Menu Close

අරාජික සමයේදී දළදා රැකි දෙමළ වේළෛක්කාර කුලී හේවායන්

පොළොන්නරුවේ දළදා මළුව ලෙසින් හැඳින්වෙන තරමක් උස් බිමක පිහිටි පූජනිය ගොඩනැගිලි කිහිපයකින්ම සමන්විත මළුවේ දැනට අටදාගෙය ලෙසින් හැඳින්වෙන ගොඩනැගිල්ල අසලින් 1903 වසරේදී H.C.P. බෙල්ට හමුවූ දෙමළ සහ ග්‍රන්ථ අක්ෂර භාවිතා කර දෙමළ භාෂාවෙන් රචිත පුවරු ලිපිය මෙරට හමුවන සෙල් ලිපි අතරින් එක් සුවිශේෂ සෙල් ලිපියක් ලෙස සැලකේ.

වේළෛක්කාර සෙල්ලිපිය ලෙසින් හැඳින්වෙන එම සෙල් ලිපිය පළමුවන විජයබාහු (ක්‍රි.ව. 1055 – 1110) රජුගේ යුගය සහ ඉන්පසු යුගයේ සමාජ දේශපාලන තත්වයන් පිළිබඳව වැදගත් තොරතුරු රැසක් හෙලිකරනවා පමණක් නොව ඒ සම්බන්ධව මහාවංශය ප්‍රධාන අනෙකුත් මූලාශ්‍ර වල දක්වා ඇති කරුණුද තහවුරු කරයි.

ලිපියේ මුල් කොටසේ අන්තර්ගතයෙන් හෙලිවන කරුණු මෙසේ පෙලගැස්විය හැක.

  • සශ්‍රීක ලංකා ද්වීපයේ සූර්ය වංශික ශ්‍රී සංඝබෝධි වර්මන් හෙවත් ශ්‍රී විජයබාහු දේවාර් රජු බෞද්ධ සංඝයාගේ ආරාධනයෙන් නොයෙක් පරසතුරන් මැඩ අනුරාධපුර නගරයට ඇතුළු වූ බව සහ බෞද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා උතුම් ඔටුනු පළඳා අරමණ දේශයෙන් (බර්මා හෙවත් වර්තමාන මියන්මාරය) බෞද්ධ භික්ෂූන් වැඩමවා තුන් නිකාය පිරිසිදු කල බව.
  • රජු තෙවරක්ම ඔහුගේ බරට සමාන කාසි තුන් නිකාය උදෙසා වැය කර, ලංකාව එක්සේසත් කරමින් පුරා 55 වසරක් දශ රාජ ධර්මයෙන් රාජ්‍යය විචාරමින් උපන් දින 73 සැමරූ බව ( එනම් ඔහු අවුරුදු 73 ආයු වලඳා 55 වසරක් මෙරට එකම ධජයක් යටතේ පාලනය කල බව.)
  • රජු නුවරකල් දේව සෙනෙවිරත්තාර් ලවා විජයරාජපුරම් හෙවත් පුලනාරි (වර්තමාන පොළොන්නරුව එකල හැඳින්වූ නම්) හි මහා දළදා මාළිගයක් තනවා එහි පෙර අභයගිරි මහා විහාරයේ උත්තොරුල-මූල ප්‍රධාන විහාරයේ තිබූ දළදා  සහ පාත්‍ර ධාතූන් වඩම්මවා තැන්පත් කල බව.
  • එම විහාරයේ ප්‍රථම අභිෂේකය සිදු කරන බව සහ එහි ගන්ධ කුටියේ බුදුන් වහන්සේගේ සුවිශාල සෙල්මුවා පිළිමය තිබූ බව. වාර්ෂිකව එම පිළිමයේ නේත්‍රා මංගල්‍යය සිදු කර ඇත.
සෙල්ලිපියේ ඉහත ඉදිරිපත් වන තොරතුරු  පළමුවන විජයබාහු රජු සම්බන්ධයෙන් මහාවංශයේද ඒ ආකාරයෙන්ම විස්තර වන මුත් දළදා මාළිගය තැනූ අමාත්‍යවරයාගේ නම එහි හමු නොවේ.

පළමුවන විජයබාහු සම්බන්ධ එම විස්තරයෙන් අනතුරුව සෙල්ලිපිය පිහිටුවීමේ අරමුණ විස්තර වේ. එහි සඳහන් වන්නේ උතුරුල මූල රාජගුරු මුගලන් මහතෙර රාජමාත්‍යාදීන් සමග වේළෛක්කාර ප්‍රජාවට ඉහත සඳහන් දළදා මාලිගාවේ සියලු භාරකාරත්වයන් පවරා දුන් බවයි.

අනතුරුව ඔවුන් එම දළදා මැදුර කීර්තිමත් වේළෛක්කාර තුන් පේරුවට අයත් මහා  දළදා විහාරය ලෙසින් නම් කර එය ඔවුන්ගේම පුණ්‍යායතනයක් ලෙස සලකා එහි නඩත්තු කටයුතු උදෙසා ගම්වර සහ ආරක්ෂකයන් පත් කර එම ගිවිසුම කඩ කරන ඕනෑම කටයුත්තක් වේළෛක්කාරවරුන්ට සහ මහාතන්ත්‍රයටත් (ශෛව ආගමික නිකායක් ලෙස හඳුනාගෙන ඇත.)බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයටත් එරෙහි අපරාධයක් ලෙසින් සලකා කටයුතු කල බව එහි වැඩි දුරටත් සඳහන් වේ.

මෙරට ඉතිහාසයේ මහා විජයබාහු යන නමින් හැඳින්වෙන රජු පිළිබඳව සඳහන් වන්නේ ඔහු 77 වසරක සොලී පාලනයෙන් සිංහල දේශය මුදාගත් විරුවා ලෙසිනි. ඔහුගේ පාලන කාලයෙන් වසර 20 – 30 පමණ කාලයකට පසුව පිහිටවූ ලෙසින් අනුමාණ කරන මෙම සෙල්ලිපියේ සඳහන් ලෙසින් සිංහල බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන් දළදා සහ බුදුන්ගේ පාත්‍ර ධාතුව තැන්පත් කර ඇති විහාරයේ සියලු භාරකාරත්වයන් දෙමළ කුලී හේවායන් වන වේළෛක්කාරවරුන් හට බෞද්ධ නායක මහතෙරුන්වහන්සේ කෙනෙකු විසින්ම පවරා දීමට හේතු වූ තත්වයන් මොනවාදැයි මෙහිදී විමසා බැලීම වැදගත් වේ.

දැනට අටදාගෙය ලෙසින් හඳුන්වන වේළෛක්කාර සෙල්ලිපිය අසල පිහිටි මෙම ගොඩනැගිල්ල ලිපියේ විස්තර වන විජයබාහු රජු විසින් ඉදිකල දළදා මාළිගය ලෙසින් අනුමාණ කෙරේ. රූපයේ වම් පසින් සෙල්ලිපිය දැකගත හැක.


වේළෛක්කාරවරු 

සිය ජීවිතය පවා පරදුවට තබා රජුගේ ජීවිතය රකින බවට දිව්රා පොරොන්දු වී රජුට සේවය කරන දකුණු ඉන්දීය ද්‍රවිඩ කුලී හේවායන්ගෙන් සමන්විත වේළෛක්කාරවරු සිය ආරක්ෂාව උදෙසා මෙරට ඉතිහාසයේ මුලින්ම යොදාගත් රජු ලෙස සඳහන් වනුයේ පළමු විජයබාහු රජුය. ඔහු ඇතැම් විට ඔහුට පෙර සිටි සොලීන් මෙහිදී අනුගමනය කලා විය හැක. මෙරට තුල දේශපාලන බල අරගල වලදී විශේෂයෙන් මාළිගා කුමන්ත්‍රන අවස්ථාවන්හීදී විදේශිකයන් බැවින්  ඔවුන් රජුට අවනතව කටයුතු කරනු ඇතැයි යන විශ්වාසය එයට හේතු වූවා විය හැක. නමුත් විජයබාහු රජුටම ඔවුන් පාරාවලල්ලක් වූ සිද්ධියක් මහාවංශයේ විස්තර වේ. වරක් චෝල දේශය සමග සටන් වැදීම උදෙසා රජු සේනා සංවිධානය කරමින් සිටියදී ඒ සඳහා තමන්ටද සහභාගි වීමට සිදුවීම සම්බන්ධයෙන් උරණ වූ වේළෛක්කාරවරු රජුට එරෙහිව කැරලි ගැසූහ (වේළෛක්කාරවරුන්ගෙන් බහුතරය චෝළ දේශවාසීන් වන්නට ඇති බව මෙයින් පෙනේ.) ඔවුන් රජුගේ සෙන්පතිවරු දෙදෙනෙකුද මරා රජුගේ බාල නැගණිය සහ ඇයගේ පුතුන් තිදෙනාද ප්‍රාණ ඇපයට ගත් අතර ජීවිතය බේරාගැනීම උදෙසා රජුටද වාකිරිගලට පලා යෑමට සිදුවිය. වේළෛක්කාරවරු රජ මාළිගයද ගිනි තබා පොලොන්නරුව නගරයද කොල්ලකෑවේය. සිය යුවරජු වන වීරබාහු සමග එක්වී දරුණු සටන් කර රජුට වේළෛක්කාරවරු පැරදවීමට හැකි වූ අතර මරණු ලැබූ සෙන්පතියන්ගේ ඇටසැකිලි තැන්පත් කල චිතකය අසල වේළෛක්කාර සෙන්පතියන් බැඳ දමා හාත්පසින් ගිනි අවුලවා ඔවුන් දැව්වේය. එහෙත් විජයබාහු රජුගෙන් පසුද සියවසක් පමණ කාලයක් වේළෛක්කාරවරු කුලී හමුදා ලෙසින් සිංහල රජවරු යොදාගත් බවට තොරතුරු ඇත. නමුදු දෙවන ගජබාහු (ක්‍රි.ව. 1132 – 1153) සහ පළමුවන පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1153 – 1186) රජවරුන්ටද වේළෛක්කාරවරුන් ද්‍රෝහි වූ අවස්තා තිබූ බවට වංශ කතා තොරතුරු ඇත.

අටදාගෙය තුල ශෛලමය බුද්ධ ප්‍රතිමා කිහිපයක්ම තිබූ බවට
සාධක ඇති මුත් ප්‍රමාණයෙන් විශාල මෙම හිටි පිළිමය ඉහත
සෙල්ලිපියේ විස්තර වන පිළිමය විය හැක.

මෙවන් තත්වයක් යටතේ මහා විජයබාහු රජුගෙන් පසු අවධියේදී එවන් වූ වේළෛක්කාරවරුන් යටතට රාජ්‍යයයේ උරුමයටද වැදගත් වන දළදා,පාදා පිහිටි විහාරය පවරා දීමට හේතු වූවේ මන්ද යන්න පිළිබඳව විමසීමේදී විජයබාහු රජුගෙන් පසුව මෙරට දේශපාලන තත්වය පිළිබඳව සලකා බැලීම වැදගත් වේ. මෙයට පෙර ලිපියකින් ඒ පිළිබඳව තොරතුරු ඉදිරිපත්කර ඇති බැවින් ඒ පිළිබඳව මෙහිදී කරුණු ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු නොවේ. ඒ සම්බන්ධ පෙර ලිපිය කියවීමට Link >>

ලිපියේ සඳහන් වන මුගලන් හෙවත් මොග්ගල්ලාන තෙරුන් හඳුනාගැනීම සම්බන්ධයෙන් දීර්ඝ කරුණු දැක්වීමක් ඉදිරිපත් කරන මෙම ලිපිය H.C.P. බෙල්ට පසුව දෙවෙනිවර කියවා පරිවර්තනය කරන Z. වික්‍රමසිංහ මහතා ඒ හිමියන් පළමු විජයබාහු යුගයේ සාමනේර නමක්ව සිට පළමුවන පරාක්‍රමබාහු යුගයේ ශාසන පුනර්ජීවන කටයුතු දක්වාම සිටි මොග්ගල්ලාන ව්‍යාකරණ ග්‍රන්ථය කරවූ හිමියන් ලෙස හඳුනාගනී. ඉහත සෙල්ලිපියේ ඒ හිමියන් ව්‍යාකරණ සම්බන්ධ විශේෂ දැනුමක් තිබූ අයෙක් ලෙසද හඳුන්වා තිබීම එම හඳුනාගැනීම නිවැරදි බවට තවදුරටත් තහවුරු කරයි. එසේම වික්‍රමසිංහ මහතා මෙම ලිපිය පිහිටවූ කාලය ක්‍රි.ව 1137 ත් 1153 ත් අතර කාලය විය හැකි බවට අනුමාණ කරයි . ඒ වූ කලී බුද්ධ ශාසනය සම්බන්ධයෙන් එතරම් සැලකිල්ලක් නොදැක්වූ සහ ඇතැම් අවස්තා වලදී එයට විරුද්ධව කටයුතු කල පළමුවන වික්‍රමබාහු රජුගේ (වික්‍රමසිංහ මහතාට අනුව ක්‍රි.ව.1116 – 1137  පරණවිතාන මතය – ක්‍රි.ව. 1111 – 1132) අවසන් කාලය හෝ අනතුරුව පොළොන්නරුවේ බලයට පත්වූ එවැනිම වූ දෙවන ගජබාහු රජුගේ (වික්‍රමසිංහ මහතාට අනුව ක්‍රි.ව.1137 – 1153  පරණවිතාන මතය – ක්‍රි.ව. 1132 – 1153) මුල් කාලය වේ. (විවිධ හේතූන් නිසා බුද්ධ ශාසනය කෙරෙහි වෛරයෙන් කටයුතු කල පාලකයන් මෙකල මෙන්ම පෙර කාලයේත් සිට ඇත. පන්සලේ පිං කැටයේ එකතු වන මුදල් පවා කොල්ලකා, සංඝයා වහන්සේ 50 නමකට වඩා විවිධ හේතු මත දඟ ගෙහි ලා, අන්‍යාගමිකයන්ට රිසිසේ විහාර ඉඩකඩම් කොල්ලකෑමට සහ විනාශ කිරීමට අවස්තාව සලසා දී,ගොංජා වැනි තම හෙන්චයියන් ලවා ගරුතර සංඝරත්නයට අපහාස සිදුකර අවසානයේ කැළණි පන්සලේ ප්‍රධාන දායක කමින්ද දොට්ට දැමූ ගෙදර යාමට නියමිත බටලන්දේ අගනැති පිංගුත්තරයා සිහි කරන්න.)

එවන් අරාජික සමයන්හීදී දකුණු ඉන්දීය දෙමළ කුලී හේවායන් මෙරට පාලකයන්ට වඩා මුගලන්  තෙරුන් වැනි භික්ෂූන්ට බෞද්ධයාගේ උතුම් වෙහෙර විහාර ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් විශ්වාසී වූවා විය හැක. ඉහත සෙල්ලිපියේ සඳහන් වන පරිදි වේළෛක්කාරවරුන්, මුගලන්  හිමියන් සහ අමාත්‍යවරුන් ( එම අමාත්‍යවරුන් අනිවාර්යයෙන්ම පැවතී රජයේ අමාත්‍යවරුන් විය යුතු බවට ලිපියේ වචන වලින් ගම්‍ය නොවේ.) සමග ඇතිකරගත් ගිවිසුම තඹ සන්නසක මෙන්ම සෙල්ලිපියකද කොටවා ඉර හඳ පවතිනතුරාවට පවතින ලෙසට පිහිටවූ බව පැවසේ.

කෙසේ නමුත් මහාවංශයේ සඳහන් වන්නේ පළමුවන වික්‍රමබාහු රජුගේ කාලයේදීම රජු බුද්ධාදී තෙරුවන් සතු අයගම් පැහැරගෙන සේවකයන්ට දුන් හෙයින්ද, පොළොන්නරුවේ ධාතූන්ගෙන් අලංකාර වූ නොයෙක් විහාර විදේශික භටයන්ට වාසය සඳහා දුන් හෙයින්ද (මෙම මහාවංශ පාඨයෙන් දළදාව තැන්පත් කර තිබූ විහාරය මුගලන් තෙරුන් සහ අමාත්‍යයන් විසින් ප්‍රස්තුත සෙල්ලිපියේ ලෙසින් වේළෛක්කාර භටයන්ට පැවරීමෙන් ඔවුන් බලාපොරොත්තු වූ ආරක්ෂාව වෙනුවට සම්පූර්ණයෙන් වෙනස් දෙයක් වීද යන්න සම්බන්ධව යම් ඉඟියක් ලෙස ගත නොහැකිද යන්න මෙහිදි විමසා බැලිය යුතුය.), සැදැහැවතුන් පාත්‍රධාතුවට සහ දළදාවට පූජා කල මිණි මුතු, රන් ප්‍රතිමා ආදිය පැහැරගෙන විනාශ කල හෙයින්ද ඔහු කෙරෙහි කළකිරුණු අෂ්ටමූල විහාරවාසී භික්ෂූන් වහන්සේලා සහ පාංසුකූලික භික්ෂූන් වහන්සේලා එක්ව උතුම් දළදාව සහ පාත්‍ර ධාතුව ගෙන රුහුණට පලා ගොස් වාසය කල බවයි. ඒ අනුව මෙම සෙල් ලිපිය එම සිදුවීම් වලට පොරොතුව වික්‍රමබාහු රජුගේ කාලයේදීම පිහිටුවන්නට ඇති බවත්, ඉන් අනතුරු කාලයේදී එම ධාතූන් වහන්සේලාද රැගෙන භික්ෂූන්ගේ රුහුණට පලා යාම සිදුවන්නට ඇති බවත් සිතිය හැක.

මූලාශ්‍ර

  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume II (1912 – 1927), Edited and Translated by D. M. de Zilva Wickremasinghe1928
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2015
  • Archaeological Survey of Ceylon Annual Report , H.C.P. Bell, 1903
  • Archaeological Survey of Ceylon Annual Report , H.C.P. Bell, 1911 -1912

%d bloggers like this: