Menu Close

පාසැල් අධ්‍යාපනය ගැන විමසීමක්: ‘ළඟම ඇති හොඳම පාසැලේ‘ ගුරුවරයා කවු ද?

(2019 සැප්තැම්බර් 15 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)


සතිපතා බොහෝ විට අඟහරුවාදාවේ ලියැවෙන මෙම කුඩා තීරුව සඳහා මෙවර උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව හා සම්බන්ධ කරුණක් මතු කරන්නට සඳුදා රාත්‍රිය තෙක් සිතා උන්නෙමි. ඒ අදහසින් අඟහරුවාදා උදෑසන අවදිව, ලිවීමට හිඳ ගන්නට මත්තෙන් ෆේස්බුක් අඩවිය වෙත නෙත් යොමු කළ මට මගේ පෙර විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ ස්වාමි පුරුෂයා තබා ඇති වේදනාබර සටහනක් නෙත ගැටිණ. සිය බිරිඳගෙන් සහ සිඟිති දියණියගෙන් දුරස්ව, බැහැර පාසැලක ගුරුවරයෙකු ලෙස සේවය කරන ඔහු, සිය සේවා මාරුව වෙනුවෙන් යළිත් ඉල්ලීම් කරන්නට ඉසුරුපායට ගිය අන්දමත්, සුපුරුදු පරිදි එය ප්‍රතික්ෂේප වූ අන්දමත්, හදිසියේ මියගිය ලොකු අම්මාගේ මළගමට සහභාගි වන්නට නිවාඩු නොලද බිරිඳ හා තවත් අන්තයක, වෙනත් නෑ නිවෙසක තැබූ දියණිය සමග අවසන් නිමේෂයේ දී ගිය අන්දමත්, පෙරළා සිය සේවා ස්ථානය වෙත එන්නට පිටත් වන විට රෝගාතුර වෙමින් සිටි දියණිය හා බිරිඳ ඔවුන්ගේ වාසය වෙත යන්නට මග දමා එන්නට වූ අන්දමත්, ගමන අතරතුර බිරිඳගේ මාලය මංකොල්ල කා ඇති බව දුරකථනයෙන් සැලවුණු අන්දමත් සිය අඩවියේ ලියා තිබිණ. එය ඔහු අරඹා තිබුණේ ‘ජීවිතයේ තුප්පැහිම දිනය අවසානයේ ලියමි‘ යනුවෙන් මාතෘකා තබමිනි.

මෙම සටහන තබන්නට තීරණය කළ තරුණ ගුරුවරයා හා ඔහුගේ බිරිඳ මෙන්ම ඔවුන් දෙදෙනාගේ දියණිය රාජ්‍ය සේවයේ දුෂ්කර සේවා, ස්ථාන මාරු පිළිබඳ නීති රීති යනාදිය හේතුවෙන් පීඩනයට පත්ව සිටින මෙරට එකම පවුල නොවන අතර ඔවුන් මුහුණ දී ඇති දුෂ්කරතා පෙළ එවැන්නන් මුහුණ දී ඇති දුෂ්කරතා අතර ඉහළම අංකයේ සඳහන් කළ හැකි දුෂ්කරතාව නොවන බව ද මම දනිමි. මා අසා දැක ඇති කාරණා සියල්ල ඉක්මවූ, ඇදහිය නොහැකි තරමින් දුෂ්කරතා හා වඳ වේදනා විඳිමින් සිය ‘සේවය‘ රාජ්‍යය වෙත ලබා දෙන ගුරුවරුන් ඇතුළු රාජ්‍ය සේවකයින් වන බව ද මම දනිමි. එහෙත් ඉහත සටහන මේ සියල්ල පිළිබඳ ප්‍රකාශිත උදාහරණයක් අප ඉදිරිපිට තබා ඇති හෙයින් ‘හොඳම පාසැල ළඟම පාසැල‘ කරන්නෙමැයි ද, සියලු පාසැල් දරුවන් වෙත ටැබ් ලබා දෙමින් ඩිජිටල් ලෝකයේ දොර විවිර කර දෙන්නෙමැයි ද යනුවෙන් හාස්‍යජනක අධ්‍යාපනික ‘සිහින‘ දිවයින හමුවේ තබන පාලකස්ථානය වෙත හැරී විමසිය හැකි ප්‍රමුඛ ප්‍රශ්නයක් වෙනුවෙන් ඒ පෙරමුණට කැඳවිය යුතු බව මගේ යෝජනාවයි.

‘ළඟම පාසැල හොඳම පාසැල‘ වූවත්, නොවූවත් මෙරට ප්‍රාථමික හා ද්වීතියික අධ්‍යාපනය වඩාත් යහපත් මට්ටමින් පවත්වාගෙන යාමට වඩා කාර්යක්ෂම ගුරු සේවයක් පැවතීම අත්‍යාවශ්‍ය කරුණකි. සැබෑ වගකීමෙන් සිය පාසැලට එන දරුවාට අදාල වෛෂයයික දැනුම ලබා දීමට නම් ගුරුවරයා/ ගුරුවරිය පූර්ණ සහ තෘප්තිකර ලෙස සේවය ලබා දීමට සූදානමින් සිය සේවා ස්ථානය වෙත පිය එසවිය යුතු ය. ඒ සඳහා බලපාන බොහෝ කාරණා පෙන්වා දිය හැකි වන නමුත් අදාල වෘත්තියට ගැලපෙන වැටුපක් ලැබීමත්, ස්වකීය පුද්ගල ජීවිතය වඩා යහපත් ලෙස පවත්වාගෙන යාමට එම වෘත්තීය ජීවිතය වෙතින් ලැබෙන පිටුවහලත් අදාල කරුණු අතර පෙරමුණෙහි වන බව බොහෝ දෙනෙකු පිළිගනු ඇති බව මගේ විශ්වාසයයි.

මගේ මෙම ලිපියේ අද යොමුව ගුරු වැටුප ගැන නොවෙතත් එය ගුරුවරයෙකුගේ සේවයේ ස්වරූපය හා විමසීමේ දී කිසිදු අයුරකින් තෘප්තකර මට්ටමක නොපවතින බව පිළිගැනීමට බාහිර උදාහරණ ගෙන ඒම අනවශ්‍ය ය. දීමනා ද සහිතව අලුතින් පත්ව එන උප ගුරුවරයෙකු අතට ලැබෙන මාසික වේතනය රුපියල් 40,000ක පහතින් වන බව සැවොම දනිති. විවිධ අභ්‍යන්තරික උසස්වීම් හා විභාගාදිය පසුකරමින් ගුරු සේවයේ ඉහළටම යන්නෙකුට ලැබෙන්නේ රුපියල් 50,000ක පමණ වැටුපක් බව වසර 20කට ආසන්න සේවයක් ඇති, අදාල වෘත්තියේ නිරතව සිටින මගේ මිතුරෙකු ස්ථිර කොට කීවේ මේ දැන් ය. අධික ජීවන බරින් මිරිකෙන ගුරු වෘත්තිකයින් වැඩි පිරිසක් සියල්ල පසෙක තබා ටියුෂන් වෙළඳාම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ තෝරාගැනීම පසුපස ඇති ඛේදනීය සත්‍යය මේ වැටුප් අර්බුදයයි.

වැටුපට පසු දිනක එමු. මගේ අද මූලික යොමුව ඒ නොවන බව ඔබ දනියි. මා, මෙම ලිපියට පාදක වූ ෆේස්බුක් සටහන පෙරමුණේ තබමින් අසන්නේ වැටුප යම් තෘප්තකර තැනකට පැමිණියත් ගුරුවරයා පාසැල තුළ සේවය කරන්නේ සතුටින් ද යන්නයි. විෂම පිළිතුරු හමුවිය හැකි වෙතත්, මගේ මූලික නිරීක්ෂණය ඔබ වෙත ඉදිරිපත් කළ පසු අපට එකම වේදිකාවක අසුන් ගැනීමට තරම් කරුණු මුණගැසෙනු ඇත.

පාසැල් පද්ධතිය වෙත ගුරුවරුන් බඳවා ගැනෙන ක්‍රම ඇත්තේ කිහිපයකි. පළාත්බද හා ජාතික පාසැල් මට්ටමින් ගුරුවරුන් පාසැල්වල ගුරු සේවය සඳහා බඳවා ගැනෙන අතර, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ආරම්භ කරන්නටත් මත්තෙන් වරක් මාහට ද ගුරු සේවයට බැඳීමට අවස්ථාවක් ලැබුණේ උසස් පෙළ ප්‍රතිඵල පදනම්ව පැවැත්වූ විවෘත තරග විභාගයකින් සමත්වීම හේතුවෙනි. එය වර්තමානය වන විට උපාධිධාරීන් වෙනුවෙන් වන තරග විභාග හා/හෝ සම්මුඛ පරීක්ෂණ සහ අධ්‍යාපන විද්‍යා පීඨවලින් පිටවන නවක ගුරුවරුන් සඳහා වෙන්වුණු බඳවාගැනීම් වශයෙන් ආකාර දෙකකින් පවතින බව නිරීක්ෂණය කළ හැකි ය. එක් එක් පළාත් සභාවල අධ්‍යාපන අමාත්‍යාංශ තව පළාත තුළ පවතින ගුරු පුරප්පාඩු පදනම්ව කලින් කලට නව බඳවාගැනීම් සඳහා අයදුම්පත් කැඳවනු අපට ජාතික පුවත්පත් හරහා නිරීක්ෂණය කළ හැකි ය. මේ සියල්ලෙන් සමත්ව ගුරු සේවයට එක් වන තරුණ, ක්‍රියාශීලී සහ උද්යෝගිමත් නවක ගුරු භවතුන් හමුවේ හමුවන, බොහෝ අවස්ථාවල මග හැර යා නොහැකි, පළමු සේවා යොමුව ‘දුෂ්කර සේවය‘යි!

‘දුෂ්කර‘ හා ‘අති-දුෂ්කර‘ යනුවෙන් ද ‘ජනප්‍රිය‘ හා ‘ජාතික‘ යනුවෙන් ද වශයෙන් පාසැල් විවිධාකාරයෙන් වර්ග කර ඇති රටක අප ජාතික ගුවන්විදුලියේ නිරතුරුව විශාල වැයකින් ප්‍රචාරය කෙරෙන ‘හොඳම පාසැල ළඟම පාසැලයි‘ ප්‍රචාරක පටය අසමින් සිටිමු. ඒ අසමින්ම අලුතින් පත්වන තරුණ ගුරුවරුන්/ගුරුවරියන්ගෙන් බහුතරයක් ඔවුන්ගේ කැමැත්ත ඇතිව හෝ නැතිව දුෂ්කර සේවයට තල්ලු කොට එය ගුරු සේවයේ ස්වභාවය හා නීතිරීති බව ස්ථිර කරමු. නමුත් මේ අදූරදර්ශී ක්‍රියාවෙන් සිදුවන හානිය කොපමණ ද?

ගුරුවරයකු හා ගුරුවරියක පමණක් නොව ඕනෑම වෘත්තිකයෙකු සේවයට බැඳුණු පමණින් හා සේවයේ දිවුරුම් දීමේ දී රට තුළ ඕනෑම තැනක සේවය කිරීමට එකඟ බව අත්සන් කළ එකඟ වූ පමණින් ඔහු හෝ ඇය ඒ සඳහා අත්‍යන්තයෙන්ම එකඟ බව නොහැඟවෙන බව සරල සත්‍යයකි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය හෝ අධ්‍යාපන විද්‍යා පීඨ අධ්‍යාපනය නිමා කළ විගස විවාපත් වීම, දරුවන් තැනීම හා ඇතැම් විට වයස්ගත වෙමින් සිටින මාපියයන් රැක බලා ගැනීම ආදිය සිය පෞද්ගලික ජීවන ඉලක්ක බවට පත් කරගෙන සිටින තරුණ ගුරු වෘත්තිකයින් නියත දුෂ්කර සේවය සඳහා පිටත්ව යන්නේ එහි ඇති අනිවාර්ය බව නිසා මිස වෘත්තියට ඇති ලැදියාව හෝ ගම් ඈත පිටිසර ගමක දරු දැරියන්ට සේවය කිරීමේ ‘දුයිෂෙන් ආකාර‘ අරමුණු නිසා නොවේ. එහි කාල සීමාව වසර 5ක් දක්වා දීර්ඝ වීමත් සමග විවාහ ජීවිතයක සතුට හමුවන මුල් සමය, සිය දරුවන්ගේ ළදරු අවදියේ ඔවුන් අසලම ගෙවිය යුතු, දරුවන්ගේ පෞරුෂ වර්ධනයට බලපාන සමය ඈ සියල්ලම නවක ගුරුවරයාට/ගුරුවරියට අහිමි වී යයි. ප්‍රතිඵලය ගුරුවරයාගේ අතෘප්තිකර සේවය හරහා දුෂ්කර පාසැල්වල දරුවන් ද අති දුෂ්කර අධ්‍යාපනයකට මුහුණ දීමයි. වසර පහක චක්‍රයෙන් ගැලවී, දේශපාලනික හෝ වෙනයම් මාර්ග ඔස්සේ මේ නියත චක්‍රයෙන් පළා යන ගුරුවරුන්ගේ පුරප්පාඩු පිරවෙන්නේ එවැනිම නියත දුෂ්කර සේවය සොයා එන අතෘප්තිකර ගුරුවරයෙකුගෙන් නිසා තත්වයෙහි ලොකු වෙනසක් බලාපොරොත්තු වීම අසීරු ය. අනෙත් අතට එක් කොටසක් නීත්‍යානුකූල නොවන මාර්ගවලින් නගරයට හෝ ආසන්න පාසැල් වෙත මාරු තනා ගැනීම ඉතිරි පිරිස වෙත තනන්නේ තව දුරටත් කළකිරීම හා අප්‍රසාදය මුසු පසුබිමකි.

මේ විෂම චක්‍රය කැඩීමට හැකි ක්‍රම සෙවීමට අධ්‍යාපනයේ අනාගතය ගැන විමසන සැම කටයුතු කළ යුතු ය. මට පෙනෙන ආසන්නතම ප්‍රායෝගික යෝජනාව ‘දුෂ්කර‘ (දුරබැහැර) පාසැලක සේවය කිරීමේ නියත තත්වය සිය සේවා කාලය තුළ තමන්ට වඩාත් පහසු අවස්ථාවක තෝරාගැනීමට ඇති ඉඩ ගුරුවරයා වෙත ලබාදිය යුතු ය යන්නයි. ඒ හා සමග ‘දුෂ්කර‘ යනුවෙන් පාසැල් ප්‍රවර්ගයක් පවතින්නේ නම් වඩාත් ආකර්ෂණීය තත්ව නිර්මාණය කරමින් ඒ වෙත ගුරුවරුන් කැඳවිය හැකි උපාය මාර්ග විමසිය යුතුය යන්නයි. සමස්ථ වැටුපම ආකර්ෂණීය තැනකට ගෙන එන අතර මේ බැහැර පාසැල් ගුරුවරයාට ද (දැනට ඇති සුළු වැඩිවීම ඉක්මවූ) හැඟෙන සුළු ගෙවීමක් කිරීම මෙන්ම ඔවුන්ට වඩාත් තෘප්තිකර ජීවිතයක් ගෙවිය හැකි තරමට ගුරු නිවාස තනා දීම ආදිය එක්වරම සිතට නැගෙන කාරණා ය.

කිසිදු අතිකාල දීමනාවක් හෝ නොලබමින්, අනාගත සමාජයේ රුවගුණ තැනීමට වෙහෙසෙන ගුරුවරයාගෙන් තත්‍ය සේවාවක් ලබාගත හැක්කේ එවිට ය. වඩාත් වගකීම්සහගත ගුරු වෘත්තියක් වෙනුවෙන් කැප වී සිය සේවය සළසන්නැයි අපට ඔවුන්ගෙන් ඉල්ලා සිටිය හැක්කේ එවිට ය.

-ප්‍රියන්ත ෆොන්සේකා-  

%d bloggers like this: