Menu Close

අම්පාර

උදේම කොලඹින් පිටත් වුණාට කට්ටිය අම්පාරට එනකොට හවස් වුණා. මග දිගට තේ බොන්න , බඩ ඉරිඟු කන්න කී තැනක නම් නැවැත්තුවද ? ක්‍රිෂාන්ත කලින් ම මොන්ටි හෝටලේ බුක් කරලා තිබුණ නිසා ආයේ අලුතෙන් හෝටල් හොයන්න කරදර වුණේ නැහැ. තිළිණි මේ අම්පාරට එන්නේ අවුරුදු විසි දෙකකට පස්සේ. අවුරුදු විසි දෙකක් … තිළිණි ට ඉබේටම වගේ හීල්ලුණා. කාලය කොච්චර ඉක්මණින් ගෙවෙනවද ? වටපිටාව කොච්චර වෙනස් වෙලා ද ?
කැනඩාවේ පදිංචියට ගිය අලුත අවුරුද්දකට වතාවක් ලංකාවට ආවත් බාබා ලා හම්බ වෙලා , එයාලා ලොකු වුණා ට පස්සේ තිළිණි ලා ලංකාවට එන්නේ අවුරුදු තුනකට සැරයක් වගේ. ඔක්කොටම එක පාර එන්න නිවාඩු කොහෙන්ද ? ඇරත් සීසන් එකට එයාර් ටිකට් අස්ප ගණන්. ඒ වියදම් වෙන සල්ලි වලින් වෙන කොහේ හරි ටුවර් එකක් යන එක හොඳයි කියලා ක්‍රිෂාන්තගේ යාළුවා අමින්ද නිතරම කියන්නේ. හැබැයි මිනිහා ලංකාවට යන්නෙත් නෑ. එහෙමයි කියලා ගිය වෙන ටුවර් එකකුත් නෑ. කොහොමින් කොහොම හරි ළමයි ලොකු වෙන්න ලොකු වෙන්න ලංකාවට එන එක මග ඇරෙන්න ගත්තා. ආවත් කොහොමද ? පාරවල් වල දූවිල්ලට , ට්‍රැෆික් එකට පොඩි උන්ට සතියෙන් එපා වෙනවා. ඊට පස්සේ එයාර් කන්ඩිෂන් කරලා තියෙන නිසා ක්‍රිෂාන්තගේ අම්මලාගේ ගෙදර කාමරේට වෙලා දවසම ගේම් ගහනවා. ඕක ගහන්න මෙච්චර දුරක් ගෙවාගෙන ලංකාවට එන්න ඕනේද ? තිළිණිට නම් කේන්ති යනවා.
වෙනදට නිවාඩුවට ආවාම නුවර එළිය , හෝර්ටන් තැන්න ට ට්‍රිප් ගියාට මේ පාර  ක්‍රිෂාන්තට ඕනේ කළා ආරුගම්බේ යන්න. “අපි විතරයි ගිහිං නැත්තේ. ලෝකේ කොයි තරම් ප්‍රසිද්ධ සර්ෆිං ප්ලේස් එකක් ද?” ක්‍රිෂාන්ත ආරුගම්බේ දොළදුක සාධාරණීයකරණය කළා. “අපොයි ඔව්. අපි ඉතිං ගිහිං නැත්තේ ආරුගම්බේට විතරමනේ” කියලා කියන්න තිළිණිගේ කට පොපියන්න ගත්තත් , ඔන්න ඔහේ ඕනේ නෑ කියලා තිළිණිට ම හිතුණා. දැන් පරක්කු වැඩියි. ළමයි දෙන්නෙක් ලොකු මහත් වුණාටත් පස්සේ කට ඇරලා වැඩක් නැහැ. එතකොට පෙරහැර ගිහිං ඉවරයි.
අන්තිමට “ඇල්ල – වැල්ලවාය” යන තිළිණිගේ යෝජනාව පරාද වෙලා ආරුගම්බේ චාරිකාව ස්ථිර වුණා. ක්‍රිෂාන්තගේ අම්මාටත් තකහනියේම උවමනා වුණා අම්පාරේ සාම චෛත්‍යය යි පොතුවිල් වල මූදු මහා විහාරයයි වඳින්න. “මූදු මහා විහාරයට කීයකින් හරි ආධාරයක් කරන්නත් ඕනේ පුතේ. මුස්ලිම් එවුන් ඒ පන්සල විනාස කරන්න හදනවලු” අනික් දරුවන්ගේ සත පහත් මැණිකක් වගේ රකින නැන්දම්මට් විශාඛා සිටු දුව වෙන්න මතක් වෙන්නේ ලොකු පුතා ලංකාවට ආවාම තමයි. “ඕනේ මඟුලක් කරගත්තදෙං” තිළිණි කට පියාගත්තා.  ඔය ඔක්කොම හැල හැප්පිලි මැද්දේ කොහොම හරි ජීප් එක අම්පාරටත් ආවා. අද රෑ සාම චෛත්‍ය වඳිනවා. රෑට පන්සල් වැට ළඟටම එන අලි බලන්න පුළුවන් කියලා කියපු නිසා පුතා හරි උනන්දුවෙන්. දුව නම් බය වෙලා. හෙට උදේ ම පොතුවිල් යන්න ඕනේ.
මොන්ටි එකට එනකොට තමයි ටවුන් එකේ වෙනස දැක්කේ. පාරවල් ලොකු වෙලා.අලුත් අලුත් බිල්ඩිං හැදිලා. කොහොම තිබ්බ ටවුන් එකක් ද ? දැන් නම් දන්න අඳුනන දේකට තියෙන්නේ පිච්චෙන අවුව විතරයි වගේ. තිළිණිට ඒ කාලේ මතක් වුණා.
ඒ යුද්ධ කාලේ. තිළිණිගේ අක්කා බැඳලා හිටියේ එන්.ජී.ඕ එකක ඔපරේෂන්ස් මැනේජර් කෙනෙක්ව. මස්සිනා හිටියේ අම්පාරේ ඔෆිස් එකේ. ඒ කාලේ එන්.ජී.ඕ කියන්නේ ඉතිං සල්ලි තමයි. හොඳ පඩියක් එක්ක එයාර් කන්ඩිෂන් කරපු ක්වාටර්ස් එකක් එහෙමත් හම්බ වුණා. අම්පාර තමයි ඒ කාලේ තිබ්බ අවසාන ආරක්ෂිත නගර සීමාව. ඒ නිසා පඳුරකට පයින් ගැහුවත් එන්.ජී.ඕ ඔෆිස් එකක් විසික් වෙන තරමට ටවුන් එක පුරාම එක එක ජාතියේ ඔෆිස්. වෙන එකක් තියා එන්.ජී.ඕ වලට ගෙවල් බදු දෙන එකම හොඳ ජාවාරමක් වෙලා තිබුණේ. කවුද අකැමති සල්ලි හොයන්න ? ටයිල් කරපු ඇටෑච් බාත්රූම් එක්ක කාමර දෙකේ ගෙයක් ලේසියෙන් ම හතළිස් දාහකට දෙන්න පුළුවන්. තිළිණිගේ මස්සිනා ට හම්බ වුණ ක්වාර්ටස් එකේ අයිතිකාරයාත් තමන්ගේ ගෙදර එහෙම කුලියට දීලා අට දාහේ කුලියට ටවුමෙන් ඇතුළට වෙන්න ගෙයක් අරගෙන හිටියේ. තිළිණිගේ අක්කත් මස්සිනා එක්ක අම්පාරේ හිටියේ. “කෑම එකක් ගන්න කඩයක් නෑ අයියෝ. මේක නම් මළවුන්ගේ නගරේ වගේ” ඉඳහිට කෝල් කළාම අක්කා නහයෙන් අඬනවා.
තිළිණි ඒ කාලේ අම්පාරට ආවේ අක්කා බාත්රූම් එකේ ලිස්සලා අත කැඩුණ නිසා. “මේ මනුස්සයට කොච්චර කිව්වත් අහනවයැ. කොහෙද ? බාත්රූම් එකක් යූස් කළාට පස්සේ වයිප් කරන පුරුද්දක් තියෙන්න එපැයි” අක්කා මස්සිනාගේ හත් මුතු පරම්පරාවටම දෙස් දෙවොල් තියන්න ගත්තා. ඒ ලෙවල් කරලා ගෙදරට වෙලා එකල මෙකල වෙවී හිටිය තිළිණිත් බෑ නොකියා ආවා. එතකොට තිළිණිගේ අවුරුදු එක හමාරක ප්‍රථම ප්‍රේමය බිඳිලා විරහා වේදනාවෙන් හිටිය කාලේ. ඔක්කොම අමතක වෙලා යන්නත් එක්ක රටේ අනික් කොණට යන එක හොඳයි කියලා හිතපු තිළිණි අක්කාගේ උදව්වට අම්පාරට එන්න කැමති වුණා.
“අම්මා .. සී… මොස්කිටෝස් .. ” දුව ඇවිත් මූණ බෙරි කරගෙන අත පෙන්නනන කොට තමයි තිළිණිට කාරණේ තේරුණේ. මේ පැත්තේ කොහොමත් මදුරුවෝ වැඩියි. රෑට සාම චෛත්‍ය වඳින්න යනවා නම් මීටත් වඩා මදුරු ප්‍රහාර වලට සූදානම් වෙන්න ඕනේ. “අයි කාන්ට් ෆයින්ඩ් ද රෙපලන්ට්” දුව මැසිවිලි කිව්වා. බෑග් ඔක්කොම පෙරළගෙන බැලුවත් මොස්කිටෝ රෙපලන්ට් එක හොයාගන්න නෑ. “ඔය එහා පැත්තේ ෆුඩ් සිටි එකක් තියෙනවානේ. ඔයා ගිහිං ගේන්නකො” ඒ වෙනකොටත් බෝතලයක් කඩාගෙන බයිට් ඕර්ඩර් කරගෙන හිටිය ක්‍රිෂාන්ත ලේසි උත්තරයක් දුන්නා. මොකටද ඉතිං මගේ කට ! තිළිණි කතා නොකර හැරුණා. කසාද මිනිහෙක් ඕනේ කරන්නේ ඔය වගේ බුද්ධිමත් විසඳුම් දෙන්න තමයි.
ෆුඩ් සිටි එක තියෙන්නේ පරණ රීගල් හෝල් එක යට කිව්වාම තිළිණිට පොඩි සතුටක් ඇති වුණා. දන්න අඳුනන බිල්ඩිමක නමක්. ජීප් එක ස්ටාර්ට් කරගෙන ෆුඩ් සිටි එකට යන ගමං තිළිණිට ඒ කාලේ හිටිය ක්වාටර්ස් එක බලන්න ආසාවක් ඇති වුණා. උසාවි  පාරේ නේ තිබුණේ. හොයන්න අමාරු වෙන එකක් නෑ. එතකොට සෙල්වම් ගේ කඩේත් තාම තියෙනවද ? තිළිණිගේ ඇඟ සීතල වුණා.
තිළිණි අම්පාරේ නතරවෙලා හිටියේ මාස තුනයි. ඒ කාලේ අක්කා එක්ක ගේ ඇතුළට වෙලා කෑම හැදුවා , සිංදු ඇහුවා , ටී.වී බැලුවා , පොත් කියෙව්වා ඇරෙන්න වෙන දෙයක් කළේ ම නැති තරම්. ඇයි දවල්ට ඉතිං එළියට බහින්න බෑ. ඉරට හැතැප්මයි. රෑට එළියට බහින්නේ කොහෙද ? හවස පහ වෙනකොට ටවුන් එකම හැංගිලා ගිහිං. හමුදාවෙන් මීටර් සීයෙන් සීයට. කඩේට ගියා නම් ඒ ගියේ මස්සිනා. පයින් යන දුරක තිබුණේ උසාවි පාරේ තිබුණ සයිවර් කඩේ විතරයි . සෙල්වම් හිටියේ එතන. තිළිණියි අක්කයි ඉඳලා හිටලා පරාටා ගෙනල්ලා කන්න පුරුදු වුණ නිසා තිළිණි ටික දවසකින් තනියම කඩේට යන්න පුරුදු වුණා. ඒ හැම වෙලාවකම සෙල්වම් හිටියේ කඩේ පුරාම දුව දුව වැඩ කර කර. එයා හිනාවෙනකොට හරිම අහිංසකයි. කමිසයක් ඇඳලා ඉරි ඉරි සරමක් අඳින සෙල්වම් ද දකින තිළිණිට මතක් වුණේ “අඹ යාළුවෝ” ටෙලි නාට්‍යයේ නිමල් ව. අශේන් මංජුල පොඩි කාලේ හිනා වුණා වගේ අහිංසක විදියට හිනා වෙන සෙල්වම් , තිළිණි ඉල්ලන දේවල් බෑග් එකකට දාල අත් දෙකෙන්ම දික් කරනවා. අන්තිමට තිළිණිට හැමදාම වගේ රෑට පරාටා කන්න ආසාවක් ආවා. අක්කාගේ උවමනාවට ඉඳි ආප්ප තම්බපු දවසටත් “අපි කඩෙන් පරිප්පු වඩේ ගේමු” කියලා යෝජනා කළෙත් තිළිණි. සෙල්වම් එක්ක කතා කරන්න ලැබුණේ නැති වුණාට ඒ හිනාව දකින එකම තිළිණිට හිත හිරිවට්ටන දෙයක් වුණා.
සෙල්වම්ගේ කඩේ දවස් තුනක් එක දිගට වැහුවේ ඔය කාලේ. තිළිණි එක දවසක් හැරිලා ආවා. අනෙක් දවස් දෙකේම වහලා බව කිව්වේ මස්සිනා. හතරවෙනි දවසේ කඩේ ඇරලා කියලා ආරංචි වුණා. තිළිණි පස්සේ දවසේ ගියේ අද නම් සෙල්වම් එක්ක කතා කරන්නම ඕනේ කියලා හිතලා. සෙල්වම් ව නොදැක හිටිය දවස් තුනට වින්ද දුක දන්නේ තිළිණි විතරයි. අක්කට නම් තිබ්බේ වඩේ කන්න නැති ශෝකය. ඒත් දත කට මැදගෙන ගියාට එදාත් සෙල්වම් හිටියේ නෑ. තිළිණි බඩු ගන්න ගමං අනික් පිරිමි කෙනාගෙන් නිකමට වගේ ඇහුවා මේ ටිකේ කඩේ වහලා තිබ්බේ ඇයි කියලා. “අපේ සෙල්වම්ගේ පවුලට බබා ලැබුණානේ නෝනා” මිනිහා හිනාවෙවී කිව්ව කතාවකට අඬන්න බැරි නිසා තිළිණි ගෙදර ආවා. ආවේ කොහොමද කියලා මතකත් නෑ. ඊට පස්සේ දවසේ රෑට කන අස්සේ  තිළිණි සයිවර් කඩේ සෙල්වම් කියන්නේ බැඳපු එකෙක් ය කියන කතාවත් දිවේ ගෑවි නොගෑවි එළියට දැම්මා. ” මම හිතුවේ ඒ අවුරුදු දාසයක දාහතක වගේ කොල්ලෙක් කියලා” තිළිණි අමාරුවෙන් හිනා වුණා. “ඔය කඩේ කරන්නේ සායින්දමරදු පැත්තේ උං නේ. ඒ පැත්තේ දෙමළ කොල්ලො අවුරුදු දා හතර පහළොව වෙනකොට බන්දනවා.”  මස්සිනා කුකුල් කට්ටක් සූප්පු කරන ගමං කිව්වා. “එල්.ටී.ටී.ඊ එකෙන් බේරගන්නලු එහෙම කරන්නේ. බැඳපු නැති උන්ව යුද්දෙට ඇදගෙන යනවනේ” ඒ වෙනකොට තිළිණිගේ හිත ඇතුළේ වෙන යුද්දයක්. කොහොම හරි සතියකට විතර පස්සේ තිළිණිට එකපාර හෝම් සික් හැදුණා. ඊ ළඟ සති අන්තේ අක්කලත් එක්කම ආපහු ගෙදරටම ආවා.
තිළිණි දැන් ඉන්නේ ජීප් එක උසාවි පාරට හරවාගෙන. අවුරුදු විස්සකට කලින් මස්සිනාගේ ක්වාටර්ස් එක තිබුණ පැත්තට නෙමෙයි අනෙක් පැත්තට වාහනේ දැම්මා. යන ගමං වම් පැත්ත බලාගෙන ගියේ සෙල්වම්ගේ කඩේ තාම තියෙනවද බලන්න. ඉස්සරහින් කොකා කෝලා බෝර්ඩ් ගහපු කෑම කඩයක්. තිළිණිගේ ඇඟ ගැහෙන්න වුණා. කඩේ ඉස්සරහින්ම වාහනේ නවත්තලා කල්පනා කරන්න ගත්තා. සෙල්වම් හිටියොත් මොකද කියන්නේ. කතා කරනවද ? නැත්නම් මොනවා හරි තියෙන දෙයක් සල්ලි දීලා අරගෙන කතා නොකරම එනවද ? කකුල් දෙක මැන්ඩලින් ගහන අතරේ දොර ඇරගෙන එළියට බැස්ස තිළිණි කඩේට ගොඩ වුණා විතරයි , තොප්පියක් දාගත්ත මුස්ලිම් මනුස්සයෙක් “එන්න නෝනා. මොනාද ඕනා” කියලා ඇඟට ගොඩ වුණා. එතකොටයි තේරුණේ. මේක මුස්ලිම් කඩයක්. තිළිණි කලබලේට කොකා කෝලා බෝතලයක් ඉල්ලුවා. මුදලාලි වෙන මොනවාවත් ඕනේ ද කියලා බල කර කර අහනවා. වෙන මොකුත් එපා කියපු තිළිණි නිකමට වගේ මුදලාලිගෙන් සෙල්වම් ගැන අහලා බැලුවා. “මම ඉස්සර අම්පාරේ හිටියා. අපි ඒ කාලේ සෙල්වම් කියලා කෙනෙක්ගෙ කඩේකින් කෑවේ” මුදලාලි ඇහි බැම රැළි කරගෙන අහගෙන ඉන්නකොට තිළිණි පරිස්සමට වචන ඇහිළුවා. “මේන්න මේ හරියේ තිබුණා වගේ මතක” ඊට පස්සෙ  සැනසීමෙන් මුදලාලි දිහා බැලුවා. මුදලාලිගේ කට පුදුමයෙන් ඇරිලා. “අඩේ අප්පා. ෂෙල්වම් ! නෝනා දන්නවද ෂෙල්වම් ව” තිළිණිට හිතාගන්න බැරි වුණා. “අනේ මුදලාලි. සෙල්වම්ලා තාම මෙහෙ ඉන්නවද ? මට හරි ආසයි කතා කරන්න. ඒ කාලේ අපි රෑට කන්න කෑම ගන්නේ ඒ කඩෙන්. ඒ නිසා අපේ ෆැමිලි එකත් එක්ක සෙල්වම් හරි යාළුයි” තිළිණිට කොහොම වචන පිට වුණාද මන්දා. මුදලාලිගේ මූණ ටිකක් වෙනස් වුණා. “අයියෝ නෝනා. ෂෙල්වම් නැති වෙලා දැන් අවුරුදු දහයකට වැඩියිනේ” මුදලාලි කියනකොට මේ පාර තිළිණිගේ කට ඇරුණා. “පොඩ්ඩක් ඉන්න … වෝර් ඉවර වුණේ කොයි කාලෙද ? දෙදාස් අටේනේ. හරි. එහෙනම් අවුරුදු එකොළහකටත් වැඩියි. මම මළ ගෙදරත් ගියා” මුදලාලි ශෝකජනක ආරංචියක් ගාණක් නැතිව රස කර කර කිව්වා. තිළිණි අහගෙන හිටියා.
ආපහු වාහනේට නැග්ග තිළිණි ඉස්සරහා බලාගෙන කල්පනා කළා. මුදලාලි කිව්ව විදියට තව මීටර දෙසීයක් ගිහිං සෙල්වම්ගේ පුතා කරන කඩේ ට ගිහිං පුතාගේ මූණෙන් සෙල්වම් ව දකිනවද ? කියපු විදියට නම් සෙල්වම් මැරිලා තියෙන්නේ නාමල් ඔය ජලශේ ගිලිලා. ඒක සිය දිවි නසාගැනීමක් කියලා සැකයක් තිබුණා කියලා කිව්වේ මුදලාලිමයි. “ඒ ජෝඩුව හිටියේ ෂන්තෝෂෙන් නෙමේලු. රණ්ඩුමලු” අන්තිමට රණ්ඩු දබර වෙලා ගෙදරින් ගිය සෙල්වම්ගේ මිනිය “ටෑන්ක් එකේ” පාවෙනවා කියලා ආරංචි වුණාලු. “මමත් බලන්න ගියා. අයියෝ නෝනා” තිළිණි ඇස් වල කඳුළු පිහදාගෙන ඉස්සරහට ගියා. එතකොට සෙල්වම් ඒ කාලේ කඩේ දවස් තුනක් වැහුවේ මේ දැන් අලුත් කඩයක් කරනවා කියන පුතා ඉපදුණ වෙලාවේ ද ? තිළිණිට හිතට හරි දුකක් දැනුණා. “අපරාදේ. මට තිබුණේ අක්කා එක්ක දරුවා බලන්න යන්න” එහෙම හිතෙනකොටම තිළිණිට ආයෙම පියවි සිහිය ආවා. මොන විකාරද ? රීගල් හංදියට තනියම නොගිය අපි දෙන්නා සයින්දමරුදු යන්න ? “සබන් පවුඩර් ටිකක්වත් යවන්න තිබුණානේ මෝඩ නොවී” එවෙලේ නම් තිළිණිගේ යටිහිත ජයගත්තා. ඔව් ! එහෙම වුණා නම් මේ පුතා එක්ක ඒ පරණ කතන්දර කියන්න තිබුණා. හිතේ අමාරුව යනකම් ම සෙල්වම් ඒ කාලේ හිටිය හැටි ගැන කතා කරන්න තිබුණා. “කොහෙද ! ලොකුකමට දමලා ගහලා ගෙදර ගියානේ” තිළිණි පසුතැවිලි වෙවී මුදලාලි කියපු කෑම කඩේ ඉස්සරහින් බැස්සා.
“වෙද හාමිනේ” නාට්‍යයේ රෙබෙකා නිර්මලී නම් අන්තිමට තලකිරියාගමට එන කමල් අද්දරආරච්චිගේ පුතාව දැකලා නැගිටින්නේ “අන්න පුතේ නෑදෑයො එනවා” කියාගෙන. තිළිණිට මොකක් හරි හින්දා ඒ රූපරාමුව මතක් වුණා. ඒත් ජීප් එකෙන් බැහැලා කවුන්ටර් එකට එනතුරු ම කලින් කඩේ වගේ පිළි ගැනීමක් තිබුණේ නෑ. කඩේ දෙවනත් වෙන්න මහ හයියෙන් දෙමළ සිංදුවක් ඇහෙනවා. කවුන්ටර් එකේ අවුරුදු විස්සක – විසි දෙකක කොල්ලෙක් බුම්මගෙන වගේ සිංදු අහ අහ ඉන්නවා. තිළිණි ආයාසයෙන් ඒ මූණ දිහා බලලා හිනාවෙන්න උත්සාහ කළා. “මොනවද ඕනේ” කිසිම තෙතමනයක් නැතු කටහඬකින් අණ කිරීමක් ඇහුණා. සෙල්වම් නම් කවදාවත් මෙහෙම කතා කරන්නේ නෑ. එයා කොච්චර කඩිසර ද ? “කොකාකෝලා එකක්” තිළිණි බිඳුණ කටහඬින් වචන පිට කරගත්තා. “කූල් නෑ” අර කොල්ලා කරදරකාරී කටහඬකින් වගේ වචන වලින් දමලා ගැහුවා. සෙල්වම්ගේ හිනාව නෑ. ඒ සෞම්‍ය කටහඬ නෑ. ඒ කරුණාවන්ත බැල්ම නෑ. කොටින්ම කිව්වොත් මෙතන සෙල්වම් නෑ. “එහෙනම් එපා” කිව්ව තිළිණි එක පාර කඩෙන් එළියට ආවා. වාහනේ ස්ටාර්ට් කරගෙන වටපිට බලන්නේ නැතිව වේගෙන් ඉස්සරහට ගියා
– සහන් කසීර වික්‍රමසිංහ –
%d bloggers like this: