Menu Close

ඔබ ආතුරව නොහිඳින්න

විටෙක රිදෙන හිසය. ඇදුම්කන දෙපාය. ශබ්ද නංවන දණහිසය. හිරිවැටුණ අතැගිළිය. ඇතුළතින් සුසුම් ගිනි ගන්නා හිතය. කඩින් කඩ වැටෙන හුස්මය. විටින් විට සැලෙන මනසය. ඒ අතර අධික වෙහෙසය. මරණය සිහි කරන දිගු රැයවල්ය. නොනිදා දකින සිහිනය.
සොඳුර මේ වසන්තයයැයි නොකියන්න. මේ සෘතුව පාට නොගන්වා යන්න.
කවි අකුරු ගුළි කර ළමැද නොහෙළන්න. සිත්තමක් දෑස් මත නොඅදින්න.
මෘදු ස්වර තාලයට රහස් නොකියන්න. අනේ ඔබ ගොළු වෙන්න. හේමන්තයක මල් පිපෙන බව නොකියන්න.

හිතවත මේ සිසිරය. මා නිද්‍රාවකය. දකිනු රිසි උව දෑස් හරිනු නොහැකිය. මේ මියෙන මොහොතය. සොඳුර එය පහකි. තත්පරය. විනාඩිය. පැයය. දිනය. මාසය. අවුරුදුය. ඔබ නිහඬවම හිදින්න. මට සිසිරයේ දිගු නින්දට ඉඩ දෙන්න.
මේ වසන්තය රැගෙන ඔබ යන්න. ඉවුරු වෙයි බෝහෝ මල් පිපෙන. එහෙව් තැනක නවතින්න. මේ ආදරයම බව දකින්න. ප්‍රේමය ඇත්තේ මියැදීමට බව සිතන්න. එහෙත් ඔබ ආතුරව නොහිඳින්න.

%d bloggers like this: