Menu Close

සොබා දහමේ විසිතුරු නිමැවුම් කිහිපයක්

          1.  කපාදමන ලද කෙසෙල් ගසක ‘මුව නැති කැනක්’.

මෙය කලකට පෙර face book සටහනක තිබුණු ඡායාරූපයකි. (පලකළ අය නොදනිමි. ඔහුට හෝ ඇයට මාගේ ස්තුතිය).  එහි විස්තරයක් පළකර නොතිබුණි. ආශ්චර්යමත් දෙයක් ලෙස දකින්නට ලැබුණත්, මෙය කෙසේ සිදුවූයේද යන්න විස්තර කර නොතිබුණි. කෙසේ වෙතත් මෙම සිදුවීම විද්‍යාත්මකව අවබෝධ කර ගත හැකිය. 
මෙම කෙසෙල් ගස පීදීමට, නැතහොත් කැනක් ඒමට සූදානම්ව තිබියදී කපා දමා ඇති බව පෙනේ. එසේ කැපීමේදී, කෙසෙල් මුවයේ අග කොටස  පමණක් කැපී යන ලෙස පිහි පහර වැදී ඇත. කෙසෙල් මුවයේ මුල කොටසේ ස්වල්පයක් ඉතිරි වී තිබේ. එයින් පසුවද වර්ධනය වී ඇති කෙසෙල් මුව,  විවෘත වී පරාගණ ක්‍රියාවලියත් සිදුවී, ඇවරි දෙකක ගෙඩිද සාර්ථකව වර්ධනය වී තිබේ. සාමාන්‍ය කෙසෙල් කැනක් ගස මුදුනේ සිට පහලට එල්ලා වැටීම සිදුවනුයේ, ආරම්භයේදී මුවය බර නිසාය. මේ අවස්ථාවේදී, එවැන්නක් සිදු නොවී ඇත්තේ, මුවයේ විශාල කොටසක් කැපී ගොස් ඇති නිසා පහතට නැමීම සඳහා අවශ්‍ය බර නොලැබීම නිසා විය හැකිය. 
ශාකයේ සියලුම පත්‍ර නොමැතිව වූවත්, මෙසේ වැඩෙන කොටසට අවශ්‍ය පෝෂණය, පසෙහි තිබෙන රයිසෝමයෙන් (කෙසෙල් අලයෙන්)  ලැබේ. ගෙඩිවල ලෙල්ලට කොළ පැහැය ලැබෙනුයේ හරිතප්‍රද තිබෙන නිසාය. මේ නිසා ගෙඩි ආවරණයේ (ලෙල්ලේ) ප්‍රභාසංශ්ලේෂණ  කාර්යය සිදුවේ. මේ ආකාරයට, කැපූ ගසෙහි කැනක් හටගැනීම  ස්වාභාවිකවම සිදුවූ දෙයක් මිස කෙනෙකුට සිතා මතා පහසුවෙන් කළ හැකි දෙයක් නොවේ.

           2.ගසෙහි තිබියදීම අඹ ගෙඩියක බීජය පැලවීම

   සමහර පොල් ගස්වල ගෙඩි ගසෙහි තිබියදීම පැලවීම කලාතුරකින් දකින්නට ලැබේ. එහෙත් අඹ ගෙඩියක් ශාකයේ තිබියදීම මේ ආකාරයට පැලවීම නම් පුදුම විය යුතු කරුණකි. අඹ ගෙඩියක බීජය පරිණත වන විට ගෙඩිය ඉදීම ස්වාභාවිකය.

සාමාන්‍යයෙන්, ඉදුණු ගෙඩියක් නටුවෙන් ගැලවී යන නිසා, එය බොහෝ විට බිමට පතිත වේ. එහි මාංශල කොටස පොළොවේ පසට එකතු වූ පසු, ටික කලක නිද්‍රාශීලී කාලයක් ගතකර, අවශ්‍ය පරිසර සාධක ලැබුනහොත් පමණක්  බීජය ප්‍රරෝහණය වී අලුත් පැලයක් හටගැනීමට ඉඩකඩ තිබේ.
මෙහිදී බීජයක ප්‍රරෝහණය සඳහා අවශ්‍ය වන ජලය, වාතය සහ උණුසුම යන සාධක  නොලැබී අඹ ඇටය පැලවීමට හේතු සාධක දැක්වීම තරමක් උගහටය.මෙහිදී  කරුණු කිහිපයක් සලකා බැලීම වටී. 1. සාමාන්‍යයෙන් ඵලයක් පරිණත වීමෙන් පසු නටුවෙන් වෙන්වී යා යුතුය. 2. පරිණත නොවූ අඹ ඇටයක් ප්‍රරෝහණය විය නොහැකිය. 3. අඹ ගෙඩියේ ඇති පලුදු වූ ස්ථානයෙන් ජලය සහ වාතය ලැබෙන්නට ඇතැයි විශ්වාස කළ හැකි වුවත්, අඹ ගෙඩියේ ආම්ලික භාවය එයට බාධකයක් විය හැකිය. කෙසේ වුවත් මෙහි බීජය ප්‍රරෝහණය වී පැලයක්ද හටගෙන තිබීම පුදුමයකි !

                3.  විශ්වාස කළ නොහැකි ස්ථානයක ශාකයක් හටගැනීම
                 

මෙයද මාහට මිතුරෙකුගෙන් ලැබුණු ඡායාරූපයකි.  මෙහි දැක්වෙනුයේ ගඟක හෝ වෙනත් ජලාශයක පතුලේ මඩෙහි කාවැදී,  ජල මට්ටමෙන් ඉහලට නෙරා සිටින, දිරාපත්වෙමින් තිබෙන  ලී කොටයකි. කොටය අග්‍රයේ වාතයට නිරාවරණය වී ඇති කොටසේ හියුමස් එකතුවී තිබිය හැකිය. සුළඟේ පාවී ආ හෝ කුරුල්ලෙකු විසින් ගෙනෙන ලද බීජයක් එහි ප්‍රරෝහණය වන්නට ඇත. එසේ හටගත් ශාකය අද තරමක ගසක් වී තිබේ.

අවශ්‍ය සාධක තිබෙන ඕනෑම ස්ථානයක සොබාදහම ක්‍රියාත්මක වීම සඳහා සීමා මායිම් නොමැති බවට මෙය හොඳම සාක්ෂියකි. 

                       4. මේ සතෙක්ද ශාක පත්‍රයක්ද ?

අන්තර්ජාලයේ සම්කිසි කරුණක් ගැන තොරතුරු සොයද්දී හමුවූ අපූරු  ඡායාරූපයකි. බැලූ බැල්මට මෙය කුමක්යයි කිව හැකිද? එහි හැඩය සහ කොළ පැහැය නිසා එය ශාකයක  හරිත පත්‍රයක් ලෙස ඔබට පෙනෙනු ඇත. එහෙත් එය ශාක පත්‍රයක් නොවේ. ඉතාමත් විරල ගණයේ සතෙකි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරයේ ගල්පර සහ කොරල් පර ආශ්‍රීතව ජීවත්වන මුහුදු හංගොල්ලෙකු (Sea slug) වන මෙම සත්වයාට කවචයක් නොමැත. Elysia chlorotica  යන විද්‍යාත්මක නමින් හැඳින්වෙන මෙම සුවිශේෂී හංගොල්ලාට එම නම ලැබෙනුයේ උගේ ශරීර පටක තුල හරිතලව තිබෙන නිසාය.  




මුහුදු හංගොල්ලා  (Elysia chlorotica)  
මෙම හංගොල්ලා, මුහුදු තීරයේ තිබෙන Vaucheria litorea නමැති හරිත ඇල්ගී විශේෂයක සෛල බිත්ති සිදුරු කර ඒවායේ ඇති  හරිතලව උරාගනී. මෙසේ හංගොල්ලාගේ ශරීරයට ඇතුල්වන හරිතලව  ‘ආහාරයක්’ වශයෙන් භාවිත නොවී, ශරීරය මතුපිට පටක අතර විසිරී පවතී.  ශාක පත්‍රයක හැඩය ඇති සතාගේ ශරීරයට කොළ පැහැය ලැබෙනුයේ, පටක අතර විසිරී ඇති  හරිතලව නිසාය. මෙම මුහුදු  හංගොල්ලාට, මාස නවයක් පමණ කිසිම ආහාරයක් නොගෙන, ඇල්ගී වලින් ලබාගෙන තිබෙන හරිතලව සංචිතය මගින් ප්‍රභාසස්ලේෂණය කර තම ආහාර නිපදවා ගත හැකි බව නිරීක්ෂණය කර තිබේ.

මේ නිසාම මෙම අද්භූත මුහුදු හංගොල්ලාට , ‘සුර්ය බලශක්ති හංගොල්ලා’ (solar powered slug) යන අන්වර්ථ නාමයක්ද ලැබී තිබේ. අවස්චිථාවෝචිතව ජීවීන් විසින් ලබාගන්නා සුවිශේෂී අනුවර්තන කෙතරම් අර්ථවත්ද?

                  5. මෙහි කොපමණ වඩු කුරුල්ලෝ සිටිත්ද?


 වඩු කුරුලු කූඩු

වඩු කුරුල්ලා Ploceus philippinus ( The Baya Weaver)

  කුරුල්ලන් අතර, තම ගෘහ නිර්මාණයේ අති දක්ෂයෙකු ලෙස සැලකිය කුරුල්ලෙකි වඩු කුරුල්ලා. රංචු  වශයෙන් ජීවත්වන වඩු කුරුල්ලෝ, පිදුරු, කෙඳි වර්ග සහ වියලි තණකොළ භාවිත කර අතු අගිස්සක සිට පහලට එල්ලෙන කූඩු නිර්මාණය කරති. බොහෝවිට රංචුවේ සිටින  සියල්ලෝම එකම ජනපදයක ආකාරයට තම කුඩු සකස් කරති. 

දකුණු ආසියාවේ බහුල වඩු කුරුලු විශේෂ රාශියෙන් විශේෂ කිහිපයක්, ශ්‍රී  ලංකාවේ  වියලි කලාපයේද   දකින්නට ලැබේ. තෙත් කලාපයේද කුඹුරු යායවල් කිට්ටුව ගස්වලද වඩු කුරුළු කූඩු කලාතුරකින් දකින්නට ලැබේ. වඩු කුරුල්ලා ධාන්‍ය ආහාරයට ගනී.  මෙහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ කුඹුරු යායක් අසල වනරොදක ඉඳි ගසක, ඉදි කර  තිබුණු වඩු කුරුළු ජනපදයකි. මේ ජනපදයේ  කූඩු සියයකට අධික සංඛ්‍යාවක්  දකින්නට තිබේ.

වෙනත් කුරුල්ලන් මෙන් වඩු කුරුල්ලන්ගේ පැටව්, ඇතිදැඩි වූ පසු තම දෙමාපියන් හැර නොයති. ඔවුහු  සියලු දෙනාම රංචුවේ සාමාජිකයින් ලෙස ජීවත්වෙමින් සිට පරිණත වූ පසු සහකරුවන් සහ සහකාරියන්  සොයාගෙන තමන්ගේම කුඩුද සාදා ගනිති. 

මෙහි දැක්වෙන වඩු කුරුළු ජනපදයේ ඊළඟ වසර වනවිට කුරුල්ලන්ගේ සංඛ්‍යාව තුන් හතර ගුණයක් විය හැකිය.

ශ්‍රී ලංකාවේ සිටින වඩු කුරුල්ලන් වෙන වෙනම කුඩු සාදා ගනු ලැබුවත්, දකුණු අප්‍රිකාව, බොට්ස්වානා සහ  නැමීබියා වැනි රටවල වඩු කුරුල්ලෝ සියගණනක් සාමාජිකයින් සිටින තම රංචුවේ සියල්ලන්ටම ඉඩකඩ සහිත අති විශාල  කූඩු තනන බව වාර්තාවේ. 

වඩු කුරුල්ලන් අතර තිබෙන සමාජශීලී බව,  සාමුහිකව වැඩ කටයුතු කිරීම, සමගිය, අන්‍යොන්‍ය උපකාරය ආදී බොහෝ යහ ගුණ අද මිනිසා තුල එතරම් දුරට දකින්නට නොලැබීම අභාග්‍යයකි.!  
     

%d bloggers like this: