Menu Close

සතුට____

සුදු පාට නිකොටීන් වලාකුළු සිවිලිමේ වැදිලා පරක් තෙරක් හොයාගන්න බැරිව කාමරේ ඒමේ අත පා වෙනවා… දොළොස්වෙනි  සිගරට්ටුවේ අගිස්ස ක්‍රිම්සන් පාටට දැවෙමින් පෙනහළු පුළුස්සමින්.. මළගෙදර ආපු හැමෝම වගේ යන්න ගිහින්.. තවමත් ගේ ඉස්සරහ එල්ලිලා ඉන්න පොලිතින් සුදු කොඩි  ජෝඩුව  කඩින් කඩ බිමට වැටිලා එක අව් රැල්ලෙන් වේලිලා යන වැස්සෙන් හෙම්බත් වෙලා එකට එකක් ඇලවිලා සුලඟට “සටපට” ගාලා සද්දයක් එක්ක හෙලවෙන හැටි කාමරේට මට පේනවා.. මේසේ උඩබෙලි අතට වැටිලා ඉන්න ගොර්කි ගේ “අම්මා”ගේ පිටු උඩට ඊයේ රෑ ඉහිරුණ තේ කහට පැල්ලම වහගෙන ඉන්න  කළු කූඹි රොත්ත, මේසේ උඩ පැත්තක බාගෙට කාපු රෝස්පාන් කෑලි කඩාගෙන කොහේදෝ පෙරහැරක් යනවා..මට මහන්සියි.. මම එහෙම්මම ඇඳේ ඇලවුනා..

අක්කා ගෙදර තිබ්බ අම්මාගේ බඩු මුට්ටු ටික ඔක්කෝම අතපත ගාගෙන ගියාට පස්සේ, අම්මාගේ කියලා ඉතිරි වෙලා තිබ්බේ අම්මාගේ පරණ සාරි දෙකක් විතරයි.. එක සාරියක් සුදු පාට මල් වැටිච්ච එමරල්ඩ් පාට සිලික් සාරියක්.. අම්මා එක්කම වයසට ගියපු සාරියේ තැනින් තැන නූල් ලෙහිලා ගිහින්.. අනිත් සාරිය සුදු පාට සාරියක්..දිලිසෙන පුංචි ඉමිටේශන් ගල් අල්ලපු..පදාසක්ම මීයෝ පැටව් දාන්න කපාගෙන ගිහින් තිබ්බත් සාරියෙන් ආවේ කපුරු සැවැන්දරා මුල් වල සුවඳ..මට වඩා වයස අම්මගේ මගුල් සාරිය අක්කා ගුලි කරලා මගේ පැත්තට විසි කරන ගමන්  එදා කිව්වේ “අත පිහින්න, නැත්නම් වළං අල්ලන්න එහෙම ගනින්” කියලා.. මම එහෙමම සාරි දෙක නවලා අල්මාරියට දාලා දොර වැහුවා..

නිදාගන්න කියලා ඇස් දෙක වැහුවත් දවස් ගාණක් තිස්සේ නිදාගෙන නැති නිසාද මන්දා නිදාගන්න පටන් ගන්නේ කොහොමද  කියන එක අමතක වෙලා ගිහින්..ඊයේ රෑ උයපු වළං පිඟන් පූසෝ පෙරලන සද්දේ ඇහෙනවා..ඔහේ කාලා ගියදෙන්, පස්සේ අස්කරලා දානවා කියලා මම ආයිත් ඇඳේ එහෙට මෙහෙට පෙරලිලා නිදාගන්න හොද විදිහක් ගැන ඇස් තදකරගෙන හිතන්න පටන් ගත්තා..

“ජනේලේ චුට්ටක් ඇරලා දාලා හුලං ටිකක් එන්න දීපන් කාමරේට”

මම ගැස්සිලා ගිහින් නැගිටලා ඇඳ උඩ වාඩි වුනා..ඇඳේ විට්ටම උඩ වාඩි වෙලා හිටියේ අම්මා.. එමරල්ඩ් පාට සාරියේ ඇත්තටම තිබුණේ සුදු අරලිය මල් මෝස්තරයක් නේද කියලා මම දැක්කේ ඒ වෙලාවේ.. කොණ්ඩේ පිටිපස්සට කරලා බැඳගෙන හිටිය අම්මා මං දිහා බලලා හිනා වෙනවා…

“උඹ මෙහෙම සිගරට් බොන විත්තියක් මම දැනන් හිටියේ නෑ නෙහ්”

බිම වැටිලා තිබ්බ ෆිල්ටර් කොට දිහා බලපු අම්මා, මං දිහා බලලා ආයිත් හිනා වුනා..

“ඇයි මට සිගරට් බොන්න එපා කියලා කියන්නේ නැද්ද”

මම ඇඳ විට්ටමට හේත්තු වුනා..

“උඹ දැනටමත් පෙනහළු දියවෙන තරමටත් වැඩිය සිගරට් බීලා..දැන් බොන්න එපා කියලා මක්කක් කරන්න ද..”

අම්මාගේ ඇස් දිස්නේ දෙනවා..මට ඔනි වුනේ අම්මාව අල්ලලා බලන්න..ඒත් එහෙම කලොතින් අම්මා දුමක් වගේ වාෂ්ප වෙලා යාවි ය, එහෙම කරන්න එපා ය කියලා මගේ යටි හිත උඩුහිත කෙනිත්තුවා..

“ඔයා මැරුණේ නෑ ද?”

මම එහෙම අහනකොට අම්මා මහ හයියෙන් හිනා වෙන්න පටන් ගත්තා..අම්මා  එයාගේ ඇස් වල දිස්නේ කඳුළු කැට කරලා කම්මුල දිගේ පහතට තල්ලු කරනවා දැක්කේ ඒ වෙලාවෙ..

“මම කිහිපවතාවක් මැරුණ ගෑනියෙක් කොල්ලෝ..මේ වතාවේ මට මහන්සියි..ආයිමත් ආයිමත් මැරිමැරී ජීවත් වෙන්න බැරි තරම්.. උඹ ඉස්සරහට කරන්න ඉන්නේ මොකක්ද..මම මැරුණද නැද්ද හොයන්න ගිහින් පිස්සන් කොටුවෙන් නතර වෙන එක ද “

“මම දන්නේ නෑ..දවල්ට කන්නේ මොනවාද කියලවත් මම තාම හිතන්න වද වෙලා නෑ”

“මම කොහොමත් උඹට ඉස්සරහක් දිහා බලන්න උගන්නලා නෑ නෙහ්.. මම මහ නරකාදි අම්මෙක්”

මම අම්මාගේ ඇස් දිහා බැලුවා..ආයිමත් ඇස් වල දිස්නේ කඳුළු වෙලා කම්මුළේ රැළි දිගේ පෙරලීගෙන එනවා..ඒ එක්කම එයා හිනා වෙනවා..

“නෑ නෑ.. ඔයා කොච්චර හොද අම්මෙක් ද..ඇයි මෙහෙම කතා කියන්නේ”

වචන දිව අස්සේ පටලැවිලා.. එළියට ආවේ රොඩ්ඩ..හිත අස්සේ තව කොච්චර දේවල් තිබ්බා ද කියන්න..අම්මා මාව බලාගත්ත හැටි..අම්මා මට කන්න දුන්න හැටි..කොයිතරම් නම් දේවල් හිතේ අකාරාදි පිළිවෙලට ගොඩ ගැහිලා තිබුණත්, දිව වචන වලට පෙරලන්නේ රොඩ්ඩක් විතරයි..මම කාමරේ ඇතුළේ පාවෙලා යන වලාකුළක් පපුව අස්සට අරගෙන තොල් අස්සෙන් පිට කලා..

“මට මාවම තේරුම් ගන්න බැරි තැන,තැනින් තැනට හිත බට්ටා පනිනකොට,මම දැනන් හිටියේ නෑ ලෝකය කොයිතරම් පුස්සක් ද කියන එක..මම හොයන් ගියේ ආදරේ ද, ජීවිතේ ද කියන එක අඩි හයක් යට වැළලුනාට පස්සෙත් මට  තේරුම් ගන්න තවමත් අමාරුයි..”

අම්මා මේසේ උඩ හිටිය කළු කූඹි රොත්ත දිහා බලාගෙන කියවනවා..’ උඹ මෙතන හිටියත් නැතත් මට ගාණක් නෑ වගේ’ සිගරට් දුම් රංචුවක් දිහා බලාගෙන කියවනවා..කිලිටි ඇඳ රෙද්ද දිහා බලාගෙන කියවනවා…ඒවා හරියට මිමිණුම් වගේ..මට මතකයි අම්මා මම පුංචි කාලේ මට ඇහෙන්න කවි මෙහෙම මුමුණනවා..ඒ කවි මොනවාද කියලා හරියට නිච්චි නැතත්, මිමිණුම් සද්දය පුංචි කාලේ මතකයක මිණි ගෙඩියක් සොලවනවා..

“මුලින්ම උඹේ තාත්තා, ඊට පස්සේ සරත්, ඊට පස්සේ සුමල්, අතවැරද්දක් වගේ ලං වෙච්ච සුමනා.. උඹේ අම්මාගේ ජීවිතේ සරල රේඛාවක් නෙමෙයි දරුවෝ..එන්න එන්නම ජීවිතේ නූල් බෝලයක් වගේ අවුල් වෙලා යනකොට ආයිත් මම උඹේ තාත්තා ගාවට ආවා..උඹයි උඹේ අක්කයි පුංචියි..මට හොද අම්මෙක් වෙන්න පුළුවන් වුනා නම් කියලා වෙලාවකට හිතෙනවා”

“මට හැමදාම ඔයා හොද අම්මෙක් වුනා..මම දැනන් හිටියා ඔයා රූබික් කැටයක් වගේ ගෑනියෙක් විත්තිය..”

“අනේ මගේ කොල්ලෝ”

අම්මා මගේ දිහා බලාගෙන හිනා වුනා..මමත් හිනා වුනා..අවුරුදු ගණනවකට කලින්,අම්මාගේ මොළේ පිළිකාවක් විත්තිය දැන ගන්න කලින්, අම්මාගේ මූණේ තිබ්බ හිනාව ඒ..මෑත අවුරුදු කිහිපයක මතක වල හිටිය අම්මා, හිනා වුන කෙනෙක් නෙමෙයි..නිතරම ඇස් තද කරගෙන හිටිය, ඔළුව පුපුරන්න එනවා ය කියලා කෑ ගහන, කෙසඟ කෙඩෑරි වෙච්ච ගෑනියෙක්.. ඒ ගෑනු කෙනාගෙන් මිදිලා අම්මා ආයිත් සුපුරුදු අම්මා වෙලා හිනා වෙනවා..

පුංචි කාලේ අම්මා අපිව දාලා යනකොට, අක්කා තාත්තා ගාවට තුරුල් වුනත්, මම හැමදාම දොර ගාවට වෙලා බලන් හිටියේ අම්මා එනකන්.. ආයිමත් එනකොට තඩිස්සි වෙලා රතු වෙලා තිබ්බ අම්මාගේ ඇස් වලට දොර ගාව ඉන්න මාව පේන්නේ කලාතුරකින්.. එහෙම ඇවිත් කාමරේ දොර වහගෙන පැය ගණන් කාමරේට වෙලා පොතක් කුරුටු ගාණ අම්මා, ආයිමත් එළිවෙලා මාව හොයාගෙන ඇවිත් කතන්දර කියලා දෙනවා..අක්කා අම්මාගෙන් ඈතට ගහගෙන ගිහින් තාත්තා ගේ අත්වල හිර වෙද්දි, මම අම්මාගේ අත් වල උණුසුම හොයාගෙන පුළුවන් තරම් වේගෙන් පීනුවා..අන්තිමට මහරගම ඉස්පිරිතාලෙ ඇඳක් උඩට වෙලා පිරිවානා පොත් වහන්සේ කියව කියව ඉන්න අම්මා ගාව නතර වුනා…ඒ වෙනකොට අම්මාගේ අත් වල උණුහුම පහ වෙලා ගිහින්..මම අම්මා තාත්තා දෙන්නාගේ මැද්දේ පාවෙන්න පටන් අරගෙන..

“මට සදාකාලෙටම මතක හිටින මතකයක් දීලා යන්න..මට අම්මා ගැන තියෙන මතක කළු සුදුයි..වර්ණවත් මතක ගොඩ ගහගන්න අපි දෙන්නාටම මඟහැරිලා..අම්මා යන්න ගියාට පස්සේ ඉතිරි ඔයාගේ සාරි දෙක විතරයි..”

අම්මා හිනා වෙලා මං දිහා බලන් හිටියා..

“මගේ කාමරේ මේස ලාච්චුවේ ඇති පොත් දෙකක්..ඒ දෙක තියාගනින්..ඒ පොත් දෙකේ ඇත්තේ මම ජීවිත කාලයක් තිස්සේ ලියපු බලි සටහන්..උඹ ගැන, අක්කා ගැන..මැරෙනකන් මම හොයපු ආදරය ගැන..මට නොලැබුන, තියෙනවා ද නැද්ද කියලා මැරුණට පස්සේවත් නොදන්න ජීවිතේ ගැන ලියපු දේවල්..උඹලගේ තාත්තා   ගල් කණුවක් වෙච්චි, මම කළු ගඟ වගේ ඔහේ ගලාගෙන ගිහින් හොයාගත්ත දේවල් ගැන.. උඹට පුදුමයි නේද…උඹට දුකයි ද..පුතේ සදාකාලය කියලා දෙයක් නෑ..සදාකාලය කියන්නේ අපි අපිම වෙලා ජීවත් වෙන පුංචි කාලයකට..උඹ තවමත් පරක්කු නෑ..උඹට තව කාලය ඉතිරි..මගේ සටහන් මාර්ගෝපදේශයක් කරගන්න එපා.. ඒ මාර්ගේ ගිහින් ජීවිතේ සතුට මට හොයාගන්න බැරි වුනා.. ඒ මට වැරදිච්ච පාරවල්..උඹ ඒ වැරදිච්ච පාරවල් ගැන කියවලා හරි පාරක් අලුතින් හොයාගනින්..”

අම්මා ඇඳ විට්ටමින් බැහැලා කාමරෙන් එළියට යන්න ගියා..

**************

මම හිටියේ ඉස්සරහම පෝළිමේ ඉඳගෙන..පොත එළිදක්වන උත්සවයට හිතුවට වඩා ලොකු සෙනඟක් ඇවිත් කියලා අල්ලපු පුටුවේ වාඩි වෙලා හිටිය අක්කා කනට කොඳුරාලා කියලා හිනා වුනා..  පොත ගැන දෙසුමට කරන්න ආපු මහත්තයා මයික් එක ඉස්සරහ ඉදගෙන එක දිගට මහ විසාල බර වචන කියවනවා.. ගොඩක් අය ඔළුව හොලවන්නේ  ඒ වචන තේරුනා කියලා පෙන්නන වෙන්න ඔනි..

“මේ පොතේ ඉන්න ගෑනු කෙනා තමන්ගේ සතුට තමන්ගෙන් පිට දේවල් වලින් හොයාගෙන ගියපු කෙනෙක්.. ඒත් අන්තිමට සතුට සෙවීමේ කාර්‍යය තමන්ගේ පුතාට පවරලා එයා අතුරුදහන් වෙනවා..ඒත් පුතා සතුට සොයාගත්තා ද නැද්ද කියලා තීරණය කරන්න පාඨකයාට බාර කරලා රචකයා කතාව නවත්තලා තියෙනවා..ඇත්තටම ඔහු සතුට සොයාගන්න ඇද්ද..”

ශාලාවම එකම සමාධියකින් වෙලිලා..මම ස්තූති කතාව කරන්න මයික් එක ගාවට ගිහින්  දේශන වලින් හෙම්බත් වෙච්ච මූණු දිහා ටික වෙලාවක් බලන් හිටියා…

“ඇත්තටම සතුට හොයාගන්නේ කොහොමද.. අපි සතුට අඳුනන්නේ නැත්නම්” ස්තූති කතාව ගොරෝසු කරපු බිත්ති වල වැදිලා බිමට දිගේ බේරුණා..

%d bloggers like this: