Menu Close

297. දිවිය පසු කර ගලන කාලය…

දැරියන් තිදෙනෙකුගේ රූ රැගත් සිතුවමකි.  රූපය අන්තර්ජාලයෙනි.


පණස් වසරකට පෙරාතුව ඔවුන් තිදෙනා සොයුරි-බන්ධනයේ දිවුරුම් දුන්නේ අයිලින්ගේ නිවස පිටුපස මිදුලේදීය. එය, තිදෙනාගෙන් වැඩිමහල් දැරිය වූ අයිලින්ගේ ම අදහසක් විය. දොළොස් වැනි විය පසු කරමින් දහතුන් වැනි වියට එළැඹෙමින් සිටි ඔවුහු සිය මව්වරුන්ගෙන් උරුම වූ මාවෝ කබා යාන්තමට පිරෙන තරමට වැඩුණු සිරුරුවලින් යුතු වූහ. එකල, අනෙකුත් බොහෝ සම්ප‍්‍රදායන් මෙන්ම දිවුරුම් සොයුරි බන්ධනයද පිළිගැනුණේ කිසිදු සෙතක් ලබා නොදෙන වැඩවසම් යුගයෙන් පැවත ආ උරුමයක් ලෙසිනි. එබැවින්, විපරම් දෑස්වලින් ගැලවී හිඳිනු පිණිස අයිලින්ගේ බාල සොයුරු සොයුරියන් නිවසින් පිටතට කැටුව යන ලෙසට අසල්වැසියෙකුගේ දියණියකට අල්ලස් ගෙවීමටද ඔවුනට සිදු විය. පොළට කැටුව ගොස් උක් දඬු මිලට ගෙන දුන් විට ඒවායේ එක් කොණක සිට අනෙක් කොණට සපා නිම කිරීම පිණිස ඔවුනට සැලකිය යුතු වේලාවක් ගත වනු ඇත. මෙයි සිය පියාගේ පෙට්ටගමෙන් අල වර්ගයකින් සෑදූ මධ්‍යසාර පානයක් හොරෙන් රැගෙන විත් තිබූ අතර, ඔවුන් තිදෙනාම එම සැර පානයෙන් බිඳ බැගින් පානය කිරීමෙන් අනතුරුව එය පොළොව මතට වත් කෙරූහ. “දෙව් ලොවත්, මහ පොළොවත් අපගේ ඉදිරි ජීවිතයේ මෙම සමාරම්භය පිළිබඳ සාක්ෂි දරනු ඇත.” ලේ ඥාතිත්වය අභිබවා ගිය දිවුරුම් සොයුරු බන්ධනයන්ට එළැඹුණු මිනිසුන්ගේ හා ගැහැනුන්ගේ කථා රැගත් පැරණි නවකතාවලින් උපුටාගත් ප‍්‍රතිඥාවක් අයිලින් කියැවූවාය. මෙයි සහ ලාන් ඇගේ වදන් පුනරුච්චාරණය කරමින් ඔවුන්, ඒ මොහොතේ පටන් දිවුරුම්-සොයුරියන්, දිනෙක තිදෙනා ම මේ මිහිතලය හැර යන මොහොත උදාවන තෙක්ම දුකේදීත් සැපේදීත් එක්ව හිඳිනා බවට ප‍්‍රතිඥා දුන්හ.

පසුව, ඔවුහු ඡායාරූපයක් ගැනීම පිණිස නගරයේ වූ එකම ඡුායාරූප ශිල්පියා වෙත ගියහ. ඔවුන් සැරසී සිටියේ හඳ මෙන් සුදු පැහැති බ්ලවුස, ගෙතූ කොණ්ඩ කරල් අග බැඳුණු සුදු පැහැති පීත්ත පටි සැරසිල්ල සහ මෘදු පැහැති මල් මෝස්තරයෙන් සැරසුණු කලිසම්වලින් යුතු ඔවුන් සතු ඉස්තරම් ම ඇඳුම්වලිනි. හතළිස් වැනි වියට ආසන්න තනිකඩයෙකු වූ ඡායාරූප ශිල්පියා ආලෝකය ලබා දෙන ලාම්පු සකසන අතරේ දැරියන් තිදෙනා මහත් උද්යෝගයෙන් සිනහ සලනා දෙස බලා සිටියේය. ඔවුන්ගේ මුහුණුවල වූ, ඔවුන් තවමත් නොදන්නා කුමක්දෝ කරුණක් අරභයා ඔහුගේ සිත සසල වී තිබිණ. මුද්‍රණය කළ අවසාන ඡුායාරූපයේ කෙළවරක ඔහු හැඩැති අත් අකුරෙන් පෞරාණික කාව්‍ය ඛණ්ඩයක් උපුටා සටහන් කළේ එහෙයිනි: “දිවිය පසු කරමින් ගඟක් මෙන් හැල්මේ ගලා යන කාලය ගැන නොදත් අහිංසක මල් කැකුළු.” මහත් සේ ලැජ්ජාවට පත් වුවද, ඡුායාරූප ශිල්පියාට සත්‍යය හෙළි කරන්නට මැළි වූ දැරියෝ තම දිවුරුම් සොයුරි බන්ධනය පිළිබඳව ලියැවුණු ඔහුගේ වදන් පෙළ නොදුටුවා සේ සිටියෝය.

ඉන් වසර නවයකට පසු, ඔහු සතුව තිබූ ජර්මනියේ නිෂ්පාදිත කැමරා යන්ත‍්‍ර සාක්ෂි ලෙස ගනිමින් එම ඡායාරූප ශිල්පියා ධනවාදීන්ගේ ඔත්තුකරුවෙකු ලෙසින් අත් අඩංගුවට ගැනුණි. එම නගරයේ තරුණ රතු භතයින්ගෙන් මිය යනතුරු පහර කෑමේ දඬුවම ලැබූ පළමු තැනැත්තා ඔහු විය. ඒ වනවිට මෙයි සහ ලාන් දෙදෙනාම සිය පළමු දරු ප‍්‍රසූතියට සූදානම්ව සිටියහ. ඔවුන් දෙදෙනාට සාපේක්ෂව තමාගේ ජීවිත ගමනේ මන්දගාමී බව පිළිබඳව නොසන්සුන්ව සිටි අයිලින්ද, ඈ එතරම් දන්නා හඳුනන්නේ නැති මනාලයෙකු සමග, ඔහු හා ආදරයෙන් බැඳීමට තමාට වසර ගණනාවක් ගත වනු ඇති බව දැන සිටියද, විවාහ දිවියට එළැඹෙන්නට තීරණය කළාය. ඒ මඟුල් කපුවා රැගෙන ආ පළමු විවාහ යෝජනාව නොවූවා සේම, වටිනාම විවාහ ගිවිසගැනීමේ ත්‍යාග ප‍්‍රමාණය පිරිනමන්නට සූදානම්ව සිටි පවුලද නොවීය. නමුත්, පැරණි කියමනක පැවසෙනා පරිද්දෙන් ම නිසි වේලාවට පැමිණෙන තැනැත්තාට ඉන් පෙර පැමිණි උදවියද අභිබවා යෑමේ හැකියාවක් ඇති බව එහි දී ද සනාථ විය.

විවාහය දින උදෑසන, ඇගේ දිවුරුම් සොයුරියන් දෙදෙනා ඈ හැඩ ගන්වන අතරේ, පුදුමයකට මෙන් ඇයට සිහිපත් වූයේ වසර ගණනාවකට ඉහතදී ඡායාරූපයට පෙනී සිටීමට පෙර ඇගේ නිකටින් අල්ලා මුහුණේ කෝණය සකස් කළ ඡායාරූප ශිල්පියාගේ දිගු අතැඟිලිවල මෘදු ස්පර්ශයයි. දෑස් පියාගත් කල ඇයට, අති දීප්තිමත්ව දැල්වෙමින් තිබූ ලොකු කුඩා විදුලි පහන් ආලෝකය ඔහුගේ එසැවුණු දෑතින් ආවරණය වී ලැබුණු සෙවණෙන් දැනුණු සිසිලස ඒ මොහොතේ දී ද දැනෙන්නාක් මෙන් විය. ඔහු එදින ඔවුන්ගේ ඡායාරූපයේ ලියූ සටහන මතකදැයි ඇය අනෙක් දෙදෙනාගෙන් විමසා සිටියාය. එසේම, ඔහු පැවසූ පරිද්දෙන්ම ඔවුනට නොදැනීම කාලය ඔවුන් පසු කොට පියාඹා ගොස් ඇති බවද ප‍්‍රකාශ කළාය. නව මාතෲත්වයේ දීප්තියෙන් බැබළෙමින් සිටි මෙයි සහ ලාන්, ඇගේ බොළඳ භාවාත්මක කල්පනා පිළිබඳව සිනහ පළ කළහ. ඇයට ජීවිතයේ මගහැරුණු තැන් එදින රාත‍්‍රියේදී සොයාගත හැකි වනු ඇති බව මෙයි සිය සුපුරුදු මුඛරි හඬින් ම ප‍්‍රකාශ කළ අතර, රත් පැහැයට හැරුණු ලාන් ද කෝල සිනහවකින් එය අනුමත කළාය. එක් මොහොතකට, ඇගේ දිවුරුම් සොයුරියන්ට නොවැටහුනු ගුප්ත පාළුවකින් අයිලින්ගේ සිත ඇළලී ගියේය.

ඇගේ යොවුන් වියේ ඇඳුම් කැඩුම් කිහිපයක්ද සමග එම ඡායාරූපයද ට‍්‍රන්ක පෙට්ටියක් තුළ සැඟව ගියේය. ඇගේ විවාහ දිවිය තුළදී එය විවර කෙරුනේ ඉතාමත් කලාතුරකින් වූ අතර ඊළඟ වතාවේදී එය විවර වූයේ අයිලින්ගේ දෑතින් නොව ලිස්බන් සිට ගිම්හාන නිවාඩුවට පැමිණි ඇගේ දහ හතර හැවිරිදි මිනිබිරිය වූ යිංගේ දෑතිනි. එම දැරියන් කවුරුන්දැයි සිය මිත්තණියගෙන් විමසන අතරේ ඡායාරූපය පසෙක තැබූ යිං, ට‍්‍රන්ක පෙට්ටියෙන් ගත් බ්ලවුසයක් ඇඳ හැඩ බැලූවාය. සඳේ සුදු පැහැයෙන් යුතුව තිබූ එම සේද ඇඳුමද ඒ වනවිට පණස් වසරකට පෙරාතුව ගත් ඡායාරූපය මෙන් ම කහ පැහැයෙන් දුර්වර්ණව තිබුණි. නමුත් දැරිය එම පැරණි විලාසිතාවට අයත් වස්ත‍්‍රයෙන් කුල්මත්ව සිටියාය. රත්-කහ පැහැයකින් වර්ණ ගන්වා තිබූ තම කෙස් කළඹ මධ්‍යයෙන් දෙකට බෙදා ගොතන්නට උත්සාහ කළද කැරළි ගැන්වී තිබූ කෙස් රොද ඇයට අවනත නොවූ නිසාවෙන්, කිහිප වරක් උත්සාහ කිරීමෙන් අනතුරුව එය අතහැර දැමූ යිං දැති කිහිපයක් කැඞී ගොස් තිබූ කැස්බෑ ලෙලි පනාවක් අතට ගත්තාය.

තමාද අනෙක් දැරියන් දෙදෙනාද හොඳම මිතුරියන්ව සිටි බව පමණක් පැවසූ අයිලින් සිය මිනිබිරියගේ සිනහවට ලක් වන්නට සිදු වේයැයි බියෙන් දිවුරුම් සොයුරි බන්ධන චාරිත‍්‍රය පිළිබඳව කිසිවක් නොකීවාය. සැබැවින්ම, ඇය සිය අතීතය පිළිබඳව මිනිබිරිය හා කතාබස් කරනා බොහෝ විට එසේ ඇගේ සිනහවට ලක් වන්නට අයිලින්ට සිදු විය. ඡායාරූපය නැවතත් අතට ගත් යිං එය හොඳින් පරීක්ෂා කළාය. “හරි ෂෝක්!” ඇය කෙනෙකු බලූ පැටවෙකු පිළිබඳ කතා කරනා අන්දමේ ස්වරයකින් ප‍්‍රකාශ කළාය.

ඇගේ මිනිබිරිය පැමිණ සිටින්නේ කතන්දර අසන්නටනම් ඇයට ඕනෑතරම් කතන්දර කියා දෙන්නට අයිලින් ඕනෑම මොහොතකදී සූදානම් ය. නමුත්, යිං රැගෙන විත් තිබූ මහේශාක්‍ය පෙනුමින් යුත් ගොඩනැගිලි, ගාම්භීර ප‍්‍රතිමා, සුදු පැහැති බෝට්ටු නවතා ඇති නිල් පැහැති වරායන් සහිත විදෙස් නගරය පසුබිම් කරගත් ඡායාරූප දෙස බලමින් යිංගේ බාල වියේ මිතුරු මිතුරියන් විස්මයෙන් පසසද්දී උදාසීනව ප‍්‍රතිචාර දැක්වූ සිය මිනිබිරිය වෙත ඇයගේම කතන්දර ඕනෑ තරම් ඇති බව අයිලින් දැන සිටියාය. පස් වසරකට පෙර අයිලින්ගේ සැමියා මිය යාමෙන් පසුව, ඇගේ එකම පුත‍්‍රයා පෘතුගාලයට සංක‍්‍රමණය වන්නට තීරණය කර තිබුණි. ඒ පිළිබඳ ඇගේ අදහස ඔහුට කිසිසේත් වැදගත් නොවන බව දැන සිටි අයිලින් කිසිදු විරෝධයක් නොපා ඔහු ඉල්ලා සිටි මුදල ලබා දුන්නාය. ඔවුන්ගේ එකම දියණිය හදාවඩාගැනීම පිණිස තමාට බාර දී යන මෙන් ඉල්ලා සිටින්නට ඇයට උවමනා වුවද, යිං විදෙස් රටකට පිටව යෑමට කෙතරම් උනන්දුවෙන් ආශාවෙන් බලා සිටියාද යන්න වටහාගත් අයිලින් එම අදහස අත් හැර දැමුවාය.

නොබෝ කලෙකින්ම ඇගේ පුත‍්‍රයා කතා කොට දැනුම් දුන් අන්දමට යිං ඔවුන්ගේ අවන් හළේ හොඳ අත් උදව්කාරියක බවට ඒ වනවිට පත්ව සිටියාය. එසේම ඈ පෘතුගීසි බස ඉගැනීමෙන් අනතුරුව ලේඛන හා කාර්යාල කටයුතු සඳහා ඇගෙන් මනා සහයෝගයක් ඇගේ දෙමාපියන් හට ලැබී තිබුණි. දිනෙන් දින දියුණු වන අවන් හළ වෙනුවෙන් ඈ සිදු කරනා කැප කිරීමට ත්‍යාගයක් වශයෙන් සෑම ගිම්හාන කාලයකදීම දෙසතියක නිවාඩුවක් සඳහා ඇයට සිය මිත්තණිය වෙත පැමිණීමට ඉඩ ප‍්‍රස්තාව ලැබී තිබුණි. එම කාලය තුළදී තම ඡායාරූප පැරණි මිතුරන්ට සහ අසල්වැසියන්ට පෙන්වමින් සිය අලුත් ජීවිතය පිළිබඳව නිහඬ පුරාජේරුවක නියැලීමට අමතරව, සැරසිලි මැහුමෙන් අලංකාර කෙරුණු, අතින් නිම කළ මේස රෙදි සහ අත්පිස්නා මිළට ගැනීමද ඇගේ රාජකාරියක් විය. වසර දහස් ගණනක් පුරා එම පළාත ඒ සඳහා ප‍්‍රසිද්ධියක් ඉසිලූ අතර නිසි අවබෝධයකින් යුතුව නිවැරදි තැන සොයා ගියහොත් අදටද ඉතාමත් අඩු මිළට ඒවා ලබා ගැනීමට හැකියාව ඇත.

ජීවිතය හොඳින් ගෙවෙනා බවත්, ව්‍යාපාරය ඉන් පෙර කිසිදාටත් වඩා සාර්ථකව සිදු කෙරෙනා බවටත් සෑම ගිම්හානයකදීම යිං සිය මිත්තණියට දැනුම් දුන් අතර, ඈ වාර්තා කරනා දෙයට අමතරව කිසිවක් නොවිමසිය යුතු බව අයිලින් දැන සිටියාය. දැරියට කතන්දර කියන්නට උවමනා වූ විට අයිලින් ඉතා උනන්දුවෙන් ඇගේ බස් අසන්නට සැදී පැහැදී සිටියද, යතාර්ථයත් පරිකල්පනයත් අතර රේඛාව බොඳව පෙනෙනා වයසක පසු වූ යිං ඉතා රසවත් යැයි සිතමින් කියූ බොහෝ දෑ මිත්තණියට නීරස විය. නමුත් ඒ බව නොපෙන්වා සිටින්නට අයිලින් ප‍්‍රවේශම් වූවාය.

යිංගේ නිවාඩුව අවසන් වන්නට ආසන්න එක් දිනෙකදී ඇය අයිලින් ඇගේ දිවුරුම් සොයුරියන් සමඟ සිටිනා ඡායාරූපයේ විශාලනය කරන ලද පිටපතක් රැගෙන ආවාය. මුද්‍රණාලයේ උදවිය එය පරිගණක මෘදුකාංග භාවිතයෙන් වඩාත් සුන්දරව පෙනෙන සේ සැකසූ බව යිං පැහැදිලි කළාය. දුඹුරු පැහැයේ ළා – තද වර්ණ සංයෝජනයෙන් හැඩ ගන්වා තිබූ ඡායාරූපයේ වූ දැරියන් තිදෙනාගේ සිනහවේ වූයේ ඔවුන් ම පමණක් දත් අභිරහසක මායාවෙන් සෙසු ලෝකයෙන් සැඟවගත් බව හඟවනා ස්වප්නමය භාවයකි. එය කුමකටදැයි අයිලින් විමසා සිටි අතර, එය ඔවුන්ගේ අවන් හළේ ප‍්‍රධාන තලයෙන් වෙන් කරගත් කොටසක නව සැරසිලි සඳහා බව යිං දැනුම් දුන්නාය. ඒ වෙනුවෙන් ඈ ඇගේ මිතුරන්ගේ දෙමාපියන්ගෙන් ඉල්ලාගෙන එකතු කරගත් තවත් පැරණි ඡායාරූප ඇති බවද, මුද්‍රණාලය මගින් තවත් දිනක් හෝ දෙදිනක් ඇතුළත එම රූප ද සකසනු ඇති බවද යිං හෙළි කළාය.

අයිලින් ඡායාරූපය දෙස බලා සිටියාය. ගල් බංකුවක් මත හිඳගෙන සිටි ඇය ඡායාරූප ශිල්පියා උපදෙස් දුන් අන්දමට දෙපා ඒ මතට ගෙන දෑතින් දණහිස් වැළඳගෙන සිටියාය. කවුරුන් හෝ කතා කරනා ලෙසින් මඳක් ඉහළට දෑස් යොමු කර සිටිනා ලෙසට ඔහු පවසා සිටියද, කතා කරන්නේ කවුරුන්දැයි ඔහු කීවේ නැත. මෙයි සහ ලාන් ඇයට පිටුපසින් හිටගෙන ඇගේ උරහිස් මතින් එක් අත බැගින් තබාගෙන, අනෙක් අත් ඔවුන් තිදෙනා ම බලා සිටිය යුතු වූ දෙසට යොමු කරගෙන සිටියහ. ඒ සියල්ලම උස්ව නැංවුණු කුඩා වේදිකාවක් මත සිදු කෙරුණු අතර පසුතලයේ වූ, පණස් වසරකට පෙරදී ද වර්ණ ගෙවී ගොස් තිබූ උණ පඳුරුවලින් සහ දිය ඇල්ලකින් සමන්විත තිර රෙද්ද මෙම නව මුද්‍රණයේ බොහෝ සෙයින් නොපෙනී ගොස් තිබුණි. ඒ ගැන දැන සිටි අයිලින්ගේ දෑසට පමණක් එය යාන්තමින් හසු කරගත හැකි විය. එනමුදු, බොහෝ කල් අමතකව ගොස් තිබූ බොහෝ දෑ එම විශාලනය කරන ලද නව මුද්‍රණයද සමගින් නැවතත් මතුපිටට නැංවී තිබුණි: යාන්තමට පිළිස්සී තිබුණද ඡායාරූපයේ ඒ බවක් පෙනෙන්නට නොමැති ඇගේ ගෙතූ කොණ්ඩ කරලේ වක් ගැසුණු කෙළවරට හේතු වූයේ රත් කළ අඬුවකින් කලබලයෙන් කෙස් කැරළි ගන්වාගන්නට ගත් උත්සාහය ය; ඔවුන්ගේ ඉහළ බොත්තම් කාසවල රැඳවී තිබුණු පිච්ච මල් පොහොට්ටු ලබා දුන්නේ ඔවුන්ගේ වයසේ ම පසු වූ, ලැජ්ජාශීලී සිනහවකින් යුතු වූ මෙයිගේ අසල්වැසි පිරිමි ළමයා ය. සිය මවගේ ගෙවත්තේ පිපුණු මල් මෙයි වෙත පිළිගැන්වීම ඔහුගේ පුරුද්දක්ව තිබුණද, එම සුවඳැති ත්‍යාගයන්ගේ ආධාරයෙන් ඔවුන් අතර සැලකිය යුතු අන්දමේ හිතවත් කමක් ගොඩනැගෙන්නට පෙර ම, ඔහුගේ වැන්දඹු මව පිට පළාතක තැනැත්තෙකු හා විවාහ වූයෙන් ඔහුට නගරයෙන් පිට වී යන්නට සිදු විය. තිදෙනාගෙන් සුන්දර ම දැරිය වූ ලාන්ගෙන්, ඉවත නොබලා සිටිනා ලෙසට ඡායාරූප ශිල්පියාට එක් වතාවක් නොව දෙවතාවක් ම ඇයැද සිටින්නට සිදු විය. නමුත් රූපය හොඳින් නිරීක්ෂණය කරන්නෙකුට ඇය කැමරා කාචය හමුවේ ලැජ්ජාවෙන් ඉවත බලන්නට සූදානම් වන බව පෙනෙනු ඇති වුවද, ඡායාරූප ශිල්පියා ඉතාමත් සූක්ෂම අන්දමින් ඇගේ දෑස් ඉවතට යොමු වීමට පෙර ඡායාරූපය ගැනීමට සමත් වී ඇත.

“මේක හදන්න කීයක් විතර ගියාද?” නව මුද්‍රණය සිදු කර තිබූ රෙදිකඩ මතින් අතැඟිලි ගෙන යමින් අයිලින් විමසුවාය.

යිං ලබා දුන් පිළිතුර අයිලින්ගේ මහත් පුදුමයට හේතු වූ අතර, එතරම් මුදලක් වියදම් කළද එම රූපය පෙරදී තිබුණාටද වඩා පැරණි ස්වභාවයක් උසුළන බව ඇය ප‍්‍රකාශ කළාය.

“ඉතිං එහෙම තමයි මට ඕන වුණේ.”

“ඔයා මේක මෙහෙම හදවන්න කළින් අම්මලාගෙන් අහලා බැලූවද?”

“ඒ මොකටද?” යිං ඇසුවාය. “අපේ අමුත්තන්ට ඕන වෙලා තිබ්බේ මෙහෙම දෙයක් තමයි කියලා මං කිව්වාම අම්මලා කොහොමත් මේකට කැමති වෙනවා. ඒ නැතත් අම්මලා කොහොමත් කියන්නේ කඩේ දවසක මට අයිති වෙනවා කියලානේ. ඉතිං දැන්ම ඉඳන්ම කඩේ ගැන මං තීරණ ගත්තාම මොකද වෙන්නේ?”

වැඩිහිටියන්ට ගරු කිරීම පිළිබඳව තම මිනිබිරියට දේශනයක් පවත්වන්නට අයිලින්ට සිතුණද, යිං සිය දෑස් කරකවා මිත්තණියගේ යල් පැන ගිය නිශ්ඵල ප‍්‍රඥාවට සිනාසීමෙන් පමණක් එයට ප‍්‍රතිචාර දක්වනු ඇති බව ඇය දැන සිටියාය. “මට තේරෙන්නෙ නෑ ඔයාලගෙ කෑම කඩේට එන කාටවත් කෑම කන ගමන් ඔය අවුරුදු ගාණකට උඩදි ගෑනු ළමයි කාණ්ඩයක් ගත්ත පින්තූරයක් දිහා බලං ඉන්න ඕන වෙන්නෙ ඇයි කියලා.”

“ඔයාලා තුන් දෙනා ම හරිම පොඩියි, අහිංසක පාටයි. හරිම චීන පෙනුමයි.”

“අපි ඔය පින්තූරෙ ගත්තෙ ඔය කොහෙවත් ඉන්න පිට දේසක්කාර යක්කු රැළකට විනෝදයක් සපයන්න නෙවෙයි,” අයිලින් ශෝකයෙන් පීඩිතව කීවාය.

“ඒ වුණාට ඉතිං කමක් නෑනෙ, නේද?” යිං පැවසුවාය. “එතකොට ආච්චි අම්මාගෙ යාළුවෝ – ඔයා එයාලට මේ ගැන කියන්නෙ නෑ නේද? ඒගොල්ලෝ මාව හොයාගෙන ඇවිල්ලා සල්ලි ඉල්ලයිද දන්නෙ නෑ.”

එවැනි දෑ ගැන කරදර වීමට තරම් තම මිනිබිරිය තවමත් ළාබාල වැඩි නොවේදැයි කල්පනා කරන අතරේ අයිලින් තමා එම වයසේදී භුක්ති විඳි තරම් සිහින දැකීමේ අවකාශයක් තම මිනිබිරියට නොමැති වීම පිළිබඳව දුක් වූවාය. තමා මිතුරියන්ට රහස හෙළි නොකරන බව අයිලින් පැවසුවද යිංගේ මුහුණේ වූයේ අවිනිශ්චිත බවකි.

“ඒත් බැරි වෙලාවත් ආච්චි අම්මාට අමතක වුණොත්,” ඇය කීවාය. “මං දන්නවානේ වයසක උදවියගේ හැටි. ඔන්න අද පොරොන්දුවක් දෙනවා, ඒත් ඊළඟ දවසෙදි ඒක එහෙම පිටින්ම අමතකයි. මොකද ඔයගොල්ලන්ට ඕන තරං වෙලාව තියෙනවනේ කියව කියව ඉන්න. ඉතිං හැම ඕපදූපයක්ම හැමෝම එක්ක කියවනවා.”

“මට එයාලව ආයෙ කවදාවත් හම්බවෙන්නෙ නෑ.”

“ඒගොල්ලො මැරිලද?”

නගරයෙන් බැහැරව විසුවද ඔවුන් දෙදෙනා ම පදිංචිව සිටියේ හෝරා දෙකක බස් ගමනකින් පහසුවෙන් ගෙවා යා හැකි දුරක ය. එසේ වුවද අයිලින් තම සැමියාගේ අභාවය පිළිබඳව ඔවුනට දැන්වූවේ නැත. ඔවුන්ද ඇගෙන් එවැනි අහිමිවීම් පිළිබඳ පුවත් සඟවා තබාගන්නට ඇතැයි යන්න ඇයට අවබෝධ වූවේ ඒ මොහොතේදීය. ඒ වනතුරු ඈ සිතා සිටියේ කෙතරම් දුරක සිටියද ඔවුන් තිදෙනා අතර සිදුවන මරණයක ආරංචිය නිසැකවම අනෙක් දෙදෙනා සොයා යනු ඇති බව ය. තමා එලෙස අන්ධ විශ්වාසයක එල්බගෙන සිටියේ මන්දැයි අයිලින් කල්පනා කරන අතරේ ඈ දෙස අනුකම්පා සහගත බැල්මකින් බලා සිටි යිං ඇගේ මිතුරියන් ඈ අසළදී මරුමුවට පත් වූවාදැයි නැවතත් විමසා සිටියාය. ඔවුන් දැනටත් හොඳ ශරීර සුවයෙන් පසු වනු ඇති බවටත්, එකම ගැටළුව ඔවුන් තව දුරටත් එකිනෙකා හා කතාබස් නොකිරීම පමණක් බවත් අයිලින් පිළිතුරු ලෙස පැවසූවාය. නමුත් ඒ මන්දැයි යිං විමසා සිටියාය. කරුණු කාරණා සිද්ධ වූවේ එලෙසින් බවත්, පණස් වසරක් තරම් දිගු කාලයක් තුළදී සියල්ල එක ලෙස පවත්වාගැනීම අපහසු බවත් අයිලින්ගේ පිළිතුර විය.

නමුත් යිං එයින් සෑහීමකට පත් බවක් පෙනෙන්නට තිබුණේ නැත. “මොන විදිහේ කරුණු කාරණා සිද්ධ වුණත් එහෙම යාළුකම් නැති වෙන්නෙ නෑනේ,” ඇය කීවාය. අන්තර්ජාල දුරකථන සබඳතා, උපන්දින සුබපැතුම්පත් හුවමාරු, සහ එක්ව ගතකරන නිවාඩු දින සමග සමීප මිතුරු සබඳතා පවත්වාගෙන ගිය මිතුරන් කිහිප දෙනෙකු යිංටද විය. සෑම ගිම්හාන කාලයකදීම, ඇය තමා උපයාගත් මුදලින් මිලට ගත්, යුරෝපයේ විලාසිතා ලෙසින් ඈ හඳුන්වා දුන් ඇඳුම් සහ පාවහන් එම මිතුරන්ට තෑගි කළාය.

කෙතරම් ඉහළ තත්ත්වයෙන් පැවැතුණු මිත‍්‍රත්වයක් වුවද උදාසීන මධ්‍යස්ථභාවයකට පත් කරවීමට සමත් කුඩා කණස්සලුවලින් ජීවිතය පිරී ඇත – ඊළඟ කෑම වේල සූදානම් කිරීම, මාරු කරන්නට – සෝදන්නට ඇති ළදරු ඇඳුම්, සතුටු කරන්නට අපහසු අනෙක් පාර්ශවයේ නෑදෑයන් සහ කාර්යාල ප‍්‍රධානීන්, රෝග පීඩාදී මේ සියල්ලකගෙන්ම ජීවිතය ගොඩ ගැසී ඇහිරී ඇත. ඒ සියල්ල හැරුණු කොට ඡායාරූප ශිල්පියා පැවසූ තමන් පසු කර හැල්මේ දිව යන කාලයද එයට වගකිව යුතුය. නමුත් යිං එක් දෙයක් පිළිබඳව නිවැරදිය. කරුණු කාරණාවල සුළු සුළු වෙනස්කම් හේතුවෙන් දිවුරුම්-සොයුරි බන්ධනයක් බිඳී යන්නේ නැත. “කාලෙකට උඩදි යමක් සිද්ධ වුණා,” අවසානයේදී අයිලින් හෙළි කළාය. “මං මහ නරක විහිළුවක් කළා. ඉන් පස්සේ ඒ දෙන්නගෙන් එක්කෙනෙක්වත් මා එක්ක යාළුකම් තියාගන්න කැමති වුණේ නෑ.”

“තුන්-කට්ටුවක් කියන්නේ යාළුකමක්වත් හරියට තියාගන්න බැරි, සමාව දීමක් ගැන දන්නේ නැති කණ්ඩායමක්නේ. යාළුවො කාණ්ඩෙකට ඒ ගාන හරියන්නේ නෑ,” යිං කීවාය. “ඒක මොන විදිහේ විහිළුවක්ද?”

“මට ඔයාගේ තාත්තාව ලැබෙන්න කළින් ඒ දෙන්නාටම දරුවො ලැබුණා – පුතෙකුයි, දුවෙකුයි. ඉතිං මං නිකමට කිව්වා ඒ දෙන්නා ලොකු වුණාම කසාද බන්දන්න කතා කරලා තිබ්බානං හරි කියලා,” අයිලින් කීවාය. “ඒක මං නිකමට කිව්වේ, විහිළුවක් හැටියට.”

“එහෙනං ඉතිං ඒ පවුල් දෙකෙන් එකක් ඒක ඇත්තට බාරගන්න ඇති. ඒක ඇත්තට ටිකක් මෝඩ විහිළුවක්නං තමයි. ඒත් ඉතිං ඔහොම පොඩි විහිළුවක් හින්දා යාළුකම් අත් අරින එකනං ඊටත් වඩා මෝඩයි. ඉතිං ආච්චි අම්මාට වරද පටවගන්න ඕනෙ නෑ, ආච්චි අම්මාගේ වැරැද්දක් නෑනේ,” යිං කීවාය. සිය මිනිබිරියගෙන් එවැනි සුරක්ෂිත සැනසුමක් දනවන වදන් අයිලින් ඉන් පෙර අසා නොතිබුණි. එවැන්නක් ඈ වෙතින් බලාපොරොත්තු විය හැකිව තිබුණේ ඈ තමා ගැන හෝ සිය මවුපියන් ගැන පවසනා විටෙකදී පමණි. “මේ මෝඩ තීරණ ගන්න මෝඩ මිනිස්සු හිටියේ නැත්තං මේ ලෝකේ කිසි ප‍්‍රශ්නයක් ඇති වෙන්නේ නෑනේ ඇත්තට,” යිං එකතු කළාය.

නමුත් වැදගත්ම කාරණාවනම්, එය අයිලින් පැවසුවේද, ඇගේ දිවුරුම්-සොයුරියන් එය භාරගත්තේද විහිළුවක් ලෙසින් නොවීම ය. එක් දිනෙක පරතරයක් ඇතිව ඉපැදුණු දරුවන් දෙදෙනා සිය මවුවරුන් සේ ම සුන්දර වූහ. එම පවුල් ත‍්‍රිත්වයට ඉදිරියේදී තවත් දරුවන් එකතු වනු ඇති වුවද පළමු දරුවන් දෙදෙනා සුවිශේෂී විය. ඔවුන්ගේ මවුවරුන් අතර වූ දිවුරුම්-සොයුරි බන්ධනය වඩාත් තහවුරු කරන්නට දරුවන් අතර විවාහයක් සිදු කිරීමට වඩා උචිත වෙනත් දෙයක් තිබේද? එම දරුවන් දෙදෙනා කෙළි සෙල්ලම් කරනා සගයෙකුට, සොයුරෙකුට – සොයුරියකට වඩා බැඳීමකින් එකිනෙකා වෙත සෙනෙහස දක්වනු ඇත. එවැනි ආදරයකින් හැදී වැඩෙනු ඇත. ළදරුවන් දෙදෙනා වෙනුවෙන් නාම මාත‍්‍රිකව හෝ එවැන්නක් පිළියෙල කෙරුණු මොහොතේ ඇගේ එම සිතුවිලි වඩාත් සනාථ විය; එය අයිලින් ම යෝජනා කිරීම නිසා මෙයි සහ ලාන් වඩාත් සතුටට පත්ව සිටියෝය. ඇයට එම අවස්ථාවේදී හුදෙකලාවක්, පිටස්තර බවක් දැනේදෝයි ඔවුන් දෙදෙනා කණස්සල්ලෙන් පසු වූ බව ඇයට වැටහී තිබුණි. එබැවින් එම මවුවරුන් දෙදෙනාටද වඩා බලවත් උද්‍යෝගයකින් ඇය එම කුඩා උත්සවය සඳහා ආහාර පිළියෙල කළාය. තිදෙනාගෙන් කිසිවෙකුගේවත් සැමියන් උත්සවයට සහභාගි වූවේ නැත. ස්ත‍්‍රීන්ගේ අවිහිංසක මනෝ විකාරයක් ලෙසින් ඔවුන් එය නොතකා හැර තිබුණි. සැමියන් තිදෙනා අතර හොඳ මිතුරු සබඳතාවයක් ගොඩනැගී තිබූ නමුත් බිරින්දෑවරුන් නිසා නොවන්නට ඔවුන් අතර එවන් මිත‍්‍රත්වයක් ගොඩනැගෙන්නට හේතුවක් නැත. එසේම ඔවුන් තිදෙනාගෙන් කිසිවෙකුත් දිවුරුම්-සොයුරියන් පිළිබඳ රහස දැන සිටියේද නැත.

“මොකද්ද වුණේ ඉතිං?” යිං විමසුවාය. “පවුල් දෙකෙන් එකක් පස්සෙ අදහස වෙනස් කරගත්තාද?”

“මහ අපරාධයක් සිද්ධ වුණා,” අයිලින් කීවාය. “කොල්ලා අතින් වෙච්ච අත් වැරැුද්දකින් කෙල්ල මැරුණා.”

යිංගේ මුවින් අදහාගත නොහැකි බවක් දනවන සිහින් රාවයක් පිට වූ නමුත් ඉක්මනින්ම ඇගේ කම්පනය දුරු වී මහත් උනන්දුවකින් මුහුණ පිරී ගියේය. “ඒක කොයි කාලෙද වුණේ? ඇයි එයා එහෙම දෙයක් කළේ? එතකොට ඒගොල්ලන්ට වයස කීයද?”

“ඔයාට වඩා ටිකයි ලොකු,” අයිලින් කී අතර, ඒ සමගම එවන් සංසන්දනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඇගේ සිතේ පසුතැවිල්ලක් ඇති විය. “එතකොට ඒගොල්ලන්ට දාසයයි වයස. ඒ දෙන්නා තනියම චාරිකාවක් ගිහිල්ලා. අත්වැරදීමකින් අර දරුවා අතින් කෙල්ලගේ හුස්ම හිර වෙලා.”

යිං විදෙස් හුරුවකින් විස්මයට පත් රාවයක් පිට කළාය. “ඒක කොහොමද අත් වැරැද්දක් වෙන්නේ? ඔන්න ගඟට තල්ලූ වුණානං ඒක බැරි වෙලා වුණා කියන්න පුළුවන්. ඒත් මේ හුස්ම හිර කරන එක? එහෙම දෙයක් අත් වැරැද්දකින් වෙන්නෙ කොහොමද?”

අයිලින් හිස දෙපසට වැනුවාය. එම යෞවනයාගෙන් විමසන්නට තරම් දෙයක් ඒ මොහොතේදී ඉතිරිව තිබුණේ නැත. ඔහු අතින් යෞවනියගේ ඇඳුම ඉරී ගොස් තිබූ ආකාරයම ප‍්‍රමාණවත් සාක්ෂි සපයා තිබුණි. එම දරුවන් දෙදෙනා මුළු ජීවිතයම ගත කළේ ඔවුන් අතර නියම වී තිබූ විවාහය පිළිබඳව දැනුම්වත් ව ය. ස්වභාවිකවම යෞවනයා තුළ යම් බලාපොරොත්තු ගොඩ නැගී තිබෙන්නට ඇත. නමුත් යෞවනිය එයට විරෝධය පා සටන් කොට ඔහුගේ මුහුණද, දෑත්ද සූරා තිබිණ. යෞවනයා තුළ ඒ මොහොතේදී සිටි නාඳුනන සත්ත්වයාගේ හදිසි නොහික්මුණු ස්වභාවයට ඈ බිය වන්නට ඇත.

“එයා ඒ ගෑනු ළමයාට බලහත්කාරකම් කළාද?”

යිං එය විමසූ සරල සැහැල්ලූ විලාශය පිළිබඳව අයිලින්ගේ සිත කැළඹුනි. දහ හතර වැනි වියේදී අයිලින් සහ ඇගේ දිවුරුම්-සොයුරියන් හට නම් ජීවිතය හමුවේ ඇති එවන් කුරිරුකම් පිළිබඳව එතරම් අවබෝධයක් තිබුණේ නැත. “එයා ඒ දැරිවිට කරදරයක් කරන්න හිතන්න නැතුව ඇති,” අයිලින් ඔහු වෙනුවෙන් කතා කළාය. ඇය පෙර පටන් ම එම පිරිමි දරුවාට බොහෝ සෙයින් ආදරය කළාය. ඔහුට වඩා සය වසරකින් බාල වූ ඇගේ පුත‍්‍රයා හට ඔහු ඉතාමත් හොඳ වැඩිමහළු සොහොයුරෙකුව සිටි අන්දම ඇයට අමතක නැත. එම නින්දිත මිනී මැරුම ගැන පුවත් පත් පිරී ගිය වකවානුවේ ඒ කිසිවක් වටහා ගන්නට තරම් වයසක් තම පුතුට නොවීම ගැන අයිලින් ආත්මාර්ථකාමී සැනසීමක් අත්වින්දාය.

“ඒත් ඒ කොල්ලා එයාව මැරුවානේ. ඔන්න මෙහෙමයි වෙන්න ඇත්තේ මං කියන්නේ. එයාට මේ ගෑනු ළමයාව ඕනෙ වුණා, එයත් එක්ක එකතු වෙන්න ඕන වුණා. ඒත් ඒ ගෑනු ළමයා කැමති වුණේ නෑ. ඉතිං කොල්ලාට තමුංව පාලනය කරගන්න බැරි වුණා,” යිං කීවාය. “එයාට මරණ දඬුවම හම්බවුණාද?”

අයිලින් එසේ බව හඟවන්නට හිස සැලූවාය.

“එයාගෙ අතින් වරදක් වෙන්න ඇති. ඒත් මරණ දඬුවම ලබන්න තරම් වරදක්ද මන්දා ඒක,” යිං සිය අදහස ප‍්‍රකාශ කළාය. “ඒත් ඉතිං මේ චීනෙනේ. මෙහෙදි කියන්නේ ‘ජීවිතයට ජීවිතයක්’ කියලනේ.”

මෙයිගේ පුත‍්‍රයා කෙරෙහි අනුකම්පාවෙන් කටයුතු කරන ලෙසට අයිලින් ලාන්ගෙන් ඇයැද සිටි මොහොතේ ඇගේ පිළිතුර වූයේද එය ම ය. ‘ජීවිතයට ජීවිතයක්.’ අයිලින්ගේ දෑස් මග හරිමින් ලාන් පවසා සිටියේ එලෙස ය. තමන්ගේ දියණියට අනාගතයක් නොමැති කල, තමා මෙයිගේ පුත‍්‍රයාගේ අනාගතය පිළිබඳව සිතන්නේ කුමකටදැයි ඇය වැඩිදුරටත් විමසා සිටියාය. පිළිතුරක් දීගත නොහැකි වූ අයිලින් නිහඬව ම කළු පැහැති රාමුවක් යොදා තිබූ දැරියගේ ඡායාරූපය ඉදිරියේ හඳුන් කූරු කිහිපයක් දල්වා ඇගේ දෙමාපියන්ගේ හදවත් සුවපත් කර දෙන ලෙසට ප‍්‍රාර්ථනා කර සිටියාය. ඡායාරූපයේ සිටි දැරියට ලාන්ගේ සුන්දර මුහුණුවරද, ලැජ්ජාශීලී සිනහවද උරුම වී තිබූ අතර, එම අවාසනාවන්ත සිදුවීමේදී දැරියගේ බලවත් විරෝධයට හේතු වූයේ ඔවුන් කිසිවෙකුත් නොදත් වෙනත් පිරිමි දරුවෙකුදැයි අයිලින්ගේ සිතෙහි පළමුවරට සැකයක් ඉපැදිණි.

මරණ දණ්ඩනය නියම කිරීමෙන් පසු උසාවිය ඉදිරියේදී සිදු වූ සියල්ලට ම වගකිව යුත්තේ අයිලින් බවට මෙයි ඇගේ මුහුණට ම කෑගසා ප‍්‍රකාශ කළාය. ඇය අයිලින්ට එලෙස චෝදනා කරන අතරේ නඩුවෙන් ජයග‍්‍රහණය කළද තව දුරටත් සිය දිවුරුම්-සොයුරියන් හා බෙදාගන්නට කිසිවක් ඉතිරිව නොතිබූ ලාන් ඉවත බලාගෙන විගසින් එතැනින් නික්ම ගියාය. අයිලින් ඔවුන් දෙදෙනා දුටු අවසන් අවස්ථාව එය විය. එම පවුල් දෙක ම නගරයෙන් පිටව ගිය බව ඔවුන් පිටව ගොස් බොහෝ කලකට පසුව ඇගේ සැමියා ඇයට දන්වා සිටියේය. අනතුරුව ඇයට හුදෙකලාව තම වේදනාව විඳ ගැනීමට නිදහස ලබා දෙමින් ඔහු ඔවුන්ගේ පුත‍්‍රයා සමග පිටුපස මිදුලේ අලසව කෙළි දෙලෙහි යෙදිමින් බොහෝ වේලා ගත කළේය.

යළිත් දිවුරුම්-සොයුරියන්ගේ ඡායාරූපය දෙස හොඳින් බලා සිටි යිං, මිය ගිය දැරියගේ මව හා මිනීමරු පුත‍්‍රයාගේ මව කවුරුන්දැයි විමසා සිටියාය. “ආච්චි අම්මාගෙ යාළුවන්ගෙන් කොයි එක්කෙනා අනිත් එක්කෙනා එක්ක වැඩියෙන් තරහයිද මන්දා.”

“ඔයා හිතන තරං ඒ දෙන්නා අතර තරහක් නෑ,” අයිලින් කීවාය. ඇය මෙයිට පුත‍්‍රයෙකුත් තමාට දියණියකුත් ණය බව ලාන් දස වසරකට පෙරදී ඇයට ලියා එවූවේ ඔවුන්ගේ සබඳතාවය යළි අලූත් කරගැනීමට යෝජනා කරමින් අයිලින් ඇයට යැවූ ලිපියට පිළිතුරක් වශයෙනි. තමාගේ නිදොස් බව දක්වන්නට අයිලින් කුමන හේතුවක් ඉදිරිපත් කළද ඔවුන් තිදෙනා අතරින් එක ම ණයකාරිය වන්නට සිදු වූයේ ඇයට ය. “ඒ දෙන්නා ම වැරැද්ද පැටෙව්වේ මට,” ඇය කතාව අවසන් කළාය.

අයිලින්ගේ මිතුරියන් එලෙසින් සිතීම සැබැවින් ම විකාරයක් බවත්, තමාට කිසිදු අදාළත්වයක් නැති සිදුවීමක වගකීම අයිලින් බාරගැනීම පිස්සුවක් බවත් යිං පවසා සිටියාය. හිස දෙපසට වැනූ අයිලින් දැරිය සමග වාද නොකර නිහඬ වූවාය. ඇගේ වයසටත් වඩා දැනුම් සම්භාරයක් ඈ උකහාගෙන ඇති බව සැබෑ වුවද, ආදරය සේ ම වෛරයද හේතු ප‍්‍රත්‍යයන් මත ඇති වෙන්නක් නොව කෙනෙකුගේ දැනුමෙන් පරිබාහිර වූ යම් බලවේගයකින් කරනා කොළොප්පමකින් ඇති වන්නක් බව වටහා ගැනීමට තරම් ඈ ළාබාල වැඩි විය. මෙයිගේ සහ ලාන්ගේ දරුවන් අහිමි වීම ම පමණක් මෙම වෛරය නොසිඳී තැබීමට තරම් හේතුවක් නොවනා බව අයිලින් දැන සිටියාය. එම විවාහය යෝජනා කළේ අයිලින් ය; එයටත් පෙර, දිවුරුම්-සොයුරි-බන්ධනය ඇති කරගැනීමේ යෝජනාවද ඇයගේ ම ය. යිං තව දුරටත් සිය මිත්තණිය හා වාද කිරීමේ උවමනාවෙන් පසු වුවද, තමාට නොවැටහෙන දෙයක් පිළිබඳව තර්ක කරන්නට ඇයට අනුබල ලබාදීමට තරම් මානසික තත්ත්වයක් ඒ මොහොතේ අයිලින් වෙත නොවීය. සැමියෙකු සොයාගන්නට උනන්දුවක් නොමැති තරමට ම ඇය සිය ළමා විය සහ තම දිවුරුම්-සොයුරියන් වෙත බැඳී මුරණ්ඩු සිතින් පසු නොවුනානම්, එම වකවානුව වන විට ඇයද විවාහ වී මෙයි හා ලාන් සමග ම මවු පදවිය ලබන්නට ඉඩ තිබුණි. එසේ වූවානම් ලාන්ගේ දියණිය හා විවාහ යෝජනාව සිදු කෙරෙන්නේ ඇගේ පුත‍්‍රයාට වන්නට ඉඩ තිබිණ. දැරියගේ කැමැත්ත හෝ අකැමැත්ත කවරක් වුවද අයිලින්ගේ පුත‍්‍රයා එම පවුල් ත‍්‍රිත්වය මෙවන් ඛේදවාචකයකට ඇද දමන්නට හෝ නොදමන්නට ඉඩ තිබිණ. යිං වෙනුවට ඇගේ නම රැගත් වෙනත් දැරියක් ඇගේ මිනිබිරිය වන්නට ඉඩ තිබූ අතර ඇය ඇතැම්විට මෙම ග‍්‍රාමීය නගරයේ ජීවිතය ගෙවන්නට සතුටු වන්නට ඉඩ තිබිණ. යිං වටා ඇති සෑම දෙයක්ම, කෙතරම් සජීවීව හා තාත්විකව පෙනෙන්නට තිබුණද, පණස් වසරකට පෙර එම වසන්ත සන්ධ්‍යාවේදී ජීවිතාන්තය තෙක් පැවතෙනා සොයුරි-බන්ධනයක් පිළිබඳ මනෝ මායාවක් අයිලින්ගේ සිතට නොනැගෙන්නට, ඒ සියල්ල වෙනස් වී තිබිය හැකි බව ඇය මෙම දැරියට වටහා දෙන්නේ කෙසේද?

බොහෝ වේලා බලා හිඳීමෙන් පසු යිං අදහස අත් හැර දැමූ බවක් පෙනුණි. “හරි එහෙනං, ඔය කියන තරම් ම ඒගොල්ලන්ට ආච්චි අම්මාව පේන්න බැරිනං ඒගොල්ලන්ගේ මේ පින්තූරේ අපේ කඩේ එල්ලන එකමයි හොඳ. ඒගොල්ලො දන්නෙත් නැතුව ඒගොල්ලෝ දිහා කට්ටිය බලං ඉන්නවානෙ එතකොට,” ඇය කීවාය.

පණස් වසරකට පෙරාතුව ඡායාරූප ශිල්පියාගේ ඉඩ ඇහිරුණු කුටිය තුළදී කාලය නතර වූ ලෙසකින් ඔවුනට බිත්තියේ හිඳ අනේක විධ නන්නාඳුනනා විදේශිකයන්ගේ දෑස් තුළට සිනහ පාන්නට හැකි වනු ඇති බව අයිලින් කල්පනා කළාය. ඇගේ දිවුරුම්-සොයුරියන් ඇගේ දෙනෙතට ඉනූ කඳුළු දකින්නට පෙර ඇය ඔවුන් තිදෙනාගේ සේයාරුව රැගත් පෝස්ටරය වෙතින් ඉවතට හැරුණාය.


Yiyun Li විසින් රචිත Sweeping Past නමැති කෙටි කතාවේ සිංහල පරිවර්තනයයි.


%d bloggers like this: