Menu Close

කාබුල් වෙළෙන්දා


Translation of the short story Cabuliwallah by Rabindranath Thagore

මගේ පස් හැවිරිදි දියණිය, මිණි, නොදොඩා සිටින්නට දන්නේම නැති කෙල්ලකි. ඇගේ දිවියේ විනාඩියක් වත් නිහඬ ව ගත කර අපතේ යවා නැති බව මම නම් තදින් විශ්වාස කරමි. ඇගේ මව මේ ගැන කේන්ති ගෙන ඒ දෙඩවිලි නවතාලන්නට වෙහෙසුණත්, මා නම් කිසිවිටකවත් එසේ කළේ නැත. මිණි නිහඬව සිටිනු දැකීම අසාමාන්‍ය දසුනක් වූ අතර මට එය දරාගනු බැරි දෙයක් විය. ඉතින් මාත් ඈ හා නිරතුරුවම රස කතාබහේ යෙදුණි. 
ඇතැම්විට සිදුවූයේ මෙවැන්නකි. මගේ අලුත්ම නවකතා පොතේ දාහත්වන පරිච්ජේදය ලියමින් සිටිනා වෙලාවක, මිණි හෙරක මෙන් රහසේම කාමරයට විත් මගේ අත අල්ලා ගෙන මෙසේ කියන්නීය.
“තාත්තා! රාම් දයාල් දොරටු පාලකයා කපුටා කියලා කියන්නේ වැරදියට! එයා මුකුත් දන්නේ නැහැ නේද?”
මා ඈට ලෝකයේ ඇති භාෂාවල වෙනස්කම් ගැන පැහැදිලි කරන්නට තැත් කරද්දීම ඈ වෙනම මාතෘකාවක් පටන්ගෙන අවසන් ය. 
“භෝලා කියනවා අහසේ අලියෙක් ඉඳගෙන උගේ හොඬවැලෙන් වතුර විදින එකලු අපිට වහිනවා වගේ පේන්නේ! ඇත්තද තාත්තා?”
ඊට ගැලපෙන පිළිතුරක් මා ගොනු කරද්දී ඇගේ කතා වෙනත් දෙසකට දිවගොස් හමාර ය. 
“තාත්තා! අම්මාගෙයි ඔයාගෙයි මොකක්ද තියෙන නෑකම?”
ඉතා අමාරුවෙන් සිනාව වළක්වා ගන්නා මා “මිණි! ගිහින් භෝලා එක්ක සෙල්ලම් කරන්න, මම වැඩක්!” කියාගන්නට සමත් වේ. 

මගේ කාමරයේ කවුළුවට මහපාර හොඳින් දිස් විය. දිනක් දැරිය මේසය අසල බිම මගේ දෙපා කිට්ටුවෙන් සෙල්ලම් කරමින් උන්නා ය. මගේ පොතේ දාහත් වන පරිච්ජේදය ලියා නිම කරන්නට මම වෙහෙසෙමින් සිටියෙමි. ඒ කතාවේ වීරයා වූ ප්‍රතාප් සිං, වීරවරිය වූ කාංචනලතා ව බදා වැළඳගෙන මාලිගාවේ තුන්වෙනි මහලේ කවුළුවකින් පනින්නට සූදානම් වූවා පමණයි, මිණි කෑ ගසමින් කවුළුව අසලට දිව ගියා ය. 
“කාබුල් වෙළෙන්දෙක්, කාබුල් වෙළෙන්දෙක්!” ඈ කෑ ගෑවා ය. 
ඈ කී පරිදිම කාබුල් සිට පැමිණි වෙළෙන්දෙක් මහමඟ ගමන් කරමින් සිටියේ ය. ඔහුගේ උපන්බිම වැසියන් පළඳින ආකාරයේ බුරුල් කිළුටු ඇඳුමක් ඔහු ඇඳ සිටි අතර හිසේ කුඩා තලප්පාවක් ද විය. ඔහු පිටේ මල්ලක් එල්ලාගෙන සිටි අතර අතේ මිදි පිරවූ පෙට්ටියක් විය. 
දියණිය ඔහුට හඬගැසුවේ කුමන අදහසකින්දැයි මා නොදැන සිටි නමුත් එය අසා ‘දාහත්වන පරිච්ජේදය ලියලා හමාරයි!’ කියා නම් මට සිතිනි. දැරිය දුටු වෙළෙන්දා අපගේ ගෙවත්ත වෙත හැරුණු මොහොතේම දැරිය බියෙන් ත්‍රස්ත වී මව වෙත ගොස් සැඟවුනා ය. හැඩි දැඩි මිනිසා අත වූ මල්ලේ ඈ වැනිම ළමයින් තව කීප දෙනෙක් ඇති බවට අන්ධ විශ්වාසයක් මිණි හට තිබූ බව පෙනිණි. ඒ අතරවාරයේ වෙළෙන්දා සිනාසෙමින් මා අභියස සිටගෙන සිටියේ ය. 
මගේ පොතේ වීරයාත් වීරවරියත් පසු වූ අඩමාන අවස්ථාව සලකා කුමක් හෝ මිළ දී ගෙන මොහුව යවා දමන්නට මට හදිසි ආවේගයක් ඇති විය. එහෙත් මා ඔහුගෙන් සුළු දේවල් කිහිපයක් මිළදී ගනිද්දී අබ්දුල් රහමාන් ගැන, රුසියානුවන් ගැන, ඉංග්‍රීසින් ගැන, දේශසීමා ප්‍රතිපත්ති ගැන අප අතරේ කතාබහක් ඇති විය. 
යන්නට පිටත් වෙද්දී “පුංචි බේබි කෝ සර්?” යැයි ඔහු විමසී ය.
මිණි ගේ සිතේ මේ මිනිසා ගැන පැලපදියම් ව ඇති බොරු බිය තුරන් කළ යුතු බව සිතූ මම ඇය ව පිටතට කැඳවාගෙන ආවෙමි. ඇය මගේ පුටුව අසල සිටගෙන කාබුල් වෙළෙන්දාත් ඔහුගේ මල්ලත් දෙස බලා සිටියා ය. ඔහු ඇයට වියළි මිදි සහ කජු පියලි අහුරක් දුන් නමුත් ඈ එය පිළිනොගෙන මා වෙතම ඇලී සිටියේ වැඩුණු සැකයෙනි. 
ඒ ඔවුන්ගේ පළමු හමුවීමයි.
ඊට දින කිහිපයකට පසු උදෑසනක නිවසින් පිටවෙද්දී මිණි දොරකඩ අසල බංකුවක හිඳ ඇගේ දෙපා අසල වාඩිගෙන සිටි කාබුල් වෙළෙන්දා සමඟ ඉතා සතුටින් කතාබහක යෙදෙනු දැක මම ඉමහත් පුදුමයට පත් වුණෙමි. තාත්තාට අමතරව තමන්ට මෙලෙසින් ඉවසිල්ලෙන් සවන් දෙන වෙන කිසිවෙක් දියණියට පෙර කිසිදිනක ලැබී තිබුණේ නැත. ඒ වෙද්දීත් අමුත්තා ඇයට තෑගි කළ ආමන්ඩ් ඇට සහ වියළි මිදි වලින් ඇගේ පුංචි ඇඟලුමේ කෙළවරක් පිරී තිබිණි. “මොකටද එයාට මේවා දුන්නේ?” විමසමින් මා ඔහුට ඒ වෙනුවෙන් ශත අටක් දුන් විට ඔහු විරෝධයක් නොපා ම එය ගෙන සිය සාක්කුවේ රුවා ගත්තේ ය. 
එහෙත් මා ඉන් පැයකට පමණ පසු නැවත නිවසට එද්දී ඒ අවාසනාවන්ත කාසිය එහි වටිනාකමෙන් දෙගුණයකටත් වඩා වැඩි තරමේ කලබැගෑනියක් සිදු කර තිබිණි. වෙළෙන්දා මා දුන් කාසිය මිණි හට දී තිබුණු අතර එය ඇය අත දිලිසෙමින් තිබියදී ඇගේ මවට හසු වී තිබිණි. 
“ඔයාට කොහෙන්ද ඔය සල්ලි?” අම්මා සැකයෙන් ඇගෙන් විමසා ඇත.
“මට කාබුල් වෙළෙන්දා දුන්නේ” මිණි සතුටින් පිළිතුරු දී ඇත
“කාබුල් වෙළෙන්දා දුන්නා! අනේ මිණි ඔයා මොකටද ඒක එයාගෙන් ගත්තේ?” අම්මා කම්පාවෙන් කෑ ගසා ඇත. 
එවෙලේ නිවසට ආ මාහට මිණි ට සිදු වන්නට නියමිත ව තිබුණු ව්‍යසනයෙන් ඈ ව ගලවා ගන්නට හැකි විය. මඳක් ප්‍රශ්න කිරීමෙන් පසු මට මේ මිතුරුකමේ සැබෑ තතු අනාවරණය විය. ඒ, ඔවුන් දෙදෙනා මුණගැසුණු පළමු හෝ දෙවෙනි අවස්ථාව නොවන බවත්, නිරන්තරයෙන් ආමන්ඩ් ඇට සහ වෙනත් රසකැවිලි අල්ලස් දී දැරිය තමන් වෙත ඇති අධික බිය මඟහරවා ගැනීමට වෙළෙන්දා සමත් වී ඇති බවත්, දැන් ඒ දෙදෙනා හොඳ යහළුවන් බවත් මට සොයාගනු හැකි විය. 
මේ දෙදෙනාට ම වෙන් වූ අපූරු විහිලු රැසක් තිබුණු අතර දෙදෙනාම ඉන් මහත් විනෝදයක් ලැබූ හ. උස මහත මිනිසා අබියස හිඳ සිටින මිණි ඉතාමත් කුඩාවට, එහෙත් බෙහෙවින්ම උදාර ව දිස් විය. ඈ කැකිරි පලමින් ඔහුගෙන් ප්‍රශ්න අසන්නට පටන් ගනී. 
“කාබුල් වෙළෙන්දා, කාබුල් වෙළෙන්දා.. මොනවාද ඔය මල්ලේ තියෙන්නේ?”
“අලියෙක්!” ඔහු කඳුකර වැසියන්ගේ නාසික හඬින් පිළිතුරු දේ.
බැලූ බැල්මට මෙහි මහා හාස්‍යයක් නොතිබුණත් ඒ දෙදෙනා නම් ඉන් මහත් සතුටක් ලැබූ බව පෙනිණි. එය අසා සිටි මටත් කුඩා දරුවෙක් වැඩිහිටියෙක් හා සමඟ කරන කතාබහේ අමුතු චිත්තාකර්ෂණීය බවක් දැනිණි. 
තමන්ගේ වාරය පැමිණි විට වෙළෙන්දා ත් නොදෙවෙනිව මිණි ගෙන් ප්‍රශ්න අසන්නට විය. 
“දැන් කවද්ද පුංචි බේබි මාමණ්ඩිලාගේ ගෙදර යන්නේ?”
බෙංගාලි කෙල්ලන් ‘මාමණ්ඩි ගේ ගෙදර’ ගැන ඉගෙනගන්නේ කුඩා කාලයේ දී ම ය. එහෙත් අප මඳක් අලුත් පන්නයේ වූ බැවින් මෙවැනි දේ දැරියගෙන් වසන් කර තිබුණු අතර මේ ප්‍රශ්නයෙන් ඇය මඳක් වික්ෂිප්ත වූ බවක් දිස් විය. එහෙත් ඒ බවක් නොපෙන්වා ඈ උපාය නුවණින් “ඔයාත් යනවාද එහේ?” යැයි වෙළෙන්දාගෙන් ආපිට ප්‍රශ්න කළා ය. 
කාබුල් වෙළෙන්දාගේ පන්තියේ මිනිසුන් අතර ‘මාමණ්ඩි ගේ ගෙදර’ යන පදයට යටි අරුතක් තිබිණි. ඔවුහු එය හිරේ විලංගුවේ වැටෙනවාටත් යෙදූ හ. ඔවුන් එසේ කීවේ එය තමන්ගේ කිසි වියදමක් නොමැතිව, කා බී සැපට සිටිය හැකි තැනක් යන්න අදහස් වන්න යි. ඉතින් මේ හැඩිදැඩි වෙළෙන්දා දියණිය නැඟූ ප්‍රශ්නය ඒ අරුතින් වටහා ගත් බවක් පෙනිණි. 
සිතින් මවාගත් පොලිස්කරුවෙක් වෙත අත මිට මොලවමින් “ආ..මාමණ්ඩි ට මම තඩිබාන්න ඉන්නේ!” යැයි ඔහු කීය. මෙය අසා ගුටි කන මාමණ්ඩියෙක් සිතින් මවාගත් මිණි මහා හඬින් සිනාසෙන්නට වූ අතර ඇගේ ඒ සිනාවට වෙළෙන්දාත් හවුල් විය. 
අතීතයේදී එවැනිම සරත් කාලවලදී පැරණි රජවරු වෙනත් සතුරු රාජධානි අත්පත් කරගැනීමට යුධ වැදුණු නමුත් මම කල්කටාවේ මගේ කුඩා මුල්ලෙන් නොසෙල්වී ම මනසින් ලොව පුරා ඇවිද්දෙමි. වෙනත් රටක නමක් ඇසුණු පමණින්, මඟ තොට දී විදේශිකයෙක් දුටු පමණින් මගේ සිත සිහින ජාලයක් වියන්නට උත්සුක විය. එරට කඳු නිම්න ගැන, වනාන්තරයක් අසල කුඩා නිවහනක් ගැන, එහි මිනිසුන් ගතකළ නිදහස් නිවහල් දිවිය ගැන කතන්දර මවාගන්නට මම පුරුදු ව සිටියෙමි. සමහරවිට මේ දවල් සිහින මැවීම මා සිදුකළේ මා ගත කළ ඒකාකාරී ජීවිතය සංචාරයක අදහසින් පවා උඩු යටිකුරු වන බව දැන සිටි නිසා විය හැක. කාබුල් වෙළෙන්දා ළඟපාතක සිටින විට ඔහුගේ ගම් ප්‍රදේශයේ ශූෂ්ක කඳු පන්ති සහ ඒ අතරින් දිවෙන පටු අඩි පාරවල් වෙත මම නිරතුරුව සිතින් ගමන් කළෙමි. බඩු පොදි ඔසවා යන ඔටුවන්, අමුතු තුවක්කු සහ හෙල්ල අතින් ගත් තලප්පා බැඳි වෙළෙඳුන් තැනිතලා බිම් මතින් ගමන් කරනු මට මැවී පෙනුණි. ඒත් මෙවැනි අවස්ථා වලදී මිණි ගේ අම්මා මගේ දැහැන බිඳින්නේ ‘අර මිනිහාගෙන් පරෙස්සම් වෙන්න ඕන!’ යැයි ඇවිටිලි කරමිනි. 
අවාසනාවකට මෙන් මිණි ගේ අම්මා ඉතා කුලෑටි කාන්තාවක් විය. පාර දෙසින් ශබ්දයක් ඇසුණු විට, නොඑසේ නම් නිවස දෙසට කවුරුන් හෝ පැමිණෙනු පෙනුණු විට ඈ වහා වහා ඒ ගැන වැරදි නිගමනයන්ට එළඹෙන්නට උත්සුක වේ. හැමවිටම ඒ එන්නේ හොරු ය, බේබද්දන් ය, සර්පයන් ය, කොටි ය. එක්කෝ මැලේරියාව ය, කැරපොත්තන් ය. නොඑසේ නම් දළඹුවන් ය. කොයිතරම් කාලයක් ගත වූවත් ඇයට මෙවැනි භීතිකාවන්ගෙන් මිදෙනු නොහැකි විය. මේ නිසා කාබුල් වෙළෙන්දා ගැන මහත් සැකයෙන් පසු වූ ඈ ඔහු ගැන ඇස ගසාගෙන සිටින මෙන් මගෙන් අයැද්දා ය. 
ඇය නිකරුණේ බිය වී ඇති බව කියා එය විහිළුවකින් බැහැර කරන්නට මා උත්සාහ කළත් ඈ බරපතල ප්‍රශ්න නඟා මගේ තර්ක බින්දා ය. 
ළමුන් පැහැරගෙන යාම රට තොට සිදුවෙන්නේ නැති ද?
කාබුල් නගරයේ වහල් සේවය තියෙන බව කියවෙන්නේ බොරු ද?
මේ හැඩිදැඩි මිනිසා මේ පුංචි දරුවා පැහැරගනී යන්න විය නොහැකි ම ද?
එය සිදුවිය හැකි දෙයක් වූ නමුත් එවැන්නක් සිදු නොවනු ඇති බව ඇයට ඒත්තු ගන්වන්නට මා මහන්සි ගත්තත් ඇගේ බියේ වෙනසක් සිදු වූයේ නැත. එහෙත් ඒ මිනිසාට නිවස වෙත ඒමට තහංචි පැනවීම නුසුදුසු බවක් දැනුණු හෙයින් මේ මිතුරුකම වෙනසක් නොවී ම ගලා ගියේ ය. 
හැම වසරකම ජනවාරි මාසයේ මැදදී රාමන් නම් වූ ඒ කාබුල් වෙළෙන්දා තමන්ගේ ගම රට බලා යෑම පුරුද්දක් කරගෙන සිටියේ ය. ඒ කාලය කිට්ටු වෙද්දී ඔහු ඉතා කාර්යබහුල වූයේ ගෙයින් ගෙට ගොස් ණය එකතු කරගැනීමට වෙහෙසුණු නිසා ය. එහෙත් මේ වසරේ නම් ඒ රාජකාරි අතරතුරේ දී පවා ඔහු මිණි බලන්නට එන්නට කෙසේ හෝ වෙලාව සොයා ගත්තේ ය. පිටින් බලන්නෙකුට නම් මෙය මේ දෙන්නාගේ කුමන්ත්‍රණයක් සේ පෙනෙන්නට ඉඩ තිබුණේ උදය වරුවේ බැරි වුවහොත් කෙසේ හෝ හවස් වරුවේ දී හෝ ඔහු ඈ බලන්නට පැමිණි නිසා ය. 
ඇතැම්විට බඩු පොදි අතින් ගත් මේ හැඩිදැඩි මිනිසා අඳුරු දොරකඩකින් මතුවනු දකිද්දී මා හට වුව තිගැස්මක් ඇති වූ නමුත් “ආ කාබුල් වෙළෙන්දා! කාබුල් වෙළෙන්දා!” කියමින් මිණි ඔහු වෙත දිව යනු දකිද්දී, වයසින් අහසට පොළොව වැනි වූ මේ මිතුරන් දෙදෙනාගේ විහිලු තහළු ඇසෙද්දී මටත් යම් සැනසිල්ලක් දැනිණි. 
ඔහු නිවාඩුවට ගම රට බලා යන්නට නියමිතව තිබුණු දිනට දින කිහිපයකට කලින් මා මගේ පොතේ හරි වැරදි බලමින් කාමරයේ විය. කාලගුණය තරමක් සීතල වූවත් කවුළුවෙන් ආ හිරු රැස් තීරුවක් මගේ දෙපා ස්පර්ශ කර මඳ උණුසුමක් පැතිරවීය. වේලාව උදෑසන අටට ආසන්න ව තිබුණු අතර පාන්දරින්ම මහමඟ ට බට මගීන් තමන්ගේ හිස් ආවරණය කරගෙන නිවෙස් බලා යනු පෙනිණි. හිටිවනම මහා පාර දෙසින් කලබගෑනියක් ඇසුණු අතර මා එබී බලද්දී දුටුවේ මාංචු ලූ රාමන් ව පොලිස් නිලධාරීන් දෙදෙනෙක් කැඳවාගෙන යන ආකාරය යි. ඔවුන් පසුපසින් කුතුහලයෙන් පිරුණු කොලු රංචුවක් ද විය. කාබුල් වෙළෙන්දාගේ ඇඳුම් වල ලේ පැල්ලම් තිබුණු අතර එක් පොලිස් නිලධාරියකු අත පිහියක් විය. මම වහා වහා දිව ගොස් ඔවුන් ව නවත්වා සිදුව ඇති දේ ගැන විස්තර ඇසුවෙමි. පිරිසේ සිටි අය කී දෙයින් මට තේරුම් ගියේ රාම්පුරි සාළුවක් මිළදී ගැනීම වෙනුවෙන් මගේ අසල්වැසියෙක් රාමන් ට ණයක් තිබුණු බවත්, ඒ ගැන විමසද්දී ඔහු එය ගෙවීම ප්‍රතික්ෂේප කර ඇති බවත්, ඉන්පසු ඇති වූ රණ්ඩුවේ දී රාමන් ඔහුට පහර දී ඇති බවත් ය. මේ විස්තර කිරීම් සිදුකෙරෙද්දීත් චූදිතයා තම සතුරාට විවිධ අපහාස කරමින් පසු විය. මේ අතරේ අප නිවසේ බරාඳයෙන් හදිසියේ මතු වූ මගේ කුඩා මිණි “ආ කාබුල් වෙළෙන්දා! කාබුල් වෙළෙන්දා!” යැයි සුපුරුදු ලෙස කෑ ගසමින් දිව ආවා ය. ඈව දුටු විට රාමන් ගේ මුහුණ සතුටින් දිලිසෙන්නට විය. එදා නම් ඔහු සතුව මල්ලක් නොතිබුණු නිසා එහි අලියෙක් සිටී ද නැද්ද යන වග ගැන ඇයට ඔහුගෙන් විමසන්නට නොහැකි බැවින් ඇය ඉක්මණින් ම ඊළඟ ප්‍රශ්නයට යොමු වූවා ය. 
“ඔයා මාමණ්ඩි ගේ ගෙදර යනවාද?”
රාමන් එය අසා සිනාසී, “ඔවු පුංචි බේබි, හරියට හරි, එහේ තමයි මම මේ යන්නේ!” යැයි කීය. 
ඒත් ඒ පිළිතුරින් ඈ සතුටු වූ බවක් නොපෙන්වූ නිසා ඔහු මාංචු ලූ දෑත පෙන්වා 
“මගේ අත් දෙක ගැට ගහලා නේ, නැත්නම් මම දෙනවා උන්දැට හොඳ පාරක්!” ද කීය. 
ජීවිත හානි කිරීමට තැත් කිරීම හා පහර දීම වෙනුවෙන් රාමන් ට වසර කීපයක සිර දඬුවමක් ලැබුණි. 
සුපුරුදු ලෙස කාලය ගත වූ අතර ඒ කාලයේදී කිසිවෙකුටවත් රාමන් ව සිහිපත් වූයේ නැත. කලක් නිදහසේ විසූ කඳුකර වැසියා සිරකුටියක වසර ගණනක් ගත කරන බව අපට මතක් වූයේ වත් නැත. ප්‍රීතියෙන්, සැහැල්ලුවෙන් සිටි මගේ කුඩා මිණි ට පවා ඇගේ පරණ මිතුරා අමතක වූ බව මට කියන්නට කණගාටු ය. ඇය වයසෙන් වැඩෙද්දී ඇගේ ජීවිතයට අලුත් සගයන් එක් වූ අතර ඇය වැඩිපුරම ආශ්‍රය කළේ වෙනත් දැරියන් ය. ඇය ඔවුන් හා කෙතරම් කාලය ගත කළාද යත් ඇගේ පියාව බලන්නට ඔහුගේ කාමරයට එන්නට පවා ඇයට වෙලාවක් තිබුණේ නැත. ඒ වෙද්දී අප දෙදෙනාගේ කතාබහ නැත්තටම නැති තරම් විය. 
වසර ගණනක් ගත වූ පසු එළඹුණු එක් සරත් සමයක මිණි ගේ විවාහය සඳහා කටයුතු සූදානම් කර තිබිණි. ඊට දින යෙදී තිබුණේ පූජා නිවාඩු වකවානුවේ දී ය. දුර්ගා කයිලාස් වෙත යද්දී අප නිවසේ ආලෝකයත් පියා ගේ නිවස අඳුරේ තනිකර සැමියා ගේ නිවස වෙත යන්නට නියමිත ව තිබිණි. 
එය දීප්තිමත් උදෑසනක් විය. වැසි වැටී වටපිටාවේ අලුත් පිවිතුරු බවක් දිස් විය. නුමුහුන් රත්‍රන් සේ බැබලුනු හිරු කිරණ නිසා කල්කටාවේ අතුරු මාවතක තිබුණු අප නිවසේ ගඩොල් බිත්ති පවා දිදුලමින් තිබිණි. පාන්දර පටන් මඟුල් උළෙල වෙනුවෙන් අප නිවසේ වැයෙමින් තිබුණු නළා හඬේ හැම ස්වරයක් පාසා ම මහද සැලිනි. ඒ වැයුණු බයිරවී රාගයෙ විලාපය එළඹෙමින් තිබුණු වියෝව ගැන මා හට දැනුණු වේදනාව උත්සන්න කරවී ය. මගේ මිණි එදා විවාපත් වෙන්නට නියමිතව තිබිණි!
පාන්දර සිටම නිවස සද්ද බද්ද හා කලබලයෙන් පිරී තිබිණි. මැද මිදුලේ සිටවූ උණ බම්බු අතර වියනක් බඳින්නට නියමිතව තිබිණි. සිහින් කිංකිණි හඬ නංවන පොකුරු පහන් හැම කාමරයකත් බරාඳයේත් එල්ලන්නට නියමිතව තිබිණි. බැලු බැලූ අත නොනිම් කඩිමුඩියත් උද්වේගයත් දක්නට විය. මා මගේ කුටියේ ගණන් පරීක්ෂා කරමින් සිටිද්දී යම් පුද්ගලයෙකු ඇතුල් වී, මට ගෞරවයෙන් ආචාර කර පසෙකින් සිට ගත්තේ ය. ඒ කාබුල් වෙළෙන්දා වූ රාමන් විය. මට මුලදී ඔහුව හඳුනාගැනීමට දුෂ්කර වූයේ ඔහු අත මල්ලක් නොතිබූ නිසාත්, ඔහුගේ දිගු කොණ්ඩය කොටට කපා තිබුණු නිසාත්, ඔහු සතුව පෙර තිබුණු ප්‍රබෝධමත් බව පෙනෙන්නට නොතිබුණු නිසා ත් ය. එහෙත් ඔහු මා හා සිනාසුණු සැණින් මම ඔහුව හඳුනාගත්තෙමි.
“උඹ කවද්ද ආවේ රාමන්?” මම ඔහුගෙන් ඇසුවෙමි.
“ඊයේ හවස හිරෙන් නිදහස් වුණා” ඔහු කීය.
ඒ වදන්වල කර්කශ බවක් මට දැනුණි. තම සහෝදර වැසියෙකුට තුවාල කළ පුද්ගලයෙක් හා මා පෙර කෙදිනකවත් සාමීචි පවත්වා තිබුණේ නැති අතර ඒ බව වැටහුණු විට මගේ හදවත කීරි ගැසිණි. අද වැනි සුභ දිනයක ඔහු නෑවිත් සිටියා නම් යහපත් බව මට සිතිණි.
“අද උත්සව දවසක්, ඒ නිසා මට වැඩ ගොඩයි. උඹට බැරිද වෙන දවසක ආපහු එන්න?” මම ඇසීමි.
එය අසා ඔහු වහා වහා යන්නට හැරුණත්, දොර ළඟ මඳක් නතර වී “මට පුංචි බේබි ව ඩිංගකට බලන්න බැරිද සර්?” යැයි විමසී ය. මිණි තවමත් පෙර සේ ම නොවෙනස් ව ඇති බව ඔහු විශ්වාස කර තිබිණි. “ආ! කාබුල් වෙළෙන්දා.. කාබුල් වෙළෙන්දා!” කියමින් ඇය ඔහු වෙත දිව එනු ඇතැයි ඔහු මවාගෙන ඉන්නට ඇත. අතීතයේදී කළ පරිදිම දෙදෙනාට සිනාසෙමින් කතා කරනු හැකිවේ යැයි ඔහු සිතා තිබිණි. ඔහු අත තිබුණු මුදල් සියල්ල අහිමි වූ නිසා වෙනත් වෙළෙන්දෙකුගෙන් කෙසේ හෝ ඉල්ලා ගත් ආමන්ඩ් ඇට සහ වියළි මිදි මුලක් ඔහු රැගෙන විත් තිබුණේ මේ අතීත මතකයන් මැද ගැවසෙමිනි.
“අද ගෙදර උත්සවයක්. අද කවුරුවත් මුණගැහෙන්න බැහැ” මම නැවතත් කීවෙමි.
එය අසා ඔහුගේ මුහුණ අඳුරු විය. ඔහු කල්පනා බරව මා දෙස බලා හිඳ “සුබ දවසක්” කියා පිටතට යන්නට ගියේ ය.
ඔහු ගැන තරමක අනුකම්පාවක් දැනුණු නිසා මා ඔහුට නැවත හඬ ගසන්නට යද්දී ඔහුම ආපිට පැමිණියේ ය. නැවතත් මා අසලට පැමිණි ඔහු 
“මම මේ ගෙනාව දේවල් ටික පුංචි බේබි ට දෙන්න පුළුවන් ද සර්?” කියා ඇසීය. මම ඔහු වෙතින් එය අරගෙන ඒ සඳහා මුදල් ගෙවන්නට සූදානම් වෙද්දී ඔහු මගේ අත අල්ලා එය වැළකීය.
“සර් බොහොම කරුණාවන්තයි, මට සල්ලි එපා, මාව මතක තියාගන්න-ඒ ඇති. මහත්තයාගේ දුව වගේම දුවෙක් මටත් ගමේ ඉන්නවා. ඈ ව මතක් වෙලායි මම පුංචි බේබි ට රසකැවිලි ගේන්නේ, නැතිව මට වාසියක් ගන්න නෙමෙයි”
මෙසේ කියා තමන්ගේ කිළුටු ලෝගුවට අත යැවූ ඔහු කුණු වැකුණු කුඩා කඩදාසි කැබැල්ලක් පිටතට ගත්තේ ය. ඔහු ඉතා ප්‍රවේසමෙන් එය දිග හැර, දෑතින් ම මගේ මේසය මත ඇතිරී ය. එහි තිබුණේ පුංචි අතක සලකුණකි. එය අත්ලක තීන්ත තවරා කඩදාසියක් මත තැබූ විට ඇතිවන සලකුණක් මිස ඡායාරූපයක්වත් රේඛා චිත්‍රයක්වත් නොවී ය. ඔහු වසරක් පාසා කල්කටාවට පැමිණ ගෙන් ගෙට ගොස් බඩු විකුණා තිබුණේ කුඩා දියණියගේ අත්ලත ස්පර්ශය හැමදාම හදවත අසලින් තබාගෙන ය. 
මගේ දෑසට කඳුළු පිරුණි. ඔහු කාබුල් සිට පැමිණි පලතුරු වෙළෙන්දෙක් පමණක් බව මට අමතක විය. ඔහු හා බලද්දී මා නම් – එහෙත් මා ඔහුට වැඩිය කවරෙක් ද? ඔහුත් මා වැනිම පියෙකි. දුර ඈත කඳුකර නිවහනක වෙසෙන ඔහුගේ පුංචි පාර්වතී ගේ අත්ලත සලකුණ මට මගේ කුඩා මිණි ව සිහියට ගෙනාවේ ය.
මිණි ව කැඳවාගෙන එන්නැයි මම ඇතුල් ගෙයට වහාම පණිවිඩයක් යැව්වෙමි. ඊට බොහෝ විරෝධතා මතු වූවත් මා ඒ කිසිවකට සවන් දුන්නේ නැත. නොබෝ වෙලාවකින් රතු මඟුල් සාරියෙන් සැරසී, නළලත සඳුන් තවරා තරුණ මනාලියක් ලෙස අලංකාර ව උන් මිණි පැමිණ විනීත ව මා අසලින් සිටගත්තා ය.
මේ වෙනස දැක කාබුල් වෙළෙන්දා මහත් විශ්මයට පත් වූ බවක් පෙනිණි. ඔවුන්ගේ පැරණි මිතුදම ට නැවත පණ දීමට ඔහුට හැකියාවක් තිබුණේ නැත. අවසානයේදී ඔහු සිනාසී 
“පුංචි බේබි මාමණ්ඩි ලාගේ ගෙදර යනවද?” කියා ඇසී ය.
එහෙත් මේ වෙද්දී මිණි ‘මාමණ්ඩි ලාගේ ගෙදර යන’ යෙදුමේ නියම තේරුම දැන සිටි නිසා ඇයට පෙර පරිදි සැහැල්ලුවෙන් පිළිතුරු දෙනු නොහැකි විය. ඇය ලැජ්ජාවෙන් රතු වූ මුහුණ සඟවාගෙන ඔහු අසල සිටගෙන සිටියා ය.
මිණි ත් කාබුල් වෙළෙන්දා ත් මුලින්ම මුණ ගැසුණු දිනය සිහිවී මට මහත් ශෝකයක් දැනුණි. මිණි යන්නට ගිය විට රාමන් දිගු සුසුමක් හෙලා බිම හිඳගත්තේ ය. ඔහු නැති අතරතුරේ දී ඔහුගේ දියණියත් වයසින් වැඩෙන්නට ඇති බවත් දැන් ඔහුට ඇය සමඟත් අලුතින් මිතුරු වීමට සිදුවිය හැකි බවත් ඔහුට හදිසියේ සිතී තිබිණි. ඔහු එද්දී සිටි ආකාරයට වඩා ඈ බෙහෙවින්ම වෙනස් වී ඇති බව සහතික ය. පසුගිය අට වසරට ඈට මොනවා නොවන්නට ඇති ද?
නැවතත් මඟුල් නලා හඬ ඇසෙන්නට වූ අතර සරත් සමයේ ලා හිරු එළිය අප වටා පැතිරෙමින් තිබිණි. එහෙත් අපගේ පටු කල්කටා වීදියේ උන් රාමන් මනසින් දකිමින් සිටියේ ඇෆ්ගනිස්ථානයේ ශුෂ්ක කඳු පෙළ ය.
සාක්කුවෙන් මුදල් නෝට්ටුවක් ගත් මා, එය ඔහුට දුන්නේ “උඹේ රටට, උඹේ දුව ගාවට පලයන් රාමන්, උඹ අද මුණගැහුණු එකේ සතුට මගේ කෙල්ල ට වාසනාව ගෙනේවි” කියමිනි. 
මේ මුදල් ත්‍යාගය දුන් නිසා එදා උත්සවයේ සමහර විශේෂාංග කපා හැරීමට මට සිදු විය. විදුලි බුබුළු දැල්වීමටත්, හමුදා තූර්ය වාදක කණ්ඩායම ගෙන්වීමටත් නොහැකි වීම ගැන නිවසේ කාන්තාවෝ නම් මහත් තැවුලට පත්ව සිටියහ. ඒත් දුර ඈත දේශයක, බොහෝ කලක් මඟ හැරී සිටි පියෙකුට තම දියණිය නැවත මුණගැසේ ය යන සිතිවිල්ල මට නම් ඒ මඟුල් උත්සවය බෙහෙවින්ම ආලෝකමත් කරන්නට සමත් විය.
From the book- Cabuliwallah and Other Stories by Rabindranath Tagore
Picture- copyright free image from Pixabay

%d bloggers like this: