Menu Close

විදේශ ශිෂ්‍යත්ව: සංවර්ධනය අර්ථ ගැන්වීමේ ගැටළුවෙහි පැතිකඩක් ලෙස

(2019 සැප්තැම්බර් 22 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

සිය දිවියෙන් දිගු කාලයක් විශ්වවිද්‍යාල සේවයට එක්වීම සඳහා විවිධ අරගල කරමින් උන්, සැබෑ ශාස්ත්‍ර ගවේෂණ උනන්දුවක් ඇති, මා දන්නා හඳුනන මිතුරියකට දැනට වසරකට පමණ පෙර සිය සිහිනය සැබෑ කරගැනීමේ අවස්ථාව උදා විය. ඒ වන විටත්, වෙනත් විශ්වවිද්‍යාල කිහිපයකම තාවකාලික කථිකාචාර්ය ධූර දරා තිබුණු ඇය, මැදිවියට එළඹෙමින් සිටින තමන්ගේ වයස පවා අමතක කොට, මේ නව ස්ථිර පදවියේ උදව්වෙන් විදේශ ශිෂ්‍යත්වයක් ලැබ ලොව ඉහළ පෙළ විශ්වවිද්‍යාලයකට ගොස් සිය ආචාර්ය උපාධිය ලැබීම සඳහා යුහුසුළුව කටයුතු කරන්නට විය. මේ වන විටත්, පොදු රාජ්‍ය මණ්ඩල ශිෂ්‍යත්වය යනාදිය හරහා ඔක්ස්ෆර්ඩ් ඇතුළු ලොව ප්‍රමුඛ විශ්වවිද්‍යාලවලින් ආචාර්ය උපාධිය සම්පූර්ණ කොට මෙරටට පැමිණ සිටින සමකාලීනයින්ගෙන් සිය අරමුණ පිළිබඳ විමසූ ඇයට ලැබී තිබුණේ එක්වරම සතුට කැඳවන ස්වරූපයේ දිරිගැන්වීම් ප්‍රකාශ නොවේ. ඇයගේ විෂයය අයත් මානව විද්‍යා විෂයය ක්ෂේත්‍රය දෙස මෙරට ඉහළ අධ්‍යාපන බලධාරීන් පළමුවත්, ශිෂ්‍යත්ව ප්‍රධානය කරන ආයතන (ඇතැම් විට) දෙවනුවත් බලන්නට ඉඩ තිබෙන පටු දෘෂ්ටි කෝණයන් පිළිබඳ අනතුරු ඇඟවීමකි.

ශ්‍රී ලංකාව දැන් ලොව පහළ – මධ්‍ය ආදායම්ලාභී රටවල් ලැයිස්තුවේ නම සඳහන් කරගෙන සිටින අතර එහි පාලකස්ථානය ‘සංවර්ධනය‘ යන්න දිවමතුරක් ලෙස නිරතුරුව සිය දේශපාලන සටන් පාඨ අතර තබමින් සිටියි. තුංග ගොඩනැගිලි, උසම කුළුණු, අධිවේගී මහා මාර්ග, වරාය, ගුවන් තොටවල්, කර්මාන්ත ශාලා, මෙගා පුරවර, වරාය නගර ඇතුළු නවීන ‘සශ්‍රීකත්ව දර්ශක‘ පුරවැසියා වෙත තබන ඔවුහු, විද්‍යාව හා තාක්ෂණය සමගාමීව ඉහළ භාවිතාවක් වෙත කැඳවිය යුතු බව විශ්වාස කරති; වහරති. මෑතදී මුල්ගල තැබුණු, කුලියාපිටිය නාරංගල්ලේ ඉදිවන්නට නියමිත, විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය මේ දැක්මේ එක් ආසන්න පැතිකඩකි. ටැබ්, වයිෆයි, තාක්ෂණ විද්‍යාගාර යනාදිය සිය ප්‍රමුඛ සඳහන් අතර තබමින් නිරතුරුව සිය අදහස් ප්‍රකාශ කිරීම් ආරම්භ කරන ප්‍රධාන පුරවැසියන් ප්‍රමුඛ, හා අධ්‍යාපන අමාත්‍යවරයා ද ඇතුළු අමාත්‍ය මණ්ඩලය තාක්ෂණික පෙරළීන් හරහා ඉදිවන අනාගත ‘විද්‍යා ප්‍රබන්ධ‘ ලෝක පිළිබඳ සිහින ජනතාව වෙත පොම්ප කරති. සමාන්තර ලෙස බහුතර (අධ්‍යාපන) පරිපාලන බලධාරීන් වෙත ඇත්තේ ද මේ අදහස් සමුදායම මිස වෙන යමක් නොවේ.

භාෂාව, දර්ශනය, සාහිත්‍යය, කලාව, ඉතිහාසය ඈ බොහෝ මානව විද්‍යාවන් ගර්හිත තැනෙක ලා සැලකීම දේශීය තත්වයක් පමණක්ම නොවන බව සැබෑවකි. ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ අධ්‍යාපනයට ඉහළ ඇගයුමක් දෙන රාජ්‍යයන්හි පවා ගෙවුණු දශකවල දී මානව විද්‍යාවන් වර්ග කොට තබා ඇත්තේ පහළ අංකයක ය. ඒ විෂයයන් හැදෑරීම සඳහා වෙන්වන ප්‍රතිපාදන හා ශිෂ්‍යත්ව සංසන්දනාත්මකව විමසීමෙන් මේ බව තහවුරු කොටගත හැකි ය. ආර්ථික විද්‍යාව හා සමාජ විද්‍යාව ඇතුළු සමාජ විද්‍යා විෂයය ක්ෂේත්‍රයන් වෙත වන යොමුව මානව විද්‍යාව අභියස වන්නේ ඉහළ තැනක ය. ‘සංවර්ධනය‘ පිළිබඳ සාකච්ඡාව හා අර්ථකථනය තත් විෂයය ක්ෂේත්‍ර වෙත තබාගෙන ඇති හෙයින්දෝ ඒ ආශ්‍රිත විෂයයන් වෙත වන ප්‍රතිපාදන හා ශිෂ්‍යත්ව සැලකිය යුතු මට්ටමක වෙනසක් පෙන්වමින් දේශීයවත් (ජාත්‍යන්තරව බොහෝ රටවල් හමුවේත්) ඉහළ අංක සටහන් කරයි.

දැන් මෙම විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රත්, ‘සංවර්ධනයේ යෙදවුම්, මූල්‍ය භාවිතාවන් හා අර්ථ නිරූපණ සඳහා වන සමාජ විද්‍යා විෂයය ක්ෂේත්‍රත් පමණක් අපගේ අවධානය බවට පත්වීම සාධාරණ හා සාර්ථක තත්වයක් ද? මානව විද්‍යාවන් ‘සංවර්ධනය‘ හා සෘජු සබඳතා නොදක්වන බව බැලූ බැල්මට පෙනුණු පමණින් ඒ ආන්තික කලාපවල තැබීම දීර්ඝකාලීනව අප රටටත්, හා ලෝකයටත් ගෙන එනු ඇත්තේ කවර ප්‍රතිඵලයන් ද?

වසර කිහිපයකට පෙර ලොව ඇති ඉහළම විශ්වවිද්‍යාලයක් වෙත සැළකෙන ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් සංස්කෘත භාෂාව සඳහා සිය ආචාර්ය උපාධිය සම්පූර්ණ කළ රෝහණ සෙනෙවිරත්න දැන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්භාව්‍ය භාෂා අධ්‍යයනාංශයේ අංශාධිපතිවරයා ලෙස සේවය කරයි. ඔහු එංගලන්තයේ අධ්‍යාපනය ලබන සමයේ ඔහුගේ සංස්කෘත භාෂා දැනුම අගයනු වස් ඉන්දියාව ඔහුට සරස්වතී සංස්කෘත ත්‍යාගය පිරිනැමුවේ ය. එදවස ඒ පිළිබඳ මා මගේ මිතුරකු සමග සතුටින් සඳහන් කරද්දී ඔහු පෙරළා මවෙත තැබූවේ පහළ පැනයයි.

“රෝහණ දක්ෂයෙක් වෙන්නැති. ඒත් අපරාදෙ නේද මේ මළ බාසාවක් ගැන ඉගෙන ගන්නෙ? කී දෙනාට ද ප්‍රයෝජනයක් තියෙන්නෙ? “

– රෝහණ සෙනෙවිරත්න වෙත සරස්වතී සංස්කෘත ත්‍යාගය පිරිනැමීමේ උත්සවය – 
එක් වරම පිළිතුරක් හමු නොවූ එම පැනය රෝහණගෙන් ද ඔහු මුහුණ දුන් පොදුරාජ්‍ය මණ්ඩල ශිෂ්‍යත්වය සඳහා වන මෙරට පරීක්ෂක මණ්ඩලය විමසූ බව රෝහණම මට කීවේ මේ ඊයේ පෙරේදා දිනක ය. රෝහණ සෙනෙවිරත්න පරීක්ෂක මණ්ඩලයට පිළිගත හැකි ප්‍රතිචාරයක් ලබා දී ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ගොස් ආචාර්ය රෝහණ සෙනෙවිරත්න වී පෙරළා පැමිණෙන්නේ සම්භාව්‍ය භාෂා පිළිබඳ ඔහු තුළ වූ පෘථුල දැනුම උපයෝගී කොටගෙන ය.

“මම කිව්ව සංස්කෘත භාෂාව මැරිල නෑ කියල!“

පෙරදිග මෙන්ම අපරදිග භාෂා එකතුවේ වන සංස්කෘත, පාලි, ලතින්, ග්‍රීක් ඇතුළු ව්‍යවහාරයේ හමු නොවන භාෂා එක පහරින්ම මිය ගොස් ඇති භාෂා ගොඩට තල්ලු කිරීම ‘සංවර්ධනය‘ නම් මේ මේ දේවල් යැයි තනි පේළියකින් විග්‍රහ කර කෙළවර කිරීමට කිසිසේත් දෙවැනි නොවේ. නමුත් යට කී භාෂා යනු ශිෂ්ටාචාරයන් ය; මානව ඉතිහාසය පිළිබඳ බොහෝ කරුණු එක්රැස් කොට තබා ඇති භාණ්ඩාගාරයන් ය; සියල්ලටම වඩා ඒ ඔබේත් මගේත් මුතුන් මිත්තන්ගේ ජීවිතය සැඟවී ඇති අසිරිමත් ලෝකයන් ය. අප ඒ ලෝක වෙත පිවිසිය හැකි යතුරු වන ‘භාෂාව‘ පසෙක තැබීමෙන් සිදුවන්නේ නොගිනිය හැකි තරම් අතීත වෘත්තයන් සංඛ්‍යාවක් රැගත් කලාපයන් ගණනාවක් සඳහටම වසා දැමීම පමණි.

ඉතින්, එසේ නම්, ඒ අතීතය හා ‘සංවර්ධනය‘ අතර ඇති සබැඳියාව කුමක් ද? ඔබ මෙය පෙරළා මවෙත නගන බව මම දනිමි. රෝහණ සෙනෙවිරත්න සංස්කෘත භාෂාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබන්නෙකු කොට පෙරළා මෙරටට කැඳවා ගැනීම සිදු නොකොට වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, පරිගණක තාක්ෂණය, ආර්ථික විද්‍යාව ඈ ‘සංවර්ධනය‘ සමග සෘජු සබඳතා පෙන්වන විෂයය ක්ෂේත්‍රයක තරුණ විද්වතෙකු පොදුරාජ්‍ය මණ්ඩල ශිෂ්‍යත්වය යටතේ එංගලන්තයට පිටත් කර හැරියේ නම් ‘ඉහළ මැදි ආදායම්ලාභී රටක්‘ වීමට වලිකන අප රටට වඩා ඉහළ ප්‍රතිලාභයක් ලැබීමට ඉඩ තිබුණු බව ඔබ කියනු ඇත.

‘සංවර්ධනය‘ පිළිබඳ අපගේ අර්ථ නිරූපණයේ ඇති ඛේදනීය දුබලතාව අපට හමුවන්නේ දැන් ය. ජනපති, අගමැති පටන් ඇමති මණ්ඩලය හා රාජ්‍ය නිලධාරීන් නිරතුරුව හඬගාන්නේත්, ඒ අනුසාරයෙන් ජන මාධ්‍ය වැඩිපුර අවධානය දෙන්නේත්, ඒ නිසාම බහුතර පුරවැසියා විශ්වාස කරන්නේත් එකම, පටු හා රේඛීය පදනමකි. තාක්ෂණයෙන් පිරිපුන්, මාර්ග හා ගොඩනැගිලිවලින් සපිරි රටක් සංවර්ධිත රටක් ලෙස හඳුනාගන්නා ඔවුහු ‘අතමිට යහමින් මුදල් ගැවසෙන පන්නයේ‘ ආර්ථික පදනමක් ඇති පුරවැසියෙක් සංවර්ධිත රටේ පුරවැසියෙක් ලෙස පෙන්වා දෙති. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු අපට ආර්ථික ණය හා ආධාර සපයන ජාත්‍යන්තර ආයතනවල පාරිභාෂික වචන එකතුවේ ‘මානව සංවර්ධනය‘ යන්න හඳුනාගන්නේ ද ඒක පුද්ගල ආදායම වැනි මුදල ප්‍රමුඛ කොටගත් දර්ශකවලින් වීම මෙම තත්වය ස්ථිර කොට දෙයි.

සැබවින්ම, යටකී දියුණු රාජ්‍යයක් තැනීම හා මුල්‍ය ශක්තියක් සහිත පුරවැසියකු නිර්මාණය කිරීම කිසිසේත් වරදක් නොවේ. වරද නම් එතනින් නතර වීමයි. එනම්, අධිවේගයෙන් ඒ මේ අත ඇති මෙගා නගර වෙත යන ‘සල්ලිකාරයා‘ මුණගැසුණ ද ‘සංස්කෘතිකව දියුණු පුරවැසියා‘ අතහැරී යාම නියතයක් වීමයි.
සංස්කෘත බස වෙනුවෙන් ආචාර්ය රෝහණ සෙනෙවිරත්න වැනි විද්වතුන් දුසිම් ගණනක් රටට අවශ්‍ය නොවනු ඇති බව සැබෑ ය. එහෙත් සියලු විද්‍යා හා තාක්ෂණ මෙන්ම සමාජ විද්‍යා විෂයයන්ගේ අවශ්‍යතා හා යෙදවුම් හඳුනාගන්නා ස්වරූපයෙන්ම මානව විද්‍යා විෂයයන් ද වටහාගෙන ඒ ඒ ක්ෂේත්‍ර වෙත සාපේක්ෂ වශයෙන් අවශ්‍ය කරන්නා වූ උගතුන් බිහි කරනු වස් විදේශ ශිෂ්‍යත්ව ප්‍රදාන ඇතුළු රාජ්‍ය අධ්‍යාපන යෙදවුම් ක්‍රියාත්මක වන ස්ථාන ප්‍රතිසංවිධානය විය යුතුව ඇත. මක් නිසාද යත්, දර්ශනය, භාෂාව, ඉතිහාසය, කලාව ඈ ක්ෂේත්‍ර පසුපසට තැබූ පසු අපට ඉතිරි වන්නේ මිනිස් යන්ත්‍ර පමණක් වන හෙයිනි.  
-ප්‍රියන්ත ෆොන්සේකා –

රූපය : relif / Getty Images

%d bloggers like this: