Menu Close

සමනල යුගයක පිපුණු කුසුම් පීරිස්

එදා ආනන්ද සිරිසේනයන් ගේ “වජිරා” ගුවන් විදුලි නාට්‍යයෙහි දුප්පත් “නිමල්” ලෙස රෝහණ සිරිවර්ධනයන් ගේ හඬ මුසුවෙද්දී පොහොසත් “වජිරා” ලෙසින් හඬ මුසු කළ කුසුම් පීරිස් නම් තරුණිය ඇය ය. විටෙක ගුවන් විදුලි නිවේදිකාවක ලෙස ද තවත් විටෙක ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක ලෙස ද ඉඳහිට රංගන ශිල්පිනියක ලෙස ද රේඩියෝ පරම්පරාව ආදරයෙන් වැළඳගත් කුසුම් පීරිස් ඇය ය.
කුසුම් පීරිස් සේවය කළේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ය. ගුණදාස ලියනගේ සූරීන් ලියූ “දෝන කමලාවතී” හි එන බෝතලේගම දෝන කමලාවතී සේවය කළ ගුවන් විදුලි සංස්ථාවේ ම ය. අදටත් දෝන කමලාවතීලා සහ කමලා පහළගංකන්දලා ලාස් ගණනින් හමුවෙන ආයතනයක් තුළ කුසුම් පීරිස් යන නාමය ඉතිහාසයට එක් වන්නේ තම අනන්‍යතාව සහ අභිමානය රැක ගනිමින් ම රටම දන්නා නමක් වීමට සමත් වූ සුවිශේෂී නිවේදිකාවක ලෙසිනි. ඇය මගුලාගම මල්ලිකා දිසානායක , ගම්පහ රේඛාවෝ ඊෂ්වරී – පත්මාවෝ මහේෂ්වරී , බෝයගනේ පර්ල් අයිරින් සහ මෝදර රොක් හවුස් කඳවුරේ ගාමා ගාමිණී සුබසිංහ ගේ යුගයේ සිට අමරකීර්ති විසින් මවන ලද දිනසිරි කුරුළුගංගොඩගේ පුරාතන යුගය දක්වා ගුවන් විදුලිය තුළ රැඳී සිටියා ය. රේඩියෝව යනු ප්‍රධානතම සන්නිවේදන මෙවලමක් වූ යුගයේ දී රටක් සිසාරා ගුවනට මුසු වන හඬ නිසා රණ මොණරුන් මෙන් හිස උදුම්මාගෙන සිටි බොහෝ ගුවන් විදුලි නිවේදිකාවන් සුන්දර නිහතමානී වේෂය මවාගත්තේ සයිබර් යුගයේ මධ්‍යතන අවධිය උදා වන විට ය. නමුත් කුසුම් පීරිස් නම් ප්‍රවීණ නිවේදිකාවට එසේ පරිවර්තනය වන්නට අවශ්‍ය වූයේ නැත. කුසුම් පීරිස් අයත් වන්නේ කිසිදිනෙක හෝ ගුවන් විදුලි ඉතිහාසය තුළ රාජධානි මවන්නට උත්සාහ නොකළ , තම අණසක පතුරවන්නට උත්සාහ නොකළ සීමිත ප්‍රවීණයන් ගොන්නට ය. සොයා බලන්න ! ඇය කිසිදාක නවකයින් ට සහ සහන නිවේදිකයින් ට ප්‍රවීණත්වයේ රැස් වළලු පෙන් වූ බවක් අසන්නට නැත. එබැවින් ජීවිතයේ අවසාන කාලයේ දී ඇය ට මවාගත් මිත්‍රශීලි සහ හෘදයාංගම බවකින් නවක පරපුර ව්‍යාජව වැළඳගන්නට ද අවැසි වූයේ නැත. කුසුම් පිපුණේ සුපුරුදු කුසුම් ලෙසටම ය.
කුසුම් පීරිස් අහම්බයකින් හෝ පිවිසි ගීත රචනා කලාව තුළ ද ඇයගේ ම අනන්‍යතාව ලකුණු කරන්නට සමත් වූවා ය. ලාංකේය ගායන ක්ෂේත්‍රය තුළ යමුනා විනෝදනී නම් ගායිකාවගේ කූඨ ප්‍රාප්තිය සලකුණු වන්නේ “අසුරු සැණින් එක මොහොතක දී” නම් ගීතයත් සමගිනි. කුසුම් පීරිස් අසුරු සැණින් එක මොහොතක දී කාලය නැවතී යළි ඇරඹෙන්නටත් , විශ්වය අලුතින් බිහි වන්නටත් පැතුවා ය. ඉන් අනතුරුව “යෙහෙළියන්ගේ ඉඟි දිනක සැබෑ වී – ඔබේම කුළ ගෙයි පතිනිය වන්නට” ත්, ඉන් නොනැවතී “සෙනෙහෙ විමානේ කිරුළ දරණ දා – සිඟිති තොලක කිරි හිනා දකින්නට” ත් පැතුවා ය.කුසුම් පීරිස් එඩ්වඩ් ජයකොඩි ට “ගං ඉවුරේ තුරු ලතා මඩුල්ලේ” ලීවා ය. සයුරු මායිමේ පුලින තලා ගැන සිහිපත් කළා ය. ඉනික්බිති “ආදර ගී විය ජයමංගල ගී කුරුළු කැදැල්ලකි පුංචි පැලේ – ප්‍රේමවන්තයෝ දෙගුරුන් වී යළි ඉපදුණු හැටි හරිම අගේ” යනුවෙන් උදම් ඇනුවා ය. නිරංජලා සරෝජනී සහ බණ්ඩාර අතාවුද වෙනුවෙන් “සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ” යනුවෙන් ලියූ කුසුම් ලොවම සසලව බලා සිටින මොහොතක්ගැන සඳහන් කර අවසානයේ දී “යුග ගණන් අප වෙන්ව ආ මඟ සොඳුරු නිම්නෙක එක්වෙලා – දුක් සුසුම් නැති අපේ ලොව තුළ සිනා මල් පෙති විසිරිලා” යනුවෙන් සුඛාන්තයකින් එය අහවර කළා ය.
ගුවන් විදුලි වපසරිය තුළ උපන් ගීත රචිකාව , චක්‍රලේඛ , සම්බාධක සහ වාරණ සියල්ලම සැනසෙන පරිද්දෙන් ගේහසිත ප්‍රේමය ම , කුටුම්භය ම , වෛවාහ බන්ධනය ම සහ දරු දැරියන් වැදීම ම උත්කර්ෂවත් කරමින් තම සීමාව නොදැක ම පටු දෘෂ්ඨි කෝණයක් තුළ සිරගත වූවා ය. නමුත් කුසුම් ලියූ ගී ඉතාමත් මිහිරි බව පවසන්නට ඒ කිසිවක් බාධාවක් නොවන බව ද කිව යුතුම ය.
අද වන විට ඒ නිවේදිකාව , නාට්‍ය ශිල්පිනිය සහ ගීත රචිකාව ඇගේ සුපුරුදු නිහඬ ජීවිතය සදාකාලික නිහඬතාවයට පරිත්‍යාග කර ඇත.
ආදරණීය කුසුම් ;
හැටේ දසකයේ සිට සයිබර් මොහොත දක්වා එක ලෙස ප්‍රසන්න ප්‍රහර්ෂයක් ජනිත කළ කුසුම් පීරිස් නාමය වෙනුවෙන් ඔබ ලියූ එකදු ගී පදයක් තෝරා නොගනිමි. සුනිල් ආරියරත්නයන්ගේ දෙපදයකින් ඔබට ගෞරවය පුදමි.
අතු අග පර වී බිමට වැටෙන්නේ
සමනල යුගයක පිපුණු කුසුම් !!!
%d bloggers like this: