Menu Close

ෆ්‍රෑන්ක් කැප්රියෝලා ඕනෑ කර තිබේ!

(2019 සැප්තැම්බර් 29 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

ඇමරිකානු අධිකරණ ශාලාවක විත්තියට ගොඩ වදින සිරියානු ජාතික, හිජාබයකින් හිස වසාගත් ගැහැණියකි. කුඩා බුහුටි දැරියක් ද ඇය සමග වෙයි. ගැහැණිය කැඩුණු ඉංග්‍රීසියෙන් විනිසුරු අමතා මෙසේ කියයි.

“මට එච්චර ඉංග්‍රීසි බෑ. මට පුළුවන් හරිම ටිකයි. මගෙ දුව මට උදව් කරයි.“

කරුණාබරිත පෙනුමකින් යුත්, වයෝවෘද්ධ විනිසුරුවරයා දැරියට අත වනයි.

“හායි!“

“ඔයා ඔයාගෙ අම්මට උදව් කරන්න ද යන්නෙ?“

දැරිය හිස සොළවා එකඟතාව පළ කරයි.

“එහෙනම් කියන්න එයාට අධික වේගෙන් රිය පැදවු නිසා එයාට විරුද්ධව පැමිණිල්ලක් තියෙනව කියල!“

සිය දියණියගෙන් අදාල පැමිණිල්ල ගැන සිය බසින්ම අසා දැනගන්නා මව විනිසුරුවරයා දෙස බලා කියන්නේ මෙපමණකි.

“මට සමාවෙන්න!“

අනතුරුව ඇයගේ දීර්ඝ විස්තරය ඉංග්‍රීසියට නැගෙන්නේ දැරිය වෙතිනි. විනිසුරු පහදා දෙන්නේ ඇය පාසැල් කලාපයක අධික වේගයෙන් රිය පදවා ඇති බවයි. බටහිර රටක එය බරපතල වරදකි.

“අම්මා දැනගෙන හිටියෙ නෑ ඒක වරදක් කියල. එයා දන්නෙ නෑ නීතිය. එයා වේගෙන් ගියේ මම අසනීපෙන් හිටපු නිසා.“

“ආහ්… ඔයාගෙ අම්ම වේගෙන් ගියේ ඔයාට අසනීප නිසා…?“

දැරිය එකඟතාව පළ කරමින් හිස වනයි.

“මෙහාට එන්න ටිකකට!“

කරුණාබරිත විනිසුරුවරයාගේ අසුන වෙත යන කුඩා දැරිය සිය නම මාසා බවත්, තමන්ගේ වයස අවුරුදු අටක් බවත් සිය සිහිනය වෛද්‍යවරියක වීම බවත් විනිසුරුවරයාට පිළිතුරු දෙමින් කියන්නී ය.

“ආහ්… වෛද්‍යවරියක්! එයා ගොඩක් ජීවිත බේරන්නයි යන්නෙ!“

අනතුරුව එළඹෙන්නේ අපූර්වතම අවස්ථාවකි.

“ඔයාගෙ අම්ම දැන් එයාගෙ වැරැද්දට හේතුව කිව්ව. ඔයා හිතනව ද ඒක හොඳ උත්තරයක් කියල. නැත්තං ඒක නිකං සරල පැහැදිලි කිරීමක් ද, ඒත් නැත්තං එයාගෙ උත්තරේ පිළිගන්න බැරි ද?“

“මං හිතන්නෙ සරල පැහැදිලි කිරීමක්!“

එහෙනං අපි මොකද කරන්නෙ? ඩොලර් පණහක් දඩ ගහන්න පුළුවනි. නැත්තං ඉන් භාගයක්. ඒත් නැත්තං නිදහස් කරන්න පුළුවනි.“

“ඩොලර් පණහයි!“

දැරියගේ තීන්දුව උසාවි කාමරයම සිනාවේ ගිල්වයි.

“පේනවනෙ එයා නීතියත් දන්න වෛද්‍යවරියක්!“

විනිසුරුවරයා අවසන කැඳවන්නේ දැරියගේ පියා ය. බුහුටි, තීක්ෂණ දැරියක සැදීම වෙනුවෙන් මාපිය යුවළට සුභ පතන විනිසුරුවරයා දැරිය වෙතින්ම ‘පැමිණිල්ල නිශ්ප්‍රභා‘ කළ බව ප්‍රකාශ කරමින් අසරණ ගැහැණිය නිදහස් කරයි.

සියල්ල අවසානයේ විනිසුරුවරයා මෙම සිරියානු පවුලට සමුදෙන්නේ ‘ඇමරිකාවට සාදරයෙන් පිළිගනිමි‘ යනුවෙන් ද පවසමිනි.

මෙම විනිසුරුවරයාගේ මේ හා සමාන, සංවේදී උසාවි තීන්දු සම්බන්ධ වීඩියෝ පට ගණනාවක් පසුගිය කාල සමය තුළ විවිධ සමාජ මාධ්‍ය ජාල හරහා විශාල වශයෙන් සංසරණය වෙමින් තිබුණු හෙයින් මේ වීඩියෝ පටවල සුලමුල සෙවීමට මට සිත් විය. කරුණු විමසීමට පෙර මා අනුමාන කළේ, වීඩියෝ පටවල දක්නට ඇති සුසාදිත බව හා සුහුරු බව නිසාම, මේ නම් පූර්ව පිටපතක් අනුව කෙරුණු රූගත වීමක් වීමට ඇති ඉඩ ඉහළ වනු ඇති බව ය.

එහෙත් පසුබිම් විමසුම ගෙන ආවේ මගේ අනුමානය එලෙසින්ම නිවැරදිය යන තොරතුරු නම් නොවේ. ලොව පුරා මිලියන ගණනාවකගේ අවධානය දිනූ මෙම වීඩියෝවල හමුවන වයෝවෘද්ධ විනිසුරුවරයා නමින් ෆ්‍රෑන්ක් කැප්රියෝ ය. අසූ දෙහැවිරිදි ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ රෝඩ් අයිලන්ඩ් ප්‍රාන්තයේ අගනුවර වන ප්‍රොවිඩන්ස් හි ප්‍රධාන නාගරික විනිසුරුවරයා ය. 1985 වර්ෂයේ පටන් එම නිලය හොබවන කැප්රියෝගේ විනිසුරු තීන්දු මෙන්ම නඩු විමසන කාරුණික ස්වභාවය පසුබිම් කරගනිමින් 2000 වර්ෂයේ පටන් ඇරඹෙන ‘ප්‍රොවිඩන්ට් නගරයේ දී හසුවීම‘ (Caught in Providence) නමැති රූපවාහිනී වැඩසටහන සත්‍ය වශයෙන්ම උසාවි කාමරය තුළ සිදුවන නඩු ඇසීම් පළමුව ප්‍රාදේශීය රූපවාහිනී නාලිකාවක් ඔස්සේ ජනතාව වෙත ගෙනවිත් ඇත. ගෙවුණු වසර කිහිපය තුළ පළමුව ජාතික මට්ටමින් ද  අනතුරුව යූටියුබ් නාලිකාව ඔස්සේ විශ්ව මට්ටමින් ද ඇමරිකා එක්සත් ජනපදය හා ලොව පුරා මිලියන සිය ගණනක ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ඇති Caught in Providence නාගරික උසාවියක ඇසෙන වාහන පැදවීම සම්බන්ධ චෝදනා, වාහන නැවතීම සම්බන්ධ චෝදනා මෙන්ම අපරාධ චෝදනා ද හමුවේ කාරුණික විනිසුරුවරයකුගේ දයාව මුසු බැල්ම පිළිබඳ නෙත් අඟට කඳුළු කැඳවන සුළු පුවත් ගණනාවක් දක්වමින් නීතිය අභියස මනුෂ්‍යත්වය කිරා මැන අප අභිසය තබයි.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු වියට්නාමය, ඉරාකය, කුවේටය, ඇෆ්ගනිස්ථානය ආදී බොහෝ රටවල පැවති හා පැවතෙන යුද්ධවලදී සෘජුවම ද තවත් බොහෝ යුධ කලාප හමුවේ වක්‍රවද සිය දායකත්වය ලබා දෙමින් හා ලෝකයේ අනේක යුද්ධ හා ගැටුම් හමුවේ ඒ සමථයකට පත් කරනු වස් ක්‍රියාත්මක වනු වෙනුවට ඒ තවත් ගිනි දල්වනු පිණිස ද දායක වන ලොව බලගතු රාජ්‍යයක ඇති ප්‍රාන්ත නගරයක හමුවන ‘නීතියේ මානුෂික ස්වරූපය‘ විහිළුවක් බවට ඔබ යෝජනා කරන්නට ඇති අවකාශ ඉහළ බව මම දනිමි. ප්‍රොවිඩන්ස් නගර උසාවියට යාමට පෙර ග්වන්තනමෝ බේ කඳවුර දෙසට නෙත් යොමා ඇමරිකානු මනුෂ්‍යත්වයේ සත්‍ය ස්වරූපය වටහා ගන්නට ඔබ අතුරින් අයෙකු ආරාධනා කරනු ඇති බව ද මම දනිමි. මගේ අදහස ඔබ ගෙන එන ඒ සියලු තර්ක හා යෝජනා විමසීමට කැඳවන අතරම ප්‍රොවිඩන්ස් නගර උසාවියේ මේ කුඩා මිනිසාගේ (අතිශයෝක්තියට නැගූ හෝ නොනැගූ)  ක්‍රියාකාරකම් පිළිබඳව ද අප විමසා බැලිය යුතු බව ය. ඒ ඇයි?
කුසගින්න, ජීවිතය ගැට ගසා ගැනීම, දරු සෙනෙහස ආදී කරුණු පෙරමුණෙහි තැබෙන, ඒ වෙනුවෙන් අහුලාගැනෙන කොස් ගෙඩියක් හෝ පොල් ගෙඩියක් හේතුවෙන් මාස ගණනක් සිර දඬුවම් විඳින්නට හේතුවන හෝ දහස් ගණනින් ශරීර ඇප බඳින්නට සිදුවන තීන්දු ඇසෙන උසාවි කාමර අභියස අපි ජීවත් වෙමු. කුඩා වරදවලට දඩ ගෙවාගත නොහැකිව සිර ගෙවල දුක් විඳින අසරණ ගැහැණුන් හා මිනිසුන් ගැන ද, ඇතැම් විට සිය මව සිරගත වීම නිසා අනිවාර්ය සිර දඬුවමකට ලක්ව සිටින අසරණ කුඩා දරුවන් ගැන ද අප අසන්නේ මෑතක සිට නොවේ.

“ඒ ගෑණු කෙනා ඇඳගෙන ඇඳල හිටපු ඇඳුමට ජජ් හොඳටම දොස් කිව්ව. ඒක පරණ සාරියක්. සමහර විට ඒක ඒ මනුස්සය ළඟ තිබුණු එකම ඇඳුම වෙන්නැති කියල මට හිතුණ!“

වරක් මා හඳුනන නීතීඥවරියක දැඩි වේදනාවකින් මා සමග පැවසුවේ ඇඳ සිටි ඇඳුම මගින් උසාවියට අපහාස කළේ යැයි සළකමින් උසාවියෙන් පිටමන් කළ අසරණ ගැහැණියක පිළිබඳ සඳහන් කරමිනි.

අපට හිටපු යාපනයේ මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් සුවිශේෂ චරිතයක් වූයේ ඔහු තුළ සිටින විනිසුරුවරයා යටපත් කරමින් ඔහු තුළ සිටින මනුෂ්‍යයා ඉස්මතුව පෙනුණු හෙයිනි.  ෆ්‍රෑන්ක් කැප්රියෝ ලෝක අවධානයට පාත්‍ර වන්නේ ද නීති වගන්ති පොත පසෙක තබා ගනිමින්ම ඔහු මනුෂ්‍යත්වය පෙරමුණට කැඳවන හෙයිනි. ඔහු නිරතුරුව තමා අභියසට පැමිණෙන චරිතයේ ජීවන විත්තිය විමසා බලයි. දරුවකු හෝ දැරියක සමග විත්තිකරුවකු පැමිණ සිටියි නම් දරුවා හෝ දැරිය අසළට කැඳවාගෙන ඔහුගෙන් හෝ ඇයගෙන් තතු විමසා බලයි. ඩොලර් පණහක හෝ සියයක දඩයකින් බොහෝ විත්තිකරුවන්ගේ ජීවිත විසල් වෙනසකට භාජනය නොවූවත් නීතිය මෙහෙයවන්නේ ද, ඉන් පාලනය විය යුත්තේ ද මිනිසාම බව හඟවයි.

උසාවිය හෝ වේවා, වෙනයම් රාජ්‍ය ආයතනයක් වෙත හෝ වේවා පුරවැසියකු පිවිසෙන්නේ තමන් වෙත වන ගැටළුවකට පිළිතුරක් අපේක්ෂාවෙනි. උසාවියකට යමෙකු කැඳවන්නේ ඔහු හෝ ඇය කළ වරදක් සඳහා නියමිත දඬුවම ඔහු/ඇය වෙත නියම කිරීමේ අරමුණෙනි. මේ කවර හේතුවකට හෝ අදාල ආයතනය වෙත පිවිසෙන්නා/ පිවිසෙන්නිය වෙත මනුෂ්‍යත්වය මුණගැස්විය හැකි නම්….?

වඩාත් තෘප්තකර පුරවැසි සමාජයක් බිහි කිරීම සඳහා ඒ ප්‍රධාන හේතුවක් වනු ඇත. ෆ්‍රෑන්ක් කැප්රියෝලා අපට අවශ්‍ය ඒ සඳහා ය!

-ප්‍රියන්ත ෆොන්සේකා –   

%d bloggers like this: