Menu Close

කියවීම ‘උමතුවක්‘ ලෙස ගැනීම: සංස්කෘතික මිනිසකු ගොඩ නඟා ගනු පිණිස

(2019 අගෝස්තු 11 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

සතිපතා තමන් වෙත හෝ තමන් වෙතින් විශ්‍රාමික මහාචාර්යවරයෙකු වෙතින් හෝ වෙත යොමු වන නිශ්චිත දුරකථන ඇමතුමක් ගැන දීර්ඝ සහ අනර්ඝ සටහනක් පසුගිය සතියේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් සිය ෆේස්බුක් අඩවියේ පළ කොට තිබිණි. “මොනවද මේ දවස්වල කියවන්නෙ?“ යන නියත පැනය කුමන හෝ අන්තයක් වෙත නියතව යොමු වන මේ ඇමතුම ස්වකීය කියවීමේ ‘උමතුව‘ බෙදාහදා ගැනීම පිණිස ඔහු වෙත ලැබෙන්නක් මිස ‘උමතුව‘ සුව කරනු පිණිස වන ඖෂධයක් නොවන බවත්, ඒ ‘උමතුව‘ වැළඳුණු බවට ඔහුට හැඟෙන විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩල සාමාජිකයින් පේරාදෙණියෙන් හමුවන්නේ තුන් හතර දෙනෙක් හා ඒ නම් මේ බවත්, ඒ ‘උමතුවේ‘ වටිනාකම මෙපරිදි බවත් ලියා තිබුණු මහාචාර්ය අමරකීර්ති සිය සටහන කෙළවර කර තිබුණේ තමන්ට සතිපතා දුරකථනයෙන් ‘කියවන දේවල්‘ ගැන කතා කරන විශ්‍රාමික මහාචාර්යවරයාගේ නම ජයදේව උයන්ගොඩ බව හෙළි කරමිනි.

මහාචාර්ය අමරකීර්තිගේ සටහන බොහෝ දෙනෙකු යළි සිය ෆේස්බුක් පිටුවල ද බෙදාගෙන තිබුණු අතර එම සටහනට ආදරය, කැමැත්ත සමගින් විශ්මයාවහ එකඟතාව පළ කළ පිරිස ද විශාල පිරිසක් බව සටහනෙහි පහතින් පෙනෙන්නට තිබිණි. ‘කියවීම‘ ගැන, සම්මානලාභී ලේඛකයෙකු ද, විශ්වවිද්‍යාලයක සිංහල අධ්‍යයනාංශයක මහාචාර්යවරයකු ද වන අයෙකු ලියා තිබුණු සටහනක් දැඩිව ආදරය හා කැමැත්ත ලබා ගනිමින් බෙදාහදා ගැනෙද්දී සැබෑවටම ඔහු මතු කරන කියවීමේ ‘උමතුවකින් තොර‘ සමාජය පිළිබඳ බිහිසුණු හැඟවුම යටපත් වෙමින් යන බව මගේ නිරීක්ෂණයයි. යට කී ප්‍රතිචාර දක්වන්නන් හා බෙදාහදා ගන්නන් බහුතරය ‘සෙමින් සෙමින් ගොස්‘ මහාචාර්ය අමරකීර්ති අසලින් සිට ගනිමින් “පේනව නේද රටකට වෙලා තියෙන දේ?“ වැනි ප්‍රශ්නයක් අනෙකාගෙන් අසා තමන් ද ‘උමතුවක් ඇති අයෙකු‘ බවට වන ව්‍යාජ හැඟවුමක් දක්වමින් හිත හදා ගෙන හා/හෝ හිත රවටාගෙන සාකච්ඡාව කෙළවර කරයි.

සැබවින්ම මේ ෆේස්බුක් අඩවි සටහන අපට එතරම් ‘පහසුවෙන්‘ බෙදාහදා ගත හැකි සටහනක් ද? ප්‍රතිචාර දක්වා අමතක කළ හැකි සටහනක් ද? දියුණු සංස්කෘතික සමාජයක් ගොඩ නගා ගැනීමට නම් අප වෙත නියත වශයෙන්ම නිර්මාණය කර ගත යුතු සංස්කෘතික මිනිසාගේ පරිපූර්ණත්වය පිළිබඳ පැහැදිලි හැඟවුමක් වන ‘කියවීම‘ පිළිබඳ සාධකය ගැන භාෂා විශාරදයකුගේ නිරීක්ෂණය අප වෙත කිසිදු පහසුවක් ඇති නොකරන්නක් වන හෙයින්ම එය කිසිදු ආකාරයකින් අමතක නොකොට යළි යළිත් සාකච්ඡාවට කැඳවිය යුත්තක් බව මම යෝජනා කරන්නට කැමැත්තෙමි.

සමාජයක් ලෙස අප, පොත් ප්‍රදර්ශනවල රස්තියාදු ගසමින් හෝ, පොත් මිලට ගන්නේ කියවන්නට නොවන බව සැප්තැම්බරයේ පළ වන බහුතර සමාජ ජාලා සටහන්වලින්ම නිරීක්ෂණය කළ හැකි ය. පොත්වලට වඩා වැඩියෙන් ක්ෂණික නූඩ්ල්ස් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන සමය විකිණෙන බවට ලියූ සෝපාහසාත්මක සටහන් ද, ‘ගිය වර මිලට ගත් පොත්වලට තවම අත වත් තබා නැති බව‘ ලියූ දුක්බර සටහන් ද මා කොතෙකුත් දැක ඇත. එහෙත් ඔවුන්ටම අනුව මේ වෙළඳ ආකර්ෂණය මඟ හැර යා නොහැක. මෙය සමාජ විලාසිතාවක් හෙයින් නොකියවන්නෙකු වුව ද එහි ගොඩ වැදිය යුතුම ය.

“ඉස්සර නම් මං හරියට කියෙව්වා. ඒත් දැන් තමයි වෙලාව නැත්තෙ.“ යනු කියවීම මඟහැරීම පිළිබඳ තවත් ප්‍රකට පළා යෑමේ ප්‍රකාශයකි. අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය සඳහා වෙහෙසුණු ශිෂ්‍ය අවදියේ තමන් පොතපත සේවනය කළ බවත්, රාජකාරි හා පවුල් බර මෙන්ම සමාජ ක්‍රියාකාරකම් යනාදිය තමන් පොතපතින් ඈත් කර ඇති බවත් දක්වමින් වරද ‘සමාජ ක්‍රමයේ‘ බව හඟවන මේ ‘පළා යන්නෝ‘ සමාජය වඩා යහපත් තැනක්ව තිබුණි නම් තමන් විශිෂ්ට ලෙස පොතපත සේවනය කරන්නෙකු වීමට ඉඩ තිබුණු බව අප වෙත හඟවති.
කියවීම ගැන යථාව කුමක් ද? අප සමාජයක් ලෙස කියවීම යන්න වටහාගෙන ඇත්තේ කෙලෙසකින් ද? “අපි ජාතියට කියවීම හුරු කළෙමු“යි ප්‍රකට ප්‍රකාශන සමාගමක් සිය උදාන වැකියේ සටහන් කර තිබුණ ද, අප ජාතියක් ලෙස කියවන්නෝ වෙමු ද?

කියවීම අපට එතරම් හුරු හෝ ධනාත්මක අදහසක් ඇති කරන වදනක් නොවේ. කුඩා අවදියේ පටන් අප කරන්නේ පොත් ‘පාඩම් කිරීමයි‘. එනයින්, ගුරුවරයා අප වෙත ගෙන ආ කුමන හෝ දෙයක් ‘වනපොත් කිරීමයි‘. කියවීම යන්නට සාමාන්‍ය සමාජය තුළ ඇත්තේ සෘණාත්මක හැඟවුමකි. “නිකං බොරුවට කියවන්න එපා මෙතන“ යනාදී යෙදුම්වලදී හමුවන එය ‘කියවීම‘ යන අකුරු හතර වෙත වන සමාජ කියැවීම කුමන ස්වරූපයක වේදැයි අප වෙත කියා දෙයි. පාසැල හෙවත් වර්තමාන අධ්‍යාපන ක්‍රමයේ මූලික මධ්‍යස්ථානය කිසිවකුට කියවීම ‘උමතුවක් ලෙස‘ බෝ කරන්නේ නැත.

දියුණු සමාජවල කියවීම දියුණු සමාජ ක්‍රියාවකි. ස්මාර්ට් ෆෝන් හෝ ටැබ් නැතිනම් ලැප්ටොප් අතින් දරා හෝ උකුල මත තබාගෙන ඒ හා අන්තර්ක්‍රියා කරන මගීන් දියුණු රටවල මගී ප්‍රවාහන සේවාවන්හි ගමන් කරන්නෙකුට දක්නට ලැබෙන සුලභ දසුනක් වුව, ඒ නොඉක්මවූව ද සිය ගමන් මල්ලෙන් පිටත ගත් පොතක් කියවමින් යන මගීන් ඇස ගැටීම ද දුලභ දසුනක් නම් නොවේ.

අනෙත් අතට කියවීමේ ‘උමතුව‘ වැළඳුණු තැනැත්තා නිරතුරුව කියවයි. සිය සාක්කුවේ රුවාගත් නැමූ ඉංග්‍රීසි පත්තර පිටු බස් රථවල පාපුවරුවේ එල්ලී යන මොහොතවල පවා, නිදහස් අතින් ගෙන කියවූ මිතුරකු මගේ මිතුරු සමාජයේ වෙයි. පොතක කොටසක් හෝ කියවා කෙළවර නොකොට නින්දට නොයන්නන්, කන්තෝරු වේලාවේ ඉඩක් ලද විගස තමන් වෙත වන පොතෙහි පිටුවක් හෝ දෙකක් කියවා කෙළවර කිරීමේ පිපාසාවෙන් පෙළෙන්නන් ඉතා අඩු අංකවලින් වුව මගේ මිතුරන් අතර වෙයි. එහෙත් බහුතරය ඒ නොවේ.

වැඩි පිරිසකට යට කී ලෙස දැන් කියවන්නට වෙලාවක් නැත. තවත් පිරිසකට දැන් කියවන්නට සුදුසු පොතපත පළ වන්නේ ද නැත! මේ සියල්ලම ඉක්මවමින් කියවීම පිළිබඳ පොදු අදහස තුළ ඇත්තේ කියවිය යුත්තේ ඒ තමන්ට ‘අදාල නම්‘ පමණක් ය යන්නයි. ඒ අදහස දරන්නන් සාහිත්‍ය පොත කියවන පරිගණක ඉංජිනේරුවෙක් දෙසත්, ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැන විමසන සමාජ විද්‍යා ශිෂ්‍යයෙකු දෙසත් බලන්නේ ‘මේ මොන විකාර වැඩක්‘දැයි යන අදහසිනි. විශ්වවිද්‍යාලවල වුව, නූතන සාහිත්‍යය දැඩිව සේවනය නොකරන භාෂාව පිළිබඳ ආචාර්යවරයකු හමුවීම වුව විය නොහැක්කක් නොවන්නේ, “මගෙ අංශය ඉතින් පැරණි සාහිත්‍යයනෙ…“ නැතිනම් “මං ඉතින් ව්‍යාකරණකාරයනෙ..“ වැනි තර්ක සමග වන ‘භාෂා ප්‍රවීණයන්‘ විශ්වවිද්‍යාලවල ද වන බැවිණි.

පොතක් අතට ගැනීම ක්‍රියාකාරීව සිදු කළ යුතුම නොවෙතත්, පරිගණක තිර, ඊ කියැවීම් තිර යනාදී කුමන හෝ මාධ්‍යයක් හරා එළැඹීම කළ හැකි වෙතත්, කියවීම මිය නොයනු ඇති, සදාකාලික තාරුණ්‍යයක් සහිතව එන කටයුත්තක් බව වටහාගත මනා ය. නිර්මාණශීලී රචනයක, එනම් කවියක, කෙටි කතාවක හෝ නව කථාවක මෙන්ම ශාස්ත්‍රීය ලියැවිල්ලක වන අදාල කෘතියට ආවේණික නැවුම් බව වෙනත් කිසිදු ස්වරූපයකින් එපරිද්දෙන්ම හමුවෙන්නක් නොවේ. කවිය, කෙටි කතාව හා නව කතාව ඇතුළු නෙක සාහිත්‍යාංග යළි යළිත් නැගී අප වෙත තබන, කතුවරයාගේ නිර්මාණශීලීත්වය, ප්‍රතිභාව හා පරිකල්පනය තුරුළේ නැගුණු නව අදහසක් හෝ කතා පුවතක් අප වෙත මවන අපූර්වත්වය සම නොකල හැක්කකි. පැවති දැනුම හා වැඩි කලක් ගැටී නැගෙමින්, සිය මනස තුළ පැන නැගුණු නන්විධ ශාස්ත්‍රීය ගැටළු හා තර්ක සමග ගණුදෙනු කරමින්, දීර්ඝකාලීන වෙහෙසකින් අප වෙත තබන ශාස්ත්‍රීය කෘතියක ඇති දැනුමෙහි නැවුම් බව ද එම ලෝකය විමසන්නෙකුට සුවිශේෂ ය.

නිර්මාණශීලී කවි, කෙටි කතා හා නව කතා ඇතුළු සාහිත්‍යමය කෘති සේවනයත්, ඒ හා සමාන්තර ධාරාව වන පැවති න්‍යායික කලාප අභියෝග කෙරෙමින් නව දැනුම හා සංකල්ප ගොඩ නැංවෙන ශාස්ත්‍රීය කෘති සේවනයත් “අපේ වැඩ නොවන“ කලාපවල, බහුතර විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩල සාමාජිකයාගේ සිට පාසැල් ගුරුවරයා, රාජ්‍ය හා පෞද්ගලික අංශවල නිලධාරියා සිට විශ්වවිද්‍යාල හා පාසැල් ශිෂ්‍යයා දක්වා සමස්ථ පුරවැසි ප්‍රජාවම ජීවත් වීම සංස්කෘතික මිනිසකු බිහි කිරීම පිළිබඳ වන බරපතලම අභියෝගයකි. රට විනාශ වෙමින් පවතින්නේ ය යන අ‍පේ පොදු දොස් පැවරීම අප වෙතම ද ඇඟිල්ල දිගුවන කලාපයක් වන බව වටහා ගනිමින් අප ‘කියවන උමතුවක්‘ ඇති සමාජයක් තනාගත යුතු ය. එය අමරකීර්ති හෝ උයන්ගොඩ දෙපළට තනිව විඳින්නට ඉඩ දී හිත හදාගත යුතු යමක් නොවේ. සමාජ උමතුවකින් කෙළවර විය යුත්තකි.

-ප්‍රියන්ත ෆොන්සේකා – 

%d bloggers like this: