Menu Close

මරණයේ රූප ටෙලි තිරවල ඇඳීම

(2019 සැප්තැම්බර් 01 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

පුද්ගල ඝාතන පිළිබඳ ප්‍රධාන පුවත් අතර ඉඩක් ලැබීම ජනාධිපතිවරණ අපේක්ෂකයන් තේරීමේ තරග සහ ප්‍රසංගාදියෙන් සති කිහිපයකට යටපත්ව තිබුණ ද ගෙවුණු සඳුදාවේ යළිත් හංවැල්ලේ දී සිදු වුණු ද්වි-පුද්ගල ඝාතනයක් හේතුවෙන් ඒ විරාමයට තිත තැබිණ. සුපුරුදු පරිදි මිනීමැරීම සිදුව ඇති ආකාරය පිළිබඳ සජීවකරණ රූප හා චිත්‍ර සටහන් ටෙලිවිෂන් පුවත් අතරට වහාම එකතු වුණු අතර පසුබිම් සංගීතයක් ද යොදා ‘භීභත්ස්‍ය රසය’ ඉහළ නංවා තිබුණු එම පුවත් ‘ප්‍රථම පුවත’ බවට පත් කරගැනීමේ තරගයට මාධ්‍ය ආයතන පොර වැදෙන අයුරු ද දක්නට ලැබිණ. මිනිස් ජීවිතයක් (හෝ කිහිපයක්) අහිමිවීම සංවේදී පුද්ගලයෙකු වෙත කම්පනයක් ඇති කරන අතර යම් අයෙකු විසින් තවෙකකු (හෝ කිහිප දෙනෙකු) මරා දැමීම ඊටත් වඩා කම්පනයක් නිර්මාණය කරනු නොඅනුමාන ය. එහෙත් මා මේ සතියේ ලිපිය ලියන්නට මුල් වන නිමිත්තට හේතු වූයේ මේ මිනීමැරීම් ‘ප්‍රථම පුවත’ බවට පත් කිරීමේ දී ස්වකීය චිත්‍ර සටහන් ටෙලි නාලිකාවේ පුවත් අතරට එක්වීමේ ‘ප්‍රීතිය’ ෆේස්බුක් සටහන් ඔස්සේ මිතුරු මිතුරියන් හා බෙදාහදාගත් තරුණ චිත්‍ර ශිල්පියෙකුගේ පෝස්ටුවක් දැක ඇති වුණු කම්පනයයි.

ප්‍රධාන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සවස 6.55 පුවත් එකතුවේ දී සිය චිත්‍ර සටහන් ද සමගින් මිනීමැරුම් පිළිබඳ ප්‍රවෘත්තිය ‘ප්‍රමුඛ පුවත’ ලෙස විකාශය වීම චිත්‍ර ශිල්පී තරුණයාගේ අමන්දානන්දයට හේතු වී තිබුණු අතර ඔහු නාලිකාවට සහ එහි සේවක ‘පවුල’ට ස්තුතිය සහ ආදරය පළ කරමින් එම චිත්‍රවල පිටපත් ෆේස් බුක් අඩවිය ඔස්සේ බෙදාගෙන තිබිණ. ස්වකීය මිත්‍රයාගේ ‘වෘත්තීය ජයග්‍රහණය’ පිළිබඳ සතුට පළ කරමින් හා එයට ආදරය හා විස්මය පළ කරමින් ඔහුගේ බොහෝ මිතුරු මිතුරියන් අදාළ පෝස්ටුවට යටින් කමෙන්ටු ද පළ කොට තිබිණ.

මිනීමැරුම් හා රිය අනතුරු ආදියෙන් අහිමි වන මිනිස් ජීවිත පිළිබඳ සංවේදී හැඟීම් ජනිත කරවමින් යළිත් එවැනි ආකාර ඛේදවාචක අප සමාජය තුළ සිදුවීම අවම කරවීම සඳහා සිය පුවත් හා වැඩසටහන් ඔස්සේ කරුණු සමාජගත කරනු වෙනුවට අදාල සිදුවීම උත්කර්ෂයට නංවන ස්වරූපයේ පුවත් පළ කරමින් ‘ප්‍රථම පුවත’ වාර්තා කිරීමේ තරගයෙන් ජය ගන්නට වෙර දරන අසික්ෂිත මාධ්‍ය භාවිතාවන් පිළිබඳ මා මෙම තීරය ඔස්සේත්, තවත් බොහෝ වගකිව යුතු පුරවැසියන් විවිධ වේදිකා ඔස්සේත් විරෝධය පළ කොට ඇත්තේ වරක් දෙවරක් නොවේ. එහෙත් ඉහත ෆේස්බුක් පෝස්ටුව හා කොමෙන්ටු එක්තරා අයුරකින් එම භාවිතය හේතුවෙන් ඇති වන ඛේදනීය සමාජ බලපෑම පිළිබඳ හැඟවුමක් ගෙන එමින්, අප නිර්වින්දිත සමාජය පිළිබඳ පිළිබිඹුවක් ද ගෙන එන හෙයින් මා තුළ ඇති වූ නව්‍ය කම්පනය ඔබ වෙත තබමින් ඒ සඳහා පිළිතුරු සෙවීමට ද අප යොමු විය යුතු බවට ආරාධනා කිරීම මෙම ලිපිය ලිවීමේ අරමුණ යි.

මරණයේ චිත්‍ර පෙළ ‘ප්‍රථම පුවතට’ අඳින තරුණයා චිත්‍ර හා සැලසුම්කරණය පිළිබඳ විශ්විද්‍යාල උපාධිධරයෙකි. ඔහුගේ චිත්‍ර ඔහු අදාල ශිල්පය පිළිබඳ දක්ෂතා ඇති තරුණයෙකි යන හැඟවුම අප වෙත තබන්නේ නිතැතිනි. එහෙත් ඔහු තෙලිතුඩ මෙහෙයවන්නට පැය කිහිපයකට පෙර හංවැල්ලේ, පහත්ගම තැනෙක පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරෙන්නේ මව්වරුන්ට දරුවන්, බිරිඳකට ස්වාමියෙකු හා සියල්ලටම වඩා දරුවන්ට පියෙකු ඇතුළු බොහෝ මානව සබඳතා ගණනාවකට නැවතුම් තිත තබමිනි. මෙවැනි සිදුවීම්වල ලේ සහ කඳුළු විකිණිය හැකි දින ගණනින් පසු කිසිම මාධ්‍යයක් ඒ ඉතිරි ජීවිත දෙස හැරී නොබලන හෙයින් යළිදු පෙර වූ ජීවිතය වෙත කිසිදු අයුරකින් නොහැරී, ක්ෂිතිය, කම්පනය ඇතුළු මානසික වේදනාවන් සිත්හි දරාගෙන ඉදිරි සමස්ථ ජීවිතයම ගෙවන එම පවුල්වල බහුතර සාමාජික පිරිස කිසිවකුට මුණ ගැසෙන්නේ නැත. මගේ මුල්ම කම්පනය මිනිස් ජීවිතවල වටිනාකම හා මානව සබඳතාවල වටිනාකම පිළිබඳ චිත්‍ර කලාව වැනි සියුම් කලාවක් හැදෑරූ තරුණයෙකු තුළ සංවේදී බවක් නොහමුවීම හේතුවෙන් නැගෙන්නකි.

කැලණි විහාරයේ බිතු සිතුවම් ඇඳි සෝලියස් මෙන්දිස් නමැති විශිෂ්ට සිතුවම්කරුවා සිය සිතුවම් සඳහා අවශ්‍ය සායම් නිපදවන්නට බිත්තර සුදු මදය සපයා ගැනීමට ‘කැඩුණු බිත්තර’ ඇති වෙළඳ සැල් සොයමින් ඇවිද ගිය කතාවක් මා අසා ඇත. චිත්‍ර කර්මය වෙනුවෙන්ම බිත්තර නොකැඩීමට ඔහු පෙළඹී නොමැත්තේ ඔහු වෙත වූ අවිහිංසාවාදී දැක්ම හේතුවෙන් බව මෙන්දිස් චරිතය පිළිබඳ විවිධ ලේඛණ දෙස් දෙයි. දවසකට දස දහස් ගණනින් මිනිස් පරිභෝජනයට එක් කරගන්නා බිත්තරයක් හමුවේ වුව සිය දෘෂ්ටිය වෙනස් නොකළ දේශීය චිත්‍ර ශිල්පියෙකුගේ අතීතය එපරිදි ය. මේ තරුණයා සතුටු වන්නේ බිත්තර බිඳීමක් දැක හෝ ඇඳ නොවේ. පෙරදා වූ මිනීමැරුමක් චිත්‍රයට නඟා එහි තිර රූප දැක ය.

චිත්‍රය මතු නොව ඕනෑම කලාවක් භාවිතා විය යුත්තේ මානව ප්‍රගමනය වෙනුවෙනි. ඒ හා ගණුදෙනු කරන කලාකරුවෙකු වෙත ද දයාර්ද්‍රිතව ගලා හැලෙන හදවතක් මෙන්ම තියුණු මානව ප්‍රේමයක් පැවතිය යුතු ය. තමන්ගේ තෙලිතුඩින් නැගෙන සිතුවමක, ඇඟිලි තුඩකින් නැගෙන තත් සරයක, ශරීර හැඩතලයකින් නැගෙන නර්තන රිද්මයක අවසාන යෙදවුම කුමන අන්තයක් වෙත යොමු වේ දැයි ඔහුට හෝ ඇයට තියුණු සංවේදනයක් තිබිය යුතු ය.

මෙරට මුණ ගැහෙන බහුතරයක් රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන කටයුතු කරන්නේ පුරවැසියා සිය ප්‍රමුඛ සඳහනෙහි තබාගෙන නොවේ. ස්වකීය දෘෂ්ටිවාදය හා ඒ අනුයන පාලකස්ථානය ස්ථාපිත කරවීම හෝ ස්ථාපිත පාලකස්ථාන සුරක්ෂිත කිරීම එක් අන්තයකින් ද, වෙළඳ ප්‍රචාරණ උපායයන් හරහා අධික ලාභ ඉපයීම අනෙක් අන්තයෙන් ද තබා ගනිමින් ඒ ආයතනවල ක්‍රියාදාම පසුපසින් වෙයි. එක් අතෙකින් මුලින් සඳහන් පාලකස්ථානය හා කටයුතු කිරීම රාජ්‍ය මාධ්‍යවලදී පෙරමුණෙහි වද්දී පෞද්ගලික නාලිකා හමුවේ ඒ එම කරුණ (හෝ ප්‍රතිවාදී බලඇණිය පාලකස්ථානයේ තැබීම) හා සමානුපාතිකවම ලාභ ඉපැයීම ද වෙයි. ‘මරණයට’ චිත්‍රමය ‘ප්‍රමුඛ පුවත්’ වටිනාකමක් ලැබෙන්නේ මෙතැනිනි.

නිශ්චිතව හතේ, අටේ කණිසම්වලට ඇසෙමින් තිබුණු ප්‍රවෘත්ති @55 දක්වා විනාඩි 05කින් පසුපසට පැමිණීම, ‘පළමුවැන්නා අප ය’ යන හැඟවුම සහිත නානාවිධ ‘උද්ධෘතයන් ලියැවීම’ මේ ප්‍රවෘත්ති තරගයේ මෑත දුටු කරණම් වර්ග ය. එහෙත්, කිසිදු නාලිකාවක් පුරවැසියා පෙරමුණට තබමින් වගකීම්සහගත කටයුතු කොට, මාධ්‍ය ආචාරධර්ම සුරක්ෂා කොට සිය ග්‍රාහකයාගේ බුද්ධියට ගෞරව කොට, ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමක නිරත වන බවකට සළකුණක් හෝ හඳුනාගන්නට නැත.

වසර 13ක් ඉක්මවින් පාසැල් අධ්‍යාපනය කෙළවර කොට, ඉන් පසුව තවත් වසර 4-5ක් විශ්වවිද්‍යාලවල ගත කොට ඉන් පිටව එන තරුණයෙකු හෝ තරුණියක කුමන හෝ නීත්‍යානුකූල වෘත්තියක නිරත වෙමින් රටේ ශ්‍රම බලකාය හා එක්වීම සිදු විය යුත්තකි. විශ්වවිද්‍යාල කෙළවර කරන වෛද්‍ය ශිෂ්‍යයෙකුට මෙන් නිශ්චිත වුණු තබා එළඹිය හැකි කුමන හෝ වෘත්තියක් පිළිබඳ අදහසක්වත් කලා උපාධිධාරීන් වෙත නිශ්චිතව ඇති කරන්නට සමත් පැහැදිලි ක්‍රියා පිළිවෙතක් අප රට තුළ නොමැති පසුබිමක චිත්‍ර හා සැලසුම්කරණය උගත් උපාධිධාරී තරුණයෙකුට/තරුණියකට පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සැලසුම් ශිල්පියෙකු ලෙස (හෝ සමාන වෘත්තියක) සේවය කරන්නට අවස්ථාව ලැබීම අගනේ ය. අර්බුදය ඇති වන්නේ එහි ගොඩ වදින ඔහු/ඇය සදාචාර සම්පන්න සිතුවිලි දොරකඩ තබා ඇතුළු වූ විට ය. නොඑසේනම්, ඔහුගේ/ඇයගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඔවුන් වෙත ඒ පිළිබඳව සඳහනක් හෝ සිදු කර නොමැත්තේ නම් ය.

මිනී මැරීමක්, ස්ත්‍රියකට සිදු කළ අතවරයක්, රිය අනතුරක් වැනි යමක් පිළිබඳ චිත්‍රයට නැගූ හෝ සජීවකරණය කළ රූප පෙළක් ප්‍රවෘත්ති සංස්කාරකවරයා වැනි ඉහළ නිළයක් විසින් ඉල්ලා සිටීමත්, ඒ ඇඳ දෙන්නට සිදු වීමත් එහි සේවය කරන සිතුවම් නිර්මාණකරුවකු හමුවේ වන ඔහුට පාලනය කළ නොහැකි දේ බැව් මම දනිමි. වේතනය පිළිබඳ අදහසත්, රැකියාවක සුරක්ෂිත බවත් ගැන සිතමින් ඔහුට ඒ සිදු කරන්නට වන බව පිළිගනිමි. අර්බුදය නිර්මාණය වන්නේ එම ‘මරණයේ රූප’ පළ කළ නාලිකාවට ආදරය කරන බව කියමින් සතුටු වන්නට ගත් විගසම ය. ඒ, එම සතුටෙහි මුල තවත් පියෙකුගේ, ස්වාමි පුරුෂයෙකුගේ, පුතෙකුගේ මරණයක් සමග මෙන්ම තවත් දරුවකුගේ, බිරිඳකගේ, මවකගේ හෝ පියෙකුගේ වේදනාව සමග එක්ව බැඳී ඇති හෙයිනි.

මිනිස් ජීවිතයක් අගය සියල්ලට පෙර ය! අපට ඒ වෙනුවෙන් සියලු කැපකිරීම් කළ නොහැකි වුවත් හෘද සාක්ෂිය ඒ වෙනුවෙන් කැප කළ යුතුම ය!

          ප්‍රියන්ත ෆොන්සේකා 
  
        සේයාරුව: Da Professa ගෙන එන මාධ්‍ය ආචාරධර්ම පිළිබඳ ඉදිරිපත් කිරීමකිනි.


 

%d bloggers like this: