Menu Close

රනූ මොන්ඩාල් : මහා කතරක ගෙවූ තනිමග

ඉන්දියාවේ රනාගට් ස්ටේෂන් එකේ බිම වාඩිවෙලා මිහිරි හඬින් සිංදු කියපු පනස් හැවිරිදි කාන්තාවකගේ දෛවය පුදුමාකාර මාවතකට පිවිසුණා කියලා කියවන්න ලැබෙනවා. රනූ මොන්ඩාල් කියන ඒ කාන්‍තාව මේ වෙනකොට බොලිවුඩ් චිත්‍රපටයක පවා ගී කියන්න වාසනාව ලබලා තියෙනවා. දිව්‍යමය හඬක් ! ඇය ගැන හඳුන්වන හැමතැනකම මේ යෙදුම නම් වරදින්නේම නැහැ.

රනූ මොන්ඩාල් තමන්ගේ නඩත්තු නොකළ මුහුණේ වේදනාබර හැඟීම නොසංගා ලතා මංගේශ්කාර්ගේ සිංදුවක් කියනවා ඇහෙනකොට අවුරුදු පහළොවකට එහා අතීතයකට මතකය දුවනවා. ඒ අපි කෝච්චියේ ඉස්කෝලේ යන කාලේ. උදේ දවල් නොබලා සිංදු කියපු රනූ මොන්ඩාල් කෙනෙක් , එක අතකින් ගෙජ්ජියක් වගේ තාල වාද්‍ය භාණ්ඩයක් වාදනය කර කර කෝච්චි පෙට්ටියට ගොඩ වුණා. තනියම නෙමෙයි. තවත් මැරෑටි පෙනුමක් තියෙන පිරිමි දෙන්නෙක් එක්ක. හුඟක් වෙලාවට එඬේරමුල්ලෙන් නගින මේ තුන් කට්ටුවේ නිත්‍ය ගායිකාව තමයි මම කියන රනූ මොන්ඩාල්. එකෙක් බොංගෝ එකක් තලනකොට අනෙක් එකා සිංදු කිව්වා. බොංගො තලන එකා ආටානාටිය කියනවා වගේ හිතෙන හිතෙන තැන් වලින් කෑලි ඇල්ලුවා.
එඬේරමුල්ල ස්ටේෂන් එකෙන් නැග්ග රනූ මොන්ඩාල් නම් රනාගාට් ස්ටේෂන් එකේ සිංදු කිව්ව කෙනා තරම් අපිරිසිදු , අපිළිවෙල පාටට හිටියේ නැහැ. ලා පාට සල්වාර් එකක් ඇඳපු එයා නිතරම අහස් නිල් පාට හරි , වද රතු පාට හරි ශෝල් එකක් බෙල්ල වටෙන් ඔතාගෙන හිටියා. ඒත් ඒ ලස්සන ෂෝල් එක නැහැදිච්චි ගෑණු ළමයෙක් වගේ නිතරම රනූ මොන්ඩාල් ට අකීකරු වුණා. ෂෝල් එක හුළං පාරවල් එක්ක සණ්ඩු දබර කරනකොට එතෙක් වෙලා වැහිලා තිබුණ බෙල්ලේ සහ මූණේ වම් පැත්තේ පිළිස්සුම් කැළැල් ටික පේන්න ගත්තා. එතකොට ඒ සුදුමැලි මූණේ ශෝකී ගතිය තව තව වැඩිවෙලා පේනවා. ඒත් එයා සිංදු කියන එක නැවැත්තුවේ නෑ. කොහොම හරි හෙල්ලෙන , පැද්දෙන කෝච්ච්චිය මැද “ආරාධනා” චිත්‍රපටයේ යුග ගීතය සම්පූර්ණ කළා. සීත අරණේ සුපුල් නා මල !
“මහා කතරක ගෙවූ තනිමග 
නිමා කළ ඉම ඔබ නෙතයි – ඔබ නෙතයි”


රනූ මොන්ඩාල් කෝච්චියෙන් එළියේ නොපෙනෙන ඈතක් බලාගෙන වේදනාබර මූණකින් , හැඟීමෙන් ගායනා කළා. මූණේ පිළිස්සුම් කැළැල් වැඩි වැඩියෙන් පෙනුණා. “ඇසිඩ් ගහලා වගේ” හැමදාම වගේ කවුරු හරි එකෙක් ළඟ ඉන්න කෙනෙක්ගේ කණට ඇහෙන නෑහෙන හඬින් කෙඳිරුවා.

අපි එතකොට ඒ ලෙවල් ළමයි. අපිට අපේම කියලා පවත්වාගෙන ගිය කෝච්චි පෙට්ටි බජව් තිබුණා. අද වෙනකොට ගුවන් විදුලි නාලිකාවක මුල් පුටුවක් හොබයන මිත්‍රයෙක් උදේට ගණේමුල්ලෙන් නැග්ග වෙලාවේ ඉඳන් කළේ දෙකේ කාසියකින් දොරට ගහ ගහ සිංදු කියන එක. “කන්ද පිරිමැද පිරිමැද පිරිමැද …. සාවන් කා මා හීනා …, පෙරුම්පුරාගෙන ආ සංසාරේ” වගේ කොච්චරක් නම් සිංදු කිව්වාද ? ඒත් හවසට ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකොට සිංදු කියන්න මූඩ් එකක් තිබුණේ නෑ. අපි එඬේරමුල්ල ස්ටේෂන් එකේ ඉඳන් රනූ මොන්ඩාල් පස්සෙන් පෙට්ටියෙන් පෙට්ටියට ගිහිං එයා ළඟම හිටගෙන තෙරපි තෙරපි සිංදු ඇහුවා. ඒ සිංදුත් එක්ක අර කැළැල් සහගත මූණේ ඇඳෙන වේදනාව ! “මලීනා” චිත්‍රපටයේ රූමත් තරුණිය පිටිපස්සේ බයිසිකල් වලින් පන්නගෙන යන පොඩි ළමයි ටික වගේ අපි පෙට්ටියෙන් පෙට්ටිය එයාලව හඹා ගියා. හැබැයි අපිට සිංදු කියන අයට දෙන්න සල්ලියක් නම් තිබුණේ නෑ. රනූ මොන්ඩාල් කවදාවත් සල්ලි ලැබුණේ නෑ කියලා නෝක්කාඩුවෙන් , නොසැලකිල්ලෙන් සිංදු කිව්වෙත් නෑ. අඩුම ගාණේ “අඹ යාළුවෝ” ටෙලි නාට්‍යයේ කෝච්චියේ විරිඳුවේ වගේ “අහිතක් නෑ කාසි නැතත් අපි යනවා” වගේ හීනි ඇනුම්පදයක් වත් කියන්න උනන්දු වුණේ නෑ. ජීවයක් නැති මුහුණක් එක්ක යාන්ත්‍රිකව එහා පෙට්ටියට මාරු වුණා විතරමයි.

ඒ රනූ මොන්ඩාල් ට මොකද වුණේ දන්නේ නෑ කියලා තවමත් එක්තරා මොහොතකදී එකවර මතක් වෙනවා. ඉඳහිට කෝච්ච්චියේ යනදාට එඬේරමුල්ලේ දී ඉබේම බෙල්ල හැරවෙනවා. පාට පාට ශෝල් වලින් වහගන්න උත්සාහ කරපු ඒ පිළිස්සුම් කැළැල් පිටිපස්සේ ලොකු රහසක් තියෙන්න ඇති ද ? සල්වාර් එක වෙනුවට කොට සායක් ඇඳලා ලිප්ස්ටික් කියුටෙක්ස් ගාලා කන්තෝරු යන නෝනා කෙනෙක් වෙන්න ආසාවක් තිබුණේ නැද්ද ? ඒ ශෂිකා නිසංසලා ක්ෂේත්‍රයට පිවිසෙන කාලේ. මදාවියෝ දෙන්නෙක් එක්ක කෝච්චි පෙට්ටි ගාණේ සිංදු කියනවා වෙනුවට ශෂිකා නිසංසලා , සුභානි හර්ෂණී වගේ එළිමහන් වේදිකාවේ තරුවක් වෙන්න බැරි වුණ එක ගැන දුකක් හිතුණේ නැද්ද ?
එඬේරමුල්ලේ රනූ මොන්ඩාල් ට චිත්‍රපටයකට සිංදු කියන්න ලැබුණේ නැතුවට අඩුම ගණනේ ඉන්දියාවේ කෙනාටවත් ඒ අවස්ථාව ලැබුණ එක හිතට පොඩි සැනසීමක්. මෙයාටත් දැන් වයස හතළිස් පහක් – පණහක් වෙන්න ඕනේ. කවදා හරි කොහේ හරි දකියි කියලා හිතෙනවා. ආයෙම එක වතාවක් හරි දකින්න ආසාවක් හිතේ තියෙනවා.
ඒත් රනූ මොන්ඩාල්; අවුරුදු පහළොවකට කලින් අපි පොඩි ළමයි. ඒ කාලේත් ඔයා සිංදු කිය කිය කෝච්චි පෙට්ටියෙන් පෙට්ටියට මාරු වුණා. දැං අවුරුදු පහළොවක් ගෙවිලා අපෙත් ඉහ නිකට පැහිලා. ඔයා ලතා මංගේෂ්කර්ගේ නෙමෙයි ශ්‍රෙයා ගෝෂාල්ගේ සිංදුවක් වුණත් කොච්චර ලස්සනට කිව්වත් ඔයාව මම දකින්නේ ස්ටේෂන් එකකදි ම නම් අයෙමත් ඔයාව දකින්න මම ආස නෑ. දැකලා වැඩක් නෑ.
%d bloggers like this: