා සිටින්නේ කළුතරය. කළුතරට යන්නට නම් අප මෙම ස්ථානයෙන් බැල්ලපිටිය හංදියට ගොස් එතැනින් බසයක නැගිය යුතුය.

මමත් තෙශාන්තත් ලහිලහියේ ඇඳුම් මාරු කර ගත්තෙමු. කයාක තවම පාලම යටය. එතැන සිට පාලම මතුපිටට ඇත්තේ සීඝ්‍ර කන්දකි. කයාක දෙක පාරට ගෙන සියල්ල අසුරා ගැනීම පසීටත් ඇනෝටත් භාර කල අප දෙදෙන බැල්ල පිටිය හංදිය බලා පාගමනෙන් ඉගිළුනෙමු.

අප පාම් හෙවත් කටු පොල් වගාවක් තුලින් ගමන් කලෙමු. සොහොන් පිට්ටනි අසල සිට සෙල්ෆි ගැසුවෙමු. විකාර කියවමින් නාඹර ගැටව් දෙදෙනෙකු ලෙස සිනහ වෙමින් ඉදිරියටම පැමිණියෙමු.

පසු කල දිගු මං මාවත් !
ඔබ මාගේ මෙම බ්ලොගය මුල සිට බලා ඇත්නම් “දවස් දෙකයි ළිං තිහයි” යනුවෙන් ගං වතුරට අසුවූ ළිං ඉසීමකට මෙම පැත්තේ අප මීට කලකට පෙර කරක් ගැසූ බව මතකයට එනු ඇත. 

එම සත් ක්‍රියාව සම්බන්ධීකරණය කල හොරණ, කඳන, ජල පිරිපහදුවේ ඉංජිනේරු තැන්පත් සාගර මහතාවද ඔබට මතක ඇත. 

තෙශාන්ත; සාගරව ඇමතූවේය. අපේ වෙලාව තවමත් හොඳින්ය. සාගර නිවසේය. ඔහු අපව බැල්ල පිටිය හංදියට ඇරලවන්නට එන්නට පොරොන්දු වූවේය.  

ත්වත් කිලෝමීටර දෙකක් පමණ ගමන් ගනිත්දී අපගේ ඉටු දෙවියා අප ඉදිරියේ විය. ඔහු අපව බැල්ලපාන හංදියට ඇරලුවේය. 

අප මුදා ගැනීම ගොඩට ගැලූ සාගර !
අප දෙදෙන එතැනින් කළුතරට පැමිණ ලොරි පොඩ්ඩා රැගෙන ඉහළ නාරගල බලා යන්නට විය.! අප නාරගලට යන විට ඇනෝත් පසිඳුත් ඇටපල් කරුවලේ පාලම් ගැට්ට මත “මරු” කියවමින් සිටිනි දක්නට ලැබුනි. හරවා ගත් ලොරි පොඩ්ඩා මත සියල්ල තබා ගට ගසා ගත් අප කරුවලේම සිට සෙල්ෆිය ගසා ගම රට එන්නට පිටත් වුනෙමු!
කළු ගඟට සමු දෙමින්; විරාමයකට . . .  !

ගං දෑල දෙපසම
කෑල මල් පිපි ඕසෙට

කොමල කළු ගඟ

සිඹිමි ඔබ ගෙන දෑතට

හද ඉතින් ඉවසන්න

බාරවෙන්නම් මම – කළුතරට 

මියෙන්නට පෙර දිනෙක 

එතෙක් හද; ඉවසන්න

විඳින නෙක දුක් ගැහැට





%d bloggers like this: