Menu Close

හේමන්තයේදී ගිය එක්දින චාරිකාව – (2019 ජූනි 1 )

(ඩැන්ඩිනෝන් – සොරෙන්ටෝ – ක්වීන්ස් ක්ලිෆ් -ජිලෝන් –   (මෙල්බර්න් හරහා) ඩැන්ඩිනෝන්)
   පගේ සිංහල සංස්කෘතික සහ ප්‍රජා සේවා පදනමේ, 2019 හේමන්තයේ එක් දින චාරිකාව, ගොඩ බිමින් සහ මුහුදෙන්ද යාමට සැලසුම් කර තිබුණු නිසා, එය තරමක් වෙනස් එකක් විය. චාරිකාව සඳහා තෝරාගෙන තිබුණේ මෝර්නින්ටන් අර්ධද්වීපයේ බටහිරට වන්නට පිහිටි  ෆිලිප් වරායේ මුහුදු බොක්ක ආශ්‍රිත ප්‍රදේශයයි. ඩැන්ඩිනෝන් සිට  සොරෙන්ටෝ තුඩුවට පැමිණ  එහි සිට ක්වීන්ස් ක්ලිෆ් තුඩුව දක්වා මුහුදෙන් ගමන් කර, එතැන් සිට ජිලෝන් දක්වා ගොස්, මෙල්බර්න් හරහා ආපසු ඩැන්ඩිනෝන් දක්වා ගමන කිලෝමීටර් දෙසිය පණහක් පමණ විය. අපගේ චාරිකාව සඳහා ලබාගත් බස් රථයද, මුහුදු යාත්‍රාවෙන්ම එගොඩ කිරීමට අවසර ලබාගෙන තිබුණි.

අපගේ ගමන ආරම්භ කළේ, 2019 ජූනි 1 වන දින පෙරවරු 8.30 ට පමණ, ඩැන්ඩිනෝන් දුම්රිය පළ අසලින්ය. චාරිකාව සඳහා සුඛෝපභෝගී බස් රථයක් ලබාගෙන තිබුණි. පදනමේ  සාමාජික සාමාජිකාවන් 60 දෙනෙකු පමණ ගමනට සහභාගිවූහ. අතරමග, ක්ලේටන් දුම්රියපල අසලින්ද කිහිප දෙනෙකු බස් රථයට ගොඩවීමට නියමිතව තිබුණු  නිසා, එම ස්ථානයේද මඳ වෙලාවක් බස් රථය රඳවා ගැනීමට සිදුවිය. එතැන් සිට නොනවත්වාම ගමන් ගත් බස් රථය, ෆ්රෑන්ක්ස්ටන්, මෝර්නින්ටන්, රෝස් බඩ්   යන උප නගර පසුකර, පෙරවරු 10.30 ට පමණ වන විට, සොරෙන්ටෝ තුඩුවට ලඟාවිය.

රෝස් බඩ් කුඩා නගරයේ සිට, සොරෙන්ටෝ තුඩුව දක්වා මාර්ගය මුහුදු වෙරළ අසලින්ම වැටි තිබුණු, දැකුම්කලු පරිසරයක් සහිත ප්‍රදේශයක් විය. මෙම මුහුදුබඩ බිම් තීරුව දශක කිහිපයක සිටම සංචාරක පුරවරයක් මෙන් සංවර්ධනය වී තිබේ. විශේෂයෙන්ම ගිම්හාන කාලයේදී, මෙම වෙරළ තීරය දේශීය සහ විදේශීය සංචාරකයින්ගෙන් අතුරු සිදුරු නැතිව පිරී යන බව දැනගන්නට ලැබුණි.

අප සංචාරයේ දෙවන අදියර වුයේ , ෆිලිප් වරායේ මුහුදු බොක්කෙහි දකුණු දිගින් පිහිටි, සොරෙන්ටෝ තුඩුව  සහ ක්වින්ස් ක්ලිෆ් තුඩුව වෙන්කරන, කිලෝමීටර්  නවයක් පමණ වූ මුහුදු තීරය තරණය කිරීමයි.  සොරෙන්ටෝ තොටුපලේ සිට  ක්වින්ස් ක්ලිෆ්  තොටුපල දක්වා මුහුදු තීරය  හරහා මගීන් ප්‍රවාහනය කිරීම පිණිස මගී යාත්‍රා සේවයක් තිබේ. සෑම පැයකට වරක් දෙපැත්තෙන්ම මගී ප්‍රවාහන යාත්‍රාව බැගින් පිටත්වේ. අපට වෙන්කර තිබුණේ සොරෙන්ටෝ  තුඩුවෙන් දහවල් 12.30 ට පිටත්වන යාත්‍රාවයි. සොරෙන්ටෝ සිට  ක්වින්ස් ක්ලිෆ් දක්වා මුහුදු ගමනට විනාඩි හතළිහක් පමණ ගතවේ.


නියමිත යාත්‍රාව පැමිණෙන තුරු පැයකට වැඩි  කාලයක් තිබුණු නිසා, අපට ජෙටිය අසල තණතිල්ලේ තුරුසවනේ, අතුරුපස සංග්‍රයක් විඳ, ගී කියමින් විනෝද වීමට අවස්ථාවක් ලැබිණ.

නියමිත වේලාවට යාත්‍රාංගනය අසලට ගිය අපට, යාත්‍රාවට ගොඩවිම සඳහා නැවත බසයේ අසුන් ගන්නා ලෙස, ඉල්ලීමක් කරන ලදී. මෙම යාත්‍රාවේ බිම් මහල, බස් රථ  හෝ මෝටර් රථ කිහිපයක් එකවර ගෙන යාමට හැකිවන අයුරු ඉඩකඩ ඇතිව සකස් කර තිබේ. යාත්‍රාවට ඇතුල්වීමෙන් පසු බසයෙන් පිටතට පැමිණි අපි, යාත්‍රාවේ දෙවෙන මහළේ සහ තුන්වන මහළේ සිට රිසිසේ අවට සිරි නැරඹුවෙමු. අහසේ වලාකුළු රහිතව හොඳින් හිරු පායන දිනවලදී මෙම ස්ථානයේ සිට උතුරු දෙස බැලූවිට කිලෝමීටර් හැටක් පමණ ඈතින් ඇති මෙල්බර්න් නගරයේ උස ගොඩනැගිලි, හොඳින් දර්ශනය වන බව දැනගන්නට ලැබිණ.  සමුද්‍ර ක්ෂීරපායීන් වන ඩොල්ෆින් සතුන්, ගිම්හානයේදී මෙම මුහුදු තීරයේ  බහුලව සිටින නමුත්, ඒ වනවිට ශීත ඍතුව එළඹ තිබුණු බැවින් අපට ඔවුන් දැකගත නොහැකි විය. 

මෝර්නින්ටන් අර්ධද්වීපයේ පිලිප් වරාය තුළ, උතුරෙන් පිහිටි නැව් තොට මෙල්බර්න් වන අතර, බටහිරට වන්නට ජීලෝන් නැව් තොට පිහිටා ඇත. මෙම ප්‍රධාන නැව් තොටවල් දෙක වෙත  ගමනාගමනය කරනු ලබන සියලුම නෞකා වරායට ඇතුල් වනුයේ, අපට තරණය කිරීමට තිබෙන, කිලෝමීටර්  අටහමාරක් පමණ පුළුල් වූ  පටු මුහුදු තීරය හරහාය.
හරියටම දහවල් 12.30ට යාත්‍රාව ගමන ආරම්භ කළේය. වරාය ආසන්නයේ නිසා මුහුද නිසලය. ඈත මුහුදේ තවත් යාත්‍රාවක්, අප පිටත්වූ ස්ථානය කරා එනු දකින්නට ලැබිණ. මිනිත්තු හතලිහකදී, අප ගමන් කළ  SEAROAdfERRIRS යාත්‍රාව ක්වීන්ස් ක්ලිෆ් තුඩුවේ ජෙටියට සේන්දු විය.

නැවතත් බසයට ගොඩවූ අපට මීළඟට  අවශ්‍ය වූයේ, දිවා ආහාරය ගැනීම සඳහා සුදුසු ස්ථානයක් සොයා ගැනීමයි. එදින වැහිබර, අඳුරු, ශීතල දිනයක් වූ නිසා එළිමහනේ වැඩි වේලාවක් ගත කිරීම අසීරු බව කාටත් දැනෙන්නට විය.

මෙවේලේ  ලැබුණු සුභ ආරංචියක් නිසා කාගේත්  සිතට සැනසුමක් ලැබිණ. එම ආරංචිය ප්‍රකාශයට පත්කළේ සංචාරය සංවිධායකයින් විසිනි. කාටත් ඇසෙන සේ එම ආරංචිය බසයේ ඇති ශබ්ද විකාශන මෙවලම ඔස්සේ මෙසේ ඇසුණි.

“ජීලෝන්හි  ශ්‍රී ලංකා මිත්‍ර සංගමයෙන් අපට ආරාධනයක් ලැබී තිබෙනවා, දිවා ආහාරය ගැනීම සහ දිනයේ ඉතිරි කාලය, ඔවුන් සමග ගතකර ප්‍රීති වීම සඳහා, ඔවුන්ගේ  මිත්‍ර සංගම් ශාලාවට පැමිණෙන ලෙස. එම ස්ථානයට මෙහි සිට කිලෝමීටර් 40 ක් පමණ තිබෙන නිසා දිවා ආහාරය ගැනීම තරමක් ප්‍රමාද වේවි.”

එම යෝජනාව සඳහා, සියලු දෙනාගෙන්ම ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබිණ. මෙතෙක් දැක නොමැති ශ්‍රී ලාංකික හිතවතුන් පිරිසක් දැක හඳුනා ගැනීමට හැකිවීම ගැනද,  කා තුළ කුතුහලයක් ඇතිවිය.

පස්වරු 2.30 පමණ වනවිට, අපට ජීලෝන්හි  ශ්‍රී ලංකා  මිත්‍ර සංගම් ශාලාව වෙත පැමිණීමට හැකිවිය.

අපගේ බසය, රථවාහන ගාල වෙත පැමිණි විගසම, ශ්‍රී ලංකා මිත්‍ර සංගමයේ සාමාජිකයින් කිහිප දෙනෙකු අප සියලු දෙනා පිළිගෙන, ඉතාමත් ආදරයෙන්  ශාලාව වෙත කැඳවා ගෙන ගියහ. අප බලාපොරොත්තු නොවූ ආකාරයට එම ස්ථානය සියලුම සැප පහසු කම් සහිත එකක් විය. අප කවුරුත් ගෙන ගොස් තිබුණු ආහාර ඒ වනවිට ශීතල වී තිබුණි. සීතලවූ අපගේ   දිවා ආහාර එහි තිබුණු ‘මයික්‍රෝ වේව්’ උදුනේ දමා රත්කර, ගැනීමට පහසුකමක් තිබීම හාස්කමක් වැනිය.  ඉතාමත් සුහදව, අපට ආගන්තුක සත්කාර සැපයූ නව මිතුරු මිතුරියන් සමග, අපේ ආහාරද  බෙදා හදා ගෙන භුක්ති විඳීමට ලැබීම,  සතුට ගෙන දෙන සුවිශේෂී සිද්ධියක් විය. ඔවුන් විසින් අප වෙනුවෙන්,  අයිස් ක්‍රීම්, පලතුරු සහ වෙනත් රස මසවුළු සහ අතුරු පස සකස් කර තිබුණි.
කවුරුත් එකතුවී බෙදා හදාගත් දිවා භෝජනය සප්පායම් වීමෙන් පසුව, ගී ගයා, නටා ප්‍රීතිවිමටත් අවශ්‍ය සියලුම පහසුකම්, අපගේ ජිලෝන් ශ්‍රී ලාංකික සත්කාරක සහෘදයින් විසින් සපයා තිබුණි. පැය එකහමාරක පමණ, සුහද හමුවේදී එකිනෙකා හඳුනා ගැනීම සහ මව් බිමේ ආගිය තොරතුරු කතාබස් කිරීම වැනි ළයාන්විත පිළිසඳරද නිසා එදින සවස් වරුවේදී  කා තුළත්  අමතක නොවන සිද්ධි රාශියක් සනිටුහන් වන්නට ඇත. අප ඔවුනට ආගන්තුකයින් වුවද, ටික වේලාවකින් කවුරු කවුරුත් කුළුපග මිතුරු මිතුරියෝ වූහ.

සමුගැනීමට පෙර සභාපති තුමා විසින්, ඔවුනටද අප සමග දිනයක් ගත කිරීමට සඳහා පැමිණෙන ලෙස ආරාධනයක්ද කරන ලදී. ඔව්හු මෙම ආරාධනය සතුටින් භාර ගත්හ.

මේ ආකාරයට දිනය සතුටින් ගතකළ  අපි, ඔවුන් සමග සමුහ ඡායාරුපයකටද පෙනී සිටියෙමු. පස්වරු පහට පමණ ඔවුනට ආයුබෝවන් කියා සමුගත් අපි ආපසු ගම් බිම් බලා ඒමට පිටත් වූවෙමු.     
                                                  *        *         *
අපගේ චාරිකාව සඳහා තෝරාගත් මෝර්නින්ටන් අර්ධද්වීපය, ඕස්ට්‍රේලියාවේ මෑත ඉතිහාසය සමග හොඳින් බැඳි ඇති ප්‍රදේශයකි. මේ පිළිබඳවද තොරතුරු ස්වල්පයක් පිලිබඳ දැනුවත් වීම කාටත් ප්‍රයෝජනවත් විය හැකිය.

නැගෙනහිරට මෝර්නින්ටන් අර්ධද්වීපයෙන් සහ බටහිරට දකුණු ඕස්ට්‍රේලියානු තුඩුවෙන් වටවී ඇති  විශාල මුහුදු ප්‍රදේශය පිලිප් වරායයි.  මෙල්බර්න්, ජිලෝන්, සොරෙන්ටෝ සහ ක්වීන්ස් ක්ලිෆ් යන සියළුම නැව් තොටවල් විවෘත වනුයේ මෙම වරායටය. මේ නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ, අන්තර්ජාතික කටයුතු සඳහා ඉතාමත් වැදගත් ස්ථානයක් මෙම ප්‍රදේශයට හිමිවේ. අපගේ චාරිකාවට සම්බන්ධ ස්ථානවල ඓතිහාසික තොරතුරු  පිළිබඳ කෙටි විස්තරයක් පහත දැක්වේ.  

සොරෙන්ටෝ (Sorrento)

ඕස්ට්‍රේලියා මහාද්වීප  භුමියේ, මුල්ම යුරෝපීය   පදිචිකරුවන් 1803 වර්ෂයේදී ස්ථාන ගතවී තිබෙන්නේ සොරෙන්ටෝ අවට ප්‍රදේශයේය  (මෙල්බර්න් නගරය ස්ථාපිත කර ඇත්තේ ඊට වසර 30 කට පසුවය.) ටික කලක් මෙහි ජීවත්වූ ඔව්හු, මෙම ප්‍රදේශයේ, පානීය ජල පහසුකම් නොතිබුණු නිසා පදිංචිය  අතහැර දමා තිබේ.  දශක කිහිපයකට පසු, නැවතත් ඔව්හු මෙම ප්‍රදේශයට සංක්‍රමණය වී ඇත. සොරෙන්ටෝ අවට ප්‍රදේශයේ පාශාණිභුත හිරිගල් බහුලය. හිරිගල් බිත්ති වලින් නිමවූ, සංරක්ෂණය කරන ලද,  පෞරාණික ගොඩනැගිලි කිහිපයක් දැනටද මේ ප්‍රදේශයේ දකින්නට ලැබේ. සොරෙන්ටෝ නැව් තොටේ සිට, මුහුදු තීරුව හරහා ක්වීන්ස් ක්ලිෆ් නැව්තොට  කරා  ගමනාගමනය සඳහා ඇති SEAROAdfERRIRS මගී යාත්‍රා සේවය, කෙටි මුහුදු යාත්‍රා ගමනක් සඳහා ඉතා හොඳ සේවයක් බව සඳහන් කල හැකිය.

ක්වීන්ස් ක්ලිෆ් (Queens Cliff)

පිලිප් වරායේ සොරෙන්ටෝ තොටුපළේ සිට, කිලෝමීටර නවයක් පමණ බටහිරින් පිහිටි ක්වීන්ස් ක්ලිෆ්  දක්වා,  මුහුදු යාත්‍රාවෙන්  ගිය ගමන සඳහා මිනිත්තු හතලිහක් පමණ ගතවිය. දැනට මෙම තොටුපල හරහා වැඩිපුර ගමන් කරනුයේ, අප මෙන් සංචාරයේ යෙදෙන අය බව දැනගතිමු. කලකට පෙර, දිනපතා මගීන් විශාල සංඛ්‍යාවක් මෙම තොටුපලේ යාත්‍රා මගින් එගොඩ මෙගොඩ වී ඇතත්, දැනට ගොඩබිමෙන් යාම සඳහා මහාමාර්ග සහ මෝටර් රථ පහසුකම් තිබෙන නිසා, යාත්‍රා ගමනට මගීන් අඩු බව පෙනේ.  ක්වීන්ස් ක්ලිෆ්  අඩු ජනගහනයක් සහිත කුඩා නගරයකි. මේ ප්‍රදේශයට පැමිණි ප්‍රථම යුරෝපීයයා වශයෙන් සැලකෙන තැනැත්තා, සිරගතව සිට එයින් මිදී, වනගත වූ කෙනෙකු වන අතර, ඔහු වසර තිස් දෙකක්, ප්‍රදේශයේ සිටි ඇබෝරිජනල් ගෝත්‍රිකයින් සමග ජීවත්වී තිබේ. කෙසේ වෙතත් මෙම ප්‍රදේශයට  ස්ථිර යුරෝපීය පදිංචි කරුවන් පැමිණ ඇත්තේ 1836 වසරේ දී බව වාර්තා වේ. මෙම තුඩුවට ක්වීන්ස් ක්ලිෆ් යන නම ලැබී ඇත්තේ එවකට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ නායිකාව වූ, වික්ටෝරියා මහරැජිනට ගෞරව දැක්වීම පිණිසය.

ජීලෝන් (Geelong)

වික්ටෝරියා ප්‍රාන්තයේ අග නගරය වන මෙල්බර්න් සිට කිලෝමීටර 75 ක් පමණ නිරිත දිගින් පිහිටා ඇති ජීලෝන්, වික්ටෝරියා ප්‍රාන්තයේ දෙවන විශාලතම නගරයයි. මෙම ප්‍රදේශයේ කලින් ජීවත්ව සිටි ‘වතොරෝන්ග්’ (Wathaurong) නමැති ඇබෝරිජිනල් ගෝත්‍රික ජනතාව විසින්, මෙම ප්‍රදේශය හැඳින්වීම සඳහා භාවිත කරන ලද, ‘ඩ්ජිල්ලෝන්ග්’ (Djillong)යන නම උච්චාරණය කිරීමෙන් බිඳී යාම නිසා,නගරයට ජීලෝන් (Geelong) නම ලැබී තිබේ. ගෝත්‍රික භාෂාවේ ඩ්ජිල්ලෝන් යන වචනයේ ‘දිව’ යන තේරුමක් තිබේ. පිලිප් වරාය තුළට නෙරා තිබෙන  මෙම භුමි ප්‍රදේශය ‘දිවක හැඩය’ ගන්නා නිසා, මේ නම ලැබෙන්නට ඇතැයි සිතිය හැකිය. (ඉහත සිතියම බලන්න)

මේ කාලය වන විට ජීලෝන් නගරයේ සිට කිලෝමීටර් 80 ක් පමණ උතුරෙන් පිහිටි, බැලරාට් (Ballarat) ප්‍රදේශයේ රත්‍රන් ඉල්ලම් පෑදී, රන් ආකර ආරම්භ වීය. ඒ  සමගම, කිට්ටුවම තිබුණු ජීලෝන් නගරයද  ක්ෂණිකව දියුණුවන්නට විය. මුල්ම අවදියේදී මේ ප්‍රදේශයේ බැටලුවන්ගෙන් ලෝම නිෂ්පාදනය (wool), දැව සම්පත් වලින් කඩදාසි නිෂ්පාදනය සහ ගස් පට්ටා වලින් ශක්තිමත් කඹ නිෂ්පාදනය වැනි නව කර්මාන්ත ආරම්භ විය. ඒ සමගම ජනගහණයද  ශීඝ්‍රයෙන් වැඩිවන්නට විය. යටිතල පහසුකම්ද ඉක්මනින්ම වර්ධනය විය. රන් ආකර  නොසිතූ විරූ ආර්ථික සම්පතක් වූ නිසා,  1835 පමණ වන විට යුරෝපීය සංක්‍රමණිකයින් බහුලව මේ ප්‍රදේශයට ඇදී එන්නට වූහ. මේ වන විට ගෝත්‍රිකයින් සමග ඉතාමත් කුළුපගව සිටි, කලකට පෙර සිර අඩස්සියෙන් පැනගත්, යුරෝපීය ජාතිකයා සමාව ලබා, නව යුරෝපීය ජනාවාසවල නායකයාට එකතු විය. පසුව ඔහු, යුරෝපීයයන්ට ඇබෝරිජනල් ගෝත්‍රිකයින් සමග අදහස් හුවමාරු කරගැනීමේ භාෂා පරිවර්තකයෙකු ලෙස පිළිගන්නා ලදී. මෙය එකළ පාලකයින් විසින්  පිළිගත් සැලකියයුතු තනතුරක් විය. මේ කාලය වන විට යුරෝපයේ සිරගෙවල සිටි සිරකරුවන් දහස් ගණනක්, රන් ආකරවල සේවා සඳහා යෙදවීම පිණිස ඔස්ට්‍රේලියාවට ගෙන එන ලදී.

මේ කාලයේදී, රත්‍රන් ගැරීමේ කටයුතු සඳහා වැඩිපුර ජනතාව බැලරාට් ප්‍රදේශයට ඇදීයාමට පටන් ගත් නිසා, ජීලෝන් දිසාවේ සංවර්ධන කටයුතු තරමක් අඩපණවී ගියේය. එහෙත් 1900 ගණන් වලදී ජීලෝන් නගරය නැවතත් ප්‍රකෘති තත්වයට පත්වී, වික්ටෝරියා ප්‍රාන්තයේ දෙවන නගරය බවට පරිවර්තනය විය. රට අභ්‍යන්තරයේ පිහිටි, බැලරාට් ප්‍රදේශයට අවශ්‍ය භාණ්ඩ සහ රන් ආකරවලට අවශ්‍ය උපකරණ ගෙන ඒම සඳහා, කිට්ටුවම තිබුණු නැව් තොට වූයේ ජීලෝන්ය. රත්‍රන් නිසා ඉක්මනින්ම ආර්ථික උද්දීපනයක් ළඟා කරගත් බැලරාට් ප්‍රදේශයට අවශ්‍ය සේවා, භාණ්ඩ සහ ප්‍රවාහන කටයුතු සපයන ජීලෝන් නගරයේ නැවතත්  ශීඝ්‍ර සංවර්ධනයක් ආරම්භ විය. මෙය හේතුකොටගෙන, මෙම ප්‍රදේශය  පදිංචිය සඳහාද යෝග්‍ය බවට පත්වී, ජනතා ආකර්ශණයද වැඩි වන්නට පටන් ගත්තේය.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ජීලොන්හි ආර්ථික, අධ්‍යාපනික, සෞඛ්‍ය සේවා, ගමනාගමන, වෙළඳ ආදී සියලුම කටයුතු  දිනෙන් දිනම දියුණුවට  පත්වී, ටික කලකදීම සෞභාග්‍යමත් නගරයක් බවට පරිවර්තනය වී තිබේ. අද ජීලෝන්  නගරය සියලුම යටිතල පහසුකම් අතින් දෙවෙනි වන්නේ, මෙල්බර්න් නගරයට පමණකි.

%d bloggers like this: