Menu Close

හැම තැනම දුම (4th Epi) – මැන්ඩි



දෙවනි ලාගර් බෝතලේ පතුල දක්වා හිඳෙමින් ඉන්න මොහොතක මම බලාපොරොත්තුවෙන් හිටි කෙටි පණිවිඩේ ආවා. මැසේජ් එක දිමියාගෙන්. ලඟම, securedම, ගාණ ශේප්ම පොට් එක ගැන උපදෙස් පතා යැවුනු ප්‍රශ්නෙට ලැබෙන රත්තරං වටින පිළිතුර. ඌ මේවගේ හදිසි රති ගායවල් ගණනාවක් සාර්ථකව සංසිදවගත් එකෙක්. ඉතින් ඌ යනු අර අපි පොඩි කාලේ දැකපු ඇඩ් එකේ හේමසිරි ලියනගේ කියන්නේ “I know the place පුතා” කියලා confidence පිට කියන්න පුලුවන් බහුශ්‍රැතයෙක්. හැබැයි හේමසිරි ලියනගේ ඊලඟට කියන ‘මම හැමදාම යන්නේ එතනට’ කියන line එක ඌ කියන්නේ නෑ. මොකද මේ වගේ වැඩ වලට හැමදාම එකම තැනකට යන එක ඇඟට ගුණ නැති නිසා. විශේෂයෙන් කොටුවෙන් කොටුවට මාරු වෙන අවස්ථාවල. ඉතින් බැරකූඩාවේ සිට දුර ඇනලයිස් ඌ එව්වා තැන් දෙකක්. එයින් දෙහිවල place එක මග ඇරලා මගේ තෝරාගැනීම උනේ ගල්කිස්සේ හෝටල් පාරේ place එකක්. ටුක් එකක් අරන් සුටුස් ගාලා යන්න පුලුවන් දුරක්නෙ.

“ලාගර් බීලා ඔයාට ඇති වෙයි ද?”…….එයා කෙටි ලස්සන හිනාවන්ගෙන් එකක් දාලා ඇහුවා. මගේ හෝටල් කාමර දැහැන බිඳුනා.
ලාගර් නම් ඉතින් වතුර බොනවා වගේ උනත් මේ වගේ නමක් නැති, අරමුණක් අවිනිශ්චිත, ශෘංගාරාය නගින බහින , කෝඩුකාර හමුවක් ගලායවන්න ඕන කරන අයිඩියල් ස්මූත් ගතියක් ලාගර් වල තියනවා. ඇඟ වටේට එතෙන මුහුදු හුලඟයි විටින් විටේ දැල්වෙන ඩන්හිල් ස්විච් කූරු ටිකයි ලාගර් එකේ අඩු පාඩු හීනියට පිරිමැහුවා. ඒ සියල්ලට වඩා මගේ ඔලුව බමන්න අරං full high වෙලා නන්නත්තාර වෙන්න ගත්තේ එයා මගේ දෙවනි A4 කොලේට දුන්නු උත්තරෙන්. මතකද ප්‍රශ්නේ ?. …….අඬහඳයා ??????

ලියනගේ අමරකීර්ති කියලා හාදයෙක් අතින් ලියවුනු නවකතාවක හිටි පික්සු කොර චරිතය. ඇත්තටම ඌ චරිතයක් නෙවී. ඇඟ ඇතුලේ ඉඳන් කතා කරපු හඳුනා නොගත් සත්වයෙක්. ඒකා ඉන්නේ බඩේද, ඔලුවෙද, අක්මාවෙද කියලා හිතාගන්න බෑ. මහ පණ්ඩිත කාලකන්නියෙක්. ඌ අපේ හෘද සාක්ෂිය වෙන්න පුලුවන් නැත්නම් යටි හිත වගේ නමක් කියන්න පුලුවන්. ඒ මොක උනත් අපේ ඇඟ ඇතුලේ ඉඳන් කතා කරන ඒ වගේ talkative nut case එකක් චරිතයක් කරලා ඌට නමක් දීලා අමරකීර්ති ලිව්ව අටවක පුත්තු කියන්නේ ලොවෙත් වැඩක්. මැන්ඩි මට ඒ කතාව කොච්චර වෙලාවක් කිව්වද කියලා මට අවබෝධයක් නෑ. කොහොමහරි එයා මට මුලු පොතම මතකයෙන් පෙව්වා. ඉතින් strong වත් special brew වත් ඕන වුනේ නෑ. මට වැදුණා. ඒ පොත කොච්චර alcoholicද කියනවා නම් මැන්ඩිට තවම ඒ පොතේ මත යවාගන්න බෑ කොච්චර තැඹිලි බීලවත් , එක්කෝ යටිපතුලේ දෙහි අතුල්ලලාවත්. නැත්නම් අපිට කියන්න පුලුවන් ඒ පොත හෙන fertile කියලා. මොකද පොත නිසා එයාගේ ඇඟ ඇතුලෙත් අඩහඳයෙක් පිලිසඳගෙන. අපේ හමුව වෙද්දි ඌ වැඩිලා වැඩිලා කොච්චර වැඩිලාද කියනවා නම් මැන්ඩිට ඒ වෙද්දි වෙන කවුරුවත් ඕන වෙන්නෑ අදහස් හුවමාරු කරගන්න……….එයා කියන විදිහට අඩහඳයා ඇරුණාම ඒ එකම වාසනාවන්තයා මම. ඕක ඉතින් ප්‍රශ්න කරලා ඇනලයිස් කරලා හීන ලෝකේ ප්‍රේමණීය ආතල් කුඩු කරගන්න මට ඕන වුනේ නෑ. අඩහඳයයි මමයි විතරමයි ඔව්.

දැන් උඹලට එන ප්‍රශ්නෙ කවුද මේ මැන්ඩි ?. වෙන කවුද ඉතින් එයා තමයි මැන්ඩි. ඒක ඉතින් ඕන මෝඩයෙකුට තේරෙනවනේ. ‘මැන්ඩි’ කියන්නේ බැරකූඩාව පහු කරං එදා දවසේ ගිය තුන්වෙනි කෝච්චිය යද්දි, පලවෙනි ලාගර් බෝතලේ බාගයක් ඉවර වෙද්දි, දෙවනි ඩන්හිල් කූරපත්තු කරද්දි, අපේ ඇස් එකොලොස්වෙනි පාරට පැටලෙද්දි මං එයාට දාපු සුරතල් නාමය. අපිට ටිකක් එහායින් තිබ්බ ටේබල් එකක් බි බී හිටපු කොල්ලො සෙට් එකකට තමන් ගෙනා බෝතල් වල මහත් ඵල මහනිසාංස දැනෙමින් තිබුණා ඒ වෙලාවෙම. ඒ මහත් ඵල වලට තමන් යට නොවන බව තහවුරු කරන්න හදන එකෙක් ඌට තවමත් කෙලින් හිටගන්න පුලුවන් බවට පම්පෝරියක් ගහමින් කෙලින් ඉන්න උත්සහා දරනවා. වැටෙන්න යන හැම මොහොතකම ඌ තමන්ගේ සමබරතාවෙ රැකගත්තේ මැන්ඩියට ඉඳන්. ඒකත් එක්කමයි මට එයා……….එයා කියන්නේ බේබද්දා නෙවී, මගේ ඉස්සරහ ඉන්න මෙන්න මෙයා………….’මැන්ඩි’ බවට පත්වුනේ. මැන්ඩිට තිබ්බේ අන්කොමන් සිංහල නමක්. ඇත්තටම ඒක සිංහල ද, පාලි ද , හින්දි ද කියලත් හිතාගන්න අමාරුයි. ඒත් ලස්සනයි. එයා වගේම ලස්සනයි. නම ටිකක් දිගයි. එයා කියන කතා වගේම දිගයි. තේරුම් ගන්න අමාරුයි. සමහරවිට තේරුමක් නැතුව ඇති. මිහිරි රසයක් මිසක් තේරුමක් නැතුව ඇති. ඉතින් මං ගන්නවා මගෙ මානසික් A4 කොලයක් එලියට. ඒක අරං තියනවා මේක කියවන උඹේ උකුල උඩ. උඹට තියෙන්නේ පෑනක් හොයන් ,ඊලඟ එපිය එනකල්, මැන්ඩිගේ ඒ අප්‍රබංශ ලස්සනම ලස්සන නම හොයාගෙන ඔය සුදුපාට හිස්කොලේ පුරවන එක.

5වන_කොටස>>


%d bloggers like this: