Menu Close

224. කියන කතාවයි මේ

“ඔහොම තමයි ඉතින් සුපර් මෑන්ලා”

මම සෙමෙන් කියා මාධවී දෙස බලා සිනාසුනෙමි. මාධවී සිනාසුනේ නැත. ඒ වෙනුවට අඳුරු මුහුණෙන් යුතුව මා දෙස බලා සිටියාය. කුසල් අප පසුකොට ගොස් ශාලාවෙන් පිටවයනු මට පෙනුනි. ඔහුගේ මුහුණ බිමට බරව තිබිණි.

“ඌට ඇහෙන්න ඇති.”

“ඇහෙන්න තමයි කිව්වේ!”

“උඹ පුදුම නපුරිච්චියක්නේ!”

මාධවී අප ඉඳ උන් මේසයෙන් නැගිට කුසල් පසුපස දිව ගියේ , මෙතෙක් මා මත තිබුණු අත්ල දමා ගසමිනි. මගේ හදවත කිතු වලට ඉරී රූරා වැටෙනවා සේ දැනුනි. මගේ කුරිරු සතුටට තිබුනේ සබන් පෙන ආයුෂයකි. නමුත් මම මේසයෙන් නොනැගිට අවසන් පැණිබිම බින්දුවද උගුරට වත්කර ගත්තෙමි.

මිට සුළු මොහොතකට පෙර කැළඹී ගිය ආපනශාලාව යන්තම් සන්සුන් වනවා මෙන් පෙනුනි. කුසල් විසින් ගුගුරනලද අංශ ප්‍රධානියා මේ වනවිටත් පිටවගොස් සිටි නිසා ඉතිරිව උන් අප පරිපාලන අංශයේ සොක්කන් විසින් නඩුව පසිඳුවනු මට යන්තමින් ඇසේ.

“හොඳ වැඩේ මචන්! ඔය කුකුලාට ඔහොම්මම තමයි වෙන්න ඕනේ.”

“ඊයෙත් අර මීටින් එකේදී මෙහෙ ඉඳලා මාරුව හදාගෙන ගියපු තුල්සි මිස්ට ලෙඩක් ඇද්දානේ!”

“හොඳම වැඩේ… මොකද පෙනේ පුප්පලා දෂ්ඨ කරන්නද? ඩිරෙක්ටර්ගේ බෑනා නේ වලිය ඇද්දේ”

සිදුවීමට මුල් වූ ගින්න වුයේ මා අත වුවද, මම ඒ ගැන කිසිම වෙනසක් නොපෙන්වා සිටින්නට උත්සහ කලෙමි.

එය කුසල්ගේ හැටිය. මේ මගේ හැටිය!

“උඹ කියපු දේ කුසල්ට ඇහිලා… ගිහින් සමාව ගන්නවා…”

ආපසු මගේ ආසනයට පැමිණි මට මාධවී කඩාගෙන පැන්නාය. මම නෑසු කන් ඇතිව මගේ ‘එන’ ගොඩේ තිබෙන ලියකියවිලි ෆයිල් කවරයක් ගෙන එයට මුහුණ ඔබා ගතිමි.

**************************************

මගේ දෙකකුල් පන නැතිව ගියාක් වැනිය. හුස්ම වැටුනේ යන්තමට වන්නට ඇත. කුසල් පෙඟී ගිය කඩදාසියක් අල්ලන්නාක් මෙන් පරිස්සමට මගේ අතෙහි මැණික් කටුවෙන් අල්ලා ගත්තේය.

“අමතක කරලා දාන්න..!”

ගල් බෝරයක් වැදී මම සුනු විසුනු වෙම්න් සිටියදී කුසල් කෙඳිරුවේය.

“පිරිමි ඔක්කොම එකයි… අවස්තාව එනකල් බෝසත්, ඊට පස්සේ අජාසත්”

මට වෙන කියන්නට දෙයක් නොවිණි.

කුසල් විසින් ඒ වනවිට මගේ අතීතය සම්පුර්ණයෙන් දිගහැර හමාරය. ඒ වෙනුවෙන් මම බොරුවෙන් බොරුව වසමින් පැය ගණනාවක සටනක නිරත වුවද, කුසල් විසින් ඒ සියල්ල දැනගෙන කතාකරන බව දැනගත් පසුව මම පරාජිත අධිරජෙකු සේ මරණය අපේක්ෂාවෙන් දෙදන බිම හොවාගෙන යටත් වුනෙමි. මට තිබුනේ සමස්ත පිරිමි සංහතිය අලලා චෝදනා ගොනුකිරීමක් මිස, කුසල් කෙරෙහි කේන්ද්‍රගත වෛරය ප්‍රකාශ කිරීමේ නොහැකියාවකි.

“……..දුලීකා… ඒ ඔක්කොම අමතක කරලා දාන්න.. මට වාසි ඕනේ නැහැ”

“දැන් කියන්නේ ඔයාටත් මගෙත් එක්ක බුදියාගන්න ඕනේ නැහැ කියලද? ඕනේ නැහැ? ඔක්කොම දන්නවා නම්? වැල් බයිලා!”

මම නැගිට යන්නට උත්ස්සහ කරද්දී, කුසල් මගේ අත තරකොට අල්වා ගත්තේය. ඔහුගේ අත් ශක්තිමත්ය. මම ගැලවී යන්නට මෙන් උත්සහ කලද, ඔහුගේ ග්‍රහණය බුරුල් වුයේ නැත.

“නෑ… ඔයත් එක්ක ඔයා කියන විදියට ‘බුදියාගන්න’ තියෙනවා නම්, මම අකමැති වෙන්නේ මොකටද? ඒත් මම මේවා කිව්වේ ඒකට නෙවෙයි දුලීකා. මම මේ කියන දේ අහන්න!”

මට හඬන්නට අවශ්‍ය වූ නමුත් දෑසම වියලි ගොස් වසර ගණනාවකි. මම පරාජිතව නැවතත් පුටුව මතට ඇද වැටුනෙමි.

“අහගෙන ඉන්නේ.. තව මොනවද කියන්න තියෙන්නේ?”

“මම ඔයාට ආදරෙයි කියල… ඇත්තටම ආදරෙයි කියල”

“බයිලා!”

ඔහුට රිදවන්නට හැකි අවියක් සොයමින් මම සෑහෙන මානසික වදයක් විඳිමින් සිටියෙමි. මට අවැසි වුයේ පලා යන්නටය.

“නෑ.. මම බයිලා කියන්නේ නැහැ.. ඔයා දැකලා ඇතිනේ!”

“ඒවා සංදර්ශන… “

“කාට පේන්නද?”

“සමහරවිට මාව අල්ලගන්න! මේ විදියට අපහාස කරන්න”

කුසල් මදක් පසුබා ගියේය. ඔහු මගේ දෙස නෙත් නොහෙලා බලා සිටි. බොරපාට වංක ඇස් වල මම එදා සැකකළ වංකකම තිබුනා සේ, මේ පැහැදිලි ඇස්වල වරදක් සොයමින් මම තත්පර දෙකක් මිඩංගු කලෙමි.

“ඔව්… ඔයාව අල්ලගන්න.. ඔයාව මේ තත්වෙන් හරි මට නතුකරගන්න මම කරපු දේවල් තිබ්බා තමයි. ඒ උනත්, ආදරේ අවංකයි”

කුසල්ගේ ග්‍රහණය ලිහිල් වුයෙන් මම වහා ඉන් මිදී පසුපසට පැන්නෙමි.

“කුසල්, ඔයා හොඳ මනුස්සයෙක්… මාව දැන් දන්නවනේ.. ඔයා හිතන තරම් වටිනාකමක් නැති බවත් තේරෙනවා නේ.. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න”

**************************************

මාධවී කෙතරම් බලකලද, මම සැමවිටම කුසල්ගේ ඇසමානයෙන් ඉවත්ව සිටින්නට උත්සහ කලෙමි. නමුත්, කුමක් හෝ බලවේගයක් හෝ සිද්ධියක් විසින් ඔහු සැමවිටම මා අසල විය.

වසර දෙකක පෙම් සබදතාවයක භයානක ප්‍රතිපල සමඟ පොරබදා හෙම්බත්වී උන් මම, මගේ පෑරුණු හදවත යන්තම් සුවපත් කරමින් උන්නෙමි. කුසල් විසින් මා වෙත ඉදිරිපත් කරනලද තොරතුරු හමුවේ මම මරණාසන්නව සිටියෙමි.

“ඌ ඔයාව ආශ්‍රය කරලා තියෙන්නේ..”

“ඇති ඇති…. මට ඔය ගැන දැනගන්න ඕනේ නැහැ කුසල්. ඔයා මේවා කියන්නේ මොකටද? දැන් ඒ එෆෙයාර් එක ඉවරයි… හැමදේම ඉවරයි”

කුසල් මා දෙස බලා සිටියේ අනුකම්පාසහගතව වන්නට ඇත.

“… මට ඔයාගේ කෙහෙල්මල් අනුකම්පාව ඕනේ නැහැ.. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න”

කුසල් නිහඬව උන්නේය.

දිනෙන්දින මම මානසික ප්‍රපාතයකට වැටෙමින් උන්නෙමි. ඒ ප්‍රපාතයේ සැමවිටම කුසල් හිඳ , මගේ වැටෙන බිම්කඩ සුවපහසු කරමින් උනි. ඔහු මගේ ප්‍රධානියාගේ බෑණාය. ඔහුට මට වඩා තරුණියක නැතුවාද? වරෙක තැලී චප්පවී ගිය මගේ ආත්මය නැවතත් ඔසවා තැබීමට තරම් ඔහුට ඇති උවමනාව මට තේරුම්ගත නොහැකිව තිබිණි. මගේ පැරණි පෙම්වතා මා සාහසික ලෙස හැරගිය පසු, ඔහු කෙරෙහි අතු දුකට හාත්පසින්ම වෙනස් වෛරයකින් දැන් මම දැවෙමින් සිටිමි. ඒ ගිනි අවුලවාලුයේ කුසල්ය.

“කොච්චර බලා හිටියත් ආයේ ඌ එන්නේ නැහැ දුලීකා….”

මාධවී මට කෙතරම් එලෙස කියන්නට ඇතිද?

“මම එයා එයි කියලා හ්තාගෙන බලා ඉන්නවා නෙවෙයි මාධවී..”

“එහෙනම්? උඹ මොකටද ඔතරම් නහින්නේ?”

“මම දන්නේ නැහැ මාධවී”

“උඹ දැන් දන්නවනේ, උඹගෙන් ප්‍රයෝජන අරගෙන ඌ ඒ ගැන බොනපාටි වල ඒ ගැන නන්දෙඩෙව්වා කියලත්, සාක්ෂි ඇතුව! මට නම් ඌ මැරුවත් මදි!! ඒ තරම් කේන්තියි”

මම නිහඩ වුයෙමි.

එය කෙතරම් වේදනාකාරීද ? යුවතියකගේ ප්‍රේමයක්, සල්ලාලයෙකුගේ විනෝදයක් වීම කෙතරම් ඛේදවාචකයක්ද? ඒ සියල්ල අභිමුවේ, සියල්ලම අසා දැනගෙනත්, අචල ප්‍රේමයෙන් කුසල් මෙතරම් මා වෙනුවෙන් කැපවෙන්නේ?

චපලකම යනුවෙන් හඳුන්වන්නේ කවරක්ද? ආයෙත් නොඑන, නැවත පැමිණියද කිලිටිව ගිය මගේ ප්‍රේමය ; කුසල්ගේ උත්තම සිතින් පුදනා ප්‍රේමයට චපල කමක් කරන්නේ මමද?

***********************************

නැතිවුන ආදරයක් වෙනුවෙන්
හෙලන සුසුම් අන් හදක වැදී
පෑරුණු හදවත් එකිනෙක අමතා
කියන කතාවයි මේ
සුදෝ මම ආදරෙයි – සුදෝ මම ආදරෙයි

සිතින් පලාගිය එක් ආදරයක්
දිහා කඳුළු පිරි නෙතින් බලා
ඉන්නා අතරේ තව ආදරයක්
වෙත හදවත් දොර විවර කළා
සුදෝ මම ආදරෙයි -සුදෝ මම ආදරෙයි

ආයෙත් නොලැබෙන ආයෙත් නොඑනා
ඒ ආදරයට ඉඩදෙම්දෝ
පාලු හදවතට සෙනෙහස පුදනා
මේ ආදරයට ඉඩ දෙම්දෝ
සුදෝ මම ආදරෙයි -සුදෝ මම ආදරෙයි

සෙනෙහස උතුරන ඒ ආදරයයි
සෙනෙහස අයැදින මේ ආදරයයි
කොහොම කෙලෙස තුරුලට ගම්දෝ
ඔබට මම ආදරෙයි
ඔබටත් මම ආදරෙයි
ඔබට මම ආදරෙයි

 ප.ලි.
මේ ගීතයේ ඇති සුන්දර වචනවල විරහව ; ශෝකය නොමදව තියෙනවා… මේ ගීතය හරිම වේදනාවකින් ගයනවාද මන්ද, මට වේදනාව දැනෙනවා. නැතිවෙච්ච, ආයෙත් ආවට වැඩකුත් නැති ප්‍රේම මතකයන් එක්ක විඳවන හදවතකට , ප්‍රේමයෙන් ආතුර වෙන්න කොච්චර අමාරුද? ඒක හරිම අසාධාරණයි!!

ඔබේ වේදනාවත් ලියන්න

%d bloggers like this: