Menu Close

නයිපෙන විහාර පරිශ්‍රයේ නයිපෙන විහාරය නොහොත් ජනනාථමංගලම්හි අංක 4 විෂ්ණු දේවාලය

චෝළ පාලනය යටතේ ජනනාථමංගලම් වූ පොළොන්නරුව හෙවත් පුළත්ථිපුරයේ නයිපෙන විහාරය නමින් හැඳින්වෙන නටබුන් ගොඩනැගිලි සහිත පරිශ්‍රයේ පිහිටි ශිව දේවාලය පිළිබඳව මෙයට පෙර ලිපියකින් තොරතුරු ඉදිරිපත් කලෙමි (Link >>). එහෙත් එම නටබුන් ගොඩනැගිලි වලට පොදු ව්‍යවහාරයේ නයිපෙන විහාරය යන නම භාවිතා වීමට හේතු වූ විෂ්ණු දේවාලයක් ලෙස හඳුනාගෙන ඇති ගොඩනැගිල්ලේ විස්තර එම ලිපියට විෂය නොවීය. මේ ලිපිය එම විෂ්ණු දේවාලය නොහොත් නයිපෙන විහාරය පිළිබඳවයි. පොළොන්නරුව පැරණි නගරයේ පිහිටි ශිව සහ විෂ්ණු දේවාල එකිනෙකින් වෙන් කර හඳුනාගැනීම සඳහා පුරාවිද්‍යාඥයන් විසින් ලබා දී ඇති අංක අනුව මෙම විෂ්ණු දේවාලය අංක 4 දරන විෂ්ණු දේවාලය ලෙසින් නම් කර ඇත.  
නයිපෙන විහාර පරිශ්‍රයේ එම අංක 4 දරන විෂ්ණු දේවාලය සහ අංක 5 දරන ශිව දේවාලය පිහිටා ඇති ආකාරය සහ ඒවායෙහි බිම් සටහනක් (Plan) ඉහත ඉදිරිපත් කර ඇත. එකම ප්‍රාකාරයකින් සීමා වූ ප්‍රදේශයක එකිනෙකට යාබදව එම දේවාල පිහිටා ඇති ආකාරය එමගින් පැහැදිලිව දැක ගත හැක. මෙම දේවාල දෙකටම පිවිසීම උදෙසා වූ ද්වාරමණ්ඩපය (Porch) හෙවත් ගෝපුරම් පරිශ්‍රයේ ඉදිරිපසින් වර්තමාන මාර්ගයට මුහුණ ලා ශිව දේවාලය ඉදිරිපසින් පිහිටා ඇත (ඉහත බිම් සැලැස්මේ පහල කෙලවරේ වම් පසට වන්නට සලකුණු කර ඇත.)
මෙම විෂ්ණු දේවාලය ප්‍රධාන වශයෙන් ගඩොල් ආධාරයෙන් ඉදිකර ඇති අතර එහි අත්තිවාරමට (Basement) ඉහලින් සියළු කොටස් විනාශ වී ඇත. ඉතිරි වී ඇති අත්තිවාරමට අනුව එය ප්‍රධාන විහාර කුටිය(Shrine) හෙවත් ගර්භ ගෘහයකින්, එක් අන්තරාලයකින්(Vestibule) සහ එක් ඇතුළු මණ්ඩපයකින් (Inner Mandapam)  සමන්විතව තිබී ඇත. මෙයට පිටත මණ්ඩපයක් (An outer Mandapam with posterior landing) පසුව එකතු කර ඇත. 

මෙම දේවාලයේ තිබූ දේව  ප්‍රතිමාව ගොඩනැගිල්ල කඩා වැටීමට පොරොතුවම ඉන් ඉවත් කරගෙන ගොස් ඇති බව මෙම ස්ථානයේ H.C.P. බෙල් මහතා සිදු කල කැනිම් වලදී පැහැදිලි වී ඇත. පිළිමය තිබූ ගඩොලින් කල උස් වේදිකාව (Estrade) එම ගර්භ ගෘහය(Sanctum) තුල දැනටද දැක ගත හැක. විශාල කුට්ටි තුනකට කැඩී ගිය මෙහි ඉලිප්සාකාරව තිබූ ගඩොලින් කල ශිඛරය (Dome) එහි බිත්තිද සමග බිමට පතිත වී පිළිමය තිබූ අභ්‍යන්තර කුටිය තුල වැටී තිබී ඇත. පිළිමයේ කිසිදු සලකුණක් එම සුන්බුන් අතර නොවීම බෙල් හට ඉහත නිගමනයට ඒම සඳහා පාදක විය. ගොඩනැගිල්ලෙන් පිටත තිබී ශෛලමය ගල් ආසනයක්ද හමු වී ඇත (පහත රූපය බලන්න.)

පොදුවේ මෙම නටබුන් ගොඩනැගිලි සියල්ල නයිපෙන විහාරය ලෙසින් හැඳින්වීමට හේතු වූ පෙන පහකින් සමන්වුත වූ නාගයෙකුගේ හිස මෙම ශිඛරයේ උතුරු පැත්තට මුහුණලා පිහිටා තිබූ පනේලයේ (Panel) දැනටද සැලකිය යුතු මට්ටමකින් විනාශ නොවී ඉතිරි වී ඇත.

දේවාලයේ ප්‍රධාන පිවිසුමට මුහුණ ලා තිබූ නැගෙනහිරට යොමු වී තිබූ ශිඛරයේ තිබූ දේව ප්‍රතිමාවේ ඉතිරි වී ඇති කොටස් වලින් පැහැදිලිවම මෙම දේවාලය කිනම් දෙවියෙක් උදෙසා ඉදිකරන්නට ඇත්ද යන්න හඳුනාගත හැක. බෙහෙවින් විනාශ වී ගොස් තිබූ මුත් එහි හිස සහ උරහිස් සමග චක්‍රායුධය (Discus) දැරීමට ඉහලට එසවූ දකුණු අත (චක්‍රායුධය කැඩී අතින් වෙන්වී ඇතිමුත්)  එම රූපය විෂ්ණු දෙවියාගේ ලෙසට හඳුනාගැනීමට ප්‍රමාණවත් බවට බෙල් පවසයි. දැනට ඉතිරි වී නොමැති ඒ ආකාරයෙන්ම ඉහලට එසවූ වම් අතෙහි ශංඛය (Chank) ද තිබෙන්නට ඇත. (මෙයට පෙර ලිපියකින් විස්තර ඉදිරිපත් කල අංක 2 විෂ්ණු දේවාලයේ දේව ප්‍රතිමාව බලන්න. Link>> )
මෙම ස්ථානයේ ඉහත විස්තර කල පරිදි ශිව දේවාලයක් සහ විෂ්ණු දේවාලයක් වෙන වෙනම ඇති මුත් (ඒ අතරින් ප්‍රමාණයෙන් විශාල සහ බැලු බැල්මට ප්‍රමුඛව දිස්වන්නේ පෙර ලිපියකින් විස්තර කල ශිව දේවාලයයි >>Link) පොළොන්නරුව පිළිබඳව ලියැවුන ඇතැම් මූලාශ්‍රයන්හි මෙම මුළු නයිපෙන විහාරය ලෙසින් හැඳින්වෙන ප්‍රදේශයම එක් දේවාලයක් ලෙස සහ එය විෂ්ණු දේවාලයක් ලෙස සලකා කරුණු ඉදිරිපත් කර ඇත. ( උදා: Seneviratna A, 1998 සහ දිසානායක S., 2009 එහෙත් එය නිවැරදි නොවේ.
මූලාශ්‍ර
  • Archaeological Survey of Ceylon North-Central  And Central Provinces, Annual Report 1908, H.C.P. Bell, 1913
  • Polonnaruwa, Medieval Capital of Sri Lanka, Anuradha Seneviratna, 1998
  • අසිරිමත් පොළොන්නරුව, ආචාර්ය සෙනරත් දිසානායක, 2009

%d bloggers like this: