Menu Close

පාවෙන සටහන්…

අල්ලපු කාමරයේ සිගරට් දුම් වලාකුළු, ජනේලෙන් එළියට ගහගෙන ගිහින් අළු පාට මුස්පේන්තු වැහි වලාකුළක පැටලෙනවා…විජේරාම අහස දවසක විඩාව,සතියේ මැද  සවසක,පෙට්‍රෝල් පිලිස්සෙන දුමෙන් පෙඟුන අහසක, වලාකුළු කිහිපයකට ගුලි කරගෙන, කොළඹ පුරාම කූඹි වගේ එහාට මෙහාට දුවන මිනිස් හිස් ගෙඩි දිහා අලසව බලාගෙන ඉන්නවා..

මේ මුළු සතියම තෙත, දියසෙවළ බැඳිච්ච දවස් වලින් පුරවමින් හෙම්බිරිස්සාව කූඩැල්ලෙක් වගේ මගේ ඇඟේම  එල්ලිලා වද දෙනවා …බෙහෙත් පෙති, බෙහෙත් කරල් වලින් තව දුරටත් පලක් ප්‍රයෝජනයක් නැති විත්තිය දැනුනත් තවමත් ඒ පෙති උදේ හවා ගිලින්නේ, විකල්ප හොයාගෙන යන්න තියෙන අප්‍රමාණ කම්මැලිකම නිසා කියලා මම මටම කියා ගන්නවා…ඒ කම්මැලිකම පවා සාධාරණීකරණය කරන්න බැරිතරම් කම්මැලි වුනත්,දණහිස් වල නොසෑහෙන්න කකියන ගතිය වගේ හේතු ලයිස්තුවක් හිතෙන් ගොනු කරගන්න එක මට ලේසිය..

තනියම ජීවත්වීමේ පාවෙන සුළු ගතිය ලෙඩ වුනාම දැනෙන අසරණ වීම එක්ක, එකම තුලාවක දැම්මොතින්, කොයි පැත්ත උඩ යාවි ද කියලා මට තවම හිතා ගන්න අමාරුයි…ඒ නිසා මම, අසරණව ,සොටු සූරමින් තවමත් අවිනිශ්චිත අවකාශයක ඔහේ  පාවෙමින් ඉන්නවා…දේදුණු පසු කරගෙන, වල්ගා තරු වල පස්සා පැති වල නොවැදී අරමුණක් නැති වන්දනාවක පාවෙමින් යෑම, මට වෙහෙසයි, නැංගුරම රැගෙන නොපැමිණි නිසා දැන් නතර වෙන්නත් පමා වැඩියි..

ඒ.සී  සීතලේ නොතේරෙන දේශන සාගරයක, අපි හැමෝම තම තමන්ගේ සිහින දූව සොයමින් කඩදාසි බෝට්ටු වල හබලක් නැතිව පාවෙමින් ඉන්නවා…දියවැල් වලින් සමහරුන්ව  දුර ඈතට රැගෙන යනවා…අතරමං වෙන තරම් ඈතට ගියාම ඒ අයට ඒ අයවත් අමතක වෙනවා..තවත් සමහරුන්ට ඈතින් ඇහෙන දේශනය නැළවිල්ලක් කරගෙන හෙමින් ඇස් පියා ගන්නවා…ඒ අය තමන්ගේ සිහින වල බෙන්සීන් වළලු, ඇල්කීන දම්වැල් ගැන දකිනව ද කියලා මට සැකයි..මම ඔහේ පාවෙනවා..වෙලාවකට දේශනය දිහාවටත් ,  තවත් වෙලාවකට දේශනයෙක් ඈත එපිට තැන්නක් දෙසටත්…තැන්නේ තණකොළ අස්සේ ඉඳලා ආයිමත් හෙම්බිරිස්සා කූඩැල්ලා ඇඟේ එල්ලෙනවා..මම අමාරුවෙන් හුස්ම ඉහළට අරගෙන ආයිමත් දේශනය දිහාවට පාවෙලා එනවා…

කැම්පස් එකේ අරලිය බැමි ගාවට වෙලා කවි කුරුටු ගාන්න බැරි තරම් වෙහෙස සති ඇවිත් ජීවිත බැම්මේ වැදිලා ආපස්සට ආපහු යනවා, හරියට මුහුදු රැල්ලක් වගේ…තව දවස් කොයිතරම් ජීවිතේ ඉතිරි ද කියලා නොදැන, අද දවසත් අතීතේ ගෙවිච්ච දවස් ගොන්න දිහාවට පා කරමින්, හිස් කඩදාසියක් වගේ මම, කවියක් ලියවෙනකන් බලාගෙන ඉන්නවා..

හදවතේ කවුලු වලට නියපිටෙන් තට්ටු කරන,ආගන්තුක සුලං කෝඩ වලට ආයිමත් ආයිමත්  හදවතේ දොර පියන් විවෘත කරලාම මට මහන්සියි..”ආගන්තුක” වචනයත් එක්ක එන හෙම්බිරිස්සාමය අවිනිශ්චිතතාවට මම අකමැතියි..(හෙම්බිරිස්සාව හොඳ වෙනවා ද නැද්ද වගේ අවිනිශ්චිත දේවල්)..දන්නවා ද, ආදරේ තරම් තවත් ආගන්තුකයෙක් නැති තරම්..මම හදවතේ අගුල් තද කරලා පුංචි ඉඩක ගුලි වෙනවා..වසංගත රෝගයක් වගේ ආදරේ ඒවි කියලා මට බය හිතෙනවා..

කේතලේ විසිල් හඬ එක්ක,වැහි පොද වලින් කොළඹ ගෙන්දගම් පොළව තෙමන කුයිල එක්කහු වෙලා, හිසරුදා ඇති කරන සිගරට් දුම අවක්ෂේප කරනවා…මම උණු කෝපි කෝප්පයක ගිලෙමින් සහ ඉපිලෙමින්, ජීවිතේ තප්පර ගෙවෙන හැටි තවමත් ඔහේ පාවෙමින් බලාගෙන ඉන්නවා..

%d bloggers like this: