Menu Close

ඔබ කිසිත් නොකියයි

“අද දවසම වැස්ස,
හීතල එහෙම නැද්ද”
උණු තේ කොප්පයක බහා කකුළ්
ඝන කබායක සැඟවෙමින් මා
ඔබෙන් අසන විට,
ඔබ කිසිත් නොකියයි..

“මට දුකයි අද හොදටෝම
කරදරයි හිතට දන්නව ද හේතුව”
ටිෂූ කොළ  කඳුළු වල පොඟවා
ඔබ දෙසට දිගු කරමින් මම
ඔබෙන් අසන විට,
ඔබ කිසිත් නොකියයි..

“ඔයා දුකින් ද, තරහින් ද
කියන්නට බැරි තරම් ගැටලුද”
මෘදුව මිරිකා කම්මුළ
හාදුවක් දෙමින් මම
ඔබෙන් අසන විට
ඔබ කිසිත් නොකියයි..

මල් සුවඳ රැගෙන ආ සුලඟ ගැන
සුමුදු සුදු පෙණ උණන මුහුද ගැන
පද ලෙහෙන පණ  යදින කවි ගැන
ඔබ කියයි බොහෝ දෑ සිනහසෙයි ඒ ගැන..

ඔබ ඔබ ගැන නොකියන
මා ගැන නොඅසන
ආදරේ යැයි මට කියා
ගල් මලක් අතර සැඟවෙන..

ඔබ ආදරේ කරන
මේ අමුතු විදිහ
මා වෙහෙසන..
ප්‍රේමය මේ තරම්
නිහඬව ගොළුව
වචන නැතිව ද පවතින..
   

%d bloggers like this: