Menu Close

විශ්වවිද්‍යාල සංගීත අධ්‍යාපනයේ අර්බුදය

(2019 අගෝස්තු 25 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

තරුණ සංගීත උගතුන් කණ්ඩායමක් කැලණිය සහ සෞන්දර්ය විශ්වවිද්‍යාලවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොණු කර ඇති අතර මේ දිනවල එය විභාගයට ගැනෙයි. කැලණිය සහ සෞන්දර්ය විශ්වවිද්‍යාල සඳහා කථිකාචාර්යවරුන් බඳවා ගැනීමේ දී ඉන්දීය උපාධි පාඨමාලා සම්පූර්ණ කොට මෙරටට පැමිණ සිටින අයගේ අයදුම්පත් පළමු වටයේ සළකා බැලීම්වලින් ඉවත් කිරීම මේ නඩුව පැවරීමට මුල්ව ඇති නිමිත්තයි. විශ්වවිද්‍යාලවල තර්කය අනුව ඉන්දීය විශ්වවිද්‍යාලවල සංගීත පාඨමාලා හැදෑරෙන්නේ වසර තුනක් පමණක් හෙයින් මෙරට විශ්වවිද්‍යාල පනත හා නීති සංග්‍රහය අනුව ඒ අයත් වන්නේ සාමාන්‍ය උපාධි යටතට මිස විශේෂ උපාධි යටතට නොවේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ විශේෂවේදී පාඨමාලා යටතේ සංගීතය හදාරන්නෙකු/හදාරන්නියක වසර 4ක උපාධි පාඨමාලාවක් සපුරන හෙයින් ඔහු/ඇය මෙම බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පළමුව කැඳවිය යුතු ය.

අනෙත් අතට, අධිකරණය හමුවට යන පාර්ශවයේ තර්කය වී ඇත්තේ, ඉන්දීය විශ්වවිද්‍යාල සංගීත පාඨමාලා වසර තුනකින් කෙළවර වීම ඔවුන්ගේ වරදක් නොවන බවයි. එසේම උපාධියට ප්‍රවේශ වීම සඳහා නිම කරන ඩිප්ලෝමා මට්ටම් ආදියද සමග එය වසර පහකට ආසන්න කාලයක අධ්‍යයන කටයුත්තක් බවයි. ඒ හා සමග, මෙරට දී සළකා බැලෙන පාඨමාලාවල ‘ක්‍රෙඩිට් ප්‍රමාණ‘ (ඇමරිකානු සමාසික නැතිනම් සෙමෙස්තර ක්‍රමය යටතට ගැනෙන) ආදිය වෙනුවට ඉන්දියාවේ දී සැලකෙන්නේ අවසන් කෙරෙන/ පුහුණුව ලැබෙන ‘පැය ප්‍රමාණ‘ ආදිය බවයි. ඉහත තර්ක ඔස්සේ සලකා බැලූ විට, බොහෝ දුරට මෙරට විශ්වවිද්‍යාලයක ආචාර්ය මණ්ඩලයකට එකතු වීමේ අවස්ථාව ඔවුන්ට හිමිවන්නට ඇති අවස්ථා අවමව ඇති වටපිටාවක, ඔවුන්ගේ අරගලය යම් පදනමක් සහිත වූවක් බව පිළිගත හැකි ය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මත ඉහත පිරිස හා විශ්වවිද්‍යාලවල සංගීත පාඨමාලාවල අනාගත ස්වරූප ලියැවීමට ඉඩක් වද්දී, සෞන්දර්ය අධ්‍යාපනයට ලැදි හා වඩා විධිමත්ව ඒ ගොඩ නැගිය යුතු බැව් විශ්වාස කරන පිරිසක් ලෙස අප රට සංගීත අධ්‍යාපනය වෙත නැවත හැරී බැලීමට මෙය අවස්ථාවක් කර ගැනීම උචිත බව මගේ අදහසයි. එය සමස්ථයක් ලෙස සංගීත අධ්‍යාපනය මතු නොව සංගීතය යන පුළුල් කලා කෙත දෙසම වන දේශජ දැක්ම යළි විමසීමට පසුබිමක් තනා දෙනු ඇති හෙයිනි.

සංගීතය නොඋගැන්වූව ද සංගීතය විෂයයක් ලෙස හදාරන විද්‍යාර්ථීන් හා ආචාර්යවරුන් සහිත, සෞන්දර්ය අධ්‍යාපනය මූලික කොටගත්, විශ්වවිද්‍යාල අධ්‍යාපන ආයතන දෙකක වසර 16කට නොඅඩු අත්දැකීම් ඔස්සේ නැවත හැරී බලද්දී මට පෙනෙන්නේ අප සංගීතය අධ්‍යයන විෂයයක් දකින ආකාරයේම මූලික අර්බුදයක් හඳුනාගත හැකි බවයි. එය විශ්වවිද්‍යාල මට්ටමේ පමණක් පවතින්නක් නොවේ. අන්‍යෝන්‍ය වශයෙන් දෙපසින්ම ඇගයුම් හා එකඟතාවන් ලබමින් පාසැල් හා විශ්වවිද්‍යාල යන දෙඅංශයේම පවතින්නකි. එය සරල උදාහරණයකින් වටහා දෙන්නට මට ඉඩ දෙන්න.

මා කලින් සේවය කළ මෙයින් එක් සෞන්දර්ය මූලික විශ්වවිද්‍යාල ආයතනයකට ළමුන් බඳවා ගැනෙන්නේ උසස් පෙළ සමත්වූවන් වෙනුවෙන් වන සම්මුඛ පරීක්ෂණයකිනි. අවසානයේ විද්‍යාර්ථීන් 10-15කට ලැබෙන අවස්ථාවක් දිනා ගනු පිණිස වසරකට උසස් පෙළ සමත් සිසු සිසුවියන් තුන්සියයකට නොඅඩු පිරිසක් සංගීතයට පමණක් එම ආයතනයට අයදුම් පත් එවා මෙම සම්මුඛ පරීක්ෂණයට සහභාගි වෙති. සංගීතය පිළිබඳ ව ප්‍රවීණ දැනුමකින් සමන්විත ආචාර්ය මණ්ඩල සාමාජික පිරිසට අමතරව කලාව හා සෞන්දර්ය පිළිබඳ අයදුම්කරුවන්ගේ සාමාන්‍ය දැනුම විමසා බලන්නෙකු ලෙස මම අවස්ථා ගණනාවකදීම මෙම මණ්ඩලවල වාඩිවී සිට ඇත. සෑම විටම ඒ මණ්ඩලය ඉදිරියට එන සිසුවකු හෝ සිසුවියකගෙන් ඇසෙන අනිවාර්ය පළමු පැනය මෙයයි.

“ඔයා වයලින් ද? වෝකල් ද?“

අයදුම්කරු වයලීනය ප්‍රගුණ කර ඇත්නම් ඔහුට හෝ ඇයට ඉදිරිපස වාඩි වී නම් කරන ලද හා පුහුණු වූ ඉන්දියානු රාග වයන්නට ද, ගායනය ප්‍රගුණ කළේ නම් ඉන්දියානු රාග ගයන්නට ද සිදු වන අතර, වෙනත් සංගීත භාණ්ඩවලට ඔවුන් වෙත හුරුවක් වේදැයි යන්න සරල ගීත හෝ ජන ගීත ආදිය ගයන්නට හැකිදැයි යන්න දෙවනුව හෝ තෙවනුව විමසා බලා සම්මුඛ පරීක්ෂණය කෙළවර කෙරෙයි. බටනලාවක්, සිතාරයක්, තබ්ලාවක් හෝ බටහිර වාද්‍ය භාණ්ඩයක් ඔසවාගෙන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට ඉදිරිපත් වන අයෙක් වෙතොත් ඔහුට/ඇයට බොහෝ දුරට ලැබී ඇත්තේ මෙවැනි පිළිතුරකි.

“ඔයා සෞන්දර්යයටත් ඇප්ලයි කළා ද? එහෙ නං ඔය වගේ ඉන්ස්ට්‍රැමන්ට් කෙරෙනව. එහෙම නැත්තං ඔයා කැමති නැද්ද වයලින් එක හරි ගායනේ හරි කරන්න මෙහෙ ඇවිත්?“

අරුමය නම් මේ දෙවැනි පිළිතුර අසන්නට එන පිරිස අතේ ඇඟිලි ගණන නොඉක්මවන අති සුළුතරයක් වීමයි. මණ්ඩල දොරෙන් ඇතුළු වන්නා නියතවම වයලිනයක් අත දරා හෝ  ගයන්නට මුව සූදානම් කරගෙන හෝ පැමිණෙන බැවිනි. එයට හේතුව පාසැල් සංගීත අධ්‍යාපනය ද මූලිකව වයලීනය හෝ ගායනය මුල් කරගෙන විහිද යන නිසා බැව් ඒ දිනවල විශ්මයට පත්ව උන් මා වෙත මණ්ඩලයේ ප්‍රවීණයෙක් පහදා දුන්නේ ය.

දැන් අපට නියත, අනිවාර්ය, එනමුත් කවුරුත් නොඅසන පැනයක් ඇසිය හැකි ය. සංගීතය යනු මේ ද? වයලීනය හෝ ගායනය මූලිකව තැබූ, තබ්ලා, සිතාර හා බටහිර සෙසු වාදන භාණ්ඩ දෙවනුව තැබූ දෙයක් ද?

මෙය සංගීතය, උත්තර භාරතීය හා දක්ෂිණ භාරතීය ලෙස ද, බටහිර ලෙස ද වෙන් සම්ප්‍රදායන් ලෙස ගෙන හැදෑරීම ඉක්මවූ ඛේදනීය ආස්ථානයකි. මා දන්නා විශ්වවිද්‍යාල පාඨමාලාවලින් අති බහුතරයක් මෙම, ඉන්දීය රාගධාරී සංගීතය මුල් කොටගත්, දිගින් දිගටම රාග වැයීම හෝ ගැයීම පුහුණු කෙරෙන, සාම්ප්‍රදායික ප්‍රවේශය බිඳ හෙළා වෙනත් මාවත් සොයාගෙන නැත. සරස්වතී ප්‍රතිමාවක් සිය පුහුණු පන්ති අභියස තබා, ඒ වැඳ අවසර ගෙන කෙරෙන පුහුණු සැසි හැරුණු විට විශ්ව සංගීතය විමසිය හැකි ආකාර සොයා බලා නැත. යට සඳහන් කළ අධ්‍යයන ආයතන දෙකෙහිම නව විෂයය නිර්දේශ යාවත්කාලීන සැසි හා එක්ව මා සම්බන්ධ වන විෂයය ක්ෂේත්‍රවල කටයුතු කරද්දී, සංගීතයේ නන්විධ ප්‍රවේශ හා ස්වරූප විමසිය හැකි, ලොව දියුණු විශ්වවිද්‍යාල හා සංගීත පාසැල්වල ක්‍රියාත්මක පාඨමාලා අනුදත් විෂයය නිර්දේශ තැනීමට ඒ ආචාර්යවරුන් වෙහෙසෙන බවක් දැක හෝ නැත.

එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් එක් ‘ප්‍රශ්න කළ හැකි‘ පොදු ප්‍රකාශයක් නම් නිරතුරුව වහරති. ‘සංගීතය විශ්ව භාෂාවකි!‘ යන්න එම ප්‍රකාශයයි.

සංගීතය දෙස බලන, විමසන හා ඒ හදාරණ මාවත් ගණනාවක් ලෝකයේ සංගීතය ප්‍රමුඛ කොටගත් පාසැල් හා විශ්වවිද්‍යාල හමුවේ හඳුනාගත හැක. උදාහරණයක් ලෙස සිඩ්නි විශ්වවිද්‍යාලයට අයත් ප්‍රමුඛතම අධ්‍යාපන (සංගීත සංරක්ෂණ) ආයතනයක් වන Sydney Conservatorium music හි නිර්මාණශීලී සංගීතය, සමකාලීන සංගීත භාවිතය, ඩිජිටල් සංගීතය හා මාධ්‍යය, ජනසංගීතවේදය, සංගීතවේදය, ආදිවාසී සංගීතය, ගොඩ නංවන (Improvised) සංගීතය, අභිවහන විද්‍යාව, අභිවහනය හා සංරක්ෂණය යනාදී විෂය ප්‍රවේශ සිය පළමු උපාධිය සඳහා සංගීතය තෝරාගන්නෙකු වෙත හමුවනු ඇත. අප රට හමුවන පාඨමාලා අතර මේ විෂයය ක්ෂේත්‍ර අතුරින් යම් කලාප (උදා: ජනසංගීතවේදය) හමු වන අවස්ථා ඉඳහිට හඳුනාගත හැකි වුවත් ඒ ඉතා කුඩා ඒකක වශයෙන් පමණි.

කැලණිය හා සෞන්දර්ය විශ්වවිද්‍යාලවල බඳවා ගැනීම් පටිපාටිය පිළිබඳ ඉන්දීය සංගීත උපාධිධාරීන්ගේ අභියෝගය වැදගත් ය. ‘ඉන්දීය රාගධාරී සංගීතය උගැන්වීමට ඉන්දියාවෙන්ම ඉගෙන පැමිණීම නුසුදුසුකමක් වේයැයි‘ යන තියුණු හාස්‍යජනක හැඟවුමකට එරෙහි වීමක් එහි ඇත. අනෙත් අතට, මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය නගන, මග හැර යා නොහැකි සහ වැදගත් ප්‍රශ්නයක් ඉන්දීය සංගීත උපාධිධාරීන් අභියස ද ඉතිරි වේ. පර්යේෂණාත්මක අධ්‍යාපනයක් මග හැරුණු, හුදු දීර්ඝකාලීන පුහුණුවකින් හා ඒ විභාග කිරීමකින් පමණක් ඔබ ලැබූ උපාධි සුදුසුකම මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඉල්ලා සිටින පර්යේෂණාත්මක ආචාර්යවරයා නිර්මාණය කරන්නේ ද යන්න ඒ වැදගත් පැනයයි. එයට ඔවුන් පිළිතුරු දිය යුත්තේ නිර්මාණශීලී ක්‍රියාකාරකම් හරහා මෙන්ම විශ්ව සංගීතය පිළිබඳ නව දැනුම පොත්පත් හා ලිපි ආදිය සම්පාදනය හරහා සිදු කරන ද්වි-ආකාර මැදිහත්වීම් ඔස්සේ සංගීත අධ්‍යාපනයේ නිම්වළලු පුළුල් කිරීම මගිනි. ඒ අභියෝගය ඉන්දීය සංගීත උපාධිලාභීන් වෙත මෙන්ම මෙරට විශ්වවිද්‍යාලවල සංගීත ආචාර්ය පරපුර වෙත ද එල්ලව ඇති බව එපිරිස ද මනාව වටහාගත යුතු ය.

දැඩි සීමාකම් සහිත මෙරට සංගීත අධ්‍යාපනය පුළුල් මානයක ස්ථාපිත වනු ඇත්තේ එවන් ප්‍රවේශයකින් පමණි.

-ප්‍රියන්ත ෆොන්සේකා –

සේයාරුව:  සෑම් ස්මිත්ගේ “I am not the only one’ ගීයේ අනුවාදනය සඳහා ඩෙරික් ග්ලේටන් (ඩීෂාර්ප් ලෙස ප්‍රසිද්ධ) ඉදිරිපත් කරන වීඩියෝවේ කවරයේ සේයාරුවයි. 

%d bloggers like this: