Menu Close

‘පන් කොටුවේ’ වික‍්‍රමය


විෂ බැර ලෝහ ඉවත් කරන

පන් කොටුවේවික‍්‍රමය

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
ජනප‍්‍රිය ව්‍යවහාරයේ දී නම්, ‘වැවක්යනු හුදු වතුර ටැංකියකි. එය නිපදවා ඇත්තේ වැසි සමයේ දී ලැබෙන වතුර ටික, ඉඩෝර සමයේ ප‍්‍රයෝජනය පිණිස රැස්කර තබා ගන්නට ය. තව ඉතින් වැව් මාළුටිකක් අල්ලා ගැනීම වැනි අතිරේක ඵල ප‍්‍රයෝජන ද වැවකින් ලැබේ යයි මිනිස්සු කල්පනා කරති!
ඔවුන් මෙසේ කියන්නේ නවීන තාක්ෂණය යටතේ මෑතක ඉදි කෙරුණු වැව්  හෙවත් මහා ජලාශවලටය. එහෙත් පැරණි ව්‍යවහාරයේ හැටියට, ‘වැවක්යනු සෞඛ්‍ය සම්පන්න ජන ජීවිතය, ආහාර සහ ගොවිතැන, පරිසර හා ජල සංරක්ෂණය ආදී වශයෙන් බහුවිධ භාවිතාවක් සහිත, සජීවී නිර්මිතයකි. එවන් වැව් ඉදි කළෝ පැරණි රජවරු ය.
සෑම අවස්ථාවක ම, වැවකට එකතු වන්නේ වර්ෂා ජලයයි. ඒවා කෙලින් ම අහස් දියෙන් වේවා, වැව ඉහත්තාවෙන් ගලා එන දිය සීරා ඔස්සේ හෝ වේවා, එක් රැුස් වීමෙන් වැවක ජල තලය නිර්මාණය වෙයි. පැරණි ලාංකේය වැව’, ගම් වැව්, කුළු වැව් (කැලෑ වැව්), මහ වැව් සහ මහා සමුද්‍ර ආදී වශයෙන් මාදිලි ගණනාවකින් සමන්විත ය. එසේම ඒවාට, කෙත් ඇළවල් සහ යෝධ ඇළවල් ආදී වශයෙන් ඇළ මාර්ග පද්ධතීන් ද අයත් වේ. තමන්ගෙන් යැපෙන්නන්ට ජලය අවශ්‍ය සෑම අවස්ථාවක දීම, ඉතා පිරිසිදුනැවුම් දියවර නිකුත් කිරීම, වැවක පාරම්පරික කාර්්‍යභාරය විය.
දේශීය පාරම්පරික වැව, කෘෂිකාර්මික ජලය සහා ද, පානීය ජලය සහා ද, පරිසරයේ ප‍්‍රයෝජනය සහා ද, විෂ බැර ලෝහ හෝ ලවණ (කිවුල) පෙරා පිරිසිදු  කරන අතිශයින් ම කාර්්‍යක්ෂම පෙරහනක්වශයෙන් පැවති බව, වැව් සම්බන්ධයෙන් වන අලූත් ම කියැවීමයි. පෙරහන සක‍්‍රිය කිරීමපිණිස අනාදිමත් කාලයක් මුළුල්ලෙහි මහා දායකත්වයක් දරමින් සිටින්නේ පන් වර්ගයයි සොයා ගැනීම, අලූත් ම කාරණයයි!
මේක හරිම විශේෂිත දෙයක්. වැව් ආශ‍්‍රිතව වැවෙන පන් වර්ග ඉතා සීග‍්‍රයෙන් විෂ බැර ලෝහ සහ ලවණ උරා ගන්නවා. එයින් ජලය පිරිසිදු වෙනවා. පහුගිය කාලයේ රජරට විශ්ව විද්‍යාලයේ කෙරුණු පර්යේෂණ කිහිපයකින් ම, මේ කාරණය හෙළි වුණා. අපිත් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ එල්ලංගා වැව් දාමවලකළ හැදෑරීම්වල දී මේ කාරණය අත් දකින්නට හැකි වුණා’, රජරට ප‍්‍රදේශයේ පැරණි වාරි පද්ධති සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන, පාංශු සහ ජල විද්‍යාඥවරියක වන ආචාර්ය ගීතිකා විජේසුන්දර මහත්මිය කියන්නී ය.
රසායනික පොහොර, වල් නාශක සහ කෘමි නාශක ඇතුළු කෘත‍්‍රිම කෘෂි රසායන ඔස්සේ පොළොවට විෂ එකතු වන බව, මුලින් ම කතාබහට ලක් වූයේ 1990 දශකය මුල් භාගයේ ය. එය මහජන අවධානයට ලක් වූයේ මාරන්තික කෘෂිකාර්මික වකුගඩු රෝගය රජරට ප‍්‍රදේශයෙන් ඉස්මතු වීමත් සමගිනි. ඒ සම්බන්ධයෙන් කෙරුණු පර්යේෂණ ඔස්සේ අනාවරණය වූයේ කෘෂි රසායන මගින් පොළොවට සහ ජලයට එකතු වන ආසනික්, කැඞ්මියම් සහ රසදිය ආදී බැර ලෝහ වර්ග නිසා මාරාන්තික වකුගඩු රෝගය හට ගන්නා බව ය. රටේ ප‍්‍රධාන කෘෂිකාර්මික ප‍්‍රදේශවල පස හා ජලයට වස-විස මුසුව ඇති බව එයින් කෙරුණු ලොකු ම හෙළිදරව්වයි. ඉන් මිදෙන මං සෙවීම සහා පසුගිය කාලය පුරාවට විවිධ කතිකාවන් ද හට ගත්තේ ය.
පන් වර්ගභාවිතයෙන් විෂ බැර ලෝහ සහ ලවණතාවය පෙරා දැමිය හැකි යයි අනාවරණයකර ගැනීම ද, ඒ කතිකාවේ ම දිගුවකි!
දේශීය භාවිතාවේ දී පන් වර්ගයොදා පැදුරු-මළු විවීම ඇතුළු බඩු භාණ්ඩ නිපදවා ගැනීම, පාරම්පරික කර්මාන්තයකි. එයින් කෙරුණේ, රටා පැදුරු, මාගල්, බුමුතුරුණු, ඇතුල් පත්, වට්ටි-පෙට්ටි, මළු, හැඳි ආන් ආදී ගෘහ පරිභෝග භාණ්ඩ නිපදවා ගැනීමයි. පන් කොල කපා පියා, බඩු භාණ්ඩ සැකසීම, කර්මාන්තයක් ලෙස පවත්වා ගෙන යනු ලැබුවේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල කාන්තාවන් විසිනි. පන් වර්ග වැවුණේ ජලජ පරිසරයේ ය. ඒවා කැපීම, වේලා, සායම් පොවා වර්ණ ගැන්වීම සහ පැදුරු ආදිය වියා සැකසීම කෙරුණේ ඔවුන් අතිනි.
පන් වර්ග, උද්භිද විද්‍යාත්මකව අයත් වන්නේ සයිපරේසියේ’ ‘Cyperaceaeකුලයට ය. ඒවා අතර, ගල්ලැහැ පන්, හම්බු පන්, පොතු පන්, ඉකිරිය පන්, හැවන් පන්, බොරු පන්, හීන් පන් සහ තුන්හිරියා පන් ආදී වශයෙන් වර්ග ගණනාවකි. ආචාර්ය ගීතිකා විජේසුන්දර මහත්මිය පවසන අන්දමට, මේ පන් වර්ග හැම එකක් ම පාහේ ජලයෙහි විෂ බැර ලෝහ සහ ලවණ (කිවුල) පෙරීමේ ගුණයෙන් පොහෝනේ ය.
ලාංකේය වැවේ ක‍්‍රියාවලිය මහත් සංකීර්ණ එකකි. ඇතැම් වැවක, ඉහත්තාවේ තවත් කෘෂිකාර්මික ප‍්‍රදේශ පැවතුණා විය හැකි ය. එහෙත් බොහොමයක් අවස්ථාවල, වැව ඉහත්තාවේ පිහිටියේ වනාන්තරයකි. එය වර්ෂා කාලයට සෑහෙන තරම් ජල සම්පතක් පොළොවට අවශෝෂණයකර ගනියි. එයින් කුඩා ජල ධාරා ජනිත වෙයි. ඒවා නිරන්තරයෙන් ම, පහළින් පිහිටි වැවට ගලා බසියි. ඇතැම් විට, කුඩා ජල දහරා හරස්කර කුඩා ප‍්‍රමාණයේ කුළු වැව්’ (කැලෑ වැව්) ද ඉදිකර තිබේ. ඒවායෙහි රැස්වන ජලය කෙලින් ම ගොවි බිම්වලට යන්නේ නැත. ඒ වෙනුවට, ඒවා ගලා බසින්නේ  තවත් කුඩා වැව් දාමයක් ඔස්සේ ය. මේවා එල්ලංගා වැව් පද්ධතියයි හැඳින් වේ. එල්ලංගා පද්ධතිවල ජලය ගලා බසින්නේ වැවෙන් වැවට ය. අතීතයේ  ඇතැම් පැරණි මහ වැව් ආශ‍්‍රිතව, කුළු වැව් කිහිපයක් ද ඉදිකර තිබිණි. මහ වැව ඉහත්තාවේ  කැලෑ භූමියෙහි පොළොවේ තෙතමනය ආරක්ෂාකර ගැනීම සහ මහ වැවට, රොන් මඩින් තොර, පෙරා ගත් පිරිසිදු ජලය පමණක් ලැබෙන්නට සැලැස්වීම, කුළු වැව් දාම ඉදි කිරීමේ අරමුණ වන්නට ඇත.
පැරණි වැවේ ක‍්‍රියාවලිය අනුව, කුළු වැව් ඔස්සේ හෝ වනය ඉහත්තාවෙන් එන ජල දහරා කෙලින් ම වැවට එකතු වන්නේ නැත. ඊට පෙර ඒවා වැව ඉහත්තාවෙන් පිහිටි වගුරු බිම් ප‍්‍රදේශයකට එකතු වේ. එහි තිබෙන වලවල් ගොඩ වලවල්’’ නමින්  හැඳින්වෙයි. ඒවා ද ඉහළින් ඇදී එන වතුරින් පිරෙයි. ගලා එන වතුරේ ඇති බැර ලෝහ සංඝටක, වගුරු බිමේ දී හෝ ගොඩ වලවල්වල දී හෝ පෙරී යයි. මේ ආකාරයට, වැවේ ජල තලයට එකතු වන්නේ, වගුරු බිම ඔස්සේ පෙරී එන දියවරයි. ඇතැම් වැවක තාවුල්ල සහ වැව වටා භූමියේ කැලෑ ගොම්මනක් ද දැකිය හැකි ය.  ලාංකේය පැරණි වැවේ, විෂ බැර ලෝහ සහ ලවණ පෙරීමේ රහස ඇත්තේ මෙතැන ය. ගොඩවල්  හෝ වගුරු බිමේ ය!
පැරණි ගම්වල විවිධ පන් වර්ග සහිතව පන් කොටුවවා තිබුණේ ගොඩ වලවල් සහිත වගුරු බිමේ ය. එසේම, ඒවායෙහි විවිධ පන් වර්ග, කන්කුන් සහ නෙළුම් අල ආදිය ද සරුවට වැවිණි. මේ ශාක සම්පත, විෂ බැර ලෝහ සහ ජලයේ දියව ඇති ලවණ වේගයෙන් උරා ගැනීමේ ගුණයෙන් පොහොසත් ය. වගුරු බිමේ දී හෝ ගොඩ වලේ දී, බැර ලෝහ ආදිය පෙරී යනවා යයි කීව ද, ඇත්තට ම සිදු වන්නේ බැර ලෝහ ආදිය පන් ආදී ශාකවලට උරා ගැනීමයි. එය අපූරු පිරිපහදු ක‍්‍රමයකි. බැර ලෝහ වැඩියෙන් ම උරා ගන්නා පන් වර්ග හඳුනා ගැනීම පිණිස, රජරට විශ්ව විද්‍යාලයේ ආචාර්ය ශ‍්‍රියාණි වික‍්‍රමසිංහ මහත්මිය දැන් කලක් තිස්සේ පර්යේෂණ පවත්වමින් සිටින්නී ය.
 ඕනෑම වැවක් සිය ජල තලය රවා ගෙන සිටින්නේ වැව් බැම්මෙනි. ඇතැම් තැනක වැව් බැම්ම හඳුන්වන්නේ වෑ කන්දයනුවෙනි. වැවෙහි රැස් කරන දියයවර කෙත් බිම්වලට ගෙන යන සොරොව් (ගොඩ සොරොව් සහ මඩ සොරොව්) සහ බිසෝකොටු ආදිය ද ඉදිකර ඇත්තේ වැව් බැම්ම ආශ‍්‍රිතව ය. වැව් බැම්මට පහළ ප‍්‍රදේශයේ කට්ටකාඩුවසහ ගොවි බිම්වලට ජලය ගෙන යන ඇළවල් ඉදිකර තිබෙනු දක්නට ලැබේ.
වැව් බැම්මට යටින් ඉතා සියුම් ලෙස කාන්දුවන ජලයේ වුව, බැර ලෝහ හෝ ලවණ මුසු ජලය තිබෙන්නට පුළුවන. ඒවා එක් රැස් වන්නේ වැව් බැම්මට පහළ පිහිටි  කට්ටකාඩුවනම් භූමි තීරුවට ය. කට්ටකාඩුව ද, වැව් ජලය පිරිපහදු කරන එක් උපක‍්‍රමයකි. පාරම්පරික වැව්වල කට්ටකාඩුවෙහි යතුරු වලවල්නමින් හැඳින්වෙන දිය වලවල් දක්නට ලැබේ. වැවෙන් ඇදී එන බැර ලෝහ හෝ ලවණ මුසු ජලය ඒවායෙහි එක් රැස් වන අතර, එහි සිට ඇරඹෙන කිවුල් ඇළඔස්සේ ඒවා ගොවි බිම්වලින් පිටතට ගලා යයි.
කට්ටකාඩුව ද වගුරු බිමක් බඳු භූමියකි. එහි සියලූම පන් වර්ග ද සහිත පන් කොටුද දැකිය හැකි ය. එසේම, කුඹුක්, මී, තල්, කිතුල්, කොස්, අඹ, දිවුල්, ඔළි, එරබදු, වැටකෙයියා, නෙල්ලි, වේවැල්, ලූණවරණ, හබරල, තිඹිරි, කෝන්, කර, පටබෙලි, කොහිල, ඇත් තෝර, කන්කුන් සහ හණ ආදී ශාක ප‍්‍රජාවක් ද දැකිය හැකි ය. මේ ශාක වර්ග ද විෂ බැර ලෝහ හෝ ලවණ උරා ගැනීමෙහි වෙසෙස් සමත්කම් දක්වන බව, ආචාර්ය ගීතිකා විජේසුන්දර මහත්මිය පවසන්නී ය.
වැව්, කෘෂිකාර්මික භූමි ආශ‍්‍රිතව අපට පන් වර්ග වවන්න පුළුවන්. එතකොට ඒවාට බැර ලෝහ සහ ලවණ උරා ගන්නවා. පන් කපලා පැදුරු ආදිය වියන්න ගත්තාම, ඒ බැර ලෝහ භූමියෙන්, ජලයෙන් සහ පසෙන් ඉබේම බවත් වෙනවා. අපිට දැන් පැරණි වැව් සැලැස්මට යන්න බෑ. ඒත් ඒකේ තියෙන බැර ලෝහ අවශා්ෂණයකර ගැනීමේ උපක‍්‍රම ටික අර ගෙන, අලූත් වැඩක් කරන්න පුළුවන්. දැනටමත් අපි ඒ වාගේ යෝජනාවක් සකස් කරලා තියෙනවා’, ඇය කියයි!
පන්නම් කතුරනම් ජන කාව්‍ය මාලාව, අපේ රටේ පන් කර්මාන්තයේ විචිත‍්‍රවත් හැඩතල ඉස්මතු කරවන සාහිත්‍යාංගයකි. එහි එන එක් කවියක් මෙසේ ය.
සත් මසකට ඇති දරුවා පිළිසිඳිලා
චිත‍්‍ර රුවින් ළමැදේ ගෝමර ඉසිලා
ගබ්සා වෙයි කැපුවොත් පන්විල බැසලා
එපා යන්ට කී මගෙ හිමි මට බැණලා
කවියෙහි කියැවෙන අන්දමට, ගැබිණි කතුන්ට පන් කපන්නට යාම සුදුසු නැත. පන් වැවෙන වගුරු සහිත භූමිය වස විසෙන් පිරුණු තැනක් බව ජන කවියා දැන සිටියේ ද? යන්න, ඉන් පැන නැගෙන කාරණයයි!

(මෙම ලිපිය  2019/07/15-සති අග අරුණ පුවත්පතෙහි  පළවිය)
%d bloggers like this: