Menu Close

ඔයාට පිස්සුද?

මහ මුහුදේ රළ වෙනදාට වඩා උදාසීන යැයි සිතූ ඈ එය ඇත්තක්දැයි බලන්නට මෙන් දෑස් පෙති පිසදා මුහුද දෙස හොඳින් බැලුවාය.
 බලන්නකෝ.. මුහුදු රළ එන්නෙ.. අපට ඕනවට වගේ..
හ්ම්.. ඔහුගේ ප්‍රතිචාරය ඇසුණු විට ඇයට සිතුණේ.. මුහුදු රළ ඒ අතින් ඔහු ට වඩා උද්‍යෝගී බව ය.
හරියට අපි වගේ නේද? ඈ ඇසුවේ ඔහු ගේ දැහැන බිඳින්නට ය.
ඔවු.. අපි වගේ.. මෙලෝ රහක් නෑ.. එන්න ඕනවට එනවා.. යන්න ඕනවට යනවා.. මේවා මෙහෙම වෙලා තියෙන්නෙ.. කරුමෙට ම නෙවෙයි..  හිතුවට වඩා තදින් දැහැන බිඳුණු සෙයකි.. ඔහු කියෝගෙන යයි..
හරි.. හරි.. හුළඟ වැඩි වෙනකොට ඕක හරි යයි..  ඈ ප්‍රශ්නය සමනය කරයි..
ඔවු.. ඒත්.. කවදා හුළං හමයි ද? මුහුදට තරං ඉක්මණට අපට නං හුළං හමන එකක් නෑ.. ඔහු කියන්නේ නොරිස්සුමෙනි..
අපි ෆෑන් එකක් දාගමු.. ඈ සිහින්ව සිනා සෙයි..
කෘත්‍රිම හුළඟකින් ජීවිතේ යදින්න තරම් අපි බංකොලොත් ද? ඔහු ප්‍රශ්නය අතහරින පාටක් නැත..
දැං මට මොකද්ද කරන්න කියන්නෙ..? ඇගේ ස්වරයද මදක් උස් වී ඇත.
ඔයා තරින් ව බඳින්න..
ඔයාට පිස්සු ද?
++++++++++++++++++++++++++++++++++++++++++++++++
ගොඩක් වෙලා ද ඇවිත්..? පැයක් ප්‍රමාද වීම ගැන කණස්සල්ලක් ඒ ස්වරයේ නොවීය.
ඔවු.. ඒත් මේ වගේ තැනක .. වෙලාව යනවා දැනුණේ නෑ.. ඔහු කීවේ සැනසීමෙනි..
අනෙක ඔයා ඒවි කියන බලාපොරොත්තුවෙන්.. පැයක් නෙවෙයි දවසක් හරි ඉන්න බැරුවයෑ.. ඔහුගේ ස්වරය හදවතට ලෙංගතුය.
හ්ම්..බලාපොරොත්තු අපිව ජීවත් කරනව ලු නේ. ඇය ලය සැහැල්ලු කළාය…
ඉතිං.. මොනවද ඔයාගෙ බලාපොරොත්තු.. ඇල පාරට ගල් කැටයක් විසි කරමින් ඔහු ඇසුවේ.. සැහැල්ලුවෙනි..
ජීවත් වෙන එක තමයි..
ඒ කිවුවෙ..?
මං ආසයි ජීවත් වෙන්න.. ඒක තමයි මගේ බලාපොරොත්තුව..
මඳක් බැරෑරුම්ව බලා හුන් ඔහු ..
බලාපොරොත්තු අපිව ජීවත් කරනවා කියලා ඔයා ම නේද කිවුවේ..?
සමහර බලාපොරොත්තු එහෙම නෑ.. ඒවා.. හීන විතරමයි..
ඔයා ඉන්නෙ දුකින්ද?
එහෙම නෑ.. ඇය උත්තර දුන්නේ ඕනවට එපාවට ය.
හරි.. හරි.. අපි පොඩ්ඩක් ඇවිදිමු ද? ඔහු ඇගේ අතින් අල්ලා ගත්තේ ය.
ඔහුගේ සීතල ගොරහැඩි අත ඇයට ගෙනාවේ .. ආරක්ෂාවේත් .. සෙනේහයේත් .. ලෙංගතු බවේත් මුහුවකි.
මටත් දෙයක් කියන්න තියෙනවා.. ඔහුගේ ස්වරය බැරෑරුම් විය. දෑසට දෑස හමු විය..
මං කසාද බැඳපු කෙනෙක්.. ගොඩක් වේදනා විඳපු කෙනෙක්.. පුළුවන්නම්.. මගෙ ජීවිතේ හරිගස්සන්න..ඔහු කියාගෙන යයි..
ඇයි ඔයා ඔහොම බලන්නෙ..?
ඔයාට පිස්සුද?
+++++++++++++++++++++++++++++++++++++++++++++++++
මං හිතුවෙ ආයෙ එන එකක් නෑ.. කියලා.. ඔහු ගේ දෑස දීප්තියෙන් බැබලෙයි..
ආවට අකමැති ද? ඇය කීවේ නෝක්කාඩු ස්වරයෙනි..
අද නං රැල්ල හරි සැරයි.. හොඳටෝම හුළං.. ඔහු උද්‍යෝගයෙන් කියයි..
මුහුදට නං.. ජයයි.. ඈ සිහින් ව සිනාසෙයි.
අපට මොකද වෙන්නෙ..? ඔයා තරීන් ව බඳින්නෙ නැද්ද? ඔහු යළිත්.. බැරෑරුම් ය..
මට ඒකට හිත හදාගන්න බෑ..
ඇයි..? බඳින්න ආදරේ කරන්නම ඕනද?
හරි.. හරි.. අපි කාලයට ඉඩ දෙමු.. ඇය බොරු කියන්නට කැමති නැත..
හෙට තිස්සයි .. සුරේනියි බඳිනවා..
ඔවු.. අපි යනවනේ..?
ඔයා යන්න.. මං එන්නෙ නෑ..
ඇයි..? අපි තවත් මේක හංගන්නෙ ඇයි..?
ආදරේ කළා ම බඳින්නම ඕනද?
ඇත්තටම ඔයාට පිස්සුද?

%d bloggers like this: