Menu Close

චාන්දනී පායලා : සාහිත්‍යයික ප්‍රේමය අතික්‍රමණය කිරීම

ප්‍රේමයෙන් ආතුර වූ තරුණයෙක් ගේ නොදැමුණු සිතිවිලි ද , ඔහු කෙරේ බලපවත්නා ප්‍රේම රික්තකය ද , ප්‍රේමය උදෙසා ඔහු තුළ ජනිත ලාලාසව ද පවසන “චාන්දනී පායලා” යනු නිලාර් එන් කාසිම් විසින් භාතිය – සන්තුෂ් හට රචනා කරන ලද රමණීය ගී පද වැල් අතරින් එකක් පමණකි. ශ්‍යාමලංගන් ශ්‍රී රංගනාදන් විසින් පූර්ව නිර්මිත තනුව සමග මෙම ගීතය සමකාලීන ලාංකේය ගීත ක්ෂේත්‍රය තුළ නැවුම්හැඟීමක් සහ අපූර්ව හැඩයක් සලකුණු කළ බව සිහිපත් කළ යුතුමය.
නිලාර් එන් කාසිම් නම භාතිය සහ සන්තුෂ් යන නාමයන් සමග ඇසෙන්නට ගන්නා මොහොත අමතක කළ නොහැකිය. එය ලාංකේය විචාරකයින් විසින් බටහිර ආර රැගත් තරුණ සංගීතකරුවන්ගේ මුවහමට රිසි ලෙස තඩිබාමින් සිටි මුරුගසන් යුගයකි. ඒ වන විටත් සුසාධිත සංගීත කලාවේ පිලිස්තීනු සතුරන් ලෙසින් හංවඩු ගසා තිබූ භාතිය – සන්තුෂ් හට නිලාර් එන් කාසිම් සම්බන්ධ වීම වනාහි ඔවුන් දෙදෙනාගේ ගායන දිවියේ සුවිශේෂී කඩඉමක් ලෙස හැඳිවීමට නොපැකිළෙමි. මන්ද යත් නිලාර් ගේ පද මාලාවන් ගැයෙන්නට වූවාත් සමග භාතිය – සන්තුෂ් කෙරෙහි තිබූ සමාජයීය ආකල්පය යහපත් දිශානතියකට යොමු වූ බැවිනි. ඒ වන විටත් “සිරිසඟබෝධි මාලිගාවේ දී මා” ගීතය නව්‍යකරණය කිරීමේ සිදුවීමේ ලා දැඩි ප්‍රහාරයකට ලක් ව සිටි මේ අති දක්ෂ තරුණ ගායක යුවළ නිලාර් ගේ අර්ථපූර්ණ ගීත රචනා කලාව සමග කිසිවෙකුටත් අභියෝග කළ නොහැකි නවතම සංගීත මගකට පිවිසුණහ. “තාරුණ්‍යයේ” ගීත ඇල්බමයට තාරුණ්‍යයේ , උන්මාදිනි හැංගුණා වැනි ගීත ලියූ නිලාර් අනතුරුව “නේත්තරා” ඇලබමයේ එන චාන්දනී පායලා , කිරිකෝඩු හිතට , ගාඩි රංචුවේ, මීදුම උතුරන සඳපානේ වැනි ගීත ලියමින් අර්ථ රසය සහ ශබ්ද රසය අතර පරතරය පියවාලමින් , භාතිය – සන්තුෂ් ගීත ෂානරය සමග නිර්භීතව ගැටෙමින් එක්තරා යුගයක් සනිටුහන් කළේය.
චාන්දනී පායලා සීත සැලුවා යනු එහි එක්තරා කඩඉම් ගීතයකි.
තරුණ ජීවිතය තනිකඩය. හිස්කමින් පිරී ගිය සිත තව දුරටත් පෑරී ඇත. ඒ ඇසෙද්දී සිහියට නැගෙන්නේ දසකයකට පමණ ඉහත දී නිලාර් විසින් සමන්ත පෙරේරා වෙනුවෙන්අකුරු කළ මේ හා සමාන අත්දැකීමකි.
හිත මනමාලකම් කරයි
සිතිවිලි සීතලෙන් ගැහෙයි
අඳුරේ නුහුර සැරිසරයි 
ගී කිරිල්ලියේ 
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි
එදා උණුසුම් පියාපතක් ඉල්ලා සිටි තරුණයා ආයාචනාත්මකය. සංසුන්ය.බයිබලයේ එන කොරින්ති පාඨයක් මෙන් ඉවසිලිවන්තය. බලාපොරොත්තු සහගතය. නමුත් අද නිලාර් ලියන චාන්දනී පායලා ගීතයේ දී අපට හමු වන්නේ හාත්පසින්ම වෙනස් , සීමා මායිම් වලින් අවසඟ , තාරුණ්‍යයේ හඬ අවදි කරන ප්‍රේමවන්තයෙකි. ඔහු තවදුරටත් ඉවසන්නට සූදානම් නැත. අතීතය පිළිබඳ හෝ වර්තමානය පිළිබඳ තෘප්තිමත් ද නැත. ඉනික්බිති ඔහු වද වන්නේ මතු දවස ගැන ය. මතු දවසේ ඔහු ලබන තරුණිය ගැන ය.
චාන්දනී පායලා සීත සැලුවා මේ රාත්‍රියේ 
ජීවිතේ අවපසයි මන් තවම සීතල කළුවරේ
චාන්දනිය හෙවත් සඳ පායන ලද බව පවසන්නේ එකී තනිකඩ තරුණයා ය. එ’සඳ රාත්‍රියට සිසිලස උදා කළ බව පවසන්නේ ද ඔහු ය. නමුත් තමා ගෙවන්නේ ජීවිතයේ අවපස කාලය බව පවසන්නට අමතක නොකරන මේ තනිකඩ පෙම්වතා ඒ ජීවිතය සීතලෙන් සහ කළුවරෙන් වැසී ගෙවී යන බව ද අවධාරණය කරයි. සඳ පායා ඇති කලෙක මේ තනිකඩ ප්‍රේමවන්තයෙකුට කළුවර වැටෙන්නටත් සීතල පමණක්ම දැනෙන්නටත් හේතුව කුමක්ද? තම ජීවිතය සඳෙහි දීප්තිය සහ ප්‍රමාණය කෙමෙන් කෙමෙන් අඩු වී යන අවපස කාලය බඳු යැයි පවසන්නට හේතුව කුමක්ද ?
අඳුර සහ සීතල ට හේතුව වන්නේ ඔහුගේ ජීවිතයේ දැල්වෙන නොතිත් ආශාවයි. වළාකුල් අතරින් ඇදී තමා වෙත එන ලෙස රම්බරියට කරන ඇරියුම දෙස බලන්න. අවිනිශ්චිතාර්ථයෙන් ඔබ වේද යනුවෙන් පවසනවා විනා ඔබ එන්න යැයි පවසන්නට තරම් තරුණයාගේ සිත ශක්තිමත් නැත. නමුත් මේ සියල්ලටම වඩා ප්‍රේමාවේගය බලවත් ය.
මේකුළු මතින් ඇදී 
ඔබ එන්න මා කෙරේ
ඔබ වේද මතුදාක මා ලබන රම්බරී
රම්බරී තරම් සිංහල ගීත කලාවේ විවිධ මානයන්ගෙන් ඇගයෙන වෙනත් දෙවඟනක් සිටීදැයි සැක සහිතය. කරුණාදාස සපුතන්ත්‍රී ලියන “මාරම්බරී ” සමග මැවී පෙනෙන්නේ ප්‍රභා රන් කැලුම් දී නෙත් සලන , කෝල වී මුව මදහස පාන රම්බරියකි. මනුරංග විජේසේකර ලියන “රම්බරි කියපං උඹෙ නොම්මරේ” සමග මැවෙන්නේ තන්දුරි අනුභව කරන , ලුණු දමා සම්බෝල කොටන , රෑ පුරා වතුර ගලන වහලයක් යට සිටින රම්බරියකි. රම්බා දෙවඟන හෙවත් පරමාදර්ශී පෙම්වතිය ඔවුනොවුන්ට සාපේක්ෂව සිතේ ඇඳෙන අතරවාරයේ නිලාර් සපුතන්ත්‍රී පසුව යමින් , මනුරංග ට පළමුව එමින් වුවද මධ්‍යම ප්‍රතිපදාව තෝරා ගන්නට තරම් සූක්ෂම වන්නේය. ඔහු මවන රම්බරිය පෙම් හැඟුමෙන් කුල්මත් වූ හුදෙකලා තරුණයෙක්ගේ යටි හිතේ හීන මවන්නීය. තරුණයාගේ දෙකොපුලෙන් කඳුළු ගලන්නට සලස්වන්නීය. ඇස් අගින් කවි ගී ලියන්නීය. මෙලෙස රම්බරිය දෙව්ලොවින් මිහිමතට කැඳවන නිලාර් ඇයට ප්‍රේමය ආශ්‍රිත සුදුසු නවාතැනක් තෝරා දීමට ද ප්‍රවේසම් වන්නේය.
සරස වසන්තය | නිලාර් එන් කාසීම් | 2018
“වචන පරාජය වන්නේ කොතැනද, එතැන සංගීතය ප්‍රබල වේ” යනුවෙන් වරක් හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් පැවසුවාය. චාන්දනී පායලා ගීතය අසන සහෘද අප ඉදිරියේ ඇත්තේ තරාදියකි. එක් පසෙක නිලාර් එන්. කාසිම් ය. අනෙක් පස ශ්‍යාමලංගන් ශ්‍රී රංගනාදන් ය. තුලාව එක් පසෙකට හෝ නැඹුරු වන්නට නොදෙන පද රචකයා සහ සංගීතඥයා හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ගේ උපකල්පනය , උපකල්පනයක් ලෙසම පවතින්නට වග බලා ගනී. පසුව ලියන ලද වචන සහ පළමුව යෙදූ සංගීතය මවන්නේ සොඳුරු සත්සර සංයෝගයකි. හින්දි අනුකාරක ගීත ඉතිහාසය තුළ තනුවට ලියැවුණු මිහිරි ගීත සිය දහස් ගණනක් ඇති බවින් පූර්ව නිර්මිත තනුවකට වචන ගැලපීම එතරම් අසීරු කටයුත්තක් නොවේ යැයි කෙනෙකුට සිතෙන්නට ද පුළුවන. නමුත් එම ගීත නාද මාධූර්යයම හැරුණු කොට අර්ථ මාධූර්යය කෙරෙහි අවධානය යොමු කළේ ද යන්න විමර්ශනයට බඳුන් කළ යුතුය. 1967 වසරේ තිරගත වූ An Evening in Paris නම් හින්දි චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ තේමා ගීතය සිංහලයට නැගෙන විට අපි දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේ ලෙසින් ආරම්භ වන්නේත් ස්ථායි කොටස “තේරෙයි තේරෙයි තේරෙයි තේරෙයි තේරෙයි .. සුභ සැන්දෑවක් වේවා” යනුවෙන් අවසාන වන්නේ පූර්ව නිර්මිත තනුවකට පද ඇමිණීම කවර ආකාරයේ වගකීමක් ද යන්න පසක් කරමිනි. හින්දි අනුකරණවාදයෙන් තොර ස්වාධීන ගීත රචනා අතර පූර්ව නිර්මිත තනු සමග සාර්ථක ලෙස ගැටුණු මෑතකාලීන ගීත රචකයන් ලෙස කුමාරදාස සපුතන්ත්‍රී (දෑත දෙපාලන ,මාලතී වසන්තේ) ආචාර්ය අජන්තා රණසිංහ (පාළු සුසානේ , මුව මුක්තාලතා , සුවඳ දැනී) බන්දුල නානායක්කාරවසම් (පායනා ඉර පාන , රන්හිරු මඬලින් , නිම්තෙරක්) කුලරත්න ආරියවංශ (අවපස අහසක , මුවා වුණා සඳක් , පීදිලා පැතුම්) වැනි ගීත රචකයින් නිදසුන් ලෙස දැක්විය හැකි අතර තවත් ප්‍රශස්ත ගීත රචකයින් සහ නිදර්ශන ද සිහියට නැගේ. මේ නාමාවලියට නිතරගයෙන් ඇතුළත් වන නූතන ගීත රචකයා වන නිලාර් එන් කාසිම් වඩාත් කැපී පෙනෙන්නේ, ඔහු නියෝජනය කළ යුගය සහ ඔහු හා ගැටෙන පරම්පරාව සංගීතය සමග කරන ගනුදෙනුවේ ස්වභාවය හේතු කොටගෙනය.
ශ්‍යාමලංගන්ගේ තනුවට නිලාර් මෙසේ ලියයි.
සන්සුන් සුසුම් ද කැළඹී 
ඇයිද මොකදැයි ඇහුවා
රාගයේ චණ්ඩ හැඟුමන් රණ්ඩු කෙරුවා ..
ගීත රචකයා සාහිත්‍යික ප්‍රේමය ඉක්මවා ගිය ප්‍රායෝගික ප්‍රේමයට ද මැනවින් ආමන්ත්‍රණය කරයි.”රාගයේ චණ්ඩ හැඟුමන් රණ්ඩු කෙරුවා” යනුවෙන් අදහස් කෙරෙන්නේ නුරාවෙන් කිතිකැවෙන තුරුණු පෙම නොවේද ? සන්සුන් සුසුම් ද කැළඹෙන්නට හේතුව පෙම්වතා විසින් කලින්ම පාපොච්චාරණය කර තිබිණ. රණ්ඩු කළ චණ්ඩ හැඟුමන් අවසානයේ ඔහු මෙලෙස පෙම්බර නෝක්කාඩුවකින් ද දමා ගසයි. “කවුරුවත් දන්නේ නෑ දැන් මේ මං ඉන්න හිර ගේ“. එය නිවැරදිය. ඔහුගේ ආස්ථානය වටහා ගන්නට ඔබට මට නොහැකිය. අවසානයේ දී “ආදරේ සිහිනයක් දෝ සැබෑ නොවෙනා” යනුවෙන් තම වේදනාව අනියත බියකට හරවා ගන්නා තනිකඩ පෙම්වතා “මං කෙසේ දැවි දැවී ඉන්නේ මේ වේදනාවෙන්” ලෙස පවසමින් යොවුන් පෙමක සාම්ප්‍රදායික වේදනාව අප ඉදිරියේ ගෙනහැර දක්වයි.
අවසානය වන විට තරුණයා සංසුන් ය. සියල්ල හෙළි කළ පසු ඔහු ඉතාමත් සැහැල්ලුවෙන් නමුත් සීරුවෙන් තම ප්‍රේමණීය වදන් එක පෙළට අමුණයි.
ඔය මන්දහාසයෙන් සැනහේවි ජීවිතේ
සෝ තාප සඟවන්න ඔබ එන්න ආදරෙන්
ප්‍රේමය ප්‍රමාද වූ විටෙක හෝ පෙම් ඇරියුම ප්‍රතික්ෂේප වූ මොහොතක සෑම ප්‍රේමවන්තයෙක් හට මෙලෙස ආදරයෙන් පවසන්නට හැකි නම් ; ඉනෝකා සෙව්වන්දි , දුල්මිණි ඉරෝෂිකා වේදනාවෙන් පස් කඳු යට වළ දමන්නට සිදු නොවනු ඇත.
%d bloggers like this: