Menu Close

සිනාසෙන නුඹේ මූණ පෙනුණා

රෑක අහසේ වෙනදා වාගේම
නිවි දැල්වෙන තරුත් තිබුණා
අදුරේ නොපෙනුන පුරුදු අටවක
වළාකුළකට මැදිව තිබුණා
පුරත් අවපස නොවී වෙනසක්
අහස හැම දා ඔහේ උන්නා
එළිය අදුරට දොසක් නොකියම
පොළොව කොහොමත් දරා උන්නා
නිසල දියවර සේල රන් සළු
හැඩට සිතුවම් මවා පෙන්වා
අහස සද දියෙ කැළුම් අතරින්
රහසේ ඇවිදින් වැළද ගත්තා
සුළගේ නැළවෙන තුරු ලතා මත
ලසෝ හද බැති සුසුම් රන්දා
නිදා නොනිදන නෙතින් අවදිව
සරා සද පුර දිනක් මැව්වා
සිසිල සියොළඟ වෙලී දැවටී
කොපුල් විලිබර සෙයක් දැනුණා
ගගේ ගං දිය රළැති අතරේ
සිනාසෙන නුඹේ මූණ පෙනුණා
ලොවක මැද ලොව දහක් අතරේ
පුරුදු සුපුරුදු සෙයක් සිතුණා
නොපෙනි නොදැනී කොහේ දිව්වත්

අහස හැම තැන ඉහළ තිබුණා



%d bloggers like this: