Menu Close

147. කළු ගඟදිගේ . . . . . . 10

තරු පහක නොමැති සුව ! 
(අප්පා ඇති යාන්තම් සරම තියෙනවා!)

තෙශාන්තත් පසිඳුත් ඉතා වෙහෙස මහන්සිවී උපයා සපයා දුන් මහත් ඵල මහානිසංස දානයෙන් ඉක්බිතිව අප නින්දට වැටුනෙමු.
 ඇත්තෙන්ම නින්දට වැටුනෙමු නොව අප සකසා ගත් නිදන කුටිය හෙවත් කූඩාරම තුල ඇද වැටුනෙමු.
දහවල් කාලය මුළුල්ලේ අපගේ ජීවිත පරිස්සම් කිරීමේ යෙදුණු ජීවිතාරක්ෂක කබා හෙවත් ලයිෆ් ජැකට්ටු කූඩාරම තුලදී අපගෙ හිසට සුව සලසන කොට්ට බවට පරිවර්ථනය කර ගත්තෙමු.

එය අපේ කයාකින් වල එක් සම්ප්‍රදායක් කරගෙන ඇත.
 නින්දට වැටී; ඇත්තෙන්ම නින්දට වැටී නොව නිදාගන්නට වැටී මිනිත්තු කිහිපයක් මරු කියවමින් සිටි මා නින්දට අවතීර්න වූයේ කෙලෙසදැයි කියා හිතා ගන්නට වත් නොහැකි විය.
අවදිවන විට පසු දින උදෑසන 6.30 – 7.00 පමන වන්නට ඇත. අප සමග රාත්‍රිය ගත කරණ්නට කූඩාරම හෙවත් කැනපිය තුලට පැමිණි ඇනෝ පෙනෙන්නට නොවීය.

කෝ බං ඇනෝ? මම තෙශාගෙන් විමසීය.

“මං අච්චර කියද්දි ඔය දාඩිය කියලා මහ රෑම එළියෙ නිදා ගත්තෙ . . !”

කූඩාරමෙහි දොරටුව  ඉදිරියේ හරහ දැමූ තල් ගහක් මෙන් වැටී ඇනො නිදා සිටිනු මට දැක ගත හැකි විය.

ඉර එලිය – 
නියම තැන – 
රැඳෙන්නට – 
ඉඩ නොමැත – 
සරම ඇත!

දහවල පුරා වෙහෙස වීම, රත්‍රියේ උනුසුම, මධුවිත යන මෙකී නොකී කාරණා; එළිමහනේ නින්දට අපව පොලඹවීම සාමාන්‍ය දෙයකි.
එහෙත් රාත්‍රිය පුරාවට වැටෙන පින්න; පසුදින පුරා හිසරදය හෝ අඹර දඹර නාඹර ලෙසින් නහයෙන් කතා කරමින් සිටින්නට මග පාදනු ඇත.
මෙවැනි වීරක්‍රියා සිදු කොට පසු දින දුක් විඳින්නට වන අවස්ථාවනට මා මුහුණ දී ඇත්තෙමි.

එහෙත් මේ වන විට කරණ්නට දෙයක් ඉතිරි වී නොමැත. මන්ද ක්‍රියාව අතීත කාලයට එක් වී හමාරය.
එහෙත් පෙරදින රාත්‍රියේ මෙම මුරණ්ඩු වැඩේට පය ඔසවන විට එයට තෙශා කොක්ක දමනවාත්; මමද අඩ සිහියෙන් මොන මොනවාදෝ කියනවාත් හීනෙන් මෙන්  මගේ මතකයට ආවේ ය.

කූඩාරම තුලම නැගිට ගත් මා; ඔළුව හිටං (ජනාධිපති හිටං නොවේ) සරමෙන් වසා සිටි; ඇනෝ වැනි රුවට උඩින් පැන එළියට ආවෙමි. අල්ලපු කූඩාරමේ සුව නින්දක සිටි පසිඳුද ඒවන විට නැගිට තිබුනි.

ඒ වන විටත් පෙරදින අප  ඇවිළුු ගිණි ගොඩ දුම් දමමින් තම සක්‍රීය බව පෙන්වමින් විය. තවත් කෙටි වේලාවකින් තෙශාද නැගිට පැමිණියේය.
අවසන් අංකය වූයේ ඇනෝය.
අප ඉක්මණින්  නැවත දියට බසින්නට සියල්ල එක් කර ගත්තෙමු.කූඩාරම් ඇකිළීම තෙශාටත් ඇනෝටත් භාරකල මමත් පසීත් පෙර පරිදිම කයාක නැවත දියත් කරණ්නට පළමු පියවර තැබුවෙමු.

නුසූදානම්ව නොසිටනු ! 
සූදානං සරීර තුන !

සියළුම අඩුම කුඩුම අකුලා ගෙනැවිත් නැවතත් කයාක දෙක මත පිළිවෙලින් තබා ගැටගසා ගත යුතුය. 
බොහෝ විට ඇසිරීම හා රැහැන් යෙදිම කෙරෙණ්නේ ම විසිණි. 
ගමන කෙළවර වීමට කෙතරම් ආසන්න වුවද; කයාක මත බඩු බාහිරාදිය තබා ගැට ගැසීම මවිසින්ම කිරීම පුරුද්දකි. 
එසේම; ගමන ඇරඹීමට පලමුව සියල්ල සකසන ආකාරයේ ප්‍රමිතිය මදකුදු  වෙනස් නොකිරීමට මා වග බලා ගනිමි. 

කයාකය පැදීම ඇරඹීමෙන් පසුව එය මතු පිට තබා ඇති ගමන් බඩු සැකසීමට හෝ වෙනස් කිරීමට අවස්ථාවක් නැත. එසේම; කයාකය හා ඒ මතු පිට ඇති බඩු බාහිරාදිය එක් ඒකකයක් සේ පිහිටන පරිද්දෙන්;  සියල්ල තදින් වෙලා ගැට ගසා නොගෙන දිය මතුපිට පැද යාම අසීරු කට යුත්තකි. 
එසේ ගැට ගසා නොගන්නෙ ගමන අතර තුර බොන කුඩා වතුර බෝතලය, ජීවිතාරක්ෂක කඹය, ජීවිතාරක්ෂක උපකරණය (Life saving  Torpedo / Can) සහ පිහිය පමණි. ඒවාද කිසියම් ආකාරයකින් කයාකය මත දිගේලි කරනවා නොව රඳවා තැබීම කරනු ලබයි! 
 (Life saving  Torpedo / Can) 
තවත් ටික වේලාවක් ගත වෙද්දී  අප ගමනට සූදානම්ව සිටියෙමු. අප ගමනේ දෙවැනි දිනය ඇරඹූයෙමු.

ඇනෝව කයාකය මත හිඳුවා දෙවි  පිහිට පතමින්ම ඔහුගේ අතට හබල ලබා දුන්නේමි.

මමත් ඇනෝත් රැගත් කයාකය කෙමෙන් කෙමෙන් ගංගාවට අවතීර්ණ විය! 

 මේ අප යාත්‍රා කරණ්නේ ලංකාවේ දිගින් 10 වන ස්ථානයේ ඇති කිලෝ මීටර 129 ක් දිගැති කළු ගඟ ඔස්සේය. රත්නපුර සිට කළුතරට ගමන් කිරීම අපගේ අරමුණ වන අතර එම දුර කිලෝ මීටර 75 කට ආසන්න දුරකි! මහවැලි ගඟ හැරුණු කොට ගෙන අනෙක් ගඟා  නවයම දුරින් කිලෝමීටර 164 සිට 129 දක්වා කුඩා ප්‍රමාණ වලින් වෙනස් වී ඇති බව පෙනේ.

මේවන විට ගඟ තරමක් පුළුල්ව ගලා ගියේය. ගමන ඇරඹූ ස්ථානයේදී දුටු ගඟට සාපේක්ෂව වඩාත් විශාලව ගඟ ගලමිනි. 

උදෑසන හිරු පොත අත්සන් කොට කන්තොරුවට පැමිණියා විතරමය.

අපට ඇවැසි වූයේ උදෑසනින් හැකි පමණ දුරක් ගමන් කිරීමටය. එහෙත් අත් වල මාංශ පේශීන් ක්‍රියාකාරී උෂ්නත්වයට පත්ව නැති බැවින් තරමක මන්ද ගාමී බවකින් යුතුව හබල් ගැසුවෙමු. 

ගංගාව බොහෝ සෙයින් ඇදිලා ගොස් ය. එය වයසට “අයියා” කෙනෙකු ලෙස දිස් විය. ගඟ තරමක පිපාසයකින් උන් බවක් දිස් විය. එනිසාම ගඟ ගලන්නේ මහත් මන්දෝත්සායී බවක් දක්වමිනි.

ඒවන විට  ගඟේ අයිති කරුවන් ගඟට ඉව අල්ලමිනි. ඒ කුමන ලෙසකින් කළු ගංගා කොමළිය කෙලෙසීම අරඹන්නදෝ  සේ මා දිටිමි.

පෙර පරිදිම ගඟ හරහා රැහැන් ඇද; තැනින් තැන ඉනි හෝ උණ ගස් සිටුවා ගඟේ ගමනට විවිධ අරියාදුකම් පෙන්වමිනි.

අප ගමන් අරගෙන පැයක පමණ කාලයක් ඉකුත් වෙන්නට මත්තෙන් ජීව ඔරලෝසුව උදෑසන අහර කිස මතක් කර මින් විය. 
බඩ ගිනි වූ පමණින් ආහාර ලබා ගන්නට තැනක් සොයා ගැනීම ගං ඉවුරු වලින් උගහටය. අපට තියා කුඩා කුරුල්ලෙකුට කන්නට තරම් බෝවිටියා පඳුරක්, දං ගසක්  හෝ දක්නට ලැබෙන්නේ නැත. 
එහෙත් අපගේ සිතියම් වල හැටියට රත්නපුර – පානදුර මාර්ගය තවත් ටික දුරකින් එකිනෙකා සිප වැළඳ ගැනීමට නියමිතය. ඒ එම මාරගයේ යනෙන අය අතර සුපතල “ඇල්ල” දේවාලය අසල දීය.

ඇල්ල දේවාලය ගැනත් ඇල්ල ගැනත් දැන් ලියන්නට ගිය හොත් උදේට කන්න තවත් පරක්කු වෙන නිසා පස්සෙන් පහු ඒ ගැන ලියන්නම් !
 ඇල්ල දේවාලය අසලින් ගඟ හරහා දිවෙන පාලම ඈතින් පෙනේ. අපගේ සිතියම් වලට අනුව රත්නපුර මහ සමන් දේවාලය පසුකල පසු ගඟ හරහා පාලමක් වැටී ඇත්තේ ඇල්ල දේවාලය අසලින්ය. එය එසේ නම් මේ ඇල්ල අසලය. 

සිතියමට අනුව ද අපගෙ මතකයේ හැටියටද මෙම දේවාලය අසලින් කන්නට ගොදුරක් සොයා ගැනීමට නොහැකි නොවිය යුතුය.

පාලම පේන මානයේ විශාල ප්‍රමානයේ ගල් එකතුවූ ගඟේ දකුනු ඉවුරේ එනම් මහා මාර්ගය දිවෙන පසට අප කෙමෙන් කෙමෙන් කිට්ටු කෙරුවෙමු. එම ගල් ගොඩට ආසන්නයේ ද ගඟ විසල් ගැඹුරකින් යුක්ත විය.

කළු ගඟට අවතීර්ණ වූ පලමු තත්පරයේ පටන් අප එය අත් දුටු වෙමු. ගඟ පලලින් අඩු වූවාට අපරාදෙ කියන්න බැරිය ගැඹුර ගැන නම්!
අප රාත්‍රී කඳවුර ඇටවූ ස්ථානයේ හැරෙණ්නට අන් කිසිදු ස්ථානයක  අනුක්‍රමයෙන් වැඩිවූ බෑවුම් සහිත ඉවුරක් නොදුටුවෙමු. සිමෙන්තියෙන් බඳින ලද කානුවක ගැට්ටක් සේ එය සීමාව ආසන්නයේම උපරිම ගැඹුරකින් යුක්ත විය.
 මේ නිසාම ගඟ දෙපස දෛනික පවිත්‍රතා කටයුතු සඳහා ගඟ ප්‍රයෝජනයට ගන්නා අය දක්නට ඇත්තේ ඉතා දුලභවය! පතල් කැණීම හා ඉල්ලම් සේදීම නිසා නිරන්තරයෙන් බොරවූ බවද හේතුවක් විය හැක.

.

සිරිත් පරිදි මා යාත්‍රා රැකවලෙහි යෙදුණු අතර තෙශාන්තත් පසිඳුත් ගල් ගොඩ අතරින් නොපෙනී ගියේය. 
මමත් අනෝත් ලද ඇසිල්ලේ ගඟේ අසිරිය විඳිමින් විවේක ගත්තෙමු. 
විසල් ගල් තලාව අපට සුව පහසු යහනක් විය.
අප අපගේ හිතවතුනට ආදරණීයනට අප සිටින ඉසව්ව පිළිබඳ රූපමය තොරතුරු සම්ප්‍රේශනයේ යෙදුනෙමු. 
ඇනෝ අවට පිංතූර ගැනීම කරණු මාදුටිමි.
ආව්! ආව්!!

කාලය විනාඩි 15 – 20 – 25 – 30 යනාදී වශයෙන් ගෙවී ගියේය. තවත් පැය භාගයකින් පමන; ගිය පසට ඉඳුරාම වෙනත් පසෙකින් තෙශාන්තාත් පසුපසින් පසිඳුත් ප්‍රාණීභූත විය! ඒ අපට අහාර සඳහා පෝෂ්‍යදායී අහාර වට්ටෝරුවක්ද සහිතවය.

එයට එක්වුනේ දුර බැහැරක සිට ගෙන ආ ඇඹුල්තියල් හා මලවන ලද පොල් සම්බෝලය සමග තෙශාන්ත හා පසිඳු විසින් සපයනු ලැබූ අහාර සලාකයට ගෙන ආවේ මහත්වූ රසවත් බවකි. 
අප බඩ පුරා බත් කෑවෙමු. 

කෑම කන අතරතුරේ තෙශාන්ත ගෙන ආවේ රසවත් පුවතකි. 
එනම් තවත් මීටර 100 ක පමන දුරින් ගලන ඇල්ල තරණය තරමක අභියෝගාත්මක බවයි!

අප ගමන  ඇරඹීමටත් පෙර  “ඇල්ලේ” ඇල්ල ගැන අසා තිබුණි. සංචාරක ව්‍යාපාරයේ යෙදෙන අය පවා`මෙම ඇල්ල තරණය කරණ්නේ නැති වගක් අසන්නට ලැබුණි. එසේම අතර මගදී මුණ ගැසුණු පතල් කණින්නන් හා වැලි ගොඩතමන්නන් අතුරින් කිහිප දෙනෙකු “ඇල්ලෙන්” යන්නේ කෙලෙස දැයි අපෙන් ඇසුවෙමු. 

අප ඔවුන්ගෙන් ඒ ගැන තව තවත් විමසුවා විනා පිළිතුරු නොදුනෙමු!

කුඩා වැස්සකට පවා කළුගඟ පිටාර දමා රත්නපුර නගරය යටවන්නට එක් ප්‍රධාන හේතුවක් වන්නේ මෙම ඇල්ල නමින් පරසිදු කපොල්ලය. ගඟේ වෙනත් ස්ථාන වලට සාපේක්ෂව පලලින් අඩු  කපොල්ලක් තුලින් එම ස්ථානයේදී ගඟ ගලා යයි. මෙම කපොල්ල වෙඩි දමා තරමක් විශාල කොට ඇතත් තවමත් එහි කිසියම් ප්‍රචන්ඩ කාරී ස්වභාවයක් දක්නට ඇත.

ඇල්ලට පෙර !

සාමාන්‍යයයෙන් මෙම ස්ථානය ඔරු මගින් තරණය නොකරණ බව; අහාර ගෙන එන්නට ගිය අවස්ථාවේ හමුවූ සමහර අය විසින් කියනු තෙශාට ඇසී තිබුණි.

මෙම කපොල්ල හරහා ගමන් කිරීමට උත්සාහ කරණ පහුරු හෝ ඔරු එක වරම ඉදිරි පස දියේ ගිලී පසුඉහලට එසවී උඩු යටි කුරු වන බව මමද අසා තිබුනි. තෙශා ද මේ කතාව; ඔහු ඇසූ කයි කතන්දර සමගද මෙය ඉතා  හොඳින් ගැලපුනි. ගඟ පහලට එන්නට මත්තෙන් තෙශාත් පසිඳුත් පාලම මතට ගොස් නිරීක්ෂණය කල විට වම් පසින් සීරුවට වැටී ඇති කුඩා මගක් දැක ඇති අතර එය පසිඳුද තහවුරු කලේය. 
 ඇල්ලට පසු!!
බත් කා අවසන්ය. ඉන්ටර්වල් අහවරය! දැන් ඇත්තේ තුන් වෙනි බෙල් එක සමග ඔළුවෙන් හිට ගැනීමටය.

නැවත සියල්ල; හොඳින් අසුරා – තදින් ගැටගසා ගෙන දියට අවතීර්න වීමු. සිරිත් පරිදි මමත් ඇනෝත් පදින ලද කයාකය ඉදිරියෙන් ගමන්  කලේය. තවත් මීටර 50 කින් පමණ අප ඇල්ලට අවතීර්ණ වන්නෙමු. දෙපස අතරින්  ගංඟාව; චංචුවකින් නො එසේනම් නැසින්නකින් පිටවන දිය දළුවක් සේ පිටවනු ඇත. පාලම යටින් ඔබ්බට ගඟ පෙනෙන්නේ නැත. ඉන් අදහස් කරණුයේ පඩියකින් පහලට වැටෙන කලාලයක් සේ ගඟ පහතට වැටෙනු ඇත යන්නය!
මෙම ස්ථානය ගල් වෙඩි හෙවත් බෝර දමා ඇත්නම් අඩියේ ඇත්තේ තියුණු දාර සහිත ගල් විය යුතුය.යම් හෙයකින් කයාකය එවන් ගලක තදින් ගැටුන හොත් කයාකයේ පතුල ඉරා දමන්නට එම තියුණු දාරය සමත් වනු ඇත!
එසේ නම් කල යුතුව ඇත්තේ යම් පමණකට හෝ දැක පුරුද්දක් ඇති තෙශාගේත් පසිඳුගේත් අවවාද ගුරුතන්හී තබා යාත්‍රාව ප්‍රවේශමෙන් ගෙන යාමයි.

‘මචං මතකනේ කියපුවා. කයාක් එක එහේ මෙහේ ගැහුවාට බය වෙන්න එපා. පුලුවං තරම් උඩ රැඳෙන්න බලපං. වැටෙන්නම ගියොත් බය වෙන්න එපා! ඔය ලයිෆ් ජැකට් එක තියෙන තුරු උඹ මරෙන්නේ නෑ! මම ලඟට එන කල් ඔහේ පලයං. ගහ ගෙන ගියා කියලා බය වෙන්න එපා. උඹට මැරෙණ්න දෙන්නේ නෑ. කියන හැම වචනයක්ම අහගෙන හිටපං!!”

මම මගේ සුපුරුදු උපදෙස් මාලාව ගෙන හැර දැක්වූයෙමි. ඇනෝත් සියල්ලට “හරි අයියේ!” කිව්වා මිසක කලබලයක් නොපෙන් වීය! තවත් දෙයක් ඔහු කලබල වුනාදැයි පිට පැත්තෙන් කෙසේ කියන්නද? මා සිටියේ ඔහුට පිටු පසිනි.

“මම පදින්න කිව්වොත් පැදපං! නවත්තන්න කිව්වොත් නවත්තහං!! වතුරට වටුනොත් හබල අත අරිණ්නෙ නැතිව ඉන්න බලපං!!” මම අවසාන කුප්පියද දුන්නෙමි.

කයාක සංචාරයක් පටන් ගන්නට පෙර මම බෙදන තෙල එසේමය. මේ වන විට තෙශාලට පසිඳුලට මා නොබෙදමි. මන්ද ඔවුන්  ආපදාවකදී කලබලයට පත් වන්නේ නැත! ඔවුන්ද දැන් ගුත්තිල හා සම වී ඇත! සමහර විට ඔවුන් ගුත්තිලද පසු කරමින් ශිල්ප දක්වති. එය එසේම විය යුතුය! තෙශාන්තගේ තවමත් මා දකින එකම වරද නම් ඔහු නිවැරදිව හබල් නොගැසීමයි.

නාකි ආච්චිලා දොදොල් හඳි ගාද්දී එය අඩිය අල්ලන්නට පෙර කඩිනමින් හැකි උපරිම ශක්තියෙන් හා ධෛර්‍යයෙන් යුතුව කරති. අවම වශයෙන් එම මට්ටම වත් කයාක් පදීමේදී පවත්වා ගත යුතුය!

සියල්ලටම වඩා ඔවුන් දැන් කලබල නොවෙති! 

ඕනෑම හදිසි අවස්ථාවකදී සිදු නොවිය යුතුම දේ කලබල වීමය. ඔවුනට මා අදද මතක කරණ එකම කටයුත්ත දෙවියන් උදෙසා කොල අත්තක් එල්ලීමය! 
ඒ ඔවුනට අමතකවන නිසා නොව දෙවියන්ගේ සාදර අනුග්‍රහයට මාද පත්විය යුතු නිසාය! 
 එල්ලන්නේ ඔවුන්ය! 
එහෙත් දෙවියන් මා ගැනද බලනු ඇත; මන්ද මා එය මතක් කල බැවින්!!!!!! 

(දෙවියන්; අනේ යකෝb ි@#%ා$^&ි*+_@#$!^^% කියනවා ඇති!!)

“මචං හෙල්මට් එක හරි නේද?” මම මගේ හිස් ආවරණයේ ගාංචුවට අත තියන ගමන්ම ඇසුවෙමි!

රැපිඩ් එකක් නො එසේනම් ඇල්ලක් තරණයේදී සාමාන්‍යය ක්‍රම වේධය වන්නේ; එය තරණය කරණ්නවුන් ගොඩ බිමින් ගොස් එයට සාර්ථකව මුහුණ දෙන ආකාරය පිළිඹඳව පළමුව සැලැස්මක් කථිකා කර ගැනීමයි!

එහෙත් බොහෝ විට එවන් ස්ථාන කරා පිවිසීම රැපිඩ් එක තරණයට වඩා අසීරු බැවින් එක වරම එයට මුහුණ දීම කරනු ලබයි.
යකඩින් කල අකුරට යන පාර
අප කෙමෙන් කෙමෙන් පාළම් වෙතට ළඟා වන විට පාළම මත සිට “පිනුම් ගහන බෝට්ටු”  බලන්නට හය-හත් දෙනෙක් එහි රැස්වී සිටියහ. ඒවා සියල්ල සිතට එක් කලේ අනපේක්ෂිත තිගැස්මකි. 

මාගේ හිතේ ඇඳී ඇති සැලසුම අන්තිම සරලය. කයාකය හැකි පමණ සාර්ථක හා බුහුටි ලෙස පැදගෙන යන්නෙමි! කයාකය පෙරෙලෙනු ඇත!!  කයාකය ප්‍රකෘථි ලෙසට හරවා ගෙන ඇනෝව බේරා ගැනීමට කටයුතු කරමි!!!

පාලම අසලට එන විට ගංඟාව දඟ කවා අත හැර දැමූ දුන්නක් මෙන් මුරණ්ඩුවී තිබුනි.
තෙශාගේ අවවාදය මාහට මතක් විය. කයාකය වමට ගත යුතුය. නිවැරදි පරිදි සිදුවිය යුත්තේ ඉදිරියේ හබල් ගසන්නා බාධක හඳුනා ගෙන මාර්ඝය තෝරාගෙන පසු පස පදින්නාහට කයාකය  ගෙන ගිය යුතු මාර්ඝය, දිශානතිය දැනුම් දිය යුතුය! එහෙත් ඇනෝ ඊට ආධුනික වැඩිය!

” මල්ලි දකුණෙන් පැදපාං . . !” 

කයාකය වම ට හැරවීමට ක්‍රම දෙකක් වේ. ඉන්  පළමු වැන්න ඉදිරියේ හා පසු පස පදින්නා එක්ව හෝ තනිව දකුණු පසින් පමනක් හබල් ගැසීමය – පැදීමය. 
දෙවැනි ක්‍රමය වන්නේ පසු පස පදින්නා තනිව හෝ ඉදිරියේ පදින්නා සමග වම් පසින් කයාකය ඉදිරියට යාමට නොදී හබල දියට දමා නතර කිරීමට උත්සාහ ගැනීමය.

නමුත් විශේෂයෙන් පසුපස පදින්නා කයාකය ඉක්මනින් හැසිර විමේදී උපයෝගී කරගනු ලබන ක්‍රම වේධය වන්නේ මින් දෙවන ක්‍රමයයි. 

එහෙත් දැඩි වේගයකින් ගලන දිය දහරාවක් තුලදී එය භාවිතා කිරීමට තරමක් අපහසුය! බොහෝ සෙයින් නිෂ්ඵලය!! 
එවිට කල යුතු වන්නේ ඉදිරියේ පදින්නා තෙරුම් ගෙන හෝ පසු පස පදින්නාගේ විධානයට අනුව ස්ථානෝචිතව පැදීම නවතා දමනා තුරු පසු පස පදින්නා කයාකය වේගයෙන් හා ශක්තිමත් ලෙස හබල් ගසමින් හැසිර වීමය!

වේලාව උදාසන 9.30 ට පමණ වන්නට ඇත. ඉර එළිය හොඳින් වැටෙමින් විය.

අසලින් ප්‍රධාන මාර්ගයක් ඇදී ගියද ගඟේ සිට බලන විට මිනිස් අතින් කල නිර්මානයක් සේ පෙනෙන්නේ ගන්නග හරහා දිවෙන ගැල්වනයිස් යකඩ පාලම පමනි.

එය ප්‍රධාන මාර්ගය එනම් රත්නපුර – පානදුර මාර්ගයෙන් හැරී ගිය දෙවන පෙල මාරගයකට වැටුනු පාලමකි. පාලමේ වම් පස පැති බැම්ම අප දෙස ඔරවාගෙනය. හාත් පස කොල පැහැති තුරු ලතා පමණි. 

ඒවායේ පත්‍ර හිරුඑලියට දිලිසේ. ඒ තවමත් වියැලෙමින් පවතින පෙරදින වට  පින්නෙන් ලද තෙත්මනය නිසා විය යුතුය.

 “දකුණෙන් පැදපාං! ” මා කෑගසා කීවෙමි.

මම හබලෙන් වම් පස නවතා එකවර ලොකු කෝනයකින් කයාකය වම් පසට ගත්තෙමි. ඉදිරිය කෙලෙසදයි ඇනෝගෙන් කිසිදු ප්‍රථිචාරයක් ලබුනාදැයි මගේ මතකයට මෙවෙලේ නො ඒ !

කයාකය ඉවෙන් මෙන් අදිසි ගල් දෙකක් අතරින් ඇසිල්ලකින් විද්දේය. 

එය නැවතුනේ  මෙනෙ දමමින් රැලි නංවන කුඩා; අඩි 40ක – 50ක ජලාශයක් තුලය. බොහෝ විට කයාකය පෙරළෙන්නේ මෙම රැලි සමගය. 

“පදින්න එපා!’ මා විධානයක් දුන්නෙමි.  ඒ ඇයි?  බොහෝ විට රැපිඩ් වලදි වේගයෙන් පද යා යුතුය. එහෙත් අප රැපිඩ් එකේ චලනය හැසිරීම හඳුනා ගැනීමට එක් නිමේශයක් නිහඬ වීම වැදගත්ය. 

දිය රැලි අපව ආදරයෙන් වැලඳ ගෙන උඩ පහල ‘පරක්” කලා මිසෙක අපව පොලවේ ගසන්නට, බිම අත අරිණ්නට, දියේ ගිල්ලන්නට සිතක් තිබුනේ නැත.

සෙමෙන් රැලි වලින් තොර කලාපයකට අපව සේන්දු වන තුරු ගං දියට අපව භාර කලෙමි!

ඒ සමගම මා පසුපස බැලුවෙමි. ඒ තෙශාන්තලාගේ ඉරණම කෙසේ දැයි විමසා බලා ගන්නටය!
ඔවුන්ද නිරුප්ද්‍රිතව  ජලාශයට අවතීර්ණ වෙමිනි. අප “ඇල්ල” ඇල්ලට සාර්ථකව මුහුණ දී ඇත්තෙමු!

අප කයාක් දෙක අසලට ගෙන සතුට සැමරුවෙමු! 
 චියර්ස් ! බොන්න හිතෙන සතුට !!~
ඇල්ල පසු කර කෙටි දුරක් පමිණි පසු වැලි බෝට්ටුවක් මත රැඳුනු දෙදෙනෙක් අපෙන් විමසුවේ එකම පර්ශ්නයකි.

“ඇල්ලෙන් ආවේ කොහොමද?”
“කොහොමද ඇල්ලෙන් ආවේ?”

අපි එයට දුන්නේ දියාරු; කහවත් හරියට නැති කිරි හොදි උත්තරයකි!

“ඒකනේ මේ ප්ලාස්ටික් ඔරු පෙරළෙන්නේ නෑ බං !” එකෙක් අනිකා අමතා අපේ පිළිතුර ස්ථිර කලේය!
ඔන්න කනෝ පිනුං !

ගං දෑල දෙපසම

කෑල මල් පිපි ඕසෙට

කොමල කළු ගඟ
සිඹිමි ඔබ ගෙන දෑතට

හද ඉතින් ඉවසන්න
බාරවෙන්නම් මම – කළුතරට !


%d bloggers like this: