Menu Close

කල්පිටියේ ඕලන්ද බලකොටුව බලා

පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ජාතීන්ගේ නීතීන් තුල  බැට කා නිදහස සොයා ගිය ශ්‍රී ලාංකිකයන්ගේ අභිමානවත් ඉතිහාසයෙහි තවත් එක් මතක සටහනක් දකින්නටගිය ගමනක වගතුග මෙසේ තබන්නෙමි.
අප පෙ.ව.  8.35ට පමණ නිවසින් පිටත් වූයේ අනුරාධපුරය අපේ ගමනාන්තය කොට ගෙනය. අපි අනුරාධපුරයට යන ගමන්මාර්ගයෙහි අතරමග නැරඹුම් ස්ථාන කිහිපයකම නතරවී කල්පිටිය වෙත ඇදුනෙමු. ඒ එහි වූ ලන්දේසි බලකොටුවක තතු විමසන්නටය. බලකොටුව පෙනෙන තෙක්මානයටම පැමිණි අප හට පළමුව නෙත ගැටුනේ දෙතිස්ඵල බෝධීන් වහන්සේනමකි.ඒ වත්මන් නාවික හමුදා මූලස්ථාන පරීශ්‍රය ඉදිරිපිටය. 

 අපගේ තවත් එක් අතරමැදි නැවතුම් ස්ථානයක් වන ලන්දේසි කොටුවද මෙම නාවික හමුදා මූලස්ථානයෙහිම පිහිටා ඇත.
 එහි සේවය කරනා නිලධාරිමහතෙකුගෙන් අපට මෙම කොටුව පිළිබද පැහැදිලි විස්තර කිරීමක් ලැබුණි. එම විස්තර කිරිමට අනුව,
ලන්දේසි ජාතිකයන් විසින් ක්‍රි.ව. 1666 වසරේ ඉදිකර ඇති මෙම කොටුව පෘතුගීසි ගෘහනිර්මාණ ශිල්පයද දැකිය හැකි සුවිශේෂී බලකොටුවකි.
දෙවන රාජසිංහ රජ දවසේ මෙම බලකොටුව ඉදි කර ඇති බව අපට අසන්නට ලැබුණි. රාජසිංහ රජුගෙන් ලන්දේසින් අවසර ගෙන ඇත්තේ මෙහි බලකොටුවක් තනන්නට නොව පල්ලියක් තනන්නටය. එම අවසරයෙන් පල්ලියක ස්වරූපයට බලකොටුවක් ඔවුන් විසින් තනන ලදී. ලන්දේසීන් මෙය ගබඩාංගනයක් ලෙස යොදා ගෙන ඇත. රහසිගත බලකොටුවක් මෙම සමුද්‍රාසන්නයේ ඉදි කිරිමට එරට සිටි කුලී සේවකයින් වූ ජාලස්කිරිඤ්ඤාමැඩි හේවායින් පමණක් යොදා ගෙන ඇත. එය රහසක් ලෙස තබා ගැනීමට වගබලාගත් ලන්දේසීන් ශ්‍රී ලාංකික කිසිවෙකුත් මෙම ඉදිකිරීම් බිමට ගෙන්වා නොගැනීමට තරම් සූක්ෂම විය.

අප දැනගත් පරිදි මුහුදු පාෂාණ වන හිරිගල්, හුණුගල් හා කොරල් උපයෝගී කර ගනිමින් මී ඉටි,මී ලාටු හා හිරිගල් බදාම ලෙස යොදාගෙන මෙය ඉදිකොට ඇත. පෙරදිගඕලන්ද වෙළඳ සමාගමෙහි ලාංඡනය සදහන් වූ එහි  පිවිසුම් දොරටුව, ඇලන් නම් ගඩොලින් නිමවූ උළුවස්සකින් සමන්විතය.

 වසර 342 කටත් වඩා ඉපැරණි ඉතිහාසයකට උරුමකම් කියන මෙම බලකොටුවෙහි බොහෝ අංග මේවන විටත් නටබුන් බවට පත්ව ඇති බව එහි ගිය අපට මනාව දිස් විය. කෙසේ නමුත් බොහෝ සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගත් මෙම බලකොටුව ශ්‍රී ලංකාවේ වටිනාකම වැඩි කරනා තවත් එක් අංගයකි.


මෙලෙස බොහෝ වැදගත් තොරතුරු රාශියක් පොදි බැදගෙන ,අපට මේ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කළ එම නාවික හමුදා නිලධාරීතුමාටත් ස්තුති කොට අපි නැවතත් ගමන් ආරම්භ කළෙමු.   

%d bloggers like this: