Menu Close

ඔබ, මම සහ සයවසර

වලාකුළුමය සය වසරක් ගෙවී ගොස් අවසන් ය… දරාගන්නට නොහැකිව හඬා වැටුණ රාත්‍රීන් ගණනාවක් මා පසුකළ පසුව, මට ලඟා වෙන්නට නොහැකි දුරක සිට,ඔබ මට ආදරේ කියා, මේ ගෙවී යන්නේ එකුන් සත් වසරයි..

සැප්තැම්බර් වැස්සේ නොනවත්වාම ජනේල වීදුරුව මත්තේ වැලපෙන සීතල, ඈතින් ඇහෙන නන්දාගේ “සුලං කපොල්ලේ” සිංදුවේ තනුව මත දියව යමිනි..ඔබ එතැයි මා බලා සිටි දින, ඔබ නෑවිත්ම අතීතේ අවතාරමය මතක අස්සේ සැඟවෙද්දි, මම, වර්තමානයේ තප්පර ඔබ එතැයි කියා බලා සිටින්නට වෙන් කරමිනි.. ආදරේ කොයිතරම් දේවල් උසුලාගෙන සිටිනවා ද.. සාංකාවේ සහ බලාපොරොත්තු කඩවීමේ විසල් බර මේ තරම් කාලයක් ආදරේ උසුලාගෙන සිටීම ම පුදුමයක් නොවෙයි ද..

“මං ගැන ලියන්නේ නැද්ද” අසමින්  නිතරෝම රණ්ඩු කරන, ඔබ ගැන ලියන්නට බොහෝ දේ ඇති මුත් හදවතේ කොණක සඟවන..ඉතා බොලඳ ප්‍රේමයක සිට, කොයිතරම් කල් ඈත්ව සිටියත් නොවෙනස්වෙන ප්‍රේමයක් දක්වා ඔබේ ස්නේහ මුදුන් මුල් හදවතේ පතුළටම ගොස් අවසන් ය..

තවමත් දකිමින් සිටින සිහිනයන් ද, ඉදිරි දිගු රාත්‍රීන් වල දකින්නට නියමිත සිහිනය  ද, ඔබ සින්නක්කර ලියගෙන ඇති හැටි!! ඉතින් දුක් කඳුළු මට දන් දීම නතර කර, සිනහවක් රැගෙන සත්වෙනි වසර වෙත මා ඔසවාන යන්නට ඔබ එනවා නේද..

%d bloggers like this: