Menu Close

මහා අපරාධකරුවන්ට අභයදානය දුන් නිශ්ශංකමල්ල රජුගේ ප්‍රීතිදානක මණ්ඩපය

1900 වසරේ මින්නේරියේ සිට පොළොන්නරුව දක්වා මාර්ගය ඉදිකිරීමේ කටයුතු සිදුකරමින් සිටියදී, එවකට තෝපාවැව ලෙස හැඳින්වූ පරාක්‍රම සමුද්‍රයේ උතුරු කෙලවර අසල තිබූ හින්දු දේවාල කිහිපයක නටබුන් මතුවිය. එම ස්ථානයේ 1901 වසරේ සැප්තැම්බර් මස කැනීම් කටයුතු සිදුකල පුරාවිද්‍යා කොමසාරිස් H.C.P. බෙල් මහතා හට වෙනත් බොහෝ සොයාගැනීම් වලට අමතරව අසල වූ ගල් පර්වතයක් මත එහි බටහිර කොටසේ ගලෙහි මතු කල පඩිපෙලක් අසල වූ සෙල් ලිපියක්ද හමුවිය. තවද පඩිපෙල ඔස්සේ ඉහලට නැගුන විට දිගැටි හැඩයෙන් පර්වතය මතු පිට ඉදිකර තිබූ ගොඩනැගිල්ලක නොහොත් මණ්ඩපයක නටබුන්ද දැකගත හැකිවිය.

බටහිර දිශාවෙන් ගලෙහි කොටා ඇති පඩි 25 කින් යුත් පඩිපෙල

ශ්‍රී පරාක්‍රාන්තිබාහුශශ්‍රීමාන්නිශ්ශංකමල්ල ලෙසින් ලිපියේ ආරම්භයේ එන සංස්කෘත ස්ලෝකයේද, සිරිසඟබො නිශ්ශංකමල්ල කාලිඟ පරාක්‍රමබාහු චක්‍රවර්තතීන් වහන්සේ ලෙසින් ඉන්පසු සිංහල භාෂාවෙන් එන කොටසේද හඳුන් වන ලිපිය කරවූ රජු හඳුනාගැනීම අපහසු නොවේ. හේ අන් කිසිවෙකු නොව වැඩිම සෙල්ලිපි ප්‍රමාණයක් රටේ සැම දිශාවකම පාහේ පිහිටවූ, පොළොන්නරු යුගයේ රාජ්‍යය විචාල  නිශ්ශංකමල්ල රජතුමාය.

සෙල් ලිපිය 

නිශ්ශංකමල්ල රජුගේ සෙල්ලිපි වල සුලභව හමුවන අතිශයෝක්තියෙන් යුත් ආත්ම වර්ණනාවන් වලට අමතරව මෙම ලිපියේ අඩංගු වන වැදගත් තොරතුරු කිහිපයක් මෙසේ සම්පිණ්ඩනය කර දැක්විය හැක.

  • හෙතෙම ශ්‍රී ජයගොප මහාරාජයන් වහන්සේ නිසා පාර්වතී මහ දේවියගේ කුසින් පුලස්තිපුර නම් වූ කාලිඟපුරයෙහි උපන් බව.
  • ඔහු මෙරට රාජ්‍යයත්වයට පත්වූ පසු පෙර කල ලංකාවාසීන්ගෙන් අය කල අසාධාරන බදු පස් වසරකට අත් හිටුවා ඉඩකඩම්, වහලුන්, වස්ත්‍රාභරණ, හරකාබාන වැනි නොයෙක් වස්තුව ජනයාට ලබා දුන් බව සහ සොරුන්ගේ සොරකම් නැවැත්වීම පිණිස ඔවුන්ටද වස්තු, ගම් බිම් ඇති තරමින් ලබා දී සොරකම් නැවතූ බව.
  • සූර්ය වංශයේ උපන් කාලිඟ සුභද්‍රා මහදේවීන් රජුගේ අගමෙහෙසිය බව, ගංගා වංශයේ උපන් කල්යාණ මහදේවී නම් තවත් දේවියක ඔහුට සිටි බව සහ යුව රජ තැන්පත් වීරබාහු ඔවුන්ගේ පුතණුවන් බවත්, වාර්ෂිකව රජුගේ සහ ඔවුන් තිදෙනාගේ බරට සමාන බරින් යුත් නවරත්න තෑගි ලෙසින් ජනයාට ලබා දී දුප්පත්කම නැති කල බව.
වම් පස රූපය – ප්‍රීති දානක මණ්ඩපයේ බටහිර පැත්තේ වූ ගඩොල් බිත්තියක කොටස් සහ එම ගඩොල් බිත්තියේ පාදම උදෙසා ගල මතු පිට හාරා ඇති කාණුව. දකුණු පස රූපය – ලී කණු සිටුවීම උදෙසා ගලෙහි තනා ඇති කණු කුහර
  • රජු ලක්විජයසිඟු සෙනෙවි තාවුරුනාවන් ලවා රතනගිරි නම් වූ වටදාගෙයක් කරවා, ගම් බිම් වෙහෙරවැස්සන් (Monastic staff) ආදිය එයට පිරිනැමූ බව සහ උපකාරචෛත්‍යයරතනචෛත්‍යය ආදී මහසෑ තුන් රජයෙහි කරවූ බව. තවද ඔහු අනුරාධපුරයේද දාගැබක් කරවූ බව.
  • ඔහු දඹුලු ලෙණෙහි රත්‍රන් ආලේපිත වැදහොත් (Recumbent), හුන් (Sitting) සහ සිටි (Standing) පිළිම 73 කරවා. එහිම දාගැබක් සහ වෙහෙරක් කල බව.
සෙල් ලිපියේ කොටසක්
  • මැඬිලිගිරි, වෙලගම්වෙහෙර, මහගම, දෙවුනුවර, කැලැණි ආදීවූ ප්‍රසිද්ද විහාර වලට ගොස් මහා පූජා කල බව.
  • අනුරාධපුර, ශ්‍රීපුර, ශ්‍රීවාසපුර, නිශ්ශංකපුර, කාලිඟවිජයපුර, මහපුටුප, ශොනය, කාලිඟය, රාමෙශ්වරය යනාදී නොයෙක් මෙරට සහ විදේශ නගර වල දාන ශාලා ඉදිකර දන් දුන් බව. එසේම ඔහු වැඩවාසය කල පුලස්තිපුර නම් කාලිඟපුරයෙහි  ත්‍රිභුවනසත්‍රය, නිශ්ශංකසත්‍රයබ්‍රාහ්මණසත්‍රය, බෞද්ධසත්‍රය, බහුජනසත්‍රය යනාදී නොයෙක් දාන ශාලා කරවූ බව.
දාන ශාලාව ලෙසින් වැරදියට නම් කර ඇති ප්‍රීති දානක මණ්ඩපය
ලිපියේ අවසානයේ එම ස්ථානයේ ඉදිකල මණ්ඩපය පිළිබඳව සඳහන් වේ. එහි දැක්වෙන්නේ “..සියළු දානයට උත්තමවූ ධර්ම (දානය ) පවත්වන්නට ප්‍රීතිදානක මණ්ඩපයක් කරවූ බවය. තවද මහා අපරාධ කල පුද්ගලයන් මෙම මණ්ඩපයට වන් කල අභය දිය යුතු බවට (එනම් මහා අපරාධ කර වුවද මෙම මණ්ඩපයට පැමිණියහොත් ඔවුන් දඩුවමින් මිදවිය යුතු බව) නියම කර එම සෙල්ලිපිය පිහිටවූ බව එහි අවසානයේ සඳහන් වේ. 
 ප්‍රීති දානක මණ්ඩපය
අනුරාධපුර, පොළොන්නරුව වැනි පැරණි අගනුවරවල් වල හමුවන ඇතැම් නටබුන් ගොඩනැගිලි ඉදිකල කාලය, අරමුණ සහ ඉදිකල රජු පිළිබඳව නිශ්චිත තොරතුරු හමු නොවන මුත් මෙම ප්‍රීතිදානක මණ්ඩපය පිළිබඳව තත්වය එසේ නොවේ. නමුත් මෙම ස්ථානය හැඳින්වීම උදෙසා තබා ඇති පුවරුවේ එය හැඳින්වෙන්නේ ‘දාන ශාලාව’ ලෙසිනි. (ඉංග්‍රීසි භාෂාවෙන් ‘Refectory’). මෙවන් ස්ථාන නඩත්තුව උදෙසා නරඹන්නන්ගෙන් මුදල් අයකර නඩත්තු වන  මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් බිලියන ගණනක් සිය පුද්ගල ප්‍රතිරූපය නඩත්තුව උදෙසා පිල්ලි ගැසූ, ඇස් ගිලිණු, රෑට නින්ද නොයන, ඔහුට අයත් මන්දිර වල ඔහු නැතිව ආර්යාව පමණක් වාසය කරන, වෙව්ලන්නේ නැති ලෙස ඒදණ්ඩකින් වුවද එතෙර විය හැකි,  දිවයින පුරා නිධන් භාර බහිරවයන් සමග නිබඳව ඔට්ටු වන, ඔහු බලයට ආවිට ලෝකයේ ණය දෙන රටවල් සියල්ල මෙරටට කැඳවා ණය ගෙන ඒවා දුප්පතුන්ට බෙදා දී (නිශ්ශංකමල්ල කල ලෙසින්ම) දුප්පත්කම නැති කරන බව කියන  2020 සිහින ජනාධිපති අපේක්ෂකතුමෙකුට අයත් අමාත්‍යාංශයකින් මේ කුණු වී ඕජස් ගලන 62 ලක්ෂයක් වූ ගව මහීෂාදීන් වසර 5 කට  පෙර ගෙන ආ ජඩපාලනයේ  හංස ගීතය ගැයෙන අවදියේ ඊට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක.
මූලාශ්‍ර
  • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume II (1912 – 1927), Edited and Translated by D. M. de Zilva Wickremasinghe1928
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 6 , G.S. Ranawella, 2007
  • Archaeological Survey of Ceylon Annual Report , H.C.P. Bell, 1901
  • Archaeological Survey of Ceylon Annual Report , H.C.P. Bell, 1902
%d bloggers like this: